highlights of the week
Home » සත්‍ය කතාවක් » දුකින් පිරි දිවියට අමා ඔසු ලැබුනා….

දුකින් පිරි දිවියට අමා ඔසු ලැබුනා….

පටාචාරා වගේ පිරිමිත් දුක් විඳිනවා කියලා ඔයාලා අහල නැතිව ඇති. මේ කතාව ලියන මම ස්වාමීන් වහන්සේ නමක්. පිටිසර පළාතක කැලේ ආරණ්‍යයක වැඩ ඉන්නේ. වෙන ආරණ්‍යයක මහණ වුනත් මම මහමෙව්නාවට ආදරෙයි. මේ කතාව මුල සිටම කියවන්න…

ආදරය සෙනෙහස මට මොටද මේ නැති වුනේ
කුමන කර්මයක් කළාට ද මේ දුක් සෝ සුසුම් මට හිමි වුනේ
මගේ වාසනාවකටයි බුදු දහම කියාදෙන ගුරු දෙවිඳු මට හමු වුනේ
මේ සසරෙ විඳි දුකින් බිඳුවක් කියාගන්නට අවසරයි මගේ බුදු සමිඳුනේ

අම්මා නැලවිලි ගීයක් කියමින් පුංචි මල්ලිව නිදි කරවමින් සිටිද්දී, මමත් හෝඩි පොතේ අයන්න ආයන්න කියමින් ඒ වෙලාවෙ සිටියේ. තාත්තා ටික වෙලාවකින් කුණුහරුප කියමින් බැනගෙන ආවා. අම්මා මල්ලි පැදුරෙන් තියලා එළියට පැනගත්තා. තාත්තා කියනවා ‘උඹ නිසයි යාළුවෝ ටික මාත් එක්ක රණ්ඩුවට ආවේ’ කියලා. බලනකොට තාත්තා බූරුවා ගහන තැනට ගිහින් අම්මා හොඳටම බැනලා ඇවිත්. රෑ වෙනකොට පිරිමි හතර දෙනෙක් කඩු අරගෙන ආවා. ඒ අයගෙ සල්ලි තාත්තා බූරුවා ගහලා දිනාගෙන ආපු නිසා. එක්කෙනෙක් අම්මා පස්සෙන් පන්නනවා. එක්කෙනෙක් තාත්තාගේ බෙල්ල තද කරන් උළුවස්සට. අම්මා දුවලා දුවලා නැන්දලාගේ ගෙදරට පැනගත්තා. තාත්තා බෙල්ල අල්ලන් හිටපු කෙනාව තල්ලු කරලා ඇඳ පොල්ලක් අරන් සේරට ම ගැහුවා. ගහලා තාත්තා ඈත පලාතකට ගියා. දින කිහිපයකට පසු අම්මා අපි දෙන්නවත් එක්කගෙන තාත්තා ඉන්න තැනට ගියා.

ඒ පළාතේ කොහු මෝලක තමයි අම්මයි තාත්තයි වැඩ කළේ. මගේ අධ්‍යාපන කටයුතු මාස 6 ක් ප්‍රමාද වුණා. ඒ ගමේ ඉස්කෝලේ එක වසරට මාව දැම්මා. ඔය විදිහට ජීවත් වෙද්දී අම්මට මල්ලියෙකුයි නංගියෙකුයි හම්බ වුණා. අපි ඒ ගෙදර ඉන්නවාට මාමා කැමති වුනේ නෑ. ඊට පස්සේ අත්තා කුඹුරු යායක් මැද්දේ පොල් ඉඩමක කටු මැටි ගහල පුංචි පැලක් හදල දුන්නා. කුමන දුකක් වින්දත් තාත්තාගේ බීමත්කම අඩු වුණේ නම් නැහැ. බීලා එනකොට අම්මා පුංචි මල්ලිවයි නංගිවයි අරන් කැලේ පනිනවා. නැත්නම් අම්මාට ගුටි කන්න වෙනවා. ගෙදර හැමදාම රංඩුවක් තියෙනවා ම යි. දැන් ලොකු මල්ලියි මායි දෙන්න ම ඉස්කෝලේ යනවා. අපේ පොඩි මල්ලිට හරියට කතා කරන්න බැහැ.

තාත්තා කොළඹ පැත්තේ බිස්නස් කළේ. අම්මා කුලී වැඩ කරනවා. මං මල්ලිවයි, නංගිවයි බලන් ගෙදර ඉන්න ඕන. ඒ දෙන්නා මළමූත්‍ර කරන ඒවා සෝදන්න ඕන. ගෙදර වැඩ කරන්න ඕන. උයන්න ඕන. මං එතකොට හය වසරේ හිටියේ. වයස අවුරුදු දොළහක් විතර ඇති. ඔය දේවල් කරන්න බැහැ කියලා කිව්වොත් හරි කළේ නැත්නම් හරි තාත්තා මට හොඳට ම ගහනවා. මට ගහන්නේ පොල්පිති, හනසු, බූ වළු හා ලොකු පොලුවලින්. ටික ටික මල්ලියි නංගියි ලොකු වෙනකොට අම්මා මාවත් කුලී වැඩට එක්කන් ගියා. අනේ මගේ අම්මා පව්… ගොයම් හිටවන්න ගියාම මං නියර දිගේ වැටි වැටී ගොයම් මිටි අදිනවා.

තාත්තා එළවළු, පලතුරු ආදිය කොළඹට අරන් ගිහින් විකුණලා එනකොට අපිට කන්න බොන්න අඳින්න අරන් එනවා. තාත්තාට බොන්නත් රතුපාට ඒවා ගේනවා. අනේ එදාට ටික වෙලාවක් සතුටින් ඉන්න පුළුවන්… අර රතුපාට බෝතල් ටික ටික හිස් වෙද්දි ගෙදර රණ්ඩු ආයෙත් පටන් ගන්නවා. ඔය වෙනකොට මල්ලි ඉස්කෝලේ යාම නවත්වලා. ටික දවසකින් මල්ලි තේ කඬේක වැඩට ගියා. මං පොත් ටිකත් අරන් පන්සලට ගියා. අපේ ලොකු මල්ලි තේ කඬේ වැඩ කරලා මට ඉගෙන ගන්න පොත් පවා අරන් දීලා තියෙනවා. පන්සලේ ටික දවසක් සිටින විට කොල්ලෝ මට පිං බතා කියලා කියන්න පටන් ගත්තා. ඒක නිසා මං නැවතත් ගෙදර ගියා.

තාත්තයි අම්මයි රංඩු වෙවී හරි කුලී වැඩ කරලා සල්ලි හොයලා අපිට කන්න දුන්නා. (යම්තාක් දුරට හරි ඉගැන්වූ නිසයි අද මෙහෙම ලිපියක් හරි ලියන්නේ. ඒ වගේම දහම් පොත්පත් කියවන්නේ) මුළු දවසට ම රෑට විතරක් අපි කෑම කාපු වාර අනන්තයි.

කාලයක් ගත වෙද්දී තාත්තා අරක්කු බීම නතර කළා. මොකද හේතුව තාත්තා අම්මාට පොරොන්දු වෙලා ‘මම ළමයි ටික බලන් ඉන්නම්, ඔයා රට යන්න’ කියලා. මං නම් ඒකට කැමති වුණේ නෑ. මට ඒ වෙද්දි සාමාන්‍ය පෙළ විභාගෙ ලියන්න මාස තුනයි තිබුණේ. මං එපා කිව්වට අම්මා ඇහුවේ නෑ. සතුටින් ඉන්න ඕන නිසා රට ගියා. අම්මාව එයාර්පෝට් එකට ඇරලවලා ආවේ වෑන් එකක. මං පිටි පස්සේ සීට් එකේ නංගියි, මල්ලියි තුරුළු කරගෙන හිටියේ. ඒ දෙන්න කෑ ගගහ අඬනවා. මං ඉවසන්න හදනවා. ඒත් මට දරාගන්න බැහැ. මොකද නොබී සිටි තාත්තා නැවත අම්මා නැති දුකට බොන්න පටන් ගත්තා. මං කෑ ගගහ අඬන්න ගත්තා.

දැන් තාත්තා නිතරම බොනවා. අපි තුන් දෙනාට කන්නත් නෑ. අම්ම සල්ලි එවපුවාම දෙන්නම් කියලා කඬේකින් ණයට බඩු ගෙනාවා. අම්මා සල්ලි එව්වට පස්සේ තාත්තා ඒ සල්ලි වලිනුත් බොනවා. කඩෙන් බඩු දෙන එක නතර කළා. මගේ පුංචි නංගියි මල්ලියි බඩගින්නේ ඉන්නවා මං කොහොමද බලන් ඉන්නේ. හාඞ්වෙයාර් එකෙන් ණයට ගත්තා සවලක්… කොල්ලොත් එක්ක කියුබ් හතරේ ටාටා ලොරියක නැගලා ඔයට ගියා. වැලි පැටෙව්වා. එක ලොරියකට පටවලා අවසන් වන විට ඇඟට පණ නෑ. දවසකට ලොරි අටකට වැලි පටවනවා. රුපියල් හාරදාහක් හම්බ කළා. ඒ සල්ලි වලින් ගෙදරට බඩු ගෙනියනවා. දැන් මං සතියට දින තුනයි පාසැල් යන්නේ. නංගිවයි මල්ලිවයි පාසැල් යවනවා. තාත්තාට බීඩි, බුලත් විට, අරක්කු ගන්නත් කීයක් හරි දෙනවා.

ටික දවසක් ගත වෙද්දි වැලි පැටවිල්ල නැති වුණා. ගෙදරට අඩුපාඩු දෙන්නේ නැති නිසා තාත්තා මාව ගෙදරින් එළවගත්තා. හන්දියේ රෑ වෙනකම් ඉඳලා පන්සලේ බණ මඩුවට යනවා. බණ මඩුවේ බංකු දෙකක් හරස් කරගෙන සීතලේ ගැහි ගැහි නිදාගන්නවා. උදේ පාන්දර ම නැගිටලා ගෙදර ගිහින් ඉස්කෝලෙ ඇඳුම් ඇඳගෙන, ලිපෙන් අඟුරු කෑල්ලක් අරන් කුඹුර මැද්දෙන් වතුර යන වේල්ලෙන් දත් මැදලා, මුහුණ සෝදගෙන කැලේට ගිහින් ඇඳුම් මාරුකරගන්නවා. ඇඳගෙන සිටි ඇඳුම් කැලේ හංගලා ඉස්කෝලේ යනවා. මගේ අදහස තිබුනේ විභාගෙ ලියලා රැකියාවක් කරන්නයි. ටික දවසක් ඔය විදිහට කරද්දි තාත්තා මගේ පාසැල් ඇඳුම් සහ පොත් පිච්චුවා. යාළුවෙක් මට ඇඳුම් දුන්නා. මං දින කිහිපයක් විභාගෙට ගියා. මං විභාගෙ ලියන්න ගියාම මට ඇහෙනවා, අනිත් ළමයි කතා වෙනවා. “අද අම්මයි තාත්තයි මට බත් කවලා ඔළුව අතගාලා ආශිර්වාද කරලයි මාව පාසැලට ගෙනත් දැම්මේ” කියලා. මගේ සාමාන්‍ය පෙළ විභාගෙ එහෙමයි අවසන් වුණේ. මගේ පාසැල් දිවිය එහෙමයි අවසන් වුණේ….

මට දැන් අම්ම තාත්තාත් නෑ… ගෙදරකුත් නෑ… අඳින්න ඇඳුනුත් නෑ… කෑම බීම දෙන්න කවුරුවකුත් නෑ… ඉගෙනගන්නත් නෑ… රැකියාවක් සොයා ගන්නත් නෑ…

එක් දිනක් අයියා කෙනෙක් මාව සිල්ලර කඬේක වැඩට එක්කන් ගියා. එතන නම් රුපියල් දෙදාස් පන්සියක් පඩි දුන්නා. තව රුපියල් සියක් දුන්නා දවසට කෑමට කියලා. ඒක උදේට දවල්ට කාපුවා ම ඉවරයි. රෑට ඉතින්….මොනවත් නෑ… එක දවසක් අයියා කෙනෙක් පණිවිඩයක් එවලා තිබුනා තාත්තාගේ කකුල කැඩිලා කියලා. මට එකපාරට ම ඇඬුණා. මොනවා කළත් ඉතින් මගේ තාත්තනේ… මං ගිහින් කකුලට වෙදකම් කරන ගමන් ගෙදර අඩුපාඩු සේරම කළා. නංගිවයි, මල්ලිවයි නැවතත් පාසැල් යැව්වා. මං නැවතත් රැකියාවකට ගියා ඉස්සො ෆාම් එකක. මුර කරන්නයි උන්ට කන්ට දාන්නයි. රෑට නිදිවරන්න තියෙන්නේ. ඔය කාලේ ගෙදර උයන පිසින දේවල් කරන්නේ මගේ චූටි නංගි. එයාගේ වයස අවුරුදු දහයයි. චූටි මල්ලිට එකොළහයි. පොඩි මල්ලි ආගිය අතක් නෑ. මං ඉතින් ගෙදර නැත්නම් ඒ දෙන්නගේ පාසැල් ගමන කඩාකප්පල් වෙනවා. මං ගමට ඇවිත් තමයි එයාලව පාසැලට ගිහින් විදුහල්පතිතුමත් එක්ක කතා කරල, නැවත ඒ පාසැලට ඇතුළත් කරන්නේ. ඉස්සො ෆාම් එකේ වැඩ තියෙන්නෙ මාස හතරයි. නැවත ගෙදර ආවා. නැවත වැලි පටවන්න පර්මිට් දුන්නා.

දැන් තාත්තගේ කකුල හොඳ වෙලා. එයා පොල් කටු එකතු කරලා පුච්චලා අඟුරු විකුණලා ලැබෙන මුදලින් මත්පැන් බොන්න පටන් ගත්තා. මං නැවත වැලි පටවලා ගෙදර අයට කන්න ගේනවා. එක දවසක් වැලි ගබඩා කරපු මුදලාලි කෙනෙක්ගේ ගෙදර ගිහින් අපි වැලි පැටෙව්වා. එදා ලොරිය එරුනා. ඒ වැලි නැවත බාලා, නැවත ලොරිය අරගෙන නැවතත් පැටෙව්වා. එදා රෑ එකට විතර මං පයින් ගෙදර ආවා. මං එදා දවල්ටයි රෑටයි කාලා හිටියේ නෑ. උදේට කාපු ගමන්. මාව හෙම්බත් වෙලා, හාමත් වෙලා හිටියේ. සවලත් කරේ තියන් ඉඩමේ කෙළවරට ආවා. මට දැන් පේනවා දුමක් උඩට නැගෙනවා. තාත්තා පොල් කටු පුච්චනවා. එක පාරටම තාත්තා කිව්වා… ‘තෝ දැන්ද එන්නෙ… ගිලින්න බලන්ද එන්නෙ. හිටපිය… මං තොට අද කවන්නම්…’ කියලා කඩුවක් වගේ මං දැක්කේ සුදු පාටට… මගේ ඉදිරියට එනවා මං දැක්කා. මගේ අතේ සවලත් තිබුණා… ඒත් මං දිව්වා…

වෙල් යාය මැද්දට ගිහින් නියර උඩින් ඉඳගත්තා. පාන්දර එකයි තිහට විතර, ඉකි ගස ගසා ඇඬුවා ‘මං මේ විඳින දුක කවුරුවත් දකින්නේ නැද්ද…!’ කිය කියා… එදා මටවත් මගේ මල්ලිලා දෙන්නටවත් නංගිටවත් කවුරුත් හිටියේ නෑ. නෑදෑයොවත් නෑ. අපි එදා අසරණයි. ඒ අසරණකම වචන වලින් කියලා අවසන් කරන්න බැහැ. මට මතක් වුණා… මං ඉස්සො ෆාම් එකේ සිටිද්දි, එක දවසක් කලපුවේ ගිලෙන්න ගියා. එදා මාව බේරගත්තා. එදා මැරුණා නම් මේ දුක අවසන් කියලා මගේ පුංචි සිතට සිතුනා. එදා පාන්දර බඩගින්නට වේල්ලෙන් වතුර බීලා, කමතේ පිදුරුගොඬේ බළු පැටියෙක් තුරුළු වෙලා නිදාගන්නවා වගේ නිදාගත්තා….

දවසක් මගේ යාළුවෙක් දුර පළාතක රැකියාවකට යන්න පිටත් වුණා. මාත් එන්නද කියල ඇහුවා. හා වරෙන් කිව්වා. මගේ අතේ රුපියල් පනස් දෙකයි තිබුණේ. රුපියල් දහයක් දීලා ටියුලිප් බෑග් එකක් ගත්තා. රෙදි ටික බෑග් එකට දා ගත්තා. ඔන්න අපි ඒ ගමෙන් නගරෙට ආවා. ඒ යාළුවා මාව කඬේකට එක්ක ගිහින් ‘ප්‍රයිඞ් රයිස්’ කියල ජාතියක් මට අරන් දුන්නා. මං කන්න පටන් ගත්තා. මට මතක් වුණේ මගේ චූටි නංගිවයි, මල්ලිවයි… එයාලා කාලද දන්නෙ නෑ කියලා. මං දැන් රැකියාව කරනවා. මුලින් ම බේකරියේ පාන් ඇද්දා කඩවල් වලට. ඊට පස්සේ වැඩ පුරුදු වුණා. කොහොමහරි පාන් බනිස් හදන බාස් කෙනෙක් වුණා.

බේකරියේ වැඩ කරන කාලේ යාළුවෙක් මාර්ගයෙන් කුඩු බොන්නත් ඇබ්බැහි වුනා. ඔය විදියට කාලය ගත වෙද්දි ගමෙන් කෝල් එකක් ආවා තාත්තා මගේ චූටි නංගිව දූෂණය කරලා කියලා. මං ඉක්මණට ගෙදර ගියා. ඒ වන විට නංගිව රෝහල්ගත කරලා. තාත්තාව බන්ධනාගාරගත කරලා. ඒ වෙලාවේ මට කරන්න දෙයක් හිතට ආවේ නෑ. මං නංගිව පරිවාසගත කළා. ඒ වෙනකොට අපේ ලොකු මල්ලිත් පොඩි පොඩි හොරකම් කරලා බන්ධනාගාරගත වෙලා හිටියේ. අපේ චූටි මල්ලිත් දැන් ගමේ හොරකම් කරන්න පුරුදු වෙලා. ටික කාලයකින් ඔන්න අම්මා රට ඉඳන් ගෙදර ආවා…

මමත් ඉතින් ගෙදර ආවා. ඒ එන විට අම්මා කටු මැටි ගහපු ගේ ඇතුලේ අපිට ගෙනාපු සෙල්ලම් බඩු, රෙදි වගේ දේවල් ළඟ තියාගෙන වැලහින්නක් වගේ අඬනවා. මං අම්මට කිව්වා “අම්මේ… තාත්තයි මල්ලියි බන්ධනාගාරේ… නංගි ළමා නිවාසෙ… චූටි මල්ලි දැනටමත් හොරෙක් වෙලා… ඔයාගේ ආදරණීය ලොකු පුතා සල්ලාලයෙක්… දැන් ඉතින් ගෙනාපු සල්ලිවලින් ගෙයක් හදලා කොහොමද සතුටින් ඉන්නෙ…?’ කියලා. මට ඒ වන විට තාත්තයි, අම්මයි එක්ක වෛරයක් ඇතිවුණේ. මං නැවත බේකරියට ආවා. මට පස්සේ කාලෙක ආරංචියක් ආවා අම්මා වෙන මිනිස්සුත් එක්ක ඉන්නවා කියලා. මට ඉවසගන්න බැරිවුනා. ඊටපස්සේ තාත්ත්ට ඇප දුන්නා කියලා මට ආරංචි වුණා. හැබැයි නංගිව අරගෙන නෑ. ගන්නත් බැහැ. මොකද අම්මාට රට යන්නත් ඕන නිසා.

දැන් මට යාළුවෝ කියන්නේ උඹ කසාද බැඳලා නංගිව නිදහස් කර ගනින් කියලා. මං නංගිව නිදහස් කරන්න කැමතියි. ඒත මං කොහොමද කසාද බඳින්නේ..? මට කවුද කෙල්ලෝ දෙන්නේ කියලා හිතුනා. මං කවදාවත් කෙල්ලෙක් එක්ක යාළු වෙලා නෑ. ඔය විදිහට ජීවත් වෙද්දි පොඩි ප්‍රශ්නයකට මටත් හිරේ යන්න වුණා. දවස් විසි එකයි හිටියේ. හිර ගෙදර නියමයි… හැබැයි පවට ආශා කරන අයට… හිරෙන් නිදහස් වෙලා මං නැවතත් බේකරියට ආවා… සුපුරුදු පරිදි ජීවත් වුණා…

එක දවසක් අපේ ඤාතියෙකුගේ දුවක් කෝල් කලා. ඊට පස්සේ මං අවුරුද්දට ඒ ගෙදර ගියා. ඒ දවස්වල අවුරුදු නිසා නෑ ගම් යනවා. ඒ ගෙදර ළඟ තව ගෙදරක අවුරුදු සාදයක් තිබුණා. මමත් ගියා. ඒ වෙලාවේ අහිංසක ගැහැණු ළමයෙක් කෙරෙහි මගේ සිත බැඳුණා. ආදරය, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව කියන දේවල් මටත් මගේ සහෝදරයින්ටත් නුපුරුදු දේවල්. ඒක නිසා මට ඒ ගැහැණු ළමයව නැතිව බැරිවුණා. මේ ලිපියේ ලිව්වටත් වඩා විස්තර ලියලා ලිපියක් මං ඒ ළමයාට දුන්නා. එයා කෝල් කලා. මාව හමුවෙන්නත් ආවා. අපි එකිනෙකාට ආදරය කළා. හැබැයි කවදාවත් රාගයෙන් මත්වෙලා අයුතු දේවල් කළේ නෑ. අපි දෙන්නගේ ආදරේ ගැන ලියන්න ගියොත් මේ පත්තරේ පිටු මදි වෙයි… මගේ දුක එයා ගත්තා. එයාගේ සැප මට දුන්නා.

ඔය විදියට අවුරුදු දෙක හමාරක් විතර සම්බන්ධය කඩින් කඩ නතර වෙවී තිබුණා. එයාලගේ ගෙදරටත් අහුවුණා. ඒ ළමයා කැමති වුණේ නෑ දෙමව්පියන්ට විරුද්ධ වෙන්න. මගේ කැමැත්තට අපි දෙන්නා දුර පළාතකට ගිහින් කසාද බැන්දා. දින දහයක් ගෙවුනට පස්සේ ඒ ළමයගෙ අම්මා කථා කලා. අම්මා මට කිව්වා “ඔයාට දෙමව්පියන්ගේ ආදරය ලැබිලා නැහැ. ඒක නිසා ඔයා දෙමව්පියන්ගේ දුක දන්නේ නෑ. අපිට දුක් දෙන්න එපා. ළමයත් එක්ක එන්න” කියලා. මම එයාව ආපහු ගෙදර එක්කන් ගියා. ඒගොල්ලෝ හිතුවේ මං ඉනා බෙහෙතක් දීලයි එක්කන් ගියේ කියලා. ළමයා උසස් පෙළ කරලා අවසන් වුණාම නැවතත් එක්ක යන්න කිව්වා. මං ඉතින් ඒක විශ්වාස කරලා ඒ ළමයාව ගෙදර තියලා ආපසු රැකියාවට ආවා. මාසයක් විතර ගියාට පස්සේ එයා මාත් එක්ක කතා කළේ නෑ. මං නැවතත් ගෙදර ගියා. මාව එළවාගත්තා. මං පසුවදා ඒ ළමයාව හොරෙන් එක්කන් ආවා. කුලියට ගෙයක් අරන් දෙන්නම ජීවත් වුණා. ඒ ළමයා ඊට පස්සේ උසස් පෙළ විභාගෙත් ලිව්වා. ඒක පාස් වුණා. ඊට පස්සේ හෙද පාඨමාලාවක් කරන්න ඕන කිව්වා. මං ඒකටත් ඉඩ දුන්නා. මං කුලී වැඩ කරන්නේ. මටත් ඉගෙන ගන්න බැරිවුණ නිසා මං එයාට ඉගෙනගන්න උදව් කළා.

ඒ ළමයාව සතුටින් තියන්න ඕන නිසා මං නොයෙකුත් වැඩ කළා. මේසන් බාස්ලට අත්වැඩ දුන්නා. පාරවල්වල තාර දාන්න ගියා. වැසිකිළි වළවල් පවා ගොඩදාලා තියෙනවා. ඒ ළමයාට කෑමබීම, ඇඳුම්, අවශ්‍ය සියළුම දේවල් දුන්නා මට පුළුවන් විදියට. අපි දෙන්නට දෙන්නා ගොඩක් විශ්වාසයෙන් තමයි හිටියේ. මගේ මත්ද්‍රව්‍ය පාවිච්චියත් නතර වුණා. ඒ ළමයා හරි දක්ෂයි. නුවණක්කාරයි. උදේ සවස බුදුන් වැඳලා පන්සිල් සමාදන් වෙනවා. සිල්වත්, ගුණ යහපත් කෙනෙක්.

නංගිවත් ළමා නිවාසෙන් ගත්තා. අරන් ඒ ළමයාගේ ගෙදර (බිරිඳගේ ගෙදර) නවත්වලා පාසැල් යැව්වා. තරුණයෙක් ආවා නංගිව කසාද බඳින්න කැමතියි කියලා. එයාගේ දෙමව්පියන්ට කතා කරලා නංගිව කසාද බැන්දුවා. මගේ සිතට සතුටක් දැනුනා නම් දැනුණේ මේ දවස්වල පමණයි. දැන් බිරිඳගේ ගෙදර අයත් මට කැමතියි. අපි දැන් ඉඩමක් අරන් ගෙයක් හදන්නයි බලාපොරොත්තුව.

මට එක දවසක් ඒ ගැහැණු ළමයා කතාවක් කිව්වා. “සුදු අයියේ… අපේ සම්බන්ධෙට අම්මලා කැමති නෑ. අපිව වෙන් කරන්න දේවාල ගානේ ගිහින් බාර වෙලා තියෙනවා. එක දවසක් අම්මයි අප්පච්චියි මාව දේවාලයකට එක්කන් ගියා. ගිහින් ඒ කට්ටඩියා ලවා පොල් ගෙඩියක් අතට දීලා කිව්වා ඕකව මැරෙන්න කියලා හිතාගෙන, ඔය පොල් ගෙඩිය ගහපන් කියලා. අනේ සුදු අයියේ… මාව වෙව්ලන්න ගත්තා. මං කොහොමද ඔයාව මැරෙන්න කියල කියන්නේ. මං ඊට පස්සේ අනේ මගේ සුදු අයියාව බේරන්න ඕන කියලා වෙන දෙයක් හිතාගෙන පොල් ගෙඩිය ගැහුවා.” එතකොට මං ඒ ළමයගෙන් ඇහුවා “අනේ සුදු මැණිකේ… ඔයා මොකක්ද හිතුවේ..?” කියලා. ඊට පස්සේ මට එයා කිව්වා “ඒක කවදාවත් මගෙන් අහන්න එපා… ඒ වගේම මේ කථාව මගේ අම්මට අප්පච්චිට කවදාවත් කියන්නත් එපා” කියලා. (මේක වුණේ අවුරුදු දෙකකට කලින්)

එයාලගේ අම්මලා අපිට ඉඩමක් දුන්නා. මුදල් වගයක් දුන්නා. ඊළඟ මාසේ අපි දෙන්නට ලැබෙන පඩියෙන් ගෙට අත්තිවාරම දාන්නයි හිතාගෙන හිටියේ. දවසක් රාත්‍රියේ මේ ළමයට උණ ගැණුනා. මම ගමේ රෝහලට එක්කන් ගියා. දොස්තර මහත්තයා කිව්වා මෙයාව නතර කරන්න කියලා. ඉතින් දින දාහතරක් රෝහලේ හිටියා. ඊට පස්සේ බලෙන් ම වගේ මං ටිකට් කප්පවා ගත්තා. දවසක් රෑ මට එයා කිව්වා “සුදු අයියේ… මගේ ඇඟ ඇතුලේ පිච්චෙනවා වගේ දැනෙනවා. මට ඉවසන්න බෑ. මාව දනවා..” කියලා ඇඬුවා. ඒ වෙලාවේ මට උදව්වට කවුරුත් නෑ. එයාලගේ ගෙදර අය විතරයි හිටියේ.

පසුවදා උදේ අපි එයාව නුවර ගෙනියන්න හිටියේ. පාන්දර දෙකයි තිහට විතර එයාට ෆිට් එක හැදුනා. දිව එලියට පැන්නා. දිව හැපිලා ලේ ආවා. අපි ළඟම රෝහලට එක්කන් ගියා. කළු පාටට තාර වගේ අසූචි පිටවුනා. මං ඒවා සේරම පිරිසිදු කරලා ඒ රෙදි ඉඩමට ගෙනත් දැම්මා. මෙයාට සිහිය එනවා, යනවා. දැඩි සත්කාර ඒකකයට දැම්මා. ඒ රෝහලේ කාර්ය මණ්ඩලය මට කිව්වා “මේ ළමයගේ අක්මාව දියවෙලා, වකුගඩු වැඩ කරන්නේ නෑ. මොළේ ස්නායු දුර්වල වෙලා, පෙනහැල්ලට සෙම ගිහිල්ලා, හදවතේ ක්‍රියාකාරීත්වයත් අඩුවෙලා. මෙයාව බේරන්න බැහැ. මැරේවි” කියලා.

මගේ හදවත කඩන් වැටුනා වගේ මං කෑ ගගහ ඇඬුවා. මං කොහොම ඉවසන්නද…! මගේ මුළු ජීවිතේට ම මම ආදරේ කරපු එකම කෙනා. අපි මවපු සිහින, බලාපොරොත්තු සේරම විනාශ වුනා. මං එයාට ආදරේ කළාට වඩා මට එයා ආදරේ කළා…. තව දිනකට පස්සේ එයාට සවි කරල තිබුණු මැෂින් ගැලෙව්වා…. එයා මාව දාලා කොහේදෝ ලෝකෙකට ගියා. මං ආයෙත් තනි වුණා. මගේ අහිංසක කුමාරි සදහටම මගෙන් සමුගත්තා… ඈත අහසේ වළාකුලක් පා වෙලා ගියා වගේ එයා නොපෙනී ගියා. දවස් ගාණක් මං හොඳටම ඇඬුවා.

හැබැයි මම අහලා තිබුණා ප්‍රිය අයගෙන් වෙන් වීම දුකක් කියලා. ඒ වදන නිසා මං ටික ටික හිත හදාගත්තා. නැවතත් පිස්සෙක් වගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන් ගත්තා. මං මැරෙන්න තීරණය කළා. වස බිව්වා. ඒත් මැරුනේ නෑ. එක දවසක් රේල් පාර දිගේ ගියා අද මං කෝච්චියට යටවෙලා මැරෙනවා කියලා. ඒ වෙලාවේ පොලීසියෙන් මාව බේරුවා.

මං ඊටපස්සේ වැඩපලකට ගියා. මං දැන් කල්පනා කරන්නේ මගේ අම්මයි, තාත්තවයි, නැන්දම්මවයි, මාමණ්ඩියවයි මරලා මාත් බෙල්ල කපන් මැරෙන්න. මම හිතුවේ මගේ මැණික නැති කරපු අයගෙනුයි මාව මේ ලෝකෙට බිහි කරපු අයගෙනුයි පලිගන්නයි. මං ඒ නිසා වියරුවෙන් හිටියේ….

මං වැඩකරපු තැන වයසක තාත්තා කෙනෙක් රේඩියෝ එකේ බණ අහනවා. ඒකට මගේ සිත නිවෙන්න පටන් ගත්තා. දවසක් මට හිතුනා රුවන්වැලි සෑයට යන්න ඕන කියලා. ගිහින් මල්, පහන්, සුවඳ දුම් පූජා කළා. මං හිතුවා මේ රුවන්මැලි සෑයේ මොකක්හරි ආනුභාවයක් තියෙනවා නම් මට මේ දුකින් නිදහස් වෙන්න අවශ්‍ය මහණකම ලබාගන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න කියලා. නැතිවුන ළමයටත් පින් අනුමෝදන් කරලා මං බස් එකේ නැගලා ආවා. හැබැයි මං එදා ගියේ ආරණ්‍යයකට….

ඒ ආරණ්‍යයට යන පාරට අඩිය තිබ්බා විතරයි නා කපන වැස්සක් වහින්න පටන් ගත්තා. විදුලි කෙටුවා, අකුණු ගැහුවා, ගොරවන්න පටන් ගත්තා. මාව හොඳට ම තෙමුනා. මං ඒ ආරණ්‍යයට ගියාට පස්සේ වයසක හාමුදුරු නමක් හිටියේ. මාත් එක්ක කතා කරලා කන්න එහෙම දුන්නා.

පසුවදා ඒ ස්වාමීන් වහන්සේ මාව මහමෙව්නාවේ පැවිදි පිංකමකට එක්කගෙන ගියා. මහමෙව්නාව ගැන මට ලොකු පැහැදීමක් ඇති වුනා. ආරණ්‍යයේ වයසක ස්වාමීන් වහන්සේ මට කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ විසින් රචිත පොත් සියල්ල ගෙනත් දුන්නා. ඒවා මං දැන් කියවලා ඊට අනුව ධර්මයේ හැසිරෙන්න උත්සාහ ගන්නවා.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තියෙන එකම පින්බිම මහමෙව්නා භාවනා අසපුවයි. ඒ උතුම් ඇසුර නිසා මං දැන් සෑම වරදකින් ම මිදිල කා සමඟවත් වෛර නැති තරහ නැති සිතින් හුදෙකලාවේ බණ භාවනා පුරුදු කරමින් පින් රැස්කර ගන්නවා. මේ සසරේ ඇති බිහිසුනු බවත් කර්මය හා කර්ම විපාකවල ඇති භයානක කමත් මම ධර්මය තුළින් ඉගෙන ගත්තා. මේ සසරේ හැටි ඔහොම තමයි. මම මේ ජීවිතයේදී වින්දේ සසරේදී මා විසින් කළ පාපයන්ගේ විපාක වෙන්න ඇති.

ඒ නිසා පින්වත් දෙමාපියනි, කොතරම් අගහිඟකම් තිබුණත් දරුවන් තනිකර විදේශගත වෙන්න එපා… දරුවන් ගැන නිතරම සොයා බලන්න. දරුවන්ට හිංසා කරන්න එපා. ආදරයෙන් සලකන්න. ධර්මය කියා දෙන්න.

“කිච්ඡෝ මනුස්සපටිලාභෝ – කිච්ඡං මච්චානජීවිතං
කිච්ඡං සද්ධම්මසවණං – කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ”

“මනුෂ්‍ය ජීවිතයක් ලබාගැනීම ඉතාම දුෂ්කරයි. ඒ මනුෂ්‍යයන්ට ජීවත් වීමේදී දුෂ්කරතා ඇති වෙනවා. පිරිසිදු ධර්මය අහන්න ලැබීමත් ඉතා දුර්ලභයි. බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ඒ හැමටම වඩා දුර්ලභයි.”

ඒ නිසා මේ දුකින් නිදහස් වීමට බලවත් කුසල් දහම් වැඩිය යුතුයි. සතර අපායෙන් මිදෙන්න උත්සාහ කළ යුතුයි.

මෙයට,
ගිහි කාලේ නම් මගේ නම සම්පත්.

One comment

  1. namaskara wea uthum maha karuna athi budu rajanan wahanse hata…sadu sadu sadu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

පිපෙන්නටත් පෙර මිළින වන මල් කැකුළු

"අපි දොස්තර ළඟට යනකොට පිස්සු හැදුණු මගේ වයසේ ගෑනු ළමයෙක් අරන් ඇවිත් හිටියා. එයා පෙන්නලා දොස්තර මහත්තයා කිවුවේ ‘මත්පෙති බීලා මෙහෙම වෙලා තියෙන්නේ. ඔයාටත් වෙන්නේ මේ ටික ම තමයි.’ කියලා"