තාක්ෂණික දියුණුවේ ආලෝකයෙන් ඝණාන්ධකාර රාත්‍රිය ඒකාලෝක කළත්.. මිසදිටු අඳුරේ ගිලුණු පින් පව් නොදන්නා ලෝකයා ගුණයෙන් පිරිහෙන එක නම් වළක්වන්න බෑ.

ඒත්… ප්‍රඥා රශ්මිය හදවත පුරා විහිදුවන තෙරුවන් සරණ ගිය ශ්‍රාවක පිරිස පවා කලක දී ධර්මයේ හැසිරීම අතෑරලා ගුණදහමින් පිරිහිලා යනවා නම්…, ඒක පුදුමාකාර අවාසනාවක්.

ඒ අවාසනාවට අපගේ ජීවිත ලක් වීම වළක්වන්න අපට මහා අනුකම්පා ඇති සර්වඥ වූ ශාස්තෘන් වහන්සේ උපාසකයෙකුගේ පිරිහීමට පවතින කාරණා හතක් ගැන වදාළේ, මේ පිරිහීමේ දොරටු වසාගෙන කුසල් දහම් රැකගනීවා! කියන මහා කරුණාවෙන්…

පින් පූදින උතුම් දසුන

අපි ළඟින් ඇසුරු කරන අය, නිතර දකින, මනාප සිතින් කතාබස් කරන අය කියන්නේ ජීවිතය වෙනස් කරන සාධකයක්. අපිට නොතේරුණාට, නොහිතුවාට අපි ටික ටික අපි නිතර දකින – ඇසුරු කරන කෙනාගේ ක්‍රියාකලාපයට අනුගත වෙනවා. අදහස්වලට නතු වෙනවා.

තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාගේ ජීවිතයට ආලෝකය ගේන ඇසුර තමයි සංඝයාගේ කලණමිතුරු ඇසුර. නොවරදින බුද්ධ ඥාණයෙන් ඒකාන්ත යහපත පිණිස පවතින දහම් අවවාද, බුද්ධ භාෂිත – කිලිටි නොකොට, වෙනස් නොකොට පහදන සුපේෂල ශික්ෂාකාමී සංඝයා ඇසුරු කිරීමෙන් ම යි සඟ සරණ ලැබෙන්නේ. කොටින්ම සිල්වත් සංඝයා දැකල හිත පහදවා ගත් පමණින් දෙව්ලොව උපදින්න හේතුවෙන පිනක් රැස්වෙන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.

නොයෙක් පින් රැස්කර ගන්ට මඟ පෑදෙන සංඝයා දකින්නට නිතර නිතර යන එක අත්හැරියොත් ඒ ශ්‍රාවකයාට පළමු පිරිහීමේ දොරටුව ඇරෙනවා.

සිත සනසන අමා දහම්…

සංඝයා දැකීමට යාමේ ඊළඟ ලාභය තමා තමන්ගේ ප්‍රශ්න නිරවුල් වන විදිහට ධර්ම කතාව අසන්ට ලැබීම. ඔබ තුළත් යම් දවසක ශ්‍රද්ධාවත්, දන් දෙන්න ආසාවත්, සිල් ගුණ වඩන්න ආසාවත්, උපන්නා නම්… ඒ පිටුපස අහපු බණපදයක් තියෙනවා නේද?

හැබැයි සාමාන්‍ය සිතක ස්වභාවය තමයි යහපතට වඩා ලේසියෙන් අයහපත ග්‍රහණය කරගැනීම. නිතර නිතර බණ අහන්නෙ නැත්නම්, දවස පුරා අහන අනිත් දේවල් තමයි අපිව මෙහෙයවන්නේ. උතුම් ගුණදම් අමතක වෙලා පරණ සංසාර පුරුද්දට වැටෙන්න මොහොතක්වත් යන්නෙ නෑ.

ඒ නිසා, ගුණධර්ම පිරිහෙනවට අකමැති නම් නිතර ධර්මය අහන්ට ඕන. මොකද ධර්මය ඇසීමට ප්‍රමාද වීම තමා පිරිහීමේ දෙවන දොරටුව.

උතුම් බවින් උතුම් බවට යමු…

උපාසක බවට පත් වූ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ඊළඟ ලක්ෂණය තමයි සිල්වත් වීම. නිත්‍ය සීලය විදිහට පංච සීලය ආරක්ෂා කරන්නේ කර්ම විපාකවල ස්වභාවය දැනගත් නිසා ම යි. ඒ ශ්‍රාවකත්වය තවත් දියුණු වෙන්න නම් උසස් උසස් සිල් රකින්න ඕන. කලින් කලට හෝ බ්‍රහ්මචාරී පංචසීලය රකින්න පුළුවන්. සතර පෝයටත් අෂ්ටාංග උපෝසථ සිල්, නවාංග උපෝසථ සිල්, දසසිල් ආදී උසස් සිල්වල ටික ටික හික්මෙන්න ඕන. ඒ උතුම්, බලවත් පින්වලින් ශ්‍රාවකයා ව ශක්තිමත් කරලා ධර්ම මාර්ගයේ රඳවනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ උසස් සිල්වල හික්මෙන්න උත්සාහ නොකිරීම පිරිහිලා යන්න හේතුවෙන බවයි.

සුරකිමු සුපහන් සිත..

සිතේ ප්‍රසාදයෙන් උපදින සතුට තමා පින මහත්ඵල කරන්නේ. සංඝයා ඇසුරු කරද්දී කරද්දී හිත ගොඩාක් පහදිනව නම්… දන් පැන් පුදද්දී, බණ අහද්දී, ඇප උපස්ථාන කරද්දී, අරහත් පරපුර ගැන හිත හිත…, මේ සංඝයා වහන්සේලා මේ ලෝකය ගසාගෙන යන කාම සැඩපහරින් වෙන්වී ගතකරන නිවහල් ජීවිතය ගැන හිතින් ප්‍රශංසා කර කර ඉන්නව නම්… කෙලෙස් දුරුකරන්න ගන්න වෑයමේ දී වෙන පසුබෑම් දිහා අවඥාවෙන් නොබලා ඒ දරන අහිංසක උත්තම උත්සාහයට පසසමින්, සෙත් පත පතා… මහා ආදර ගෞරවයෙන් සංඝයා ඇසුරු කරනව නම්… ඒ නෛෂ්කර්මය අනුමෝදන් වෙනවා නම්… ඔවුන්ට මහා දියුණුවක් ම යි.

හැබැයි, වැඩිහිටි, මධ්‍යම, නවක – ස්වාමීන් වහන්සේලාගේ දොස් අඩුපාඩු දැක්කම ඒක ම හිත හිත, ඒක ම හුවා දක්වමින් හිතින් හෝ දොස් කියනව ද අප්‍රසාදයෙන් ඉන්නව ද එයාට හතරවෙනි පිරිහීමේ දොර ඇරෙනවා.

හත්ථිගාමක උග්ග සිටාණෝ දානෙ බෙදන්න කලින් දෙවිවරු ඇවිත් වඩින ස්වාමීන් වහන්සේලාගේ මග ඵල ලැබූ-නොලැබූ බව, දුසිල් බව පවා කියද්දි… ඒ සියලු සංඝයා ගැන එකම සිතින්, එකම ත්‍යාගශීලී බවින් එකම ගෞරවයෙන් උපස්ථාන කළා වගේ අදත් යමෙක් කටයුතු කළොත් මොහොතක් පාසා දියුණුවක් ම යි.

සිදුරු නොසොයා රසය විඳිමු

ධර්මය අසන්ට ඕනේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමටයි. දුක් දොම්නස් නිවා ගැනීමටයි. ඒ නිසා සුස්සූසති – ආසාවෙන් බණ අහන්ට ඕන. සෝතං ඕදහති – කන් යොමාගෙන හොඳ අවධානයකින් යුතුව බණ අහන්ට ඕනි. අඤ්ඤා චිත්තං උපට්ඨපේති – අවබෝධ කිරීමේ අදහසින් අහන්ට ඕනි. අත්ථං ගණ්හාති – දහම් කාරණයෙහි අර්ථය ගන්න ඕනි. අනත්ථං රිඤ්චති – අදාළ නැති දේ අත්හරින්න ඕනි. අනුලෝමිකාය ඛන්තියා සමන්නාගතෝ හෝති – ධර්මානුකූල ඉවසීමෙන් යුක්තව අහන්න ඕනි. එබඳු කෙනා පිරිහෙන්නේ නෑ.

(සුස්සූසති සූත්‍රය අං. නි. 4)

ලොවට උතුම් පින් කෙත හඳුනාගන්නේ…

සතෙකුට වුණත්, දුසිල් කෙනෙකුට වුණත් දන් දීමෙන් පින් රැස්වෙන බව අපට වදාළේ ඒ භාග්‍යවතුන් වහන්සේ ම යි. ඒත් ඒ හැම පිනක් ම මෙපමණ ජීවිත ගණනකින් විපාක දී අවසන් වෙනවා කියලා ප්‍රමාණ කරන්න පුළුවන්.

නමුත් අනන්ත ගුණ ඇති සංඝයාගේ නාමයෙන් දානයක් දුන්නාම ඒ දානයේ විපාකය මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. අනන්ත අප්‍රමාණ අසිරිමත් සැප විපාක ලබාදෙනවා, නිවනට පවා උපකාර වෙනවා. ඒ නිසයි සංඝයා ලෝකයාට පුණ්‍ය බීජ වපුරන්න තියෙන උත්තරීතර භූමිය කියලා හඳුන්වන්නේ.

සංඝයා කියන නාමයෙන් අප සරණ යන්නේ ඒ සැරියුත් මුගලන් මහා ශ්‍රාවක උතුමන් වහන්සේලාගේ මග ඵලලාභී පරපුර බව නොදන්න ඇතැමුන් කාගේ හෝ පුද්ගලික දෝෂයක් දැකලා සංඝයාට අපැහැදුනොත්, එක්කෝ සංඝයා ඇසුරේ ධර්මය ඉගෙනීම, දන් දීම, සෑය බෝධියට වත් පිළිවෙත් කිරීම ආදී පුණ්‍ය ප්‍රතිපදා අතෑරලා ජීවිතේ අර්බුදවලට විසඳුම් සොයන්න, මහත්ඵල මහානිසංස ලබන්න කියලා වෙන වෙන මතවාද පසුපස, බාහිර තැන්වල යන්න ගියොත් ඒ උපාසක, උපාසිකාව පිරිහීමේ සයවන දොරටුව ඇරගන්නවා.

නොවෙනස් ශාසනාලය

ඕනෑම කෙනෙක් තුනුරුවන් ගුණ අහල, ජීවිතේ පෙර නොඇසූ විරූ යථාර්ථය ගැන සත්‍ය ධර්මය අහල ඉස්සෙල්ලාම ශාසනේට හිත පැහැදුණාම හරිම ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා. විශාල ශාසනාලයක් එයා තුළ උපදිනවා.

නමුත් කාලයක් යද්දී, එක්කො ධර්මය අහන්න ආපු අයගේ අඩුපාඩු පේනවා. එක්කො පන්සලේ, අසපුවේ අඩුපාඩු පේනවා. දායක සභාවේ තනතුරු තානාන්තර වලට ආශා කරනවා. කාලයත් සමඟ හැම දේම වෙනස් වෙනවා. වෙනස් වන ලෝකය ගැන අවබෝධයෙන් ධර්මය ජීවිතයට ගළපා ගනිමින් නොහිටියොත්, පැහැදුන සිත රැකගන්ට කල්පනාකාරී නොවුණොත් ධර්මය හොයාන ආවේ කුමට ද කියලා අමතක වුණොත් පහු පහු වෙද්දී මුලදී තිබ්බ ප්‍රබෝධය අඩුවෙනවා. මුලදී වගේ මහන්සි වෙලා වත් පිළිවෙත්, උපස්ථාන කරන්නෙ නැතුව යනවා. මුල දී තිබුණ සංඝ ගෞරවය, යටහත් පහත් බව, කීකරු බව, නැති වෙලා හිත හැකිළෙනවා. තමන්ටත් නොදැනීම පිරිහෙනවා.

ඒ නිසා ශාසනයේ ඉමිහිරි සුව විඳිනු කැමති, ශාසනයේ සාරය අත්දකිනු කැමති – මෙතෙක් සසුනේ පැහැදීම රැක ගන්ට පින් තිබූ පින්වතුනි, මේ පිරිහීමේ දොරටු සත වසත්වා!

දියුණුව පිණිස හේතු සම්පත් සකසත්වා! බුදු වදන් පිළිපදින ශ්‍රාවකයා ඒකාන්තයෙන් සැපයට අභිවෘද්ධියට පත්වෙනවා ම යි!

ඇසුර: උපාසක පරිහානි සූත්‍රය, අං. නි. 4

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි.