නමෝ බුද්ධාය!

මහාමේඝ කියවන අයට යහපතක් ම වේවා! මම මේ ලිපිය ලියන්න හිතුවේ මහමෙව්නාවෙන් මා හට ලැබුණු මහා යහපත සිහි කොට පින් අනුමෝදන් කරන්නත්, ඒ වගේ ම බඹසරට ආස කෙනෙක් ඉන්නව නම් ඒ කෙනෙකුට මගේ කතාව යම් උපකාරයක් වේවි කියාත් සිතුන නිසාය.

මම ධර්මය අහන ශ්‍රාවිකාවක්. මම ධර්මය ඇහෙන්න කලින් සල්ලාලයන්ට ආස කරපු, සල්ලාලකම් කළ, රාගයෙන් උමතුව සිටි කෙනෙක්. ඒත් දැන් මම ධර්මය අහල උතුම් බඹසරින් මගේ කිලිටි ජීවිතය සෝදා ගත්ත කෙනෙක්. මේ උතුම් බුද්ධ ශාසනය කොයිතරම් සුන්දරයි ද? මේ යහපත අපට සැලසූ අපේ ගුරු දෙවිඳුන්ට අපි කොපමණ ණයයි ද?

යම් හේතුවක් නිසයි මම වැරදි මඟට යොමු වුණේ. මගේ නීච හිත සල්ලාලයන්ටමයි ආස කළේ. පහත් මිනිස්සුන්ට මම කැමති වුණා. ඒ කාලේ ගැන විස්තර ඕන නෑ. මං ගැන බලන්න කෙනෙක් හිටියේ නෑ. හිටියත් මම කපටි වුණා හැම දෙයක් ම හංගන්න. ඔය අතරෙ තමයි මට අහම්බෙන් මහමෙව්නාවෙන් ධර්මය අහන්න ලැබුණේ. මගේ නරක ජීවිතේ මට තේරුණා. ඒත් නතර කර ගන්න බෑ. ඒත් මම අත්හැරියේ නෑ. මගේ පහත් ගති මං කොහොම හරි නැති කර ගන්නවා කියලා දැඩිව හිතට ගත්තා. නිතර ධර්මය ඇහුවා. අසපුවට සම්බන්ධ වෙලා පිංකම් කර ගත්තා. රාගය දුරුකරන්න හදනකොට රාගය ම මතු වෙනවා. ඒත් මං සංවර වුණා. ධර්මය අහන්න අරන් පහළොස් වසරක් වෙනවා. මේ කාලෙට මගෙන් වැරදි වුණේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්. ඒ වුණ වැරදි ගැන මං පසුතැවෙන්නෙත් නෑ. මොකද ගඟේ ඉහළට පීනද්දි ටිකක් හරි පහළටත් ඇදෙනවා කියලා මම හිතුවා. ඒක පීනන කෙනා පසුතැවීමට ගන්න ඕන නෑ කියලා හිතුවා. පව්කාර ජීවිතෙන් මිදෙන්න මං ගත්ත වීරිය ඊට දහස් ගුණයක්.

රාග අධික චරිතයක් වෙලත් මම බඹසර රැක්කා. අසුභයයවඩන්නන යද්දී රාගය ම බලවත් වෙවී ආවා. මම අනිත් අයට දුන්න රාගය ම මට දැන් හරස් වෙනවා. මම සෑයක් ගානේ අඬ අඬා ගියා. පිවිතුරු ජීවිතයක් පැතුවා. අසපුවෙන් අසපුවට ගියා. මෑණිවරුන්ට දුක කිය කියා සිල් සමාදන් වුණා. මම පොල්ගහවෙලටත් ආවා “නරක ගැහැනියකට ලොවේ ඇති ලොකු ම දඬුවම කුමක්ද?” කියල අහන්න. ඒත් අවස්ථාවක් ලැබුණේ නැහැ. අසුභය වැඩුවොත් රාගය දුරුවෙනවා කියලා මම අහලා තියෙනවා. ඒත් මට ඒක කරගන්න බැරි වුණා. මට නොහැකි වූ පලියට මම ධර්මයට කවදාවත් ම ගැරහුවේ නෑ.

සංසාරේ බොහෝ කලක් මම නරක ගෑනියක් වෙන්න ඇති. මම ඉවසලා කොහොම හරි ගොඩ යනවා කියලා හිතුවා. රාගය කියන්නේ පුදුම ගින්නක්. මම මේ හිත පාලනය කරන්න ගිහින් ගොඩක් ඇඬුවා. වෙලාවකට පිහියක් අරන් බෙල්ල කපා ගන්න හිතුණා. ඒත් මම අසපුවට යන කෙනෙක් නිසා මහමෙව්නාවේ ගුණ හිතලා ජීවිතේ වටිනාකම හිතලා හිත හදා ගත්තා. කෙනෙකුට කියන්න බැරි තරම් නීච සිතුවිලි සිතට ආවා. මම දරාගෙන හිටියා. මෝර පිරිත තමයි නිතර කිය කියා හිටියේ. මම මේවා අනිත්‍යයයි කියන ධර්මය විශ්වාස කළා.

මම දවසක් මේ හිත පාලනය කරගන්න උත්සාහ කළා රෑ එළි වෙනකල්. ඉරියව් තුනෙන් හිටියා, බැරිවෙලාවත් මම නිදා ගත්තොත් බඹසර කැඩෙයි කියලා. එච්චර වීරියෙන් සිල් රැක්කා.

මේ අතර දවසක් මම ප්‍රසිද්ධ පන්සලක් ළඟ වුවමනාවකට මහ අව්වේ හිටගෙන හිටියා. ඒ වෙලාවේ මගේ හිත ඇතුළෙන් අණ කිරීමක් ආවා. “ඒයි. උඹට ලැජ්ජ නැද්ද? අර බෝධීන් වහන්සේනමක් වැඩ ඉන්නව නේද? බිම බෝපත් පිරිලා. ඇහිඳපන්” මම හිතුවා ‘අප්පෝ බෑ අව්වයි. කකුල් පිච්චෙයි’ කියලා. හිත කිව්වා “ආ…. ඇත්ත ද? තියාපිය බෑගය පැත්තක. වර යන්ට. මං කියන දේ කරපිය. බෝ පත් ඇහිඳපං”. මම බෝ පත් ඇහින්දා. කකුල් පිච්චෙනවා. මට හිතුණා අමාරුයි කියලා. ආයෙත් හිතට අණක් ආවා. “තොට මතක නැද්ද තෝ වේතරණී නිරයේ පිච්චුණ විදිහ. ඒ වේදනාව. උඹ කරපු වැරදිවලින්මයි ඒකේ දුක් වින්දේ. බෝ පත් ඇහිඳලා කකුල වේදනයි කියලා ඒ නිරයට වැටෙනව ද? බොල, තොගේ නීච ගති නැති කර ගන්න මේවා පුරුදු වෙයං. තෝ කලින් බෝ පත් ඇහිඳලා තියෙනවා. ඒ පුරුද්ද දියුණු කරලා නීච සසර පුරුද්ද නැතිකර ගනිං.” මං දවල් එකට විතර පිච්චි පිච්චී මුළු බෝ මළුව ම ශුද්ධ කළා. පුදුම සතුටක් ආවා. බෝ සෙවණේ ලස්සන පැතුමක් පැතුවා. මම දන්නේ නෑ කොහොමද හිතුණේ කියලා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට සෙවණ සලසාලූ උතුම් බෝධීන් වහන්සේට උපස්ථාන කිරීම නම් වූ සසර පුරුද්දක් වේ නම් ඒ සසර පුරුද්දෙන් වැරදි කාම සේවනය නම් වූ නීච ගතිය සිඳින්නෙමි. නිවන් දකින තුරු බෝධි උපස්ථාන කරන්නෙමි.” කියලා දැඩිව ම හිතුවා. ධර්මය ජීවමානයි. එදා තමයි මට පියවි සිහිය ආවේ. එදා ඉඳලා බෝධීන් වහන්සේලාට උපස්ථාන කර කර නීච ගති සිඳීම ම පැතුවා”.

ඒත් මේ හිත වංචාකාරීයි. චපලයි. සිත රැකීම ලේසි නෑ. ඊට පස්සේ මගේ ම ශරීරයෙන් ආස්වාදය හොයන නීච සිතිවිලි එන්ට පටන් ගත්තා. මට ආයෙත් පුදුම අවස්ථාවක් ලැබුණා. මම යශෝධරා උත්තමාවියගේ සෑය තියෙන වෙහෙරට ගියා. කියන්න කෙනෙක් හිටියේ නෑ. තනිව ම ගියා. සෑය දිහා බලාගෙන අඬ අඬා දුක කීවා. මගේ බඹසරට ආශීර්වාද කරන්න කියා අඬ අඬා වැන්දා. තවත් දවසක මහා කස්සප මහරහතන් වහන්සේගේ විරාගී බව සිහි කර කර පැන් පිදුවා. ඒ අතර බෝධි උපස්ථානය කළා. නිතර ධර්මය ශ්‍රවණය කළා. මේවා එක දවසක් දෙකක් නෙවෙයි. දැනටත් කරනවා. නතර කරන අදහසකුත් මට නෑ. ටික ටික පුදුම විදිහට මගේ හිත බඹසරේ පිහිටියා. මගේ ශරීරය ගැන රාග සිතිවිලි එනකොට උතුම් යශෝධරා උත්තමාවිය සිහි කරනවා. එසැණින් රාගය නැති වෙනවා. ඒ උත්තමාවියගේ පිවිතුරු බව අසිරිමත්. ඒ උත්තමාවී මට සරණ වුණා.

සාදු! සාදු! සාදු! මාගේ වැඳුම වේවා!

බෝ පත් ඉවත් කරලා මළුව පිරිසිදු වෙනකොට මම භාවනා කරන්න ගත්තා. අසුභය වැඩුවා. දැන් කරන්න පුළුවන්. ගොඩක් මම කැමති නවසීවථිකයට. මළ මිනියක් කුණු වෙලා යන දිහා බලාගෙන හිතෙන් තම කයට ගළපා මම භාවනා කරනවා. දැන් හොඳට පුළුවන්. ධර්මය ජීවමානයි. රැකීරස්සා අතරෙයි මං මේ යුද්දෙ කළේ. තනි නොතනියට ධර්මය විතරයි. පව්කම් කරද්දී කට්ටිය ළඟ හිටියට ඒවායින් මිදෙද්දී තනි වෙනවා. කවුරුත් නෑ. අනෙක් අය හිටියත් මොනවා කරන්නද?

මගේ හිත නොමඟ යනකොට ධර්මයෙන් ම හිතට සිහි කරලා දෙනවා උඹ බඹසර රකින කෙනෙක්. යශෝධරා රහත් උත්තමාවිය ළඟ ඉන්න කෙනෙක්. බෝධීන් වහන්සේට උපස්ථාන කරන කෙනෙක්. උඹට ලැජ්ජා නැද්ද කියලා. ආයෙ හිත සංසිඳෙනවා.

මේ හිත විශ්වාස නොකළ යුතුයි. මම සිහියෙන් ඉඳලා හිත දිහා බල බලා හිටියා අවුරුද්දක් පුරා. හිතට එන රාග සිතිවිලි ගණන් කරන ප්‍රමාණයෙන් ඉවර වුණා. සමහර මාසවල රාග සිතක්වත් උපදින්නේ නෑ. එහෙම ඉඳලත් අළු යට ගිනි පුපුරු වගේ වෙලාවකට මතු වෙනවා. මගේ හිත කොපමණ ශාන්ත වුණත් මම හිත විශ්වාස කරන්නේ නෑ. නිවන් දකිනකල්ම හිත විශ්වාස කරන්නේ නෑ. මම හොඳට බඹසර රකින කෙනෙක් දැන්. ඒත් මගේ ප්‍රතිපදාව ඒ විදිහට ම කරනවා. බෝධි උපස්ථානය, විරාගී මුනිවරුන්ට වන්දනා කිරීම, නිතර ධර්මය ශ්‍රවණය කිරීම, ගුරුවර සත්පුරුෂ උතුමන්ගේ ගුණ සිහි කිරීම වගේම මහමෙව්නාවෙන් ලද දහම් දායාදය, ගුරු ඔවදන් මේවා නිතර සිහි කරනවා. මම යහපත් වුණේ හිත නිසා නෙවෙයි; ධර්මය නිසා. අත් නොහරින වීරියෙන් වඩපු අසුභය මාව යහපත් කළා. උදේ හවස මෝර පිරිත, අංගුලිමාල පිරිත සජ්ඣායනා කරලා පිරිසිදු ජීවිතයකට ආශීර්වාද පැතුවා. නොපෙනෙන ලෝකයෙන් උදව්වක් මට ලැබෙන්නත් ඇති. මං ඒ ගැන දන්නේ නෑ. මේ හැම දෙයක් ම ධර්මයේ හාස්කම්. මට තිබුණේ අවංකව ම වුවමනාව හා ධර්මයට කීකරු වීම.

බලන්න සල්ලාල කෙල්ලෙක් දහමෙන් සැනසුන හැටි. මගේ හිත ගැන දැන් තියෙන විස්තර මම ලියන්නේ නැත්තේ මම හිත විශ්වාස නොකරන නිසා. ධර්මය නම් ශ්‍රේෂ්ඨයි. මටත් පුළුවන් වුණානේ සැනසෙන්න.

මේ සියල්ල අපේ මහමෙව්නාවේ ගුරුදේවෝත්තමයන් වහන්සේ නිසයි. මොහොතක් පාසා මම රැස් කරන පින් කලණමිතුරු ඇසුර ලබා දෙන ගුරු දෙවිඳුට අනුමෝදන් වී දීර්ඝායුෂ වේවා! නිවන ම ලැබේවා! සත්පුරුෂ ඇසුර ම මා හට ලැබේවා! මම නම් නිවන් දකින මොහොත දක්වා ම බඹසර පතනවා. මහමෙව්නාවේ දහම් හඬ හිස් නෑ. මේ කියවන ඔයාලත් ජීවිතයට යමක් ගන්න තියෙනවා නම් ගන්න. ඒ නිසයි ලිව්වේ. නවතිමි.

මම දහම පුරුදු කරන ශ්‍රාවිකාවක්…