වසර දහස් ගණනක් තිස්සේ ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් ලොව පුරා ව්‍යාප්ත වූ භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය මුල් බැසගත් විවිධ රාජ්‍යවල උන්වහන්සේ වෙනුවෙන් විහාරාරාම, මහා දාගැබ්, පිළිම ආදී නිර්මාණ ඉදිකෙරුණා. වර්තමානයේ ඇතැම් රටවලින් බුදුදහම නොපෙනී ගිය ද, ධර්මය වෙනුවෙන් එකී රටවල් කැප වූ ආකාරය ජීවමානව දැකගත හැකි වෙනවා. අද අපි විමසා බලන්නේ එවන් ප්‍රෞඪ බෞද්ධ රාජ්‍යයක්ව පැවති ඉන්දුනීසියාවේ තිබෙන ලොව විශාලතම බෞද්ධ විහාරය වන “බෝරෝබුදූර් විහාරය” පිළිබඳවයි.

ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි කෙඩූ නිම්නයේ පිහිටා තිබෙන මෙම විහාරය මහායාන බෞද්ධ සම්ප්‍රදාය අනුව ක්‍රි.ව. 07 සහ 09 සියවස් අතර කාලයේ ඉදි වූවක්. ජාවා ගෘහ නිර්මාණ ශිල්පය සහ ඉන්දියානු ගුප්ත කලා සම්ප්‍රදාය ආභාෂය කරගෙන, චතුරශ්‍රාකාර වේදිකා හයක් සහ වෘත්තාකාර වේදිකා තුනක් වන පරිදි තට්ටු නවයකින් සමන්විත වන මෙහි ඉහල මධ්‍යයේ ප්‍රධාන ස්ථූපය පිහිටා තිබෙනවා. මේ ප්‍රධාන ස්ථූපය වටා කවුළු සහිතව නිමැවූ ඇතුලත බුද්ධ ප්‍රතිමා සහිත පරිවාර චෛත්‍ය 72ක් දක්නට ලැබෙනවා. මෙය “බෝරෝබුදූර්” විහාරයට ම ආවේණික කලාංගයක්. බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමත් නිර්වාණයත් අරමුණු කරගෙන ඉදිකොට ඇති මෙම විහාරය පුරාවට ගල් පුවරු 2672ක උන්වහන්සේගේ ඉගැන්වීම් කැටයම් කර තිබෙනවා.

ඉතිහාසයේ සඳහන් ආකාරයට මෙම විහාරයේ ඉදිකිරීම් අවසන් කිරීමට වසර 100ක් පමණ ගත වී තිබෙනවා. වර්තමානයේ බෞද්ධ රටක් නොවූවත් “බෝරෝබුදූර් විහාරය” වන්දනා කිරීමට ලොවපුරා බෞද්ධ සැදැහැවතුන් දහස් ගණනින් ඉන්දුනීසියාවට පැමිණෙනවා. 1991 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කල “බෝරෝබුදූර් විහාරය” ලෝවාසී සියලු බෞද්ධන්ගේ වන්දනීය උරුමයකි.

සොයුරු.lk වෙබ් අඩවියෙනි