අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමට පළමු ගෞතම සම්බුදු සසුනේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ම පිරිනිවන් පා වදාළ සේක. අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ පිරිනිවීමෙන් සම්බුදු සසුනෙහි උපන් හිස් බව සම්බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා වදාළ සේක.

“මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලානයන් පිරිනිවන් පෑ කල්හි මේ මුළු පිරිස ම හිස් වූවාක් මෙන් වැටහෙයි. මහණෙනි, යම් දිශාවක මේ සාරිපුත්ත මොග්ගල්ලානයෝ සිටිත් ද මාගේ ඒ පිරිස හිස් නැත්තේ ය. ඒ දිශාවෙහි පිරිස දෙස බැලිය යුතු යැයි මට අපේක්ෂාවක් නොවෙයි.

මහණෙනි, ශ්‍රාවකයන්ගේ ආශ්චර්යයකි! මහණෙනි, ශ්‍රාවකයන්ගේ අද්භූතයෙකි! ශාස්තෘන් වහන්සේ හා සම ව සසුන කරන්නෝ වන්නාහ. අවවාදයට අනුව ක්‍රියා කරන්නෝ ය. සිව් පිරිසට ප්‍රිය ව, මනාප ව, ගරු සම්භාවනාවට පාත්‍ර වන්නෝ ය.”

(උක්කචේල සූත්‍රය, මහා වග්ගය, සං. නි.)

අතීතයේ වැඩසිටියා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සිටියා වූ ද අනාගතයේ ලොව පහළ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සිටින්නා වූ ද පරම ශ්‍රාවක යුගල නම් ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ය. ඒ පරමෝත්තම අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

ඉල් පොහොය යනු ගෞතම සම්බුදු සසුනේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතර අගපත් වූ ද දකුණත් අග්‍රශ්‍රාවකයාණන් වහන්සේ වූ ද සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑ දිනය යි. මහාසාර බ්‍රාහ්මණ කුලයක උපන්නෙකු වූ ද මහා රූප සම්පත්තියකින් හෙබියා වූ ද ඒ සියල්ල අබිබවා ගිය මහා නුවණකින් යුතු වූ ද සාරිපුත්ත මහරහතන් වහන්සේ වනාහී සත්පුරුෂ ගුණ ශෝභාවෙන් සම්බුදු සසුනඹර එකලු කළ මහා මුනිවරයා ම වන සේක. ශාසන පුවතේ උන්වහන්සේ තරම් ‘කළගුණ දන්නා බව, කළගුණ සිහි කරනා බව’ නම් වූ සත්පුරුෂ භූමිය ප්‍රකට කළ වෙනත් උතුමෙකු නැත.

ජීවිත අර්ථය සොයා කම්සැප හැරපියා ශ්‍රමණ භූමියට පැමිණ සත්‍ය ගවේෂණයේ යෙදෙමින් හුන් සමයේ යම් දිනක අස්සජී මහරහතන් වහන්සේ මුණගැසී, “යේ ධම්මා හේතුප්පභවා – තේසං හේතු තථාගතෝ ආහ” යනුවෙන් වූ පෙළ සතරකින් යුතු ගාථාවේ මේ මුල් දෙපෙළ අසා සෝවාන් ඵලයට පත් වූවෝ ද සාරිපුත්තයන් වහන්සේ එදින පටන් තම පළමු දහම් ගුරුවරයා වූ අස්සජී මහරහතන් වහන්සේ වැඩවෙසෙන දිශාවට නමස්කාර කරන්නට පටන් ගත්හ. තව්තිසාවැසි දෙවිවරුන් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන් පුද දෙන්නේ යම් අයුරකින් ද එලෙසින් ම දහම් ගුරුවරුන් පුද දිය යුතු බව සම්බුදුරජාණන් වහන්සේ ධම්මනාවා සූත්‍රයේ දී වදාළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ ප්‍රකට කළා වූ ‘කළගුණ දන්නා බව – කළගුණ සිහි කරනා බව’ අරබයා ය.

සංඝෝපස්ථානයේ යෙදෙමින් හුන් රාධ නම් බමුණා පැවිදි බව ඉල්ලා සිටි අවස්ථාව ද සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ උතුම් ගුණය පිළිඹිබු වූ අවස්ථාවකි.

ඒ බමුණා විසින් කළ උපකාරයක් සිහි කොට ඔහු පැවිදි භූමියට පත් කරන්න යැයි සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මොහොතේ, සඟ පිරිසේ කිසිවෙකු එයට ඉදිරිපත් නොවද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ එයට ඉදිරිපත් වූ සේක. පෙර දන් බෙදන තැනෙක දී තමන් වහන්සේට දන් හැන්දක් බෙදන්නට යැයි කියා රාධ බමුණා විසින් තවකෙකු මෙහෙයවීම එතැන දී සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිකරනු ලැබූ ගුණය යි. මෙසේ, සුළු උපකාරය වේවා මහානීය උපකාරයක් සේ ම ගුණ දකිමින් සිහි කරන්නට තරම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණානුභාවය අති මහත් වීය.

ශාස්තෘන් වහන්සේ හා සම ව ශාසනය කරවූ මහා ශ්‍රාවකයන් වහන්සේගේ ජීවිතයේ නිතින් ප්‍රකට වූ මේ අසිරිමත් සත්පුරුෂ ගුණ ශෝභාව තමන් තුළ ද උපදවා ගන්නට ශාසනික අභිවෘද්ධිය කැමති වන්නා වූ කවරෙකු විසින් වුව ද උත්සාහවත් විය යුත්තේ ය.

ධර්ම චක්‍රය ලෝකයේ ප්‍රවර්තනය වන්නට ද පළමු ව, සංඝරත්නය ලෝකයේ පහළ වන්නට ද පළමු ව අපගේ ශාස්තෘන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලද මොහොතේ තමන් වහන්සේට සෙවණ සලසාලූ ඇසතු බෝධි වෘක්ෂය දෙස පුරා සතියක් ඇසිපිය නොහෙළා බලා හිඳිමින් කළගුණ දැක්වූ සේක. ඒ සම්බුදු ළය මඬලෙහි උපන් අග්‍රශ්‍රාවක, මහා ශ්‍රාවකයන් වහන්සේලා ද එලෙසින් ම කළගුණ දන්නා බවින්, කළගුණ සිහි කරනා බවින් යුතු වූ සේක. නුගුණට ගැටෙන, නුගුණ අසන, නුගුණ ප්‍රකට කරවන, ඒ නුගුණයන්ගෙන් ම බැට කන ලෝකයක ඉපදී ගුණ දකිමින්, ගුණ දනිමින්, ගුණ සිහි කරමින් නිවී සැනසී පැමිණ වදාළ ඒ මුනිවරුන්ගේ මාවතට පැමිණෙමින් අපිදු උපකාරයන් කළවුන්ගේ ගුණ දකිමු, කළගුණ සිහි කරමු.