සිත, කය, වචනය යන තිදොරින් අප අතින් යහපත මෙන්ම අයහපතත් සිදුවෙනවා. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයාට යහපත, අයහපත සිදුවන ආකාරය වදාළේ තමා තුළින් ම ඇතිකර ගත් සම්බුද්ධ ඥානය තුළින්. උන්වහන්සේ පරිපූර්ණ වශයෙන් සසරේ ස්වභාවය අවබෝධ කරගත්තා. ඒ සසරේ ගමන් කරද්දී තිදොරින් සිදුවන වැරදි මොනවා ද? වැරදි නිවැරදි කරගෙන ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේ ද? භාග්‍යවතුන් වහන්සේ ඒ පිළිබඳව පහදා දී ඇත්තේ කුමක් ද? කියා අප මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ කළ සාකඡාවක් මේ.

“පින්වත් මෑණියන් වහන්ස, තිදොරින් සිදුවන වරද කියන දෙයට බුදු දහමේ ඇති නිර්වචනය කුමක් ද?”

“අපි මේ සසරේ සැරිසරා ආ ගමන් මාර්ගය දන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ යි. සත්වයා සුගති, දුගති ලෝකවල සැරිසරන ආකාරයත්, කර්ම විපාකවලට බඳුන් වන ආකාරයත්, තම තමන් අතින් සිදු වූ වැරදි නිසා දුක් විපාකවලට පත්වෙන ආකාරයත් ධර්මයේ සඳහන් වෙනවා. අප කළ කී දේවල්, සිතූ දේවල් නිසාම අප බොහෝ විට විඳවනවා. කර්මය කියන කඩ ඇනයෙන් බැඳී, අවිද්‍යාව, තණ්හාව සමඟ පැටලී යන ගමනක් කියා බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් දැකලයි මේ දේ අපට කියා දෙන්නේ. එනිසා භග්‍යවතුන් වහන්සේ වදාළා කයින් වචනයෙන් මෙන්ම සිතිනුත් මේ දීර්ඝ ගමනේ දී අපට බොහෝ අඩුපාඩු වෙනවා, දුෂ්චරිත සිදුවෙනවා කියා.

සතුන් මරනවා කියන්නේ කාය දුෂ්චරිතයක්. අන් සතු දේ සොර සිතින් ගැනීම කාය දුෂ්චරිතයක්. වැරදිකාම සේවනයේ යෙදෙනවා කියන්නේ කයින් සිදුවන දුෂ්චරිතයක්. ඒ වගේ ම කෙනකු බොරු කියනවා නම්, තමන්ටත් අනුන්ටත් යහපත නොවන හිස් වචන කියනවා නම්, සමඟිය නැතිවෙන – බිඳවන කේළාම් කියනවා නම්, තව කෙනකුගේ සිතේ තිබෙන සැනසීම ශාන්තිය සතුට නැතිවන ලෙස නපුරු වචන කියනවා නම්, ඒ වචනයෙන් වන දුෂ්චරිත යි. ඒ වගේම කෙනෙක් අනුන්ගේ දේට ආශා කරමින් ඒ දේ තමාගේ කර ගැනීමට කැමැත්තක් ඇතිකරගෙන ඒ කැමැත්තට යට වී වාසය කරනවා. තරහා සිතින් වාසය කරනවා ඒවා මනසින් සිදුවන දුෂ්චරිත. මේ සියලු කාරණා වචන තුනකට ගොනු කර භාග්‍යවතුන් වහන්සේ කාය, වචී, මනෝ දුෂ්චරිත ලෙස නම් කළා. මේ දේවල් යම් කෙනෙක් සිදු කරනවා නම් ලැබෙන්නේ දුක් විපාක පමණ යි. භාග්‍යවතුන් වහන්සේ චුතූපපාත ඤාණයෙන් දුටුවා සුචරිත, දුෂ්චරිත කරන සත්වයාගේ උපත පිළිබඳව. ඒ පිළිබඳ උපමාවක් ධර්මයේ මෙසේ සඳහන් වෙනවා. ඇස් ඇති පුරුෂයෙක් හතරමං හන්දියක ඇති උස ගොඩනැගිල්ලකට නැගලා පහළ බලනවා. මිනිසුන් ඒ නිවසින් මේ නිවසට, මේ නිවසින් ඒ නිවසට, හතරමං හන්දියෙන් එක් එක් මාවත කරා යනවා පැහැදිලිව පේනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ ආකාරයට ම මිනිසුන් සුගතියෙන් දුගතියට, දුගතියෙන් සුගතියට, අනේකප්‍රකාර හැලහැප්පීම්වලට මුහුණ දෙමින් දුක, සැප අතර දෝලනය වෙමින් ජීවිත ගත කරන ආකාරය සම්බුදු නුවණින් අවබෝධ කර ගත්තා. කයින් අයහපත කළ විට ඒවා දුෂ්චරිත ලෙසත්, ඒ කයින් ම යහපත් දේ කළ විට සුචරිතය ලෙසත් වර්ග කළා. සතුන් නොමරා සිටීම, සොරකම් නොකිරීම, වැරදි කාම සේවනයේ නොයෙදීම කියන්නේ යහපත් දේ. සුචරිත දේ. ඒ සියල්ල සසරේ සැපය පිණිස, හිතසුව පිණිස උපකාරී වෙනවා. එලෙසම වචනයෙන් මෙන් ම සිතිනුත් සුචරිතවත් දේ කරනවා නම් සැප විපාක ලැබෙනවා කියා දුටු උන්වහන්සේ අපට අනුකම්පා පිණිස ම වදාළා හිතසුව පිණිස පවතින දේ පුරුදු කරන්න, අහිත පිණිස පවතින දේ දුරු කරන්න යනුවෙන්. තවදුරටත් උන්වහන්සේ වදාළා මනසේ ඇතිවන කෙලෙස් ප්‍රබල වීමෙන් කයින්, වචනයෙන් වැරදි සිදුවන බව. කාය සූත්‍රයේ දී මෙසේ වදාරා තිබෙනවා.

“පින්වත් මහණෙනි, කයින් සිදුවන වැරදි නිවැරදි කර ගන්නට තියෙන්නේ කය සංවර කර ගැනීමෙන්. වචනයෙන් සිදුවන වැරදි වචනය නිවැරදි කර ගැනීමෙන් සහ මනසින් සිදුවන වැරදි ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුතු බව උන්වහන්සේ වදාළා. මනසින් තමයි අපි ඊර්ෂ්‍යා කරන්නේ, ක්‍රෝධ කරන්නේ, එකටෙක කරන්නේ. මේ සියල්ල ම සිතේ ඇතිවන දුෂ්චරිත. මේ සියල්ල දුරු කරන්න ඕන ප්‍රඥාවෙන් කියලයි උන්වහන්සේ වදාළේ. භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ට, මිනිසුන්ට කියා දුන් සීලය එකයි. සතුන් මැරීමෙන් වැළකීම කියන දේ දෙවියෙක් වේවා, මිනිසෙක් වේවා ඒක පුරුදු කළ යුතු ගුණයක්. දෙවි මිනිසුන් සියලු දෙනා පුරුදු කළ යුතු නිවන් මගේ සීලය භාග්‍යවතුන් වහන්සේ වදාළේ එකම ආකාරයට යි.

පංචසීලය ගිහි ශ්‍රාවකයා මුලින් ම පුරුදු කළ යුතු සීලය යි. ඉන්පසුව තවදුරටත් සංවර වෙන්න කැමති ශ්‍රාවකයා ආජීව අෂ්ටමක සීලය, සතර පෝයට රහතන් වහන්සේලා අනුගමනය කරමින් උපෝසථ සීලය සමාදන් වෙනවා. තවදුරටත් සංවර වෙමින් නවාංග සීලයත්, එය දියුණු කරමින් දස සීලයත් පුරුදු කරන්න පුළුවන්. ඒ අතරට පැවිදි සාමණේර සීලයත්, තව ඉදිරියට ගොස් උපරිම පාරිශුද්ධ සීලය වන උපසම්පදා සීලයත් තිබෙනවා. ශ්‍රාවකයා තිදොරින් සංවර කර, වරදින් වළකා, ඉතා ඉහළ ආධ්‍යාත්මික මට්ටමක් කරා ගමන් කරන්නට අවස්ථාව දහම තුළ තිබෙනවා. නිවන් මඟ කෙනෙක් පුරුදු කරනවා නම් සිත, කය, වචනය සංවර කර ගන්නවා කියන දේ සිදුවනවා.”

“වරදින් නැගී සිටීම වැරදි නොකරනවාට වඩා බලවත් ද?”

“සුගති දුගති ලෝකවලට මාරු වෙවී සසරට වැටුණු සත්වයා බොහෝ දුර ගමනක් යනවා. සියලුම දෙනා මහගෙදර කරගෙන සිටින්නේ සතර අපාය යි. සසරට වැටුණු සත්වයාගේ මූලික ස්වභාවය වන්නේ වරදට නැමුණු බව. සසරේ පුරුදු ලෙස නැවත නැවත එකම වරද වෙන්න පුළුවන්. සසරේ දෝෂයක් නිසා හෝ අසත්පුරුෂයන්ගේ ඇසුර නිසා බොහෝ ම ගුණ යහපත්, අවංක, අහිංසකව ජීවත් වූ උදවියට සසර ගමන වරදිනවා. අසත්පුරුෂ ඇසුර නිසා බොහෝ විට බොහෝ දෙනාට තමන්ගේ සිතට එකඟ නැති, තමාට සිතීමට පවා අකමැති දේ කරන්නට සිදු වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන විට සිල්වතුන් පමණක් මුණගැසුණේ නැහැ. උන්වහන්සේ ධර්මය වදාළේ පරිපූර්ණ අයට නොවේ. පරිපූර්ණත්වය උදෙසායි ධර්මය වදාළේ.

දිනක් භාග්‍යවතුන් වහන්සේ දම්සභා මණ්ඩපයේ දහම් දෙසද්දී ගැට කපන්නෝ දෙදෙනෙක් මණ්ඩපයට ආවා. ඒ අය ආවේ ධර්මය අහන්න නොවේ. සොරකමට යි. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ සිත් දුටුවා. එක සොරෙකු ධර්මය අසා, ‘මම අදින් පසුව කාගේවත් දේ ගන්නේ නෑ’ කියා සිතුවා. සත්පුරුෂ ඇසුර ලැබුණ නිසා ඔහු සුමඟට ආවා. එදා කිසි දෙයක් සොරකම් නොකර ගෙදර ගියා. ඔහු කය වෙහෙසා වැඩ කරන්න හිතා ගත්තා. ඔහුට ඒ වනවිට සොරකම් කළ අතීතයක් තිබෙනවා. නමුත් ඔහු දිරිමත් වුණා. ඒ අඩුපාඩුව හදා ගත්තා. තමන්ගේ වරද වරද ලෙස දුටුවා. වරද දැක එයින් නැගී සිටිනවා කියන්නේ උතුම් දෙයක්. ශ්‍රේෂ්ඨ දෙයක්. වරදක් කළ කෙනෙකුට නිවැරදි වෙන්න මේ ධර්මයේ අවස්ථාව තිබෙනවා. ධර්මයේ කියා දෙනවා වීර්යය, සිහිය, ප්‍රඥාව උපදවා ගත් කෙනාට නිවැරදි වෙන්න පුළුවන් බව. කෙනෙකුගේ ජීවිතයේ යම් වරදක් වනවිට හෝ අඩුපාඩුවක් සිදු වනවිට ඒ වරද නොකර එයින් නැගී සිටින්නට ඔහු ඇසුරු කරන සමාජය බාධාවක් වෙන්න පුළුවන්. හිත ඇතුළේ ඉපදෙන කෙලෙස්, නොපෙනෙන ලෝකයේ පීඩා, ආර්ථික ප්‍රශ්න ආදිය ඉදිරියේ නැවත හැරෙන්නට ලොකු පීඩනයක් එනවා. ඒ සෑම දේම යට කරගෙන නිවැරදි වෙන්න මහා බලවත් වීර්යයක් තිබිය යුතු ම යි. සිහිය බලවත් කර ගන්න ඕන, ප්‍රඥාව වඩන්න ඕනෑ, තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව බලවත්ව තිබෙන්න ඕන ඒ අඩුපාඩු වළක්වා ගන්න. එසේ බලවත් වීර්යයක් උපදවනවා කියන්නේ පින මත ම පිහිටි හැකියාවක්. වරදින් මිදුන බොහෝ දෙනා අපට ධර්මයේ දී මුණගැහෙනවා. ඒ වගේ ශ්‍රාවිකාවක් තමයි සිරිමා කියන නගරශෝභිනිය. ඇය රූපය නිසා ජීවත් වූ තැනැත්තියක්. ඇයගේ පහස පතාගෙන බොහෝ සිටුවරු, මැති ඇමැතිවරු ආවා. ඇය වෙනස් වුණේ ධර්මය අහල යි. එසේ වෙනස් වෙද්දී එතුමියගේ රූපයට බැඳුන සල්ලාලයෝ කොතරම් ඇයට බාධා කරන්න ඇද්ද? ජීවත්වන ආදායම් මාර්ගය නතර කරන්නට මොනතරම් ශක්තියක්, ප්‍රඥාවක්, කෙතරම් වීර්යයක් ඕන ද? එතුමිය අඩු වයසින් කළුරිය කර තව්තිසා දෙව්ලොව උපන්නා. දිනක් ඒ දේවතාවිය භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්නට පැමිණියා. එකත්පස්ව හිඳ මෙසේ කියා සිටියා. “ස්වාමීනි, මම දැන් ධර්මය දියුණු කරමින් සිටින්නේ. උතුම් සමාධිය තමයි මගේ කුසල යානය වුණේ. ස්වාමීනි, සමාධිය තුළ පිහිටලා තමා මම දහම් මාර්ගයේ අංග වැඩුවේ.” කියලා. සුළු කාලයකට පෙර ඇය නගරශෝභිනියක්, සල්ලාලයන් පිරිවරාගෙන සිටි තැනැත්තියක්. පරිසරයෙන්, තමන්ගේ කෙලෙස්වලින්, අතීතය සිහිපත් වීමෙන් ඉපදෙන දුක්ඛ දෝමනස්සයන් සියල්ල අමතක කොට ඇය බුදු සසුනේ සමාධිය වැඩුවා. සමාධිය තුළ පිහිටලයි දහම් මග දියුණු කළේ. එහෙමනම්, වරදින් අත්මිදෙනවා කියන්නේ කොතරම් ශ්‍රේෂ්ඨ දෙයක් ද? වරදක් නොකර සිටිනවා කියන්නෙත් ඒ වගේම ශ්‍රේෂ්ඨ දෙයක්. මේ වගේ යුගයක පංචසීලය ආරක්ෂා කරගෙන සිටීම කියන්නේ සසරේ පුණ්‍ය විපාකයක්. එනිසා වරදක් නොකර සිටීම මෙන්ම වරදින් නැගී සිටීම කියන කරුණු දෙකම ශ්‍රේෂ්ඨ යි.”

සටහන – නයනා නිල්මිණි