වයස් පන්ති වශයෙන් ජන විකාශය දක්වමින් 2020 වසරේ දී නිකුත් කළ සංඛ්‍යා දත්ත සටහනට අනුව තව වසර දහයක් තුළ ශ්‍රී ලංකාවේ තරුණ ගහනය මුල් තැනට පත් වන බව තහවුරු වී තිබේ. බොහෝ රටවල වැඩිහිටි ගහනය විසින් තරුණ ගහනය ඉක්මවන අගයක් ලැබීම සාමාන්‍ය තත්ත්වය බවට පත්වෙද්දී දශකයක් තුළ ලාංකේය තරුණ ජන ගනත්වය ඉහළ අගයක් ගැනීම අප රටක් වශයෙන් දැඩි අවධානයක් යොමු කොට කළමනාකරණය කළ යුතු සාධනීය තත්ත්වයකි.

ඕනෑම රටක ආර්ථික ක්‍රියාවලියෙහිලා තරුණ ප්‍රජාවගේ සක්‍රීය දායකත්වය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ලාංකේය ඉතිහාසයේ දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව සිටින මේ දුෂ්කර කාලපරිච්ඡේදය වැඩිමනක් තරුණ පිරිසකගේ ජව සම්පන්න මැදිහත් වීමකින් පාලනය කළ හැකි බවට ඉඟියක් මෙම ජනගහන ව්‍යාප්තියෙන් පෙනී යයි. එහෙයින්, ඒ තරුණ ප්‍රජාවගේ දැනුම, කුසලතා, බුද්ධිය ඵලදායී සමාජ ආර්ථික වැඩපිළිවෙළක් වෙත නැඹුරු කරලීම තීන්දු තීරණ ගන්නා පිරිස්වල මුඛ්‍ය වගකීමක් වේ. වගකිවයුත්තන්ගේ කාර්යභාරය එසේ ම ඉටු කෙරේවා!

අනෙක් අතට, ඒ තරුණ ප්‍රජාව රටට දැයට ඵලදායී වූවන් බවට පත් කරලීම සමස්ත සමාජ වගකීම ද වේ. නූතන තාරුණ්‍යය තාක්ෂණික භාවිතාවන්ගෙන් පිරිපුන් වූවකි. තාක්ෂණය යනු සෑම විට ම දෙලොව යහපත සලසන්නක් නොවේ. මිනිසුන් සියදහස් ගණනින් එකවර නසාලිය හැකි බලගතු ආයුධයක් නිර්මාණය කිරීම තාක්ෂණික ව දියුණුවක් ලෙස සැලකෙන නමුදු එහිලා සමස්ත ලෝකයට සැලසෙන යහපතක් නොමැත. එහෙයින් ම ලොව පුරා දියුණු සන්නිවේදන ක්‍රම ඔස්සේ සංසරණය වන දැනුම තුළ යහපත සේ ම අයහපත ද තිබේ. ධර්මය සේ ම අධර්මය ද තිබේ. එපමණක් නොවේ; එතුළ අයහපත සහ අධර්මය අතිශය බහුලව ම තිබේ. නූතන තාක්ෂණික ක්‍රමවේදයනට එහිලා කිරා මැන බලා පෙරා පිරිසිදු කොට යහපත පමණක් සැලසීමේ හැකියාවක් නැත.

තවත් වසර කිහිපයකින් අප රටේ සමාජ ආර්ථික යාන්ත්‍රණය බාර ගන්නා පිරිසට යහපත් දෙයට වඩා අයහපත් දෙය ද ධර්මයට වඩා අධර්මය ද බොහෝ සෙයින්, නිරන්තරයෙන් සමීප වන බව එහි අර්ථය යි. එහි තිබෙන බලවත් අනතුර අප අවතක්සේරු කළ යුතු නැත. අනතුරක් යැයි කියා තාක්ෂණික භාවිතයෙන් දරුවන් බැහැර කරලීම ද කළ යුතු නැත. එය කළ හැකි දෙයක් නොවන අතර කළ යුත්තක් ද නොවේ. ඒ වෙනුවට අප කළ යුත්තේ තමන් පුළුස්සා නොගෙන ගින්දරෙන් වැඩ ගන්නා අයුර ඔවුන්ට කියා දීම ය; එය ඔවුන්ට හුරුපුරුදු කරලීම ය.
යහපත – අයහපත කුමක් ද කුසලය – අකුසලය කුමක් ද කියා විමස විමසා බැලීම අපගේ ශාස්තෘන් වහන්සේ විසින් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කිරීමට පළමු බෝධිසත්ව අවධියේ දී ද පුහුණු කරන ලද්දකි. එය බාල මහලු භේදයකින් තොරව ජීවිත තුළට පමුණුවා ගත යුතු සොඳුරු ගුණධර්මයකි. ආදර්ශයෙන්.ද අවවාදයෙන් ද අප දරුවනට මඟ පෙන්විය යුත්තේ එයට ය. පැවිදි උතුමන්ද ගුණගරුක පුරවැසියන් සියලු දෙනා ද මේ සමාජ මෙහෙවරෙහි සම කොටස්කරුවන් විය යුතු ම ය.

තථාගත ශ්‍රී සද්ධර්මය නිර්මල ව පවත්නා මේ භූමියට වඩා යහපත මුල් බැස ගන්නා, කුසලයට උපකාර සැලසෙනා අන් භූමියක් ලොව කොතැන
ලබන්න ද? පිනෙන් නුවණින් වැඩෙමින්, සිල් ගුණයෙන් බැබළෙමින් තම ජීවිත යහපත තුළට පමුණුවාගෙන මුල්බැස ගැනීමට සලස්වන්නට මේ සා උපකාරයන් අන් කිසි තැනෙක ලැබිය නොහැකි ය. අප දරු පරපුර පළමු කොට උත්සාහවත් කළ යුත්තේ ඒ මඟ වඩන්නට ය. අප පළමු කොට ප්‍රශංසා කළ යුත්තේ ද ඒ මඟෙහි ඔවුන් ලබන දියුණුවට ය. අප හදවතින් ම පළමු කොට ආශීර්වාද කළ යුත්තේ ද එයට ම ය.

උගත්කම් ලෝකයේ විරල නැත. වත්පොහොසත්කම් ද ලෝකයේ විරල නැත. නමුත්, ආධ්‍යාත්මික දියුණුව ලෝකයේ විරල ය. හෙට රට
බාරගන්නා පරපුර ගුණධර්මයන් තුළ පිහිටා ලබන යම් සාර්ථකත්වයක් වේ ද භෞතිකව ද අප නොපිරිහෙන රටක් කරලන ශක්තිමත් පදනම වන්නේ නිසැකව ම එය ම ය.