දිනක් මහා යසස් ඇති කොසොල් මහරජුට තථාගතයාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් මහාරාජ, ඔබට මේ කාරණය දැනුම් දෙන්න සිද්ධ වෙනවා. ජරා මරණ දෙක ඔබව යටකරගෙන යනවා. ජරා මරණ දෙක ඔබව යට කරගෙන යද්දී ඔබ ගන්න පියවර කුමක්ද?”

“ස්වාමීනී, මිහිමඬල දිනාගත්, රජ කෙනෙකුට ඔටුණු පළන් යස ඉසුරු පිරිලා තියෙන, කාම සම්පත්වලට යටවුන, ජනපද වලට අධිපති රජ කෙනෙකුට, ඇත්තුන්ගෙන් කරන යුද්ධ ඇතිවෙනවා. ඒ වුණත් ස්වාමීනී, මේ ජරා මරණ දෙක අපව යට කරද්දී, ඔය ඇත් යුද්ධවලින් නම් වැඩක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ. ස්වාමීනී, ඔටුණු පළන්දපු රජවරු ඉන්නවා …. (පෙ) …. අශ්ව සේනාවෙන් කරන යුද්ධ තියෙනවා …. (පෙ) …. රථ සේනාවෙන් කරන යුද්ධ තියෙනවා …. (පෙ) …. පාබල සේනාවෙන් කරන යුද්ධ ඇතිවෙනවා. ඒ වුණත් මේ ජරා මරණ දෙක අපව යට කරද්දී, ඔය පාබල යුද්ධවලින් නම් වැඩක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ.

ඒ වගේම ස්වාමීනී, මේ රජකුලේ මන්ත්‍රීවරු, මහඇමතිවරු ඉන්නවා. ඒ අයට හතුරොත් එක්ක කුමන්ත්‍රණය කරලා, ඒ හතුරන්ව බිඳවල දාන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණත් ස්වාමීනී, මේ ජරා මරණ දෙක අපට යට කරද්දී, ඔය යුද කුමන්ත්‍රණවලින් නම් වැඩක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ.

ස්වාමීනී, අපේ මේ රජ කුලේ රන්, රිදී පිරිල ඉතිරිලා තියෙනවා. අහසේ පොළොවේ ඕනතරම් වස්තුව තියෙනවා. ළඟට ආපු හතුරන්ව වුනත් ඒ ධනයෙන් පොළඹවගන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණත් ස්වාමීනී, මේ ජරා මරණ දෙක අපව යට කරද්දී, ඔය ධන යුද්ධයෙනුත් නම් වැඩක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ. ඉතින් ස්වාමීනී, ජරා මරණ දෙක අපව යට කරගෙන යනකොට ධර්මයේ හැසිරීම හැර, යහපතේ හැසිරීම හැර, කුසල් කිරීම හැර, පින් කිරීම හැර වෙන මොකක්ද කරන්න තියෙන්නේ?” (පබ්බතූපම සූත්‍රය, සං. නි. – 1)

අප සුගතයාණන් වහන්සේ එය අනුමත කොට වදාළ සේක.

ජරා මරණ ඉදිරියේ ධනයෙන්, බලයෙන් ප්‍රයෝජන නැත්තා සේ ම පරලොව දී ද ඉන් ඵලක් නැත. වරෙක නිය සිල මතට පස් ස්වල්පයක් නගා ගත් මහා කාරුණිකයාණන් වහන්සේ වදාළේ නිය සිල මත ඇති පස් ස්වල්පය බඳු ඉතා ස්වල්ප පිරිසක් මනුලොවින් චුත ව සුගති රැකවරණය ලබන බවත්, මහපොළොව සේ පිරිසක් දුගතියේ උපදින බවත් ය. කිසි කලෙකත් ධනයෙන්, බලයෙන්, යසසින් ආදී කිසිවකින් ‘නිය සිල මතට පැමිණීම’ නම් වූ අසීරු අභියෝගය ජය ගත නොහැක. එසේම නිවැරදි සැලසුමකින් විනා හුදු සිහිනෙකින් හෝ පැතුමකින් කිසි කලෙකත් ලෞකික අරමුණු පවා ජයගත නොහැක. එසේ නම්, නිවැරදි සැලසුමකින් තොරව පරලොව කෙසේ නම් ජය ගන්න ද…?

තථාගත ශ්‍රාවකයෙකු සතු අභිමානය සැබැවින්ම ආශ්චර්යයි. මෙලොව ඔහු දිළින්දෙකු වුවත් බුදු වදනට අනුව ඔහුට රිසි සේ පරලොව ද සැලසුම් කළ හැකි වීම කෙතරම් විශ්මිත ද? ගුණයෙහි පිහිටි තථාගත සව්වන්ට පරලොව දී උපදින තැන මෙලොව දී ම තීරණය කොට මරණින් මතු එතැන උපත ලැබීමට තරම් ආනුභාවයක් ඇත. එමතු ද නොවේ. ඔහු කැමති නම් මෙලොව දී ම මග ඵල නිවන් පසක් කොට උපත සදහටම නවතා ගැනීමට විශ්මිත දහම් මග විවර කර ගත හැක.

කිසිවකින් නොවැසුණු – බබළන ප්‍රඥා ඇති අප මුනි රජුන් තම සව්වන්ට සුගතිය කරා යන විස්මිත සැලැස්ම මෙසේ අනාවරණය කර දුන් සේක.

“පින්වත් මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා, සීලයෙන් යුක්ත වෙනවා, ශ්‍රැතයෙන් යුක්ත වෙනවා, ත්‍යාගයෙන් යුක්ත වෙනවා, ප්‍රඥාවෙන් යුක්ත වෙනවා.”

බුදු වදනට අනුව පරලොව ජය ගනු කැමති ශ්‍රාවකයා සේඛ බල උපදවා සුගතිගාමී සැලැස්ම බල ගන්වා ගත යුතු ය. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගනිමින් නව අරහාදී බුදු ගුණ ගැන සුපහන් සිත් දරා දිවි හිමියෙන් නොවෙනස් සිතින් හේ තෙරුවන් සරණ යයි. සමාදන් වූ සිල්පද අනුමාත්‍ර වරදක් හෝ වී නොදී ගෞරවයෙන් රැක ගනී. මුනිරජුන්ගේ සුදේශිත බුදු වදන් මැනවින් අසා සිත්හි දරා වචනයෙන් පුරුදු කරමින්, නුවණින් විමසමින් ජීවිතයට ගළපා ගනී. මසුරු මළ දුරු කරමින් ලෝභ සිත් නසමින් අත්හැරීම පුරුදු කරයි. හේතුඵල දහම අවබෝධ කර ගැනීමෙහිලා කැපවී උතුම් ප්‍රඥාව උපදවා ගනී. මෙසේ සේඛ බල උපදවා ගත් ශ්‍රාවකයා මරණින් මතු මනුලොව උසස් කුලයක හෝ චාතුම්මහාරාජික, තාවතිංස, යාම, තුසිත වැනි දෙව්ලොවක හෝ බඹලොව උපත ලැබීමට කැමැති වුවහොත් ඒ අදහස සඵල කර ගනු වස් අනුගමනය කළ යුතු පිළිවෙත අනාවරණ ප්‍රඥා ඇති මුනිරජුන් මෙසේ පෙන්වා දුන් සේක.

“ඔහු ඒ අරමුණෙහි සිත තබනවා. ඒ අරමුණම සිතින් අධිෂ්ඨාන කරගන්නවා. ඒකට ම සිත ප්‍රගුණ කරනවා. එතකොට ඔහුගේ ඒ සංස්කාර ද, ඒ පැවැත්ම ද, ඔය විදිහටම ප්‍රගුණ කිරීමෙන්, ඔය විදියට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එහි ඉපදීම පිණිස හේතු වෙනවා. පින්වත් මහණෙනි, එහි ඉපදීම පිණිස පැවතුන මාර්ගය මෙයයි. ප්‍රතිපදාව මෙයයි.”

එසේ නම් මෙය මනා නුවණින් උපදවා ගත යුතු සැලැස්මකි. බලවත් වීරියෙන් හා සිහියෙන් දිවිය පුරා ක්‍රියාවේ යෙදවිය යුතු සැලැස්මකි. සේඛ බල උපදවාගෙන, සුගති ලොවක සිත පිහිටුවාගෙන නැවත නැවත බහුලව එහි යෙදීමෙන් පමණක් ඒ අරමුණ ඉටු කර ගත හැකි බව මැනවින් පැහැදිලි ය. ‘සුගති රැකවරණ ලැබේවා!’ යන පැතුමකින් පමණක් එය ඉටු නොවන දෙයක් බවත්, හුදෙක් මරණ මංචකයේ දී ඉටුකර ගත නොහැකි අරමුණක් බවත් පැහැදිලි ය. සැබැවින්ම මේ උත්තම බුදු වදනට ගරු කොට මේ සොඳුරු ප්‍රතිපදාවේ යෙදී මරණින් මතු තව්තිසාව, තුසිතය ආදී සත්පුරුෂ දෙවියන්ගේ ඇසුර ඇති සුගතියක රැකවරණ ලැබීමට වාසනාව උදා වුවහොත් එය කෙතරම් ලාභයක් ද..? එවිට නැවතත් සත්පුරුෂ දහමෙහි පහස ලැබෙනු ඇත. අදට වඩා බලවත් ප්‍රඥාවකින්, සුවපහසුවකින් දහමෙහි හැසිරෙන පරිසරය උරුම වනු ඇත. මනුලොව දී උපදවා ගත් සේඛ බල බලවත්ව දියුණු කොට ගෞතම බුදු සසුනේ දී ම මග ඵල නිවන් සුව ලබන වාසනාව ද උදාවනු ඇත.

මහා කාරුණිකයාණන් වහන්සේ ‘දේවතානුස්සති භාවනාව’ ගැන දෙසා වදාළේ ද සුගතියට යන ගුණවතුන්ට අනුග්‍රහ පිණිස ම ය. මනුලොව සිටිය දී ම ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන සොඳුරු සේඛ බල උපදවා ගත්තවුන් දෙව්ලොව උපත කරා ගිය බව සිහි කොට, තමා තුළ ද ඒ උතුම් ගුණ ඇති බව දැන දෙවියන්ගේ ගුණය සමඟ තමාගේ ගුණය සසඳමින් දෙවියන් අතර සිත පිහිටුවන අයුරු බුදු සමිඳාණෝ එහිදී මැනවින් පෙන්වා දුන් සේක.

මේ සොඳුරු දහම් පරියාය අවසන දම්රජුන් මේ අයුරින් වදාළ සේක.

“මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. සීලයෙනුත් යුක්ත වෙනවා. ශ්‍රැතයෙනුත් යුක්ත වෙනවා. ත්‍යාගයෙනුත් යුක්ත වෙනවා. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ මටත් ආශ්‍රවයන් ක්ෂය කරලා අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙලොවදීම ස්වකීය විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නට ඇත්නම්’ කියලා. ඉතින් ඒ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරලා අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙලොවදීම ස්වකීය විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා. පින්වත් මහණෙනි, මේ භික්ෂුව කිසි තැනක උපදින්නේ නෑ. කොහේවත් උපදින්නේ නෑ.

(සංඛාරුප්පත්ති සූත්‍රය, ම. නි. – 3)

අප තථාගතයාණන් වහන්සේ කිසි කලෙක සුළු මොහොතකටවත් භවය වර්ණනා නොකළ සේක. මෙලොව දී ම පිරිනිවීම පිණිස මග දෙසූ සේක. එනමුදු, සත්වයින්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස මැනවින් දැක වදාළෝ ඒ මුනිඳාණන් ම වන සේක. ඒ නිසා මේ ජීවිතයේ දී ම අරහත්වය සාක්ෂාත් කරගත නොහැකි සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් සුගති රැකවරණ ලබා මරණින් මතු නැවත බුදු සසුනේ පිහිට ලබන මග පෙන්වා දුන් සේක.

සැබැවින්ම මනුලොව දිවිය සුවපත් කර ගැනීමට ධනය, බලය, යසස ආදිය අවැසිම ය. බුදු සමිඳාණෝ එයට දොස් නොපවසන සේක. එනමුදු එයම දිවියේ අරුත කොට ගැනුම නම් අනුවණකමකි. ජරා මරණ ඉදිරියේ ඒ ධන බල ඉසුරු සම්පත් කුමක් කරන්න ද? පරලොව ගැන සැලසුමක් නොමැතිව දිවි ගෙවා මෙලොව හැර යන මොහොතේ ඒ කිසිවකින් පලක් නැත. එනිසා පරලොව ජය ගනු කැමැත්තෝ, සුගති රැකවරණ ලැබ සසරින් මිදෙනු කැමති නුවණැත්තෝ මේ සුගත් බණ පද මැනවින් අසත්වා! නුවණින් ගෙන එහි හැසිර මෙලොව පරලොව සුවපත් කර ගනිත්වා! බිහිසුණු සසරින් එතෙරව අමා නිවනින් සැනසෙත්වා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි.