මීට වසර දෙදහස් හයසිය හතකට පෙර මේ ලෝකයට මහා ප්‍රඥා ඇසක් දැල්වුණා. ඒ අපගේ ගෞතම සම්බුදුරජාණෝ යි. වරෙක උන්වහන්සේ භික්ෂු සංඝයා අමතා මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, රාගය කියන්නේ ගින්නක්. එය ප්‍රහාණය කළ යුතු දෙයක්. මොන විදිහේ ආදීනව දැකල ද එය ප්‍රහාණය කළ යුත්තේ. රාගයෙන් ඇලී ගිය, රාගයට යට වූ, රාගයෙන් වෙලා ගත් සිත් ඇති කෙනා තමන්ට අයහපත පිණිසත් සිතනවා, අනුන්ට අයහපත පිණිසත් හිතනවා. දෙපැත්තට ම අයහපත පිණිස හිතනවා. මානසිකවත් දුක් දොම්නස් විඳවනවා. කයෙනුත්, මනසිනුත්, වචනයෙනුත් දුසිරිතෙහි යෙදෙනවා. රාගය කියන්නේ සත්වයා අන්ධ කරවන දෙයක්, ඇස් නැති කරලා දාන දෙයක්, දුක පැත්තට ඇදලා දාන දෙයක්.”

වර්තමානයේ අප සමාජය තුළ අන්ධයන් මෙන් රාගය පසුපස හඹා යාමෙන් අත්විඳින්නට සිදු වූ ඉරණමක් ගැනයි මේ කියන්නට යන්නේ. මෙය අප රටේ එක්තරා ප්‍රදේශයක සිදු වූ සත්‍ය සිදුවීමක්. ඇය විවාහක රූමත් යුවතියක්. නමුත් අගහිඟකම් නිසා පවුලේ සමඟියට පහරක් වැදී ඇති හැඩයි.

“සලා…න්…”

“ආනේ සීනි බෝතලේ… ඇයි මහත්තයා ඒක පොළොවේ ගැහුවේ?”

“බලනවා, ගෙදර හරියේ සීනි ටිකක්වත් නෑ තේ බොන්න. මදැයි මමත් කසාදයක් කර ගත්තා. අඩු ගානේ දෑවැද්දට කියලා තඹයක් දුන්න ද ඔය මහ ගෙදරින්? මේ නිලූෂා, ඔයාට මාත් එක්ක පවුල් කන්න ඕනෙ නම් ගෙදර ගිහින් දෑවැද්දට ඉඩමක් හරි ඉල්ලගෙන එන්න.”

“හරි හරි, කෑ ගහන්න ඕනෙ නෑ. මම හෙට ඉඳන් ජොබ් එකකට යනවා. එතකොට හරිනේ.”

ඇය එසේ පිළිතුරු දීමෙන් රණ්ඩුව සමතයකට පත් වුණා. පසු දින ඇය රැකියාවකට ගියේ ඉහළ පෙළේ ආයතනයකටයි. තරමක් දුරට අධ්‍යාපනය ලබා ඇති නිසා ඇයට එම රැකියාවට වරම් ලැබුණා. නමුත් පවුල් බර වැඩි වූ නිසාවෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් වුණේ නෑ. එක්තරා දිනෙක ඇය රැකියාවට පිටත්ව ගියා.

“ගුඞ් මෝනිං සර්.”

“හායි බියුටි ගර්ල්, ගුඞ් මෝනිං, අද නම් ඔය හරි ලස්සනයි. ආ… ලස්සන කොණ්ඩ මෝස්තරයක් එහෙමත් දාලා තියෙන්නේ.”

“ඕ… තෑන්ක්ස් සර්…”

වෙනදාට වඩා ඇයට මේ තරම් වර්ණනාවක් ලැබීම ගැන ඇය ඉතා ඕනෑකමින් විමසා බලන්න පටන් ගත්තේ රැකියා ස්ථානයේ ප්‍රධානියා වූ මොහු ඉතා ධනවත් වූ පුද්ගලයෙක් නිසාවෙන්.

“මේ නිලූ පොඞ්ඩක් මෙහෙට එන්න.”

“ඇ.. ඇයි සර්..?”

“මේ… නිලූ බැඳල ද?”

“ඔව් සර්. බැඳලා ඉන්නේ.”

“ආ… එහෙම ද? බැඳලා හිටියට කමක් නෑ ඉතින්… මමත් බැඳපු කෙනෙක්. එහෙමයි කියලා ඉතින් හැමදාම එක තැන පල් වෙන්න බෑනෙ මෙයා… ඒක හින්දා ඔයා හිතලා බලලා මට උත්තරයක් දෙන්නකො එහෙනම්.”

“හා හරි සර්… මම යන්නම්.”

ප්‍රධානියා විසින් ඇයට කරන ලද මේ යෝජනාව කුමක් ද කියා ඔබත්, මමත් හොඳින් ම දන්නවා. රැකියාවේ කටයුතු අවසන් වීමෙන් ඇය ගෙදර බලා ගියේ දැන් මා කුමක් කළ යුතුදැයි කියා සිතමින්.

“නිලූෂා… මොකද අද ගෙදර ආව වෙලේ ඉඳන් ඔයා කල්පනා කරන්නේ? ඔයාට අසනීපයක් ද?”

“නෑ… මේ… මට ඔයාට කියන්න කාරණාවක් තියෙනවා.”

“ඉතින් කියන්න ළමයෝ.”

“මේ… අද හරි වැඩක් වුණානේ. මම අද වැඩට ගියාට පස්සේ අපේ බොස් මෙහෙම යෝජනාවක් කළානේ. මට අනේ එයා කියනවා…”

තමන්ගේ ස්වාමියා ඉදිරියේ ඇය තමන් මුහුණ දුන් සිදුවීම ගැන විස්තර කරන්න පටන් ගත්තා. ඔබට දැන් සිතෙන්නට පුළුවන් තම බිරිඳට අත් වූ මෙම ඉරණම ගැන ඇසූ ස්වාමියා මී ළඟ මොහොතේ මිනීමරුවෙක් වේවි ද කියා. නැති නම් ඇයට රැකියාවට යෑම තහනම් කරාවි ද කියා. නැහැ! මේ කිසිවක් සිදු වූයේ නැහැ. ඔහු තමන්ගේ ප්‍රිය බිරිඳට වෙනත් යෝජනාවක් කළා. ඒ, බිරිඳක් විසින් තම සැමියාගෙන් කිසි දිනෙක අසන්නට බලාපොරොත්තු නොවන ආකාරයේ යෝජනාවක් කීවොත් මා නිවැරදි යැයි කියා සිතනවා.

“ඉතින් ඔයා මොකද බොස්ට කීවේ?”

“මම මොකුත් කීවේ නෑ, අනේ මම එතනින් ගියා. ඒ මනුස්සයාට සෑහෙන්න සල්ලි තියෙනවා. සල්ලිවලට කරන්න දෙයක් නැතුව ද කොහෙද…”

“එහෙනම් නිලූ… ඔයා ඒ යෝජනාවට හා කියන්න.”

“මොකක්?”

“නෑ… ඉතින් මම කිව්වේ අපිට සල්ලි අඩුපාඩු එහෙමත් තියෙනවානේ. ඒකයි. අනික අද කාලේ හැටියට ඕවා සාමාන්‍ය දේවල්නේ මෙයා.”

“හ්ම් හ්ම්… එහෙම නම් මම බොස් එක්ක කතා කරලා බලන්නම්කෝ.”

ඔබගේ දෙනෙත් විස්මයට පත් වුණා ද? හදගැස්ම වැඩි වූ බවක් ද ඇසෙයි. නැත.. නැත.. මිතුර එසේ වීමට අවශ්‍ය නැත. මන්ද වරෙක තුන්කල් දක්නා නුවණ ඇති අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, සමහර පුද්ගලයින් ඉන්නවා ඔවුන් තමන්ගේ මව්පියන් නිසාවෙන්වත් බොරුවක් කියන්න කැමති නෑ. නමුත් පස්සේ කාලෙක දී මා දකිනවා ඔහු ලාභ සත්කාර ඉදිරියේ බොරු කියන්න පටන් ගන්නවා. මහණෙනි, මේ ලාභ සත්කාර කියන්නේ දරුණු දෙයක්. කටුක දෙයක්.”

මෙයින් අපට පෙනී යන්නේ තමන්ගේ මව්පියන් නිසාවෙන්වත් තමන්ගේ සීලයට හානි නොකරගත් අයත් ලාභ සත්කාර නම් මඩ ගොහොරුව ඉදිරියේ කෙසෙල් කඳන් මෙන් කඩා වැටෙන බවයි. ලාභ සත්කාර කෙතරම් දරුණු ද යන්න වටහාගන්න මේ සිදුවීමෙනුත් පුළුවනි. යෙහෙළියක් මෙන්, දියණියක් මෙන් රැක ගත යුතු තමන්ගේ ප්‍රිය පතිනියට ලාභ සත්කාර නිසාවෙන් ඔහු ලබා දුන්නේ වෙසඟනකට හිමි තැනයි. කෙසේ වුවත් ඇය අවසානයේ ස්වාමියාගේ යෝජනාවට එකඟ වුණා. නමුත් ඇයට තිබුණා එම යෝජනාවට එරෙහිව හඬක් නඟන්න. එහෙත් පවට ලැජ්ජා භය දෙකට ඉදිරියෙන් ඇය තුළ දලුලා වැඩුණේ රාගය නම් වූ ගිනි කඳයි. එනිසායි අප සුගතයන් වහන්සේ වදාළේ, ‘රාගය කියන්නේ සත්වයා අන්ධ කරවන දෙයක්. ඇස් නැති කර දමන දෙයක්. දුක පැත්තට ඇද දමන දෙයක්.’ කියා.

පසු දින ඇය රැකියාවට ගියේ ප්‍රධානියාගේ සිත සතුටු කරවන පණිවිඩය ද රැගෙනයි.

“ගුඞ් මෝනිං සර්…”

“ගුඞ් මෝනිං නිලූ…”

ඇයගේ සිනාමුසු මුවින් ලබා දුන් තුටු පඬුරු දුටු ප්‍රධානියාට වැටහී ගියේ තමන් කළ යෝජනාවට එය ඇය ලබා දුන් පිළිතුර බවයි.

“මේ නිලූ… මං කළ යෝජනාව ගැන ඔයා හිතලා බැලුව ද?”

“ම්… මං කොහොමද ඉතිං සර් කරන යෝජනාවකට බෑ කියන්නේ? ඒක නිසා මගේ අකැමැත්තක් නෑ.”

“ඒකනේ… හොඳ ළමයා.”

ඔවුන් සිතූ පරිදි යෝජනාව ඒ අයුරින් ම ක්‍රියාත්මක කළා. මෙසේ දින, සති මාස ගණන් ගෙවී යන විට ඇයගේ අත කර රන් ආභරණවලින් සැරසෙන්නට පටන් ගත්තේ ප්‍රධානියාගෙන් ඇයට ලැබුණු තුටු පඬුරු නිසාවෙන්. ගෙදර අගහිඟකම් අඩු වී ගියා.

නමුත් වැඩි කල් නොගොස් ම ඔවුන් කල්පනා කළේ මීට වඩා යමක් ඔහුගෙන් ලබා ගන්නේ කෙසේ ද කියායි.

බුදු සසුන නමැති සසුන’ඹරේ දිලෙන පහන් තරුවක් බඳු වූ අපගේ රට්ඨපාල මුනිවරයාණන් වහන්සේ දිනක මෙසේ වදාළා.

“රජ කෙනෙක් සාගරය පවුර කරගෙන මුළු ලෝකය ම ජය ගත්තත් එයාට තෘප්තියක් නෑ. එයා කැමතියි සාගරයෙන් එතෙර තිබෙන රටකත් රජ කරන්න.”

එනිසාදෝ මේ විවාහක යුවළ කල්පනා කළේ තවත් ටිකක් ආදායම තර කර ගන්නා ක්‍රමයක්. ඇයගේ සැමියා තවත් උපායක් යොදන්නට කල්පනා කළා. ඒ කට්ටඩියෙකු වෙතට ගොස් රැකියා ස්ථානයේ ප්‍රධානියාට වශී බන්ධනයක් කර තම බිරිය වෙතට තවත් ඔහු ළං කර දීමටයි.

“ගුරුන්නාන්සේ, මේකට අපි මොකද කරන්නේ දැන්?”

“හා හා… බය වෙන්ට කාරි නෑ. මං තෙලක් මතුරලා දෙඤ්ඤං. මේ නෝනට තියෙන්නේ ඒක අරන් ගිහින් ඔය ලොක්කගේ ඇඟේ ගාන්න. එතකොට මිනිහා නෝනා ගාවින් හෙල්ලෙන්නෙ නැතුව ඉඳියි.”

වශී බන්ධනයකින් තෙල් ටිකක් ලබා ගත් ඇය එයත් රැගෙන රැකියාවට පිටත්ව ගියා. ඒ එම තෙල් ආයතන ප්‍රධානියාගේ ඇඟේ ගා ගුරුකමේ ඉතුරු කොටස ද සම්පූර්ණ කර ගැනීමට සිතාගෙනයි. මේ සිදුවන්නට යන ඇබැද්දිය ප්‍රධානියා කිසි දිනෙක සිහිනෙන්වත් නොසිතන්නට ඇති.

“සිය අඹු සමඟ තුටු වනු නොහැකිව හඬන
වෙසඟන පහස සොයමින් යන,
සිත බැඳෙන පර’ඹුන් අතර නිතර ම ගැවසී වෙසෙන
පිරිහී යාම නියතයි මොහු ලොව සිටින”

(පරාභව සූත්‍රය)

“මේ… සර්… මං ඇතුළට එන්න ද?”

“ආ… නිලූ… එන්න එන්න බබෝ…”

“මට හොඳ තෙලක් හම්බ වුණා. මේකෙන් ටිකක් ගෑවාම එන්න එන්න ම තරුණ වෙනවලු මෙයා.”

“හා… ඇත්ත ද? එහෙනම් ඔයාගේ අතින් ම අරන් තෙල් ටික ගාන්නකෝ බලන්න.”

ලද අවස්ථාවෙන් ඇය තෙල් බෝතලය ගෙන ඔහුගේ ඇඟ පුරා ගැල්වූවා. තෙල් ගෑමෙන් ඇය බලාපොරොත්තු වූයේ ඔහු තවත් ටිකක් ඇය වෙත ළං කර ගැනීමටයි. නමුත් සිදු වූයේ වෙනත් දෙයක්. තම ප්‍රධානියාගෙන් ඇයට ආදර බස් වෙනුවට අසන්නට ලැබුණේ ඵරුස වචනයෙන් බැණ වදින හඬයි. එයින් නොනැවතුන ඔහු ටික දිනකට පසු රැකියාවෙන් ද ඇය ව දොට්ට දැම්මේ ඇය ව දකින්නවත් ඔහු අකමැති නිසා යි. අගක් මුලක් තේරුම් ගන්නට අපහසු වූ ඇයට ද සිදු වූයේ අතට කදාවළලු ලැබෙනවා වෙනුවට අස්වීමේ සහතිකයක් රැගෙන ගෙදර යාමටයි.

“හරි හරි නිලූ… දැන් ඉතින් ඇඬුවා කියලා වැඩක් වෙන්නේ නෑනේ. අපි හිත හදා ගමු.”

සිදු වූ සියලු දේ ඔවුන් අමතක කර දැමූවත් ඔවුන්ට අමතක වූ තවත් සිදුවීමක් ඔවුන් පසුපස සෙවණැල්ලක් මෙන් පැමිණියා. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යන විට හදිසියේ ම ඇය අසනීප වන්නට වුණා. ප්‍රතිකාරවලින් සුවයක් ද නොලැබුණ අතර විටින් විට ඇය නින්දෙන් බිය වී කෑ ගසන්නට පටන් ගත්තා.

“හූ… හූ…”

“ඇයි, ඇයි නිලූ මේ කෑගහන්නේ?”

“අනේ කවුදෝ කෙනෙක් ළඟට ඇවිල්ලා මට යන්න කතා කරනවා. මට බයයි අනේ.”

“ඔයා මේ හීනයකට බය වෙලා අනේ. ඕවා අමතක කරලා නිදා ගන්න වදේ. මටත් නිදාගන්න නෑ.”

නමුත් ඔවුන්ට එදායින් පසු සුවබර නින්දක් ලබන්න බැරි වුණා. මේ ප්‍රශ්නය විසඳා ගන්නට ඔවුන් කට්ටඩියෙකු වෙතට යන්න තීරණය කළා. පළමු කට්ටඩියාගේ ගුරුකම වැරදුනු නිසා ඔවුන් මෙවර ගියේ වෙනත් කට්ටඩියෙකුගේ පිහිට පතාගෙනයි.

“…… ඔන්න ඕකයි ගුරුන්නාන්සේ මෙයාට වෙන්නේ.”

ඔහු සිද්ධිය කට්ටඩියාට විස්තර කළා.

“හ්ම්… අමනුෂ්‍ය දෝෂයක් වැදිලා වගේ. අපි බලමුකෝ එහෙනම්…

ඕ…න් දිෂ්ටිවා… දිෂ්ටිවා…

යක්ඛෝවා… යක්ඛිණීවා… හූ… හූ…”

ගුරුන්නාන්සේ මන්තර බලයෙන් ඇය දිෂ්ටි කරවූවා.

“හා… හා..! දැන් ඉතින් කියනවා හොඳයි මේ දැරිවිට කරදර කරන්නේ කවුද කියලා… නැත්නම් පුච්චනවා මං තෝ ව මේ ගිනි කබලෙන්.”

“හහ්… හහ්… හා… මං මේ මල පෙරේතයෙක්. මේකුන් කරපු වශී බන්ධනයකට මං හිරවෙලා ඉන්නේ.”

කට්ටඩියා ඇයගේ සැමියා දෙස බැලූ විට අකමැත්තෙන් වුව ද ඔහු සිදු වූ සියල්ල ම පාපොච්චාරණය කරන්නට පටන් ගත්තා.

“ඉතිං පෙරේතයෝ තෝ එහෙනම් යන්ට තිබුණේ අර ප්‍රධානියා ළඟටනේ. ඇයි තෝ මේ දැරිවී ළඟට ආවේ?”

“හහ්… මෙච්චර ලස්සන එකියක් ව දාලා මං මොකටෙයි අර මිනිහා ළඟට වෙලා ඉන්නේ. මං මේකිට කැමතියි බොල. මං යන්නෑ මේකි අතෑරලා. මං තමයි අරූටත් මේකි ව එපා කෙරෙව්වේ. ඒ කොරලා රස්සාවෙනුත් දොට්ට දාන්න වැඬේ කොළා. මං දැන් මේකිගේ ළඟට ම වෙලා ඉන්නවා.”

“ඉතින් තෝ දැන් කන්නේ බොන්නේ මොනව ද?”

“හා එව්වට මේකිගේ මළ මූත්‍ර ටික තියෙනවානේ. දහඩිය කෙළ එහෙමත් ගන්නවා. අපට ඉතින් බත් මාළු කන්න කැප නැහැ නෙව.”

මෙය කියවන ඔබ තුළ සමහර විට දැන් අප්‍රසන්න හැඟීමක් හට ගන්න ඇති. නමුත් අපගේ ශාස්තෘන් වහන්සේ වදාළා මනුලොව සිටිය දී මිනිසුන් කයින්, වචනයෙන්, මනසින් දුසිරිත් කොට ප්‍රේත ලොව උපදින බව. එවිට ඔවුන් හට ආහාර පිණිස පවතින්නේ ලේ සැරව සොටු දහඩිය ආදී පිළිකුල් දේ බව. ඛුද්දක නිකායේ, ප්‍රේත වත්ථු කියන උතුම් පොත් වහන්සේ කියවීමෙන් ඒ බව හොඳින් ම දැන ගත හැකියි. බලමු ප්‍රේතයාට මී ළඟට සිදු වන දේ.

“දැන් ඉතින් ඒකෙන් කාරි නෑ. තෝ දැන් ම මේ දැරිවිගේ ඇඟෙන් අයින් වෙලා යන්ට ඕනෑ.”

“බෑ… බෑ… එහෙම යන්ට බෑ. මේකිව අතෑරලා මං කොහෙ යන්ට ද?”

“හිටපු තැනකට පලයං උඹ. නැත්තන් දන්නවනේ මගේ හැටි උඹ.

කෙසේ වුව ද ගුරුන්නාන්සේ මන්තර බලෙන් පෙරේත දණ්ඩා පන්නා දැමුවා.

“අප්පා.. සල්ලි හොයන්න ගිහින් මදැයි අපට වෙච්ච දේ. ආයේ නම් තියෙන දෙයක් කාලා බීලා තියෙන විදියකට ජීවත් වෙමු අනේ.”

දෙදෙනාගේ අවසාන තීරණය එසේ වුව ද තීරණාත්මක ඉරණමක් දැනටමත් ඔවුන් වෙත එල්ල වී හමාරයි. ඒ කර්මය නමැති ඉරණම්කරුයි. බුදුරජාණන් වහන්සේ වදාළේ කරත්තයෙහි බැඳි ගවයා පසුපස රෝදය කැරකී එන ලෙස තමන් කළ පාපී කර්මයේ විපාක දුක් උපදවමින් තමන් පසුපස එන බවයි.

ගෞතම බුදුසසුනේ රාජ හංසිනියක වූ අපගේ ඉසිදාසි මුනිවරියට සසරේ දෝෂයක් නිසා අත් විඳින්නට සිදු වූ ඉරණම මෙසේයි. සසරේ එක්තරා තැනක දී ඇය රන්කරුවෙක් වුණා. තරුණකමින් මත් වෙලා කාන්තාවන් සමඟ දුරාචාරයේ යෙදුණා. ඊට පසු මනුස්ස ලෝකෙන් චුත වෙලා කෙළින් ම නිරයේ උපන්නා. නිරයේ දුක් විඳලා ආයෙමත් වඳුරු ආත්මයක් ලැබුණා. ඒ වඳුරු රැළේ නායකයා අර පැටවාගේ ලිංගය හූරලා දැම්මා. ඒ තුවාලය නිසාවෙන් ම දුක් විඳ මැරිලා ගිහිල්ලා බූරු පැටවෙක් වෙලා ඉපදුණා. කුඩා කාලයේ ම කර අඹවලා රහසඟේ ඇට තලා දැම්මා. එතැන තුවාල වෙලා පණුවෝ ගහලා මරණයට පත් වුණා.

ආයෙමත් හරක් පැටවෙක් වෙලා ඉපදුණා. අර විදියට ආයෙමත් ඇට තලා දැම්මා. අන්ධයෙක් වගේ වැරදි කාම සේවනය කරපු නිසා අන්ධ වෙලා ලෙඩ වෙලා මැරිලා ගියා. එතනිනුත් චුත වෙලා මනුස්ස ලෝකෙ උපන්නා. ඒ නපුංසකයෙක් වෙලා. අවුරුදු 30 දී මැරිලා ආයෙමත් ස්ත්‍රියක් වෙලා උපන්නා. බලන්න, පර ස්ත්‍රීන් සේවනය කළ කර්ම විපාක තමයි ඇයට මෙලෙසින් විඳින්නට සිදු වුණේ.

බලා සැනසෙන්නට නොව විමසා හැදෙන්නටයි…!