ලොව සියල්ල වෙනස් වන්නේ ය. නමුත් සත්‍ය කිසිදා වෙනස් නොවේ. ධර්මය යනු සත්‍යය යි. සත්‍ය වැසී තිබෙන්නට පුළුවන. එනමුත් වෙනස් නොවේ. කාලයේ වැලි තලාවෙන් තථාගත ශ්‍රී සද්ධර්මය ද වැසී තිබුණි. ඒ උත්තම සදහම් නිධානය නැවත පාදා දුන්නේ මහමෙව්නාවෙනි. එය අවිවාදයෙන් ම පිළිගත යුතු සත්‍යයකි. අතුපතර විහිදී ගිය සුවිශාල නුගරුකක් සෙයින්, දුක් පීඩා විඳින මිනිසුන්ට සද්ධර්මය නමැති සිහිල් සෙවණ ලබාදුන්නේය. ඒ සද්ධර්මය නමැති සෙවණේ සැතපී ජනයා සැනසීමකට පත් විය. මහමෙව්නාවෙන් ඇද හැලෙන අමා වැස්සෙන් බොහෝ මිනිස්සු සුවපත් වූහ. බොහෝ අය පිපාසය සිංසිඳුවා ගත්හ. මම ද ඒ මහමෙව්නාවෙන් ඇදහැලුණු අමා වැස්සෙන් තෙමුණු කෙනෙක්මි. ඒ සිසිල් සෙවණේ සැතපී සැනසීමකට පත් වූ කෙනෙක්මි. මම මේ කථාව ලියන්න හිතුවේ මම වගේ අසරණ භාවයට පත්වුණු, දුක් පීඩා විඳින ජීවිතවලට ධර්මයේ පිළිසරණ ලැබේවා යන අදහසිනි. තමන්ගේ ප්‍රශ්නයට මේ ලෝකේ විසඳුමක් නෑ කියලා සිතා සිටින අය වෙනුවෙනි. එසේම තථාගත ශ්‍රී සද්ධර්මයේ තිබෙන ආනුභාවය කොයිතරම් සත්‍යයක් ද යන වග බොහෝ දෙනාට දැනගැනීම පිණිස ය. මේ මගේ සත්‍ය ජීවිත කථාවයි.

මම දැන් අවුරුදු 22 ක තරුණියක්. අවුරුදු 21 දී ජීවිතය හිතුවක්කාර ලෙස ගතකළ නිසා දෙමාපියන්ගේ ද සිත් බිඳ දමා සියල්ලන්ගේ ම අප්‍රසාදයට ලක් ලක්වන්නට මට සිදුවුණා. මම සැබෑ ආදරය සෙවීමට ගොස් බොහෝ සේ දුක් වින්දා. මා ළඟට ආ සියලු පෙම්වතුන්ට අවශ්‍ය වූයේ හුදෙක් මා සමග කායිකව එක්වීම පමණයි. මා එයට අකැමති නිසා බොහෝ අය මා හැරදමා ගියා. ඒ නිසා ඇති වූ වේදනාවට මම විසඳුම් සෙව්වා. අවුරුද්දක් ඉංජිනේරු පාඨමාලාවක් හදාරා සිටියත්, අවසානයේ විභාගය ලිවීමටවත් ගියේ නැහැ. රැකියාවක් නැතුව මා කරන කරන දේ අසාර්ථක වුණා. දවසට තුන් හතර වතාවක් අසභ්‍ය දර්ශන බලමින් සතුටු වීමේ තවත් නරක පුරුද්දකට මම ඇබ්බැහි වෙලා හිටියා. මම මේ ආකාරයේ කාලකණ්ණි ජීවිතයක් ගත කරපු එකියක්.

මේ හැමට ම වඩා මා සිත තුළ දැවෙන ප්‍රශ්නයක් තිබුණා. මට වයස අවුරුදු පහළොවේදී, එනම් යෞවන වියට එළඹෙද්දී ම මගේ කකුලේ දණහිසෙන් පහළ සැරව ගලන, සුව නොවන තුවාල එන්න පටන් ගත්තා. වළලුකරට උඩින් දණහිසට පහළින් එක දදයක් තිබුණා. තව තව ඒක වැඩිවුණා. මුළු කකුල පුරා ම දදය පැතිරී ගියා. ඒ නිසා එය නොපෙනෙන ලෙස මම කකුල් වැහෙන්න දිගට ඇන්දා. නමුත් කාලයක් යද්දි එය කකුලේ පිටිපතුල්වලටත් ආවා. දකින දකින අය අප්‍රිය කළා. බෙහෙත් කරන්නෙ නැද්ද ඇහුවා. මූණ දිහා බලලා හිනාවෙන මිනිස්සු කකුල් දෙක දැක්කම අහක බලනවා. අප්‍රිය කරනවා. අවසානයේ මම ගෙදරින් එළියට නොගිහින් හිටියා. මට ලැජ්ජයි. මට අවුරුදු 21 වන තුරු මෙම රෝගය තිබුණා. සිංහල, ඉංග්‍රීසි නොකරපු බෙහෙතක් නෑ. සෑම පෝයකට ම පමණක් මම ටීවී එකේ යන බණක් අහනවා. එක් පෝය දවසක බණ කියපු හාමුදුරු නමක් දීපු උපදේශයකට අනුව මම ෆෝන් එකෙන් ධර්ම දේශනා අහන්න පෙළඹුණා. වාසනාවකට වගේ පළමුවෙන් ම මට අසන්නට ලැබුණේ මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් කළ දේශනාවක්. මහමෙව්නාවෙන් මගේ ඇස් ඇරුණා. දේශනා තව තවත් මට අහන්නට ආස හිතුණා. පින ගැන අහලා මටත් චෛත්‍යයක් සෑදීමට දායක වන්නට ඇත්නම් කියලා දැඩි ආශාවක් ඇති වුණා. අංගුලිමාල මහසෑයට උදව් වෙන්න මං ගාව මුදල් තිබුණේ නෑ. මොකද අපි ගොඩාක් දුප්පත්. තාත්තා කුලී වැඩ කරන්නේ. ඒ සල්ලිවලින් තමයි අපි ජීවත් වුණේ. මේ අතර අහම්බෙන් වගේ නමුත් මෙවැනි දෙයක් සිදුවුණා. අපේ ගමේ පන්සලේ චෛත්‍යයක් තිබුණේ නෑ. එකපාරට ම මිනිස්සුන්ට අවශ්‍ය වුණා චෛත්‍යයක් හදන්න. දායක සභාව රැස්වෙලා චෛත්‍යය හැදීමට විවිධ කාර්යයන් කණ්ඩායම් වශයෙන් බෙදලා දුන්නා. අපේ අම්මා හිටපු කණ්ඩායමට තිබුණේ චෛත්‍යයට මුල්ගල තියන්න ඉංජිනේරු ගඩොල් 150 ක් ලබාදීමට යි. ගඩොල් ගෙන්වන්න ලොකු වියදමක් යන නිසා කොහොමද කරන්නේ කියලා සාකච්ඡා කළා. එතකොට මම කිව්වා අපි ගඩොල් කපලා දෙමු කියලා. කොහොම හරි හැමෝම ඒකට කැමති වුණා. පහුවදා ම ගඩොල් කපන්න තැනක් සූදානම් කළා. පළමුවර මම ගඩොල් කපන්න හදද්දි ගෙවල් ළඟ කාන්තාවක් නෝක්කාඩු කීවා. මම ගෙදර ගිහින් මටත් අවස්ථාවක් එනතුරු බලා සිටියා. මුලදි කට්ටිය පොරකකා ආවත් පහුවෙද්දි කවුරුත් නෑ.

මට ධර්ම දේශනාවකදී අහන්න ලැබුණා භද්‍රාකාපිලානි තෙරණිය එක්තරා ආත්මයක පසේබුදුරජාණන් වහන්සේ නමකගේ පාත්‍රයට මඩ දාලා සමාව ගත් කථාව. මට මෙහෙම හිතුණා. ‘කොතරම් වෙදකම් කළත් මගේ කකුල් හොඳ නොවුණේ මමත් තිසරණයට වරදක් කරලා ඇති. මමත් සමාව ගත යුතුයි’ කියලා. මේක මගේ හිතේ තිබුණා. එක දවසක් මම ගඩොල් කපන තැනට ගියා. එවේලේ වැඩ කර කර හිටියේ එක පිරිමි කෙනයි, කාන්තාවන් තුන් දෙනයි. මගේ අම්මාගේ අතේ තිබුණු උදැල්ල අරගෙන මමත් පස් කැපුවා. දැන් පස් පාගන්නයි සූදානම. මම ගොඩාක් ආශාවෙන් මැටි පෑගුවා. ‘පාගන පාගන මැටි අංශුවක් ගානේ සසරේ මම අතින් තිසරණයට වරදක් වෙලා ඇත්නම් මට සමාව ලැබේවා. ඒ නිසා නම් මගේ කකුල්වලට මෙහෙම වුණේ, අනේ මට හොඳ වේවා!’ කියලා එය ම සිත සිතා මම මැටි පෑගුවා. විශ්වාස කරන්න! අවුරුදු 6 ක් මගේ කකුල් තුවාල වෙවී, බිබිලා දාලා ඒවා කසලා පුපුරලා, ලේ සැරව ගලනවා. මගේ කකුල් කසන්නෙ නැතුව තිබුණ වෙලාවක් නෑ. කසලා නියපොතු සැරට ඒවා දනවා. කායිකව, මානසිකව, සමාජයෙන් අතිවිශාල දුකක් වින්දා. මැටි පාගලා සතියයි මගේ කකුල වේලිලා. වෙනදා මගේ අත්වල, ඇඟේ කොහේ බිබිලක් දැම්මත් එතන තුවාලයක්. මගේ අත් දෙකෙත් ආවා. ඉකිලි කිහිලිවලත් එහෙම තිබුණා. ඒත් දැන් පොඞ්ඩක්වත් එහෙම නෑ. චෛත්‍යය හදලා ඉවර වෙද්දි මගේ රෝගය සුවවෙලා. දැන් පුංචි කැලලක් පමණක් තියෙනවා. ඒක මට ගානක් නෑ. මට විශ්වාසයි එදා මැටි පාගපු දවසේ ඉඳන් තමා මගේ අසනීපය හොඳ වුණේ. මේ බණ පද කියා දෙන ස්වාමීන් වහන්සේලාට පින් සිදු වේවා! අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියගේ කතාව මම මා තුළින් දුටුවා.

තවත් විශේෂ දෙයක් පැවසිය යුතුයි. මා වැඩිවියට පත්වී ටික කලක් ගිය පසු මට දෝෂයක් ඇතිවුණා. එනම් එක් වර ම මට දැඩි නිදිමතක් එනවා. ඒ නිදිමත ආපු ගමන් මගේ ඇස් පියවෙනවා. මගේ මුළු ඇඟ ම ගල් වෙනවා. මට හැරෙන්නවත් බෑ. අඩුම ගානේ මට මගේ ඇඟිල්ලක්වත් හොලවන්න බෑ. මගේ ශරීරය ගල්වෙන මොහොතේ මට දැනෙනවා කවුරුහරි මං ළඟට එනවා කියලා. පේන්නේ නෑ. නමුත් දැනෙනවා. ඒ කෙනා ළං වෙද්දී මගේ කන් දෙක ළඟින් වේගයෙන් හුලං පාරක් යන බවත් මට දැනෙනවා. මොහොතකින් මගේ ඇඟට බරක් දැනෙනවා. පැවසීමට නොහැකි යම් දෙයක් මට සිදුවෙනවා. මම ඇස් ඇරගෙන සිටිද්දිත් මෙය සිදුවෙනවා. මට ඇහිපිල්ලමක්වත් ගහන්න බෑ. විටෙක රාත්‍රී කාලයේත්, විටෙක දහවල් කාලයේත් මෙය සිදුවෙනවා. රාත්‍රී 12.00 ට හෝ 12.00 පසු වී අළුයම් කාලයේදීත් සිදුවෙනවා. ඒ අවස්ථාවේදී ‘ඉතිපි සෝ…’ ගාථාව සිතුවත් එය නැති වුණේ නෑ. කෙසේ නමුත් මෙය සිදුවෙනවාට මං අකැමැති වුණා. ඒ නිසා එය මට වෙන්න යනවා කියලා දැනෙද්දිම මම ෆෝන් එකෙන් රතන සූත්‍ර සජ්ඣායනාව ඇහෙන්නට සැලැස්සුවා. එවිට එය සිදුවන්නේ නෑ. එහෙත් දිනක් එය දැමීමට නොහැකි වූ අවස්ථාවක ආයෙත් ඒ දේ සිදු වුණා. සිතින් බුද්ධං සරණං ගච්ඡාමි කියලම හිතුවා. එක්වරම මට දේශනාවක අහපු උදය ජාතකය මතක් වී මෙලෙස සිතුවා. ‘මගේ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලයේ යශෝදරා උත්තමාවිය සමඟ එක යහනේ අවුරුදු 700 ක් සිටියා රාග සිතක් උපද්දවන්නේ නැතුව බ්‍රහ්මචාරීව. එය සත්‍යය යි…! සත්‍යය යි…!! සත්‍යය යි…!!! එම සත්‍යානුභාවයේ බලයෙන් මෙම දෝෂය නැති වේවා!’. මම එය ම ගැඹුරින් ම හිතුවා. එය සිතුවා පමණයි එක් වර ම මගේ ඇඟ හිරවෙලා තිබුණු, ගල් වෙලා තිබුණු බව නැති වුණා. ඒ වගේ ම මට දැනුනා අර දෝෂය මගේ ඇඟෙන් විසිවෙලා ගිහින් අළුවෙලා ගියා වගේ. නැවත කිසි දවසක මට ඒ දේ සිදු වුනේ නැහැ. මා මේ පැවසූ සියල්ල ම සත්‍යය යි.

මට තිබුණේ කලුකුමාර දෝෂය කියලා මම පස්සෙයි දැනගත්තෙ. මටත් මේ දෝෂය ආවෙ මම ලොකු ළමයෙක් වුණ කාලෙ. ඉස්සර මිනිස්සු ඒ කාලෙට ගෑණු දරුවන්ව ආරක්ෂා කරන්නෙ ඒකයිලු. ඒ දෝෂය ආවාම සමහර ගෑණු ළමයිගෙ ඇඟෙන් ඒ නොපෙනෙන බලවේගය සතුටු වෙනවලු. නොපෙනෙන දෙයක් නිසා ගොඩක් අයට ඒක තේරෙන්නෙ නැහැ. පස්සෙ කාලෙක කුසේ දරුවන් පිළිසිඳ නොගැනීමටත්, දරුවන් ගබ්සා වීමටත් ඒ දෝෂය බලපානවා කියලා මම අහල තියෙනවා. මගේ යාළුවෙකුටත් ඔය ප්‍රශ්නෙ තිබුණා. මම එයාව රුවන්වැලි සෑයට යැව්වා. ජීවිතය පූජා කෙරෙව්වා. මම කළා වගේ සත්‍යක්‍රියා කරලා අංගුලිමාල පිරිත, රතන සූත්‍රය කියලා හැමදාම උදේ හවස පිරිත් පැන් බොන්න කිව්වා. එයා හැමදාම රෑට බුදු පහන තියලා ආලවක පිරිත කියනවා. එයාට දැන් හොඳටම සනීපයි. ඉස්සර එයාට ගොඩක් තරහ ගියා. ෆෝන් එකට අබ්බැහි වෙලා හිටියා. හිතුවක්කාරයි. ගොඩක් නිදාගන්නවා, මූණත් කළු වෙලා තිබුණෙ. සමහර දවස්වලට ඇඟේ හීරුම් පාරවල් තියෙනවලු. දැන් ඒ ඔක්කෝම හරි. අපි අපේ වැරදි හදාගත්තා. අපි පතන්නෙ සත්පුරුෂ ඇසුර ම යි.

තවත් අප වැනි අඳුරු වෙලා තියෙන ජීවිතයකට, අසරණ වෙලා තියෙන ජීවිතයකට ආලෝකයක් ලබා දීම උදෙසායි මා මේ ලිපිය මහාමේඝ පත්තරයට ලියන්න සිතුවේ. ඇත්තෙන්ම මේ ධර්මය පුදුම සහගතයි. මේ ලෝකයේ යමෙක් ලෞකික හෝ ලෝකෝත්තර සැපයක් ලබන්නේ නම් ඒ සියල්ල ම ධර්මයෙන් මිසක් අධර්මය නිසා නොවේ. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ “වාසෙට්ඨයෙනි, මෙලොවත් පරලොවත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වන්නේ ය” කියලා. මේ ධර්මය සංසාර සාගරයෙන් එතෙර වීමට ඇති නෞකාවක් වගේ. තුන් ලෝකයේ ම සියලු රසයන්ට වඩා දහම් රසය යි උතුම්. සියලු උපද්‍රව විනාශ කරන දිව්‍ය ඖෂධයක්. සිතූ සිතූ දේ සිද්ධ කරන සිතුමිණි රුවනක් හා සමානයි. මේ ධර්මය ම යි ආරක්ෂා ස්ථානය. මේ ධර්මය ම යි පිළිසරණ. එනිසා සියලු ම මිනිසුන්ට මේ ධර්මය ම ඇසෙත්වා! මහමෙව්නාවෙන් ඇද හැලෙන ඒ අමා වැස්ස බොහෝ කල් වසීවා! මහමෙව්නාවෙන් ඇසෙන දහම් ඝෝෂාව දස දිසාවේ ම චිරාත් කාලයක් ඇසේවා! යන්න මගේ පැතුම යි.

මම ධර්මය අසන තවත් දියණියක්.