එදිනෙදා ජීවන කටයුතු, රැකී රක්ෂා කටයුතු සහ තවත් නොයෙකුත් කටයුතුවලට කොටු ව ගෙවී යන ජීවිත තුළ තීරණාත්මක වෙනස්කම් ඇති කෙරෙන්නේ නො සිතූ විරූ ආකාරයන්ගෙන් ය. අනපේක්ෂිත ව මුණගැසුණු හෝ සිදු වූ දෙයක් නිසා හිටිහැටියේ ජීවිතයේ දිශානතිය වෙනස් කෙරෙන්නට බැරිකමක් නැත. සැණෙකින් මහා ඛේදවාචකයන් බවට පත්ව මානව ඉතිහාස කථාව තුළ කඳුළින් ලියැවෙන ස්වභාවික ව්‍යසන ද ඇතැම් ජීවිත තුළ අතිශය තීරණාත්මක වෙනස්වීම් සිදු කරන්නට සමත් ය.

සුනාමි ව්‍යසනය පළමු කොට ගත් නාය යාම් හා ගං වතුර නිසා කලින් කල, වරින් වර ඇති වූ ව්‍යසන මිනිස් ජීවිත ගණනාවක් බිලි ගැනීම තුළත්, අති විශාල භෞතික විනාශයක් සිදු කිරීම තුළත් අප සමාජයේ ඇතැම් ජීවිත මත ප්‍රබල වෙනස්කම් සිදු වූ බවට සැක නැත. යමක් කමක් උපයාගෙන, ගරුසරු ව ජීවත් වෙමින් සිටිය දී නො සිතූ විරූ අයුරින්, උපයාගත් සේසත නොයෙක් ආපදාවන්ගෙන් වැනසී යද්දී, සමීපතමයන්ගේ ජීවිත උදුරා ගැනෙද්දී ඒ විපත් හමුවේ යළි නො නැගිටින ලෙසින් ඇද වැටී මානසික ව්‍යාධීන්ගේ ගොදුරු බවට පවා පත් වූ පිරිස් සිටී. මේ විපත් අප තුළ එවැනි අති ප්‍රබල කඩා වැටීම් සිදු කරලන්නට වුව ද සමත් ය.

අප සියල්ලෝ සිටින්නේ මෙවැනි අවදානම් යළි යළිත් එළඹීමට බොහෝ ඉඩප්‍රස්තා ඇති සහ ක්‍රමයෙන් ඒ ඉඩප්‍රස්තා තීව්‍ර වන පසුබිමක ය. එසේ තිබියදීත්, මෙවැනි ව්‍යසනයක දී සහ ඊට තදාසන්න කාල සීමාවේ දී ම පමණක් මිස විපත් දුරු කර නැගී සිටීම පිණිස සූදානමක් අප බහුතරය තුළ නැත. ලෞකික කාරණාවන් සම්බන්ධයෙන් තත්ත්වය මෙසේ වද්දී කාමයේ ඇලී ගත්තවුන්ට දුරවබෝධ වූ ලෝකෝත්තර කාරණා සම්බන්ධයෙන් කවර නම් සූදානමක් ද?

කම් සැපයෙහි ඇලී ගැලී ප්‍රමාදයට පත් වූවන්ට සිදු වන්නේ ද මෙවැන්නක් ම මිස අනෙකක් නම් නො වේ.

“පුප්ඵානි හේ’ව පචිනන්තං – බ්‍යාසත්ත මනසං නරං
සුත්තං ගාමං මහෝඝෝ’ච – මච්චු ආදාය ගච්ඡති”

“මල්කාරයෙක්, මල් නෙළා ගන්ට මල් සොය සොයා ගහක් ගහක් ගානෙ යනවා වගේ, මේ කම් සැපයට ඇළුණු පුද්ගලයා කාමය ම හොය හොයා යනවා. අන්තිමේ දී, ගමක මිනිස්සු නිදාගෙන සිටිද්දී ම මහ ගංවතුරක් ඇවිත් ඔවුන් ව මුහුදට ගහගෙන යනවා වගේ, මාරයා විසින් ඒ පුද්ගලයාවත් අපා දුකට අරගෙන යනවා.”

(ධම්මපදය – පුප්ඵ වර්ගය)

සසරේ බොහෝ කාලයක් කාම ලෝකයන්හි ඉපදෙමින් නොයෙක් කාම සම්පත්තීන් අනුභව කොට තිබුණ ද ජනයා කම් සැප සොයා යන්නේ පෙර නො වූ විරූ දෙයක් අත්පත් කර ගැනීමක් පරිද්දෙනි. පෙර ද එවැනි හෝ ඇතැම් විට ඊටත් වඩා අතිශයින් උසස් කම් සැප විඳ තිබුණ ද ඒ සියල්ල අනිත්‍ය වී නැසී වැනසී ගිය බව මනසිකාරයක් ලෙස පුරුදු කරන්නට ඉගැන්වූ දහම අතපත් ව තිබියදීත් තවමත් කාමාස්වාදය ජීවිත අරමුණ බවට පත් කරගෙන සිටීම යනු, ඉපදීමේ දුක අත් නොහැර අප කරා යොමු වද්දී නුසූදානම් ව එයට ගොදුරක් වීම ම මිස අන් කවරක් ද? මේ ප්‍රමාදය සසරට අප ඇද බැඳ තබන පාපී බලවේගයනට ඒ ඇද බැඳ තැබීම පහසු කරවන්නක් විනා අපට දුකින් නිදහස් වීම පහසු කරවන්නක් නො වේ.

සැපත්, විපත් අභිමුව අප උගත යුතු පාඩම නම් මේ ඉපදීමේ දුක බවයි. ඒ පාඩම ඉගෙන ගන්නට තව කොපමණ නම් විපත් අප කරා පැමිණිය යුතු ද..?

මහාමේඝ