highlights of the week
Home » සත්‍ය කතාවක් » සේරුවිල ජුවානිස් අයියාගේ ගුරුකම

සේරුවිල ජුවානිස් අයියාගේ ගුරුකම

සේරුවිල රජමහා විහාරය ගැන නො දන්නා කෙනෙක් නැතිව ඇති. අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසම්භින්න ධාතූන් වහන්සේලා අතර සැමට විශාල ධාතූන් වහන්සේ වන ශී‍්‍රමත් සුගත තථාගත ලලාට ධාතූන් වහන්සේ, කේෂ ධාතූන් සමඟ විරාජමානව වැඩ සිටින මංගල මහා සෑ රජුන් දෙනෝදහසක් සැදැහැවතුන්ගේ වන්දනාමාන මැද වැඩසිටින්නේ ගන්ධකුටියේ වැඩසිටින අපගේ බුදුරජාණන් වහන්සේ වගේ. සැදැහැවත් හදක් ඉදිරියේ ලලාට දාහිමි පෑ ප‍්‍රතිහාර්යන් ගැන සත්‍ය කතාවක රහසක් තමයි මේ හෙළි කරන්නේ.

සේරුවිල සෑයට අලූතෙන් පැමිණුන ස්වාමීන් වහන්සේලා වත් පිළිවෙත් කරන එක නම් ඉතා අගෙයි. එ්ත් මේ ස්වාමීන් වහන්සේලා ජුවානිස් අයියා එක්ක කතාවට යනවට ගම්මු කිහිප දෙනෙක් නෝක්කාඩු කියනවා. ”ඔය ජුවානිස් මන්තර දන්නවා. ගුරුකම්කාරයා. වයසට පලච්ච හැට පැනලා සරන් කෙටිය ගහගෙන, බිම බලාගෙන, තාපසයා වගේ රැවුල වවාගෙන ගියාට යටිනුලෙන් වැඬේ දෙන්නේ.”

එ්වා කන වැටුන ස්වාමීන් වහන්සේනමක් මෙහෙම ඇහුවා.

‘‘ඇයි ජුවානිස් ගැන ඔහොම කියන්නේ. හරි අහිංසක මනුස්සයානේ. කාට ද එයා හූනියන් කළේ?”

‘‘අනේ හාමුදුරුවනේ මීට කාලෙකට කලින් ‘සමිත’ කියලා කොල්ලෙක් පන්සලේ හිටියා. හැම දෙයක් ම බලා කියාගෙන නායක හාමුදුරුවන්ටත් උපස්ථාන කොරගෙන හිටියේ. දවසක් තරහ ගිහින් ඉන්න වෙලාවක ඔය ජුවානිසුත් ඔතෙන්ට ආවලූ. කොල්ලා අර හිතේ තරහට ළඟ තිබ්බ ඉදලෙන් ජුවානිස්ට ගහලා. ‘තෝත් මේ අස්සේ ආව ද’ කියලා. දවස් තුනයි. සමිත කොල්ලට පිස්සු හැදුනා. දැන් ආගිය අතක් නෑ. ඉතින් හිතන්ටකෝ කාගේ වැඩක් ද මේ කියලා.”

‘‘අයියෝ ඕකට ද ගුරුකම්කාරයා කියලා කිව්වේ. මං අහන්නම්කෝ ජුවානිස් ආපුහම.”

‘‘අම්මෝ, ඕං අපි කිව්වා කියන්ට නම් එපා. අපිටත් මොකක් හරි කරාවි. අනික ඔබ වහන්සේලාත් පරිස්සම් වෙන්ට ඕන. මෙහේ හිටිය හාමුදුරුවරු කී දෙනෙක් පිස්සු හැදිලා ගියා ද? ඕං නො කිව්වා කියන්ට එපා. අවසර, අපි යනවා.”

‘‘ආ එ්වට නම් අපි බය නැහැ උපාසක මහත්තයා. මොකද අපි මෙහේ ලැගල ඉන්ට ආවා නෙවෙයිනෙ. ලලාට ධාතූන් වහන්සේට වත් පිළිවෙත් කරලා පිං කර ගන්ට ආවේ. අපේ පින ඉවර උනොත් එ්ක තමයි හූනියම. එ්කට නම් ජුවානිස් පලි නැහැ.”

එතරම් සතුටක් නැතිව ම ස්වාමීන් වහන්සේට වන්දනා කොට ගැමියන් දෙදෙනා පිටත් වුණා. ජුවානිස්ගෙන් මේ විස්තර අහන්න ඕන කියන අදහස තදින් ම හිතට ගිය ස්වාමීන් වහන්සේ කෝකටත් දැන් මළුවේ සතර කොණ පහන් දල්වන වෙලාව නිසා අදාළ කළමනා රැුගෙන සීරුවේ ලලාට දා මළුවට ගොඩවුණා. ඇත්තටම මේ සේරුවිල මහා සෑය හරි ම සුන්දරයි. ආනුභාවයි. කොච්චර බලා හිටියත් ඇති හිතෙන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ නළල් තලය මේ සෑය තුළ වැඩ ඉන්නවානේ කියලා හිතනකොට පුදුම හිතෙනවා. උදේ සවස වත් කරන්න අපිටත් වාසනාව ලැබුණනේ. මඟ හසර හැදූ ගුරුවරුන්ට පින් සිදුවේවා…!

මළුවේ ඉස්සර තිබ්බ කෝන් ගහ යට කරගෙන ඇහැටු නුග ගහ ධර්ම ශාලාවක පියස්සක් සේ මළුවට වියනක් වෙලා. එතන දහවලටත් වන්දනාවට අගෙයි. කවුද කෙනෙක් ගහ යට මළුව අතුගානවා. අප්පේ මේ ජුවානිස් සීයානේ. පුදුමයි. හිත හිතා හිටියා. දැන් මේ ඉන්නවා. දැන් අහන්න ඕන ගම්මු කියන කතාව ඇත්ත ද කියලා. ස්වාමීන් වහන්සේ කොන් ගහ යටට වැඩියා. කොස්ස බිම දැමූ ජුවානිස් ස්වාමීන් වහන්සේට වන්දනා කළා.

‘‘ආ සීයේ කොහොම ද? ගොඩක් වෙලා ද ඇවිල්ලා?”

‘‘නෑ හාමුදුරුවනේ දැන් ටිකක් වෙලා. නිකන්නේ ගෙදර ඉන්නේ. ඉතින් හවහට මෙතැන්ට ආපුවහම පුදුම සැනසීමක්. මං ඉලන්දාරි කාලෙත් ආසාවෙන් සෑය වඳින්ට එනවා. හැබැයි ඔබ වහන්සේලා තරම් පිළිවෙළට වඳින්ට පුදන්ට අපි දැනගෙන හිටියේ නෑ නොවැ.”

‘‘ඈ ජුවානිස් සීයේ ගම්මු කියන්නේ, ඔයා ගුරුකම් දන්නවා කියලා. හූනියම් කරනවලූ.”

‘‘අර සමිතට පිස්සු හැදුන එක වෙන්ටැති ඔය කියන්නේ. අපේ දැරිවි කිව්වා ගම්මු ඔය ගැන කසු කුසු ගානවා කියාලා. මං දන්න ගුරුකමක් තියෙනවා. මං එ්ක දැන් මතුරන්නම්. මේ තමයි හොඳ ම තැන ජප කොරන්ට. මං දැන් ජප කරන්නම් එහෙනම්.”

ඔහු සෑය දෙසට හැරුණා. දෑස් පියා ගත්තා. අත් දෙක එකතු කොට වන්දනා කළා. ස්වාමීන් වහන්සේට හිතාගන්න බෑ. දැං මොනවයින් මොනවා වෙයි ද? අහක යන දේවල් අහන්න ගිහිං අයියෝ, මොනවා හරි උනොත් දැන්, කමක් නැහැ, ලලාට ධාතූන් වහන්සේගේ අනුහසින් මට කරදරයක් නො වේවා! ජුවානිස් මන්තරය මතුරන්ට පටන් ගත්තා.

‘‘ඉතිපිසෝ භගවා අරහං – සම්මා සම්බුද්ධෝ……”

ගාථාව සම්පූර්ණයෙන් වයසක හඬින් මිහිරට කිව්වා. ස්වාමීන් වහන්සේට පුදුමයි.

‘‘ ඕක තමයි හාමුදුරුවනේ මං දන්න ලොකු ම මන්තරේ. අපි වගේ අයට ගුරුකම්කාරයා කියන එක තමයි හූනියම. මං මේ මළුවේ උතුම් ලලාට දා හාමුදුරුවෝ හිතින් දැක්ක කෙනෙක්. ඉර්ධිය දැක්ක කෙනෙක්. මේ විස්තර ඔය මිනිස්සු දන්නේ නැහැ. මං ඔබ වහන්සේට කියන්නම්.

මං පුංචි කාලේ ඉඳලා දුර ඉඳලා නමුත් මේ සේරුවිල සෑය දැක්කම අත් එකතු කරලා වන්දනා කරනවා. මට පුදුම පැහැදීමක් තිබුණා. දැනටත් එහෙමයි. ඇත්තටම හාමුදුරුවනේ අපේ බුදුහාමුදුරුවෝ ගැන මට පැහැදීමක් තියෙනවා පිපුණ නෙළුමක් වගේ… අදටත් එහෙමයි.”

ජුවානිස් සීයාගේ මේ වචන ගැන ඇත්තටම ස්වාමීන් වහන්සේට පුදුම හිතුණා. ‘මෙහෙමත් මිනිස්සු සේරුවිල ඉන්නව ද’ කියලා හිතුණා. ‘‘පිපුණ නෙළුමක් වගේ සද්ධාව තියෙනවා.” කියන වචනයට ස්වාමීන් වහන්සේගේ ඇඟ සීතල වෙලා ගියා.

‘‘එකදාස් නවසිය අසූ ගණන්වල කැරලි කාලේ උන් මාවත් ඇල්ලූවනේ, මාත් කල්ලිවලට සම්බන්ධයි කියාලා. ආන්න අර කණුවේ ගැට ගැසුවා ඇදගෙන ඇවිල්ලා.”

ජුවානිස් අත දික් කරමින් ප‍්‍රධාන මාවත මැද ගල් කණුව පෙන්නුවා.

‘‘කඩුව අරන් තුඩෙන් මගේ පිටේ මස් කඩ කඩා තොරතුරු ඇහුවා. මං මොනවත් දන්නේ නැහැ. මං කෑ ගැහුවා. උන් කිව්වා මේකගෙන් අහල වැඩක් නැහැ. දාපියව් ටයර් කියලා. දෙන්නෙක් ටයර් ගේන්න යැව්වා. එකෙකුට කිව්වා ළඟ හිටපිය කියලා. ටයර් ගෙනාවහම වැඬේ දීපියව් කියලා ගියා. මං ගැටගහලා එකෙක් කඩුව තියාගෙන ළඟ ඉන්නවා. වේදනාව ඉවසන්න බෑ මට. පුදුමයි, මට මේ සෑය හොඳට පෙනුනා. මං සෑය දිහා බලාගෙන හිතුවා මේ සෑයේ ලලාට ධාතු හාමුදුරුවෝ ඉන්නවා නම්, මං උදේ හවහා වැන්දේ සද්ධාවෙන් නම්, මාව නිකරුනේ මේ කරදරේ වැටිලා ඉන්නේ, අනේ මට පිහිට වෙන්න, කියලා මේ සෑය දිහා බලාගෙන හිතුවා. හොඳට අධිෂ්ඨාන කොළා. පුදුමයි හාමුදුරුවනේ, මේ බලන්න දැනුත් මගේ මයිල් කෙළින් වෙනවා.”

ජුවානිස් දෑත් පෑවේය. ඇෙඟ් හිරිගඩු පිපී ඇත.

‘‘අර බැඳලා තිබ්බ ලනු නිකම්ම ලිහුණා. දන්වැල් ලිහුණා. ළඟ හිටපු එකාට නින්ද ගිහින්. මං පැන්න. එහා පැත්තේ සේරු විල. එ් කාලෙ වතුර තිබ්බා. මං ගිහින් ? එළිවෙනකල් වතුරේ බැහැලා හැංගිලා හිටියා. මට මොකුක් උනේ නැහැ. මේ සෑයේ ආනුභාවය තමයි.

උදේ මං හිමීට හැංගි හැංගී ගියා. නතර උනේ කලපුවේ. පුදුම බඩගින්නක් කන්න දෙයක් නැහැ. ළඟ තිබ්බා නියඟලා පඳුරක්. සත්තයි හාමුදුරුවනේ මං එ් නියඟලා පඳුර හාරලා උදුරලා එ් අල කෑවා ඕන දෙයක් වෙද්දෙන් කියලා. ලලාට ධාතු හාමුදුරුවෝ ම හිතෙන් මවාගෙන ඉතිපිසෝ ගාථාව කිය කියා මං පඳුරක් අයිනේ වැටිලා හිටියා. ඇස් දෙක නිලංකාර උනා. එච්චරයි මං දන්නේ.

මං පස්සේ දන්නේ. මට සිහිය ඇවිල්ලා තියෙන්නේ දවස් තුනකට පස්සේ. හොඳට ම මට බඩ ගිහිල්ලා. මං මැරුණේ නැහැ. කලපුවෙන් නාලා කොහොම හරි ගෙදර ආවා. ආයේ මාව අරන් ගියේ නැහැ. දැන් මට වයස අවුරුදු 75යි. මේවා නේද ඉර්ධි කියන්නේ. ඉතින් හාමුදුරුවනේ මං දන්න මන්තරේ තමයි ඕක. අර සමිත කියන එකා මට ගැහුවා. එතකොට මට ලලාට ධාතු හාමුදුරුවනේ කියලා විතරයි හිතුණේ. මං සාප කොළේ නැහැ. මං දන්නේ එච්චරයි.”
පරණ සරමක් ඇඳගෙන පරණ බැනියම උඩින් සුම්බරය කරටදාගෙන රැුවුල වවාගෙන සිටින මේ අපූරු මිනිසාගේ හදවතේ පිපුණ නෙළුමක් සේ වූ සද්දාව කෝපාවිෂ්ට වූ සමිතට පෙනුනේ නැහැ. ‘‘පිස්සුවෙන් අහවර වුණොත් හොඳා. සමිත නිරයට නො වැටේවා!”

ලලාට දා සමිඳුන් ආශ්චර්යයි. අද්භූතයි. සැදැහැ සිතින් මුනිඳු ඉර්ධිය අදටත් ස්පර්ශ කරන උදවිය සිටිනවා නෙව. අපිත් මෙවැනි ප‍්‍රාතිහාර්ය දකිනවා නෙව. ‘‘පිපුණු නෙළුමක් සේ සද්ධාව මේ හදවතේ උපද්දවා ගන්නේ” කවදා ද? ලලාට ධාතූන් වහන්සේට නමස්කාර වේවා!

සටහන
සේරුවිල මංගල රජමහා විහාරයේ වැඩ විසූ ස්වාමීන් වහන්සේනමක් විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

පුතා ලොක්කෙක් කරවා ගෝනිය ඇතුළේ අවසන් ගමන් ගිය අම්මා

වැලිමඩ දුෂ්කර ගමක මේ සිද්ධිය වුණේ....