පොදුවේ සියල්ලන්ට ම දැනෙන අන්දමේ දුෂ්කරතාවලින් පිරී ගත් කාල පරිච්ඡේදයක් අපි ගෙවා දමමින් සිටින්නෙමු. පවත්නා ආර්ථික හා දේශපාලනික ව්‍යාකූල භාවය තුළ හුදෙක් අනාගතය ගැන පමණක් නොව එදිනෙදා ජීවිතය ගැන ද අපේක්ෂා බිඳ වැටුණු සමාජයක් නිර්මාණය වී තිබේ. බැලූ බැලූ තැන්හි පෙනෙන්නේ වෙහෙසපත්, විඩාබර මුහුණු ය. කථාබස් කළහොත් සිත්හි පවත්නා පීඩාවන් ද ආවේගයන් බවට පත් වී මුදා හැරෙනු සැක නැත. පෙර නොවූ විරූ අර්බුදකාරී වටපිටාවක ගොදුරු බවට පත් ව දුක්පීඩා විඳිමින් මේ ගෙවී යන්නේ අපේ ආයුෂ යි.

මේ අප අත්දකින්නේ පෙර නොවූ විරූ අර්බුදයක් බව සැබෑවක් වුව ද ‘අර්බුදකාරී සමාජ වටපිටාවක්’ යනු අරුමයක් නම් නොවේ. නිති වෙනස් වෙමින් පවත්නා ලෝකයක සුවපහසු වටපිටාවක් සැණෙකින් දුෂ්කර වටපිටාවක් බවට පරිවර්තනය වන්නට ඉඩ තිබේ. එසේ ම, මෙවැනි දුෂ්කර වටපිටාවන් වෙනස් වී සුවපහසු වටපිටාවන් ද නිර්මාණය වේ. එය ලෝක ස්වභාවය යි. අප මේ ලෝක ධර්මතාවය තේරුම් ගත යුතු ය, අප එය සිහි තබා ගත යුතු ය. අපමණ පීඩා උපදවාලන මෙවැනි අර්බුදකාරී වටපිටාවක වුව ද අපට ද සුවපත් ව අන් අයව ද සුවපත් කරලන්නට හැකි වන්නේ එවිට ය.

සැබැවින් ම, මේ සා දුෂ්කර අවස්ථාවක තමන් ද සුවපත් වී අන් අයව ද සුවපත් කළ හැක්කේ කෙසේ ද? මෙහිලා ධන ධාන්‍යයෙහි බලවත් භාවයක් නැත. මන්ද, ධනය අසීමිත වූව ද සේවා හා පහසුකම් පවත්නේ සීමිත ව බැවිනි. නිලයෙන් ද තමන්ට පවා වැඩි ප්‍රයෝජන නැත. මන්ද, සියල්ලෝ ම අවශ්‍යතා සපුරා ගැනීමේ දී සමාන දුෂ්කරතාවලට මුහුණ දෙන හෙයිනි. සැබැවින් ම, කය හා බැඳී ගත් දෙයකින් පොදු යහපතක් ඉපැදවීම උගහට ය. එය කළ හැක්කේ සිත් තුළ උපදවා ගන්නා බලයකිනි. ඒ අසිරිමත් චිත්ත බලය නම් අනෙකක් නොව; මෛත්‍රිය යි.

පුණ්‍ය බලයෙන් ලොව අග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සඟරුවනට කලෙක දානය පවා නොලැබෙන තැනට කටයුතු යොදන්නට පාපී මාරයාට හැකි විය. මාර වසඟයට පත් ජනයා දන්පැන් නොපුදමින්, පරිභව කරමින් භික්ෂු සංඝයා ව බැහැර කළහ. මේ අවස්ථාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට අවවාද කොට වදාළේ, මෙත් සිත වඩන්නට ය. දන්පැන් පවා නොලද්දේ වුව ද ශාස්තෘ අවවාදයේ පිහිටි භික්ෂු සංඝයා මෙත් සිත ම වැඩූහ. සැබෑ ශ්‍රාවකයන්ගේ චරිතය එබඳු ය. ඔවුහු යහපත කැමැත්තෙන් ශාස්තෘ අවවාදයේ පිහිටා කටයුතු කරති.

අපිදු මේ දුර්ලභ ව ලද මනුෂ්‍ය ජීවිතයේ දී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව සරණ යන්නට වාසනාවන්ත වීමු. පෙරළෙන ස්වභාව ඇති ලෝක ධර්මතාවයන් සමඟ අප කරා එළඹුණු මේ පීඩාකාරී බව ද නිත්‍ය නොවේ. එය ද වෙනස් වී විපරිනාමයට පත් වන්නකි. දුෂ්කරතා හමුවේ සිතට පෙරළී යන්නට නොදී සිත දමනය කරගෙන අප ද මෙත් සිත වැඩිය යුතු ය. අප ද අප මෙන් ම පීඩාවට පත් මේ සියලු සත්වයෝ ද සුවපත් වෙත්වා කියා බලවත් ව මෛත්‍රිය වඩන්නේ නම් ඒ මෛත්‍රී චිත්ත ප්‍රවාහය හමුවේ අප කෙරෙහි ප්‍රියමනාප බව උපදවා ගන්නා මිනිසුන් ද දෙවියන් ඇතුළු අමනුෂ්‍යයන් ද මේ අර්බුදයෙන් මිදී යන්නට උපකාර කරනු ඇත.

මෙත් සිතේ අසිරිය මෙය යි; මෙත් වඩන්නා තුළ සේ ම ඒ මෙත් සිතට අරමුණු වන්නවුන් තුළ ද සන්සිඳීම, සුවපත් භාවය ඉපැදවීමට එයට හැකිය. ඒ සා ආනුභාව ඇති මෛත්‍රී චිත්තය වඩමින් තමා ද ඇතුළු ලෝ සත සුවපත් කරලන්නට ඔබට ද සිත් පහළ වේවා!