ත්‍රෛලෝකානුකම්පිත වූ අපගේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ වදාළේ මේ කාමයන් කාලයට අයිතියි කියලා. බොහෝ දුක් සහිතයි කියලා. බොහෝ පීඩා සහිතයි කියලා. ඒ කාමය තුළ කරදර ගොඩක් තියෙනවා කියලා ම යි. එය නම් හැබෑම සත්‍යයක්.

මම උපත ලබන්නේ ගම්පහ පැත්තේ පුංචි ගම්මානයක. ඒත් මම මනුස්ස ලෝකෙ ඉපදුණේ තාත්තෙක් නැති දරුවෙක් විදියට. මගේ තාත්තා අම්මවයි, මාවයි දාලා ගිහින්. මම හිතුවේ පිය සෙනෙහස ලබන්න තරම් මට පිනක් නැතුව ඇති කියලා. ඒත් මගේ අම්මා මට රත්තරන් අම්මා කෙනෙක්.

අප්පෙක් නැති දරුවෙක් හදන්න බෑ කියලා මගේ අම්මා මාව මරලා දැම්මේ නෑ. මම පණ වගේ ආදරයෙන් හදා ගත්තා. අපි හිටියේ කුලී ගෙදරක. ඒ ගෙදර මමයි, අම්මයි, ආච්චියි එකට ජීවත් වුණේ. අපේ අම්මා අපිව ජීවත් කරන්න කුලී වැඩ කළා. අපිට හරියට කෑමක් නෑ. උදේට රොටී කෑල්ලක් කාලා ඉස්කෝලේ යනවා. ගෙදර ආවාම දවල්ට ආච්චි බතල තම්බලා තියෙනවා. අනේ මං බතල කන්න කැමති නෑ. එදාට මම කහට උගුරක් බීලා පොතක් බලනවා. රෑට තමා ඉතිං මොනවහරි ටිකක් බඩට දාගන්නේ.

ඉතිං මම ගෑනු ළමයෙක්නේ. අම්මා මට කීවේ සඳලි කියලා. මේ වෙනකොට මට වයස අවුරුදු 15ක් වෙනවා. දැන් මම සා/පෙළ විභාගයට ලෑස්ති වෙනවා. ඒත් එක දවසක් මගේ රත්තරන් අම්මා මාව තුරුලු කරන් මෙහෙම කීවා. “මගේ සුදු දුවේ, දැන් ඔයා ලොකු ළමයෙක්නේ. සා/පෙළ විභාගයත් ළඟයි. මම කැමතියි මගේ සුදු දුව කවදාහරි දොස්තර නෝනා කෙනෙක් වෙනවා දකින්න. ඒත් මගේ සුදු මැණිකෙට ඉගෙන ගන්න මුදල් ඕනේ. ඒක නිසා මම හිතනවා රට යන්න. මම රට ගිහින් මගේ දුවට ඉගෙන ගන්න සල්ලි එවන්නම්. මගේ දුව ව ආච්චි අම්මා බලා ගනියි.”

අම්මා එහෙම කියනකොට මට ගොඩාක් දුක හිතුණා. මගේ ඇස්වලින් කඳුළු ගලන්න ගත්තා. පිය සෙනෙහස නැති මට දැන් අම්මාගේ ආදරයත් අහිමි වෙන්න යනවාදෝ කියලා හිතුණා. “අනේ මගේ රත්තරන් අම්මේ අපි පුළුවන් විදියකට ජීවත් වෙමු. අම්මා රට යන්න ඕනි නෑ” කියලා අම්මට කීවත් ඊට මාස කීපයකට පස්සේ අම්මා අපිව දාලා ගෘහ සේවයට රට ගියා. එදා නම් මට හිතුණේ දැන් මම මේ ලෝකේ තනි වුණා කියලා. අම්මා මාව දාලා ගිය දුකට මම රෑට කෑවෙත් නෑ. මම එදා ඇඳට වෙලා හොඳටම ඇඬුවා. මට එහෙමම නින්ද ගිහින්. උදේ ආච්චි අම්මා මාව ඇහැරවලා ඉස්කෝලේ ඇරියා.

මම ගෙදර ආවට පස්සේ ආච්චි කීවා “දුවේ, පුංචි අම්මා කීවා අපිට එහෙට එන්න කියලා. උඹ යන්න කැමතියි ද?” ඒක අහනකොට මට සතුටු හිතුණා. මොකද එහෙ මට අවුරුදු දෙකක් බාල නංගියෙක් ඉන්නවා. “ආච්චියේ, අපි එහෙට යමු. මම කැමතියි.” ඊට පස්සේ අපි ඒ කුලී ගෙදරින් පුංචිලාගේ ගෙදරට ගියා. ඒ මගේ අම්මාගේ නංගි. ඒ ගෙදර බාප්පයි, පුංචියි, සුමුදු නංගියි හිටියේ.

දැන් මමයි, සුමුදු නංගියි එකට ඉස්කෝලේ යන්නේ. පුංචි අපිට ආදරයෙන් සැලකුවා. අම්මාත් දැන් මට ඉගෙන ගන්න මුදල් එවනවා. නිතර කථාත් කරනවා. ඒත් එක දවසක් මම ටී. වී. එක බලන් ඉන්නකොට බාප්පා ඇවිත් මගේ ළඟින් වාඩි වුණා. ඊට පස්සේ මගේ දිහා එයා නරක විදියට බලන්න පටන් ගත්තා. ඒත් මට හිතුණා මම වගේ ම දුවක් බාප්පටත් ඉන්න නිසා මට කරදරයක් කරන්නේ නැති වෙයි කියලා.

ඒ වෙනකොට මම ඉගෙන ගන්නේ එකොළහ වසරේ. මම දැන් ටිකක් ලොකු ළමයෙක්නේ. අපේ අම්මා හරිම ලස්සනයි. ඒ නිසා ම ද මන්දා මමත් ගොඩක් ලස්සන කෙල්ලෙක්ලු කියලා පුංචි මට කියනවා. මම එතකොට පුංචිට හොරෙන් කණ්නාඩිය ළඟට ගිහින් රවුමක් කැරකිලා බලනවා. මම හිතුවේ ඒක මගේ වාසනාවට ලැබුණු දෙයක් කියලා.

ඒත් බාප්පගේ නරක බැල්මත් එක්ක නම් මට හිතුණේ ඒක මගේ අවාසනාවක්දෝ කියලා. බාප්පගේ මේ නරක හැසිරීම පුංචි දැන ගත්තා. එතකොට මට හොඳට ම බැණ්නා, “උඹ අපේ පවුල විනාශ කරන්න හදනවා ද?” කියලා. මම කාමරයට ගිහින් අඬනවා ඇරෙන්න වෙන මොනවා කරන්න ද? අම්මාවත් මගේ ළඟ හිටියා නම් මගේ ඔළුව අත ගාලා මාව සනසවනවනේ කියලා හිතුණා.

දෙමව්පියන්ගේ ආදරය, කරුණාව නොලැබෙන දරුවෙක් ඒ අඩුව පුරවගන්න තව කාගෙන් හරි ඒ ආදරය බලාපොරොත්තු වෙනවා. දවසක් මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට පාරෙදි අයියා කෙනෙක් මුණගැහුණා. එයා මට ගොඩාක් ආදරෙන් කතා කළා. එයා මගෙන් යාළුවෙන්න ඇහුවා. එයාගේ නම අසංක. මව්පිය සෙනෙහස නොලැබෙන මගේ ජීවිතයට දැන් ලැබෙන්නේ පුංචි අම්මාගේ බැණුනුත්, බාප්පාගේ නරක බැල්මත් විතරයි. ඒ අහිමි වුණ සෙනෙහස අසංක අයියගෙන් ලැබේවි කියා මම හිතුවා. මම එයාට මගේ කැමැත්ත දුන්නා.

කටට රහට බඩ පිරෙන්න කෑමක් කන්න නොලැබෙන, ලස්සන ගවුමක් අඳින්න නැති, දුක හිතිලා අඬනකොට මගේ ඔළුව අත ගාලා මාව සනසවන්න අම්මා තාත්තා ළඟ නැති මගේ ජීවිතේ හරියට උපතින් ම අන්ධ මනුස්සයෙක් මේ ලෝකේ මොන වගේ ද කියලාවත් දන්නෙ නෑ වගේ. මමත් මට නොලැබෙන ආදරය ම හොය හොයා ගියා. මම හිතුවා අසංක අයියාගෙන් ඒ ආදරය ලැබේවි කියලා. මම හැමදාම ඉස්කෝලේ ඇරිලා එනකොට එයා බයික් එකකින් මාව බලන්න ආවා.

ඔහොම යනකොට දවසක් මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවා. එදා ආච්චි සමිතියේ රැස්වීමකට ගිහින්. පුංචියි, සුමුදු නංගියි ටවුමට ගිහින් හිටියේ. මම බාත්රූම් එකට ගිහින් නාගෙන එළියට එනකොට බාප්පා එතනට ආවා. එයා මගේ අතින් අල්ලගෙන මාව ඇදන් ගියා. “අනේ! බාප්පේ, මම ඔයාගේ දුව වගේ නේ ද? අනේ මට කරදර කරන්න එපා” කියලා මම කෑගැහුවා. රට ඉන්න මගේ අම්මට ඇහෙන්න තරම් මම කෑගැහුවා, “ඔයාගේ පුංචි දෝණිව බේරගන්න” කියලා. ඒත් ඒක මගේ අම්මට ඇහෙන්න නැතුව ඇති. ලස්සනට මල් පිපුණ මානෙල් විලක් රාස්සයෙක් අරක් ගත්තා වගේ බාප්පා මගේ ජීවිතය විනාශ කරලා දැම්මා. අනේ! දෙයියනේ මම මෙච්චරට ම පවුකාරියක් ද? ඇයි මම මේ ලෝකෙට ඉපදුණේ කියලා මට හිතුණා.

“ආච්චියේ, ඔයාගේ සුදු දුව ව බාප්පා විනාශ කළා” කියලා මම ආච්චි ව තුරුලු කරන් අඬන්න ගත්තා. “ආයෙමත් මගේ දුවට එහෙම දෙයක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ. මම උඹව පණ වගේ රැක ගන්නවා” කියලා ආච්චි මට කීවා.

එදා ඉඳලා මම කෑම කෑවේ නෑ. ඉස්කෝලේ ගියෙත් නෑ. අඩුම තරමේ කාමරයෙන් එළියටවත් ආවේ නෑ. මුළු දවස ම කාමරයට වෙලා ඇඬුවා. මට මේ වුණ දේ මේ ලෝකේ කිසි දරුවෙකුට නම් වෙන්න එපා. ඒ පුංචි හිත්වලට මේ දුක දරාගන්න බැරි වෙයි දෙවියනේ. පුංචිලාගේ ගෙදර හැමෝම මේක හැංගුවා. අම්මටවත් කියන්න දුන්නේ නෑ. බාප්පගේ කටහඬ ඇහෙනකොටත් මගෙ පපුව පිච්චෙනවා. මම තීරණයක් ගත්තා.

මම අසංක අයියත් එක්ක පැනලා යනවා. ඔව් මට දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඒක විතරයි. මම පහුවදා සුමුදු නංගිත් එක්ක ඉස්කෝලේ ගියා. පාරෙදි අසංක අයියා මාව එක්ක යන්න ආවා. “සුමුදු, ආච්චිට කියන්න මම ගියා කියලා.” මම අසංක අයියගේ බයික් එකට නැගලා ගියා. එයා මාව එක්කගෙන ගියේ බෝඩිමකට. ටික කාලයක් යනකොට මම දැනගත්තා එයා බැඳපු කෙනෙක් කියලා. ඒ වෙනකොට මම අම්මා කෙනෙක් වෙන්න යනවා. මගේ කුසේ මාසයක් වෙන දරුවෙක් ඉන්නවා. මම හිතුවේ නිරයේ පිච්චි පිච්චි හිටපු මාව අසංක අයියා දෙව්ලොව එක්ක ගියා වගේ කියලා. ඒත් මට වුණේ කබලෙන් ළිපට වැටුනා වගේ දෙයක්.

ඇයි දෙවියනේ මම ගෑනියෙක් වෙලා ඉපදුණේ. මම මෙච්චර දුක් විඳින්න මම කරපු පව මොකක්ද කියලා මම ඇඬුවා. මට දුක ඉවසගන්න බැරි වෙනකොට ලේ එනකම් ම මගේ ඔළුව බිත්තියේ ගහගන්නවා. මට මැරෙන්න හිතුණත් මගේ දරු පැටියා නිසා මම ආයෙමත් ජීවත් වුණා.

මම ආපහු බාප්පලාගේ ගෙදර ආවා. ආච්චිට මම හැමදේම කීවා. “දුවේ උඹ අඬන්නෙපා. මම ඔය දරු පැටියව හදා ගන්නවා. උඹ මෙහෙට වෙලා හිටපන්.” කියලා මාව ගේ ඇතුළට එක්ක ගියා. මම දුක තද කරන් මැරි මැරී ඉපදුණා. අනේ මගෙ අම්මා හිටියා නම් මට මෙහෙම වෙන්නෙ නෑනේ කියලා හිතුණා.

ආයෙමත් දවසක මම කාමරය ඇතුළට වෙලා ඉන්නකොට බාප්පා ආයෙමත් මට කරදර කරන්න හැදුවා. මගේ අවාසනාවට එදත් ඒ ගෙදර කවුරුත් හිටියේ නෑ. මම හොඳටම කෑ ගැහුවා. ඊට පස්සේ බාප්පා මට හොඳට ම ගැහුවා. බිම පෙරළගෙන මට ගැහුවා. මට සිහි නැති වුණා. ආයෙමත් මට සිහි එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ ඇඳක දාලා. සිහි ඇවිත් බලනකොට මගේ බඬේ අමුත්තක් මට තේරුනා. ළඟ ආච්චි හිටියා. “අනේ ආච්චියේ, මගේ දරු පැටියා කොහෙද? එයා හොඳින් ඉන්නව ද? කෝ එයා මට බලන්න ඕන ආච්චියේ” කියලා මම කෑගැහුවා.

“මගේ දුව වැටෙනකොට දරුවා නැති වෙලා. එයා නැති වුණා මගේ දුවේ” කියලා කියනකොට මගේ පපුවේ පත්තු වුණ ගින්දරට මම මැරෙයිදෝ කියලා හිතුණා. දරු සෙනෙහස කියන්නේ මොකක්ද කියලා අම්මා කෙනෙකුට දැනෙන හැඟීම එදා මටත් දැනුණා. බාප්පා කියලා තිබුණේ මම පඩිපෙළෙන් වැටිලා මගේ දරුවා නැති වුණා කියලා. ඒත් ඇත්ත දන්නේ මම විතරයි. මම අම්මට කතා කළා. එයා මාසයකින් එනවා කීවා.

වෙඬරු පිඬකට කළු ගලක් දරා ගන්න බෑ වගේ මගේ මේ පුංචි හදවතට මේ තරම් දුකක් දරා ගන්න බෑ. ඒකට තවම මම පුංචි වැඩියි මගේ සුදු අම්මේ. අඳුරු ගුහාවකට කළු ගලක් වැටිලා ඒ ගුහාව සදහට ම අඳුරු වෙලා ගියා වගේ මගේ ජීවිතෙත් දැන් සඳහට ම අඳුරුයි කියලා මට හිතුණා.

මට තවත් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ නෑ. ඔව් මම මැරෙනවා. මම මැරිලා මට මේ අපරාධය කරපු බාප්පගෙන් පළි ගන්නවා. ඔව් මම තොපේ මුළු පවුලෙන් ම පළි ගන්නවා. මම ඇවිත් තොපි ඔක්කොම මරලා දානවා. මගේ ජීවිතේ විනාශ කරලා දැම්මට මමත් උඹලගේ ජීවිත විනාශ කරලා දානවා. මම වටපිට බැලුවා. ආච්චි පේන්න නෑ. අල්මාරියෙන් සාරියක් අතට ගත්තා. මම උඩ තට්ටුවේ කොරිඩෝවේ තියෙන අත්වැට ළඟට ගියා. සාරියේ එක පැත්තක් අත් වැටේ ගැට ගහලා අනිත් පැත්තේ තොණ්ඩුවක් හදලා බෙල්ලට දා ගත්තා. “මගේ රත්තරන් අම්මේ, මට සමාවෙන්න. ඔයාගේ සුදු දෝණි ඔයාව දාලා යන්න යනවා. ඒත් බාප්පේ, මම උඹගෙන් පළිගන්න ආයෙමත් එනවා.” මම උඩ තට්ටුවෙන් බිමට පැන්නා. සාරිපොට බෙල්ලේ තදින් ම හිර වුණා. මේ ලෝකෙන් මම සමු ගත්තා.

ටික කලකට පසු:

අනේ මම මේ කොහෙද ඉන්නේ. අනේ මගේ ලස්සන රූපේ දැන් මට නෑ. රත්තරන් පාටට තිබුණ සම. මගේ ලස්සන කොණ්ඬේ. කෝ දැන් ඒවා. ඇස් රතු පාටයි. මට මාව ම පිළිකුල්. මාව මේ තත්ත්වෙට පත් කළේ මගේ බාප්පා. කෝ දැන් ඒකා? කෝ? ආ… මේ ඉන්නේ. මම සුමුදු නංගිගේ ඇඟට වැහුණා. කොණ්ඬේ කඩා ගත්තා. “හහ් හහ් හා! හිහ් හිහ් හී! බාප්පේ උඹට මතක ද මාව?”

“කවුද උඹ…. මගේ දුවගේ ඇඟට වැහිලා ඉන්නේ?”

“ඇයි බොල තොට මතක නැද්ද උඹගේ දුව වගේ හිටපු සඳලි දුව? ඒ මම තමයි. මම ආවා තෝ ව මරන් යන්න. දැන් ලෑස්ති වෙයන් ඉතින්. හිහ් හිහ් හී! උඹට මතක ද උඹ මගේ ජීවිතේ විනාශ කොළා. ඈ බොල…. තෝ මගේ දරු පැටිය ව මරා ගත්තා. දැන් ඉතින් ලෑස්ති වෙයන්. මම උඹවත් මරා දනවා. හිහ් හිහ් හී! ආ.. මේ කවුද මේ මගේ අම්මා නේ ද?”

මගේ සුදු අම්මා මගේ ළඟට ඇවිත් මාව තුරුලු කර ගත්තා.

“මගේ දුවේ, ඔයා මාව දාලා ගියා නේ ද? ඇයි ඔයාගේ අම්ම ව දාලා ගියේ? මගේ රත්තරන් දුවේ, ඇයි එහෙම කළේ?”

“අනේ අම්මේ, මට සමාවෙන්න. මම දැන් යකින්නියක්. අනේ මාව බලාගන්න දැන් කවුරුවත් නෑ. මට බඩගිනියි. මට පිපාසයි. මට ඉන්න තැනකුත් නෑ. අනේ අම්මේ මට මේ ලෝකෙන් නිදහස් වෙන්න ඕනේ. අනේ මගේ සුදු අම්මේ, මාව බේරගන්න.”

“හොඳයි මගේ දුවේ. මම ස්වාමීන් වහන්සේලා වඩම්මවලා දන් පැන් පූජා කරලා ඔයාට පින් අනුමෝදන් කරන්නම්. ඔයා ඒ පින් අනුමෝදන් වෙලා සුගති ලෝකයකට යන්න දුවේ. මේ සංසාරය හරි ම භයානකයි. මේකෙන් එතෙර වෙයන් මගේ දුවේ.”

එදා ඇය සඳලි දුව විය… එහෙත් අද ඇය… පුංචි දුවේ… මේ ලෝක සත්වන්ගේ දුක දැකලා ම යි අප බුදුරජාණන් වහන්සේ මේ දුකින් මිදෙන්න මග පෙන්නුවේ. නමුත් අවාසනාවකට ඔයාට ඒ ලස්සන බුදු බණ පද ඇහුනේ නෑ. අම්මා තාත්තා ඔයාව අත්හැර යන විට, අපේ බුදු සමිඳු සෝපාක කුමරුන් ව බේරගන්න කනත්තට වැඩියා වගේ ඔයා ව බලා ගන්න කවුරුත් එන්න නැතුව ඇති බාප්පා කරදර කළ විට… උප්පලවණ්ණා මුනිවරියට කුරිරු මිනිසෙකු කරදර කළත්, එතුමිය ‘අහෝ! මේ බියකරු සසරින් එතෙර වෙන එක ම යි වටින්නේ’ කියා සිතුවා. ඔබට එසේ සිතුණා නම්…

සැමියා ඔබ අත්හැර යන විට ඉසිදාසි කුමරියට මෙන් සසුන් බඹසර වසන්නට නුඹට සිතුණා නම්…

දරු පැටියා මිය යන විට කිසාගෝතමියගේ දරු දුක බුදු බණ පදවලින් දුරු කළා සේ ඔබට දුක නිවන බුදු බණ පද ඇසුණා නම්…

සාරිපොට තොණ්ඩුවක් සේ සාදාගෙන උඩුමහලට යනවිට, රජ්ජුමාලා ගෙළ වැලලා ගන්න කැළයට යන විට අපේ බුදු සමිඳු “රජ්ජුමාලා මෙහෙට එන්න” කියා කතා කළා සේ ඔබටත් “සඳලි දුවේ මෙහෙ එන්න” කියා කවුරුන් හෝ කතා කළා නම්…

යකින්නක් වී පළිගන්න සිතාගෙන ගෙදර එනවිට, කාළි යකින්න පළි ගන්න ආ විට අපේ මුනිරජුන් පිහිට වී වෛරයේ ගිනි දැල් නිවා දැමූ සෙයින් ඔබේ හද තුළ ඇවිළෙනා ගිනිදැල් නිවා දමන්න කවුරුන් හෝ එනවා නම්…

එය වේදැයි නොදනිමි… එනමුදු බුදු බණ පද ඇසෙන මායිමක ඉපිද නීච වූ මේ කුරිරු සසරින් එතෙර වන්නට ලැබේවා කියා පතනෙමි.

“රැස් කළා වූ මෙපින් බලයෙන්…
සුගති සම්පත් සැදේවා…..
නිවන් සුව හද රැඳේවා….”

– සත්‍යයට සංවේදී වන හදවතක්