අලූත් ම ලෝක අර්බුදය දන්නවා ද? ඔන්න උතුරු කොරියාවට යුද මානසිකත්වයක් ඇවිල්ලා. උතුරු හා දකුණු කොරියානුවන් යුදමය තත්ත්වයකට මුහුණදීල. කවදත් පවතින, ලෝක බලවතුන්ගේ බළලූන් ලවා කොස්ඇට බෑවීම තමයි මෙවරත් සිදු වෙන්නෙ. දකුණු කොරියාවට ඇමරිකාවත්, උතුරු කොරියාවට සමාජවාදී බලවතුනුත් උදව් කරන්නේ සිය බලය පොඩි රටවල් හරහා උරගා බැලීමක් සිදු කරමින්.

ලෝකයේ අලූත් අලූත් තතු නම් හැම දා ම අහන්න ලැබෙනව නේ ද? ඇත්තට ම බාහිර ලෝකය පවතින්නේ මේ වගේ බල අරගල, යුද ගැටුම්, වසංගත, නියං, ගංවතුර… ආදි අනේක පීඩා මධ්‍යයේ යි. ඒවට මුහුණ දිදී කාලය ගත කරන අපිට අපේ ජීවිතයේ සිදුවන ඇත්ත දකින්න නම් කවදාවත් ස්වයං ව උපන් නුවණක් තිබ්බෙ නෑ නේ ද? මේ අතර අපිත් දිනෙන් දින වයසට යනවා. ඒත් අපේ ජරා මරණ ප‍්‍රශ්නය නම් එහෙම ම යි.

ලෝකය ඇත්තේ අපි තුළයි

අපි අපේ ඇස, කන, නාසය, දිව, කය, මනස බාහිර ලෝකයට යොමු කරගෙන තොරතුරු සොය සොයා ඉන්නවා. ඇත්තට ම ලෝකයට අපි බැඳිල තියෙන්නෙ කොහොම ද? අපි දන්නෙ නෑ. ලෝකයෙන් නිදහස් විය යුත්තේ ඇයි? අපි දන්නෙ නෑ. ලෝකයෙන් නිදහස් වන මාර්ගය කුමක් ද? අපි දන්නෙ නෑ. නමුත් ඒ සියල්ල පරිපූර්ණව අවබෝධ කළ ශාස්තෘන් වහන්සේ නමක් අපි මේ යුගයේ සරණ ගියා. ඒ සියල්ලට විසඳුම ලබාගත හැකි එක ම ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය යි. බොහොමයක් දෙනා ඒක දන්නෙත් නෑ. ඇත්තට මේ ‘ලෝකය… ලෝකය…’ කියල කියන්නේ මොකද්ද?

‘‘ස්වාමීනී ලෝකය ලෝකය කියල කියනවා. ස්වාමීනී ලෝකය කියල කියන්නෙ කවර කරුණු මත ද?” ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා.

‘‘පින්වත් ආනන්ද, යමක් බිඳී යන ස්වභාවයෙන් යුක්ත ද ආර්ය විනයෙහි ලෝකය කියල කියන්නේ මෙයටයි. පින්වත් ආනන්ද, බිඳී යන ස්වභාවයෙන් යුතු දෙය කුමක් ද? පින්වත් ආනන්ද ඇස බිඳී යන ස්වභාවයෙන් යුක්ත යි. රූප බිඳී යන ස්වභාවයෙන් යුක්ත යි. ඇසේ විඤ්ඤණය බිඳී යන ස්වභාවයෙන් යුක්ත යි. ඇසේ ස්පර්ශය බිඳී යන ස්වභාවයෙන් යුක්ත යි. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත යම් විඳීමක් ඇද්ද, එයත් බිඳී යන ස්වභාවයෙන් යුක්ත යි….”
(පලෝක ධම්ම සූත‍්‍රය…)

මේ ආකාරයට කන, නාසය, දිව, කය, මනස යන මේ ආයතන හය ම බිඳී යන ස්වභාවයෙන් යුක්ත නිසයි ලෝකය කියා කියන්නෙ. පුදුමයි නේ ද? අපි බාහිර ලෝකයේ තතු සොය සොයා ඉන්නෙ මේ ඇස, කන, නාසය… ආදි ඉන්ද්‍රිය හය මුල් කරගෙනයි.. අන්න ඒ ඉන්ද්‍රිය හය බිඳී යන ස්වභාවයෙන් යුක්ත නිසයි ලෝකය කියන්නෙ කියල එම සූත‍්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ හෙළි කළා.

මෙන්න මේ ලෝකයේ ඇත්ත නො දත් අපි දුක නම් වූ ආර්ය සත්‍යය තුළ ජීවිතය ගෙවා දමනවා. දුක කියන්නෙ පංච උපාදානස්කන්ධයටයි කියල භාග්‍යවතුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත‍්‍රයේ දී දේශනා කොට වදාළා. මේ දුක නම් වූ ආර්ය සත්‍යය මොහොතින් මොහොත අපි යටකරගෙන යන ස්වභාවය කියා දුන්න ඒ බුදුරජාණන් වහන්සේ දුකෙන් මිදෙන උත්තම මඟ වන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මේ සසරෙන් නිදහස් වන වැඩපිළිවෙළ දේශනා කොට වදාළා. ඒ නිසා ම යි භාග්‍යවතුන් වහන්සේට සුගත කියා පවසන්නේ.

අපි හටගත්තේ කොහොම ද…?

දවසින් දවස අපට නො වැටහුණු දුකක් විඳ විඳ කාලය ගෙවා දමන අපේ ජීවිත, හටගත්තේ කොහොම ද කියාවත් අප දන්නෙ නෑ.. භාග්‍යවතුන් වහන්සේගෙන් දෙවි කෙනෙක් මෙසේ ඇසුවා..

‘‘ලෝක සත්වයා හටගන්නේ කුමක් හටගැනීමෙන් ද? ලෝක සත්වයා එක්වී වාසය කරන්නේ කුමක් තුළ ද? ලෝක සත්වයා දුක් විඳින්නේ කුමකට බැඳී යාම නිසා ද?”
භාග්‍යවතුන් වහන්සේ මෙහෙමයි පිළිතුරු දුන්නේ…

‘‘ලෝක සත්වයා හට ගන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හය හටගැනීමෙන් තමයි. ඔය ආයතන හය තුළ ම තමයි ලෝකයා ඇලී ගැලී ඉන්නෙ. ඔය ආයතන හයට ම බැඳිලා, ඔය ආයතන හය නිසා ම යි, ලෝකයා දුක් විඳින්නේ.”
(ලෝක සූත‍්‍රය. සං නි 1)

හිතන්න.. අපි දන්නෙ පංචකාමයන්ට අනුව ඔහේ හිත හිතා ඉන්නයි.. අපි සිතන දෙය ඇලීමක් ද, ගැටීමක් ද, මුළාවක් ද කියලවත් අපිට තේරුණේ නෑ. රූපයට, වේදනාවට, සඤ්ඤවට, සංස්කාරයට, විඤ්ඤණයට, උපාදානය වූ, බැඳී ගිය මේ ජීවිතය දුකක්, මෙන්න මේ පංච උපාදානස්කන්ධය නම් දුකෙන් නිදහස් වන මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. බලන්න දුක ගැන මේ විවරණය නො ඇසෙන්නට අපිට උරුම වන්නේ පරක් තෙරක් නො පෙනෙන සංසාර ගමනක් විතරයි…

සංසාරයේ නැවත උපදින්නට බලපාන හේතු නැති කරනකල්, පටිච්චසමුප්පාදයට අනුව භවය සකස් වෙමින් නැවත උපදින්නට අපට සිදු වෙනවා.. පංච උපාදානස්කන්ධයට මම, මගේ, මගේ ආත්මය (මගේ වසඟයේ ඇත) යන හැඟීමෙන් බැඳී ගිය අපිට අකමැති වුණත්, කැමති වුණත් අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියන උපත් අතරින් එකක් උරුමයි.. උපාදානය වූ රූපයක්, වේදනාවක්, සඤ්ඤවක්, සංස්කාරයක්, විඤ්ඤණයක් ඇති තාක් අපට භවයෙන් භවයට යන්න සිදු වෙනවා. මේ භව පැවැත්මේ නැවතීම සොයාගත් අපගේ ශාස්තෘන් වහන්සේ නිතර අප තුළ සිදුවන මායාකාරී ක‍්‍රියාවක් හෙළිකොට වදාළා. මේ මායාකාරයාගෙන් නො ගැලවුණ කෙනෙක් සංසාරයෙන් නිදහස් වුණේ නෑ.

අප සිටින්නේ මායාකරුවෙකුගේ සිර මැදිරියේ…

මායාකාරයා නම් අවිද්‍යා සහගත විඤ්ඤාණය යි. මේ විඤ්ඤාණයේ පැවැත්මට ගොදුර වශයෙන් පවතින්නේ රූපය, විඳීම, හඳුනා ගැනීම, සිතිවිලි කියන මේවා බව උන්වහන්සේ පැහැදිලි කොට වදාළා. විඤ්ඤාණයේ පැවැත්මට ගොදුරු නො වී සිටින්නේ, ගොදුරෙහි නො හැසිරෙන්නේ රහතන් වහන්සේ යි. රහතන් වහන්සේ විඤ්ඤණයේ අවිද්‍යා සහගත හැසිරීමෙන් මිදුන නිසා නැවත උපදින්නෙ නෑ…. ඡන්ද රාගය දුරු කළ, උපාදාන නැති කළ පංචස්කන්ධයක් විතරයි උන්වහන්සේට ඉතිරි වෙලා තිබෙන්නේ.. බලන්න.. අපේ ජීවිතය මරණයට මොහොතින් මොහොත ළං වෙනවා. මේ මායාකාරයාගේ ගොදුරට හසුවී අපි හැසිරෙන බව දකින්නට සිහි නුවණක් ඉපදිලා නෑ. පැහැදිලි පිරිසිදු වැඩපිළිවෙළක් ධර්මයේ තිබිය දී අවම තරමේ අපි ඒ නිවන් මඟටවත් එන්න යමක් දිනෙන් දිනේට කරනවා ද යන්න හොයා බැලිය යුතුයි නේ ද?

පංච උපාදානස්කන්ධය ගැන යම් ආශාවක් ඇත්නම්, ඒකමයි බැඳීම. ඒ බැඳීයෑම නිසයි භවය හෙවත් විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. භවය නිසා ඉපදෙනවා. ඉපදීම නිසා ජරා මරණ, ශෝක වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙළීම් හට ගන්නවා. ඔන්න ඔය ආකාරයටයි මුළු මහත් දුක් රැසේ ම හටගැනීම සිදු වන්නේ කියල භාග්‍යවතුන් වහන්සේ සමාධි භාවනා සූත‍්‍රයේ දී පැහැදිලි කළා.

සුසුම් හෙළ හෙළා ආ සංසාරයේ නැවත නො යන්නට නම් කළ යුත්තේ කුමක් ද? රූපයට, වේදනාවට, හඳුනාගැනීමට, සිතිවිලිවලට, විඤ්ඤාණයට ඇති ඡන්ද රාගය ප‍්‍රහාණය කිරීමයි.. හිතන්න.. පංච උපාදානස්කන්ධයට ඇති ඡන්දරාගය දුරලන්නට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ පිරිසිදුව ඇසෙන කාලයක් නැවතත් ලබන්න අපට පින සකස් නො වී තිබුණොත්.. අන්න ඒ නිසා මේ දුකෙන් නිදහස් වන්නට බුදුරජාණන් වහන්සේගේ අවවාදය සිතින් දරාගෙන වාසය කරන්නට මේ බුද්ධ වර්ෂය ආරම්භයේ දී අපි අදිටන් කරගනිමු. අපට බුදුරජාණන් වහන්සේ මෙසේ අවවාද කළා.

උපදින වැනසෙන නුවණින් නිවනට

‘‘පින්වත් මහණෙනි, චිත්ත සමාධිය දියුණු කරන්න. චිත්ත සමාධිය ඇති භික්ෂුව යමක ඇති ස්වභාවය ඒ අයුරින් ම අවබෝධ කරගන්නවා. කුමක් ද අවබෝධ කරන්නේ? රූපයෙහි හටගැනීමත්, නැති වීමත් ගැනයි, වේදනාවේ හටගැනීමත්, නැති වීමත් ගැනයි, සඤ්ඤාවේ හටගැනීමත්, නැති වීමත් ගැනයි, සංස්කාරවල හටගැනීමත්, නැති වීමත් ගැනයි, විඤ්ඤණයේ හටගැනීමත්, නැති වීමත් ගැනයි.”
(සමාධි භාවනා සූත‍්‍රය)

මුළා වූ ජීවිතයක හටගැනීම, නැති වීම ගැන නුවණින් විමසීම නිසා පංච උපාදානස්කන්ධය නම් වූ දුක පිළිබඳ ඇති ඡන්දරාගය දුරු කරන ආකාරය ගැන භාග්‍යවතුන් වහන්සේ මෙහි දී හෙළි කළා.. අපි නිවැරදි බුද්ධ වචනය පුරුදු නො කරන තාක් ඉන්නේ ප‍්‍රමාදයේ.. අප‍්‍රමාදයට පැමිණ වාසය කරන්නටත්, සසරින් අත් මිදෙන නිවැරදි සිත වඩන්නටත් අපි සියලූ දෙනාට ම වාසනාව උදා වේවා…!

නිදහසේ සටහන
චන්දිමාල් සූරියබණ්ඩාර