මිහිඳු මහරහතන් වහන්සේ, සිරි සම්බුද්ධ ශාසනය ලක්දිවට හඳුන්වා දුන් දින සිට අවුරුදු දහසක පමණ කාලයක් අනුරාධපුර පූජනීය නගරය කේන්ද්‍ර කොට ගත් රාජකීයයන් ඇතුළු බෞද්ධ ජන සංඝය එවක ලොව පැවති විශිෂ්ටතම ජනරජය මෙහි ගොඩනැගූහ. ක්ෂත්‍රියයන්ගෙන් උරුම කොටගත් පාරම්පරික අහිංසා ජීවිකා වෘත්තිය වූ ගොවිතැන වෙනුවෙන් වියළි කලාපය අස්වැද්දීම සඳහා පැරණි සිංහලයන් ගත් පරිශ්‍රමය ඒ ජනරජයේ ශක්තිමත් පදනම විය. අපගේ පැරැණ්නන්ගේ එකී මහානීය වෑයම පුරාවිදු සක්විති මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් අගය කළේ මෙපරිද්දෙනි:

“පුරාණ සිංහලයෝ පොළොවේ උස් පහත්කමින් හැකිතාක් ප්‍රයෝජන ගත්හ. ඔවුහු කඳුවැටි අතර කපොලු‍ වසා බැඳ ලොකු කුඩා වැව් තනා ගං ඉස්මත්තේ වේලි බැඳ කෘත්‍රිම ඇළවල් දිගේ ජලය හරවා ගත්හ. මේ වනාහි පැරණි සිංහලයන්ගේ විශිෂ්ටතම කෞශල්‍යයක් විය. ඔවුහු අමුණු, ඇළ, වේලි, වැව් එකිනෙක සම්බන්ධ කිරීමෙන් විස්මයජනක සංකීර්ණ ජල සම්පාදන ක්‍රමයක් ඇති කළහ. පැරණි සිංහලයන් තැනූ මේ වාරිමාර්ග, නවීන ඉංජිනේරුවන්ගේ ද විශේෂ ප්‍රශංසාවට ලක් වී ඇති බැව් කිව යුතුය.”

(ලංකා ඉතිහාසය-1964, 11 පිටුව)

මේ මහා පරිශ්‍රමය උදෙසා රජුන්ගේ සිට සාමාන්‍ය වැසියා දක්වා සියලු‍ ජනකාය එක්වීම පිළිබඳ වෘත්තාන්තය සිංහලයන්ගේ දේශය පිළිබඳ මහාවංශ කතාවයි. බුදුරජාණන් වහන්සේගේ පියතුමන් වූ සුද්ධෝදන රජතුමා එදවස නගුල අතට ගෙන කෙතට බැස සී සෑ පරිදි සිංහල රජවරු ද ගොවිකමට හුරු ඇත්තෝ වූහ. දේවානම්පියතිස්ස රජතුමා තෙමේම නගුල් හිස අතින් ගෙන අනුරපුර මහමෙව්නා බිම සීමා ලකුණු කළේ ගොවි නායකයෙකු සතුව පැවැති හුරුකම නිසාය. පැරණි හැම සිංහල රජෙකු ම ගොවිකම දත් ගැමි නායකයෙකු විය. එකල ගැමි නායකයා හැඳින්වූයේ ‘ගාමණි’ යනුවෙනි. ඒ යුගයේ රට පාලනය කළේ රජුන් නොව ගැමි නායකයන් බව පෙන්වා දුන්නේ ද මහාචාර්ය පරණවිතාන මහතාය. පැරණි සෙල්ලිපිවල රාජ්‍ය නායකයා හැඳින්වීමට ‘මාපරුමක’ යන නම යෙදිණි. ප්‍රාදේශීය නායක ‘ගාමණි’, ‘පරුමක’ නම්වලින් හැඳින්විණ. ඔවුහු ගොවි ජනයා හා එක්ව වප්මඟුල් පවත්වා කෙත් කරවා පළමු අස්වැන්නෙන් අගහස් දානය දී මහා සඟනට දන්පැන් පිරිනැමූහ. සාමාන්‍ය ජනයා සමඟ පැදුරු මත හිඳගෙන බණ ඇසූහ. ලංකාභූමිය ජනාවාස කොට ගත් ආර්ය ජනකාය, එවක ලෝකයේ විශිෂ්ටතම සහල් සභ්‍යත්වයක් ගොඩනැගුවේ ඒ ආකාරයෙනි.

එකල සිංහල දේශය, පෙරදිග ධාන්‍යාගාරය යනුවෙන් ලොව නන් දෙස පතල වන්නට විය. ඒ ආකර්ෂණයෙන් මෙරටට පැමිණි දේශාටකයෝ විවිධ අභිධානයන්ගෙන් සිංහල දේශය හඳුන්වන්නට වූහ. හෙළදිව හඳුන්වන මුල්ම භාරතීය ග්‍රන්ථය වන කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය, ලංකාභූමිය හැඳින්වූයේ ‘පාරසමුද්‍ර’ යනුවෙනි. ‘සෞභාග්‍යවත් දේශය’ යන අරුත එහි ගැබ්ව තිබේ. ග්‍රීකයන්ගේ වහරට අනුව එය ‘පැලෙයිසිමොංඩු’ විය. චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ රාජ සභාවේ සිටි ග්‍රීක දූතයා වූ මෙගස්තීනස්, ලක්දිව නම් කළේ ‘තැප්‍රෝබේන්’ (තම්බපණ්ණි) යනුවෙනි. දෙවැනි සියවසේ සිංහල දේශයට පැමිණි ටොලමි තැප්‍රෝබේන් වැසියන් හැඳින්වූයේ ‘සලයි’ නාමයෙනි. ‘සලයි’ යන වහර ‘සිංහල’ යන්නෙන් බිහිවූවක් බව මහාචාර්ය පරණවිතාන මහතා පැවසීය.

වැවත්, බුදු සමයත් නිසා උපන් අදීන සංස්කෘතියක් විසින් හික්මවන ලද සිතුම්, පැතුම්, හැඟුම් හා ආසාවන්ගෙන් යුතු පැරණි සිංහලයන්, අවිචාර පැවැත්මටත් – අධික කාම සම්පත් අනුභවයටත් අනුබල දුන් නාගරික සභ්‍යත්වය ප්‍රිය නොකළ බව පෙන්වා දෙන මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙසේ ද පවසයි:

“සිංහලයන් ශ්‍රේෂ්ඨ ස්ථානයට නැංග අවධියෙහි ලක්දිව පැවැත්නේ අධික කාම සම්පත් විඳීමට රජ ඇමතියන් එළවූ නාගරික සභ්‍යත්වයක් නොව සන්තුෂ්ටියෙන් කල් යැවීමට අනුබල දුන් ග්‍රාමීය සභ්‍යත්වයකි. මහාවංශය හා සිංහල සාහිත්‍යය පමණක් නොව අනුරාධපුරය, මිහින්තලය ආදී තැන්වල දැනුදු දක්නට ලැබෙන නටබුන් වස්තුද එසේ සිතීමට අනුබල දෙයි.”

(මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය -1974, 110 පිටුව)

අතීත යුගයේ ජාතියක් වශයෙන් සිංහලයන් දායාද කොටගත් බුදු දහමේ ආධ්‍යාත්ම උරුමයත්, භෞතික සම්පත් දියුණුව හා ශ්‍රී විභූතියත් අකාමකා දැමීමට වරින් වර කඩා වැදුණු ද්‍රවිඩ පල්ලව, චෝල, කාලිංග ආදි දකුණු ඉන්දීය සැහැසි මෘග ආක්‍රමණවලට නොසැලී මුහුණ දී ජය ගැනීමට සිංහලයන්ට ශක්තිය ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලය හා මිහිඳු මහරහතන් වහන්සේ ස්ථාපිත කළ ශක්තිමත් රාජ්‍ය පදනම නිසාය. පරිසරයටත්, සියලු‍ ප්‍රාණීන්ටත් මෙත් සිත පැතිරූ එහි සවිමත් පදනම, සිව් සියවසක් සසල වී ගියේ තුවක්කුවේ, බයිනෙත්තුවේ බලයෙන් මෙරට භෞතික හා ආධ්‍යාත්මික සම්පත් කොල්ලකෑමට පැමිණි පරංගි, ලන්දේසි හා ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ සැහැසි ක්‍රියා නිසාය. අවිහිංසා දහමකින් හික්මවූ ආධ්‍යාත්ම උරුමයක් සහිත සාමකාමී ජනකායකට කාලතුවක්කු, ගිනිබට හරඹය අරුමයක් විය. කන්ද උඩරට, ඌව, වෙල්ලස්සවාසි දහස් සංඛ්‍යාත නිරායුධ ජනකායත්, ගෙවල් දොරවල් හා කෙත් වතුපිටිත් නැසී වැනසී ගින්නෙන් දා අළු වී ගියේය. එසේ වුවද ලක්වැසි ජනතාවගේ ආධ්‍යාත්ම උරුමය වූ සිංහල බෞද්ධ පදනම කොල්ලකෑමට පරංගින්ට හා සුද්දන්ට හැකි වූයේ නැත. ඊට මංහසර හෙළිපෙහෙළි කොට දී වින කටින ලද්දේ සුද්දන්ගෙන් රට භාරගත් ආත්මාර්ථකාමී, බලලෝභී ස්වදේශවාසි දේශපාලන නායකයන් අතලොස්සක් විසිනි.

බටහිර අධිරාජ්‍යවාදීන්ගේ පාලනයෙන් අප නිදහස ලබා අවුරුදු විසිපහක් පමණ කාලයක් ගතවන තුරු ජාතිභේද වාදයක් මේ රට දැඩිව බලපැවැත්නේ නැත. සිංහල නායකයන් සමඟ ද්‍රවිඩ ප්‍රභූවරු ද නිදහස දිනා ගැනීම පිළිබඳ අරගලයට එක්ව සිටියහ. සිංහල දෙමළ ජනකාය උතුරේත්, සෙසු ප්‍රදේශවලත් සාමකාමී සහජීවනයෙන් යුතුව කල් ගෙවූහ. ඔවුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට ගරු කරන වාතාවරණයක් එකල පැවති බව අප උපන් දකුණු ප්‍රදේශයේත්, ටික කලක් (1972-74) සේවය කළ යාපනය ප්‍රදේශයේදීත් ලද අත්දැකීමෙන් අපි පසක් කළෙමු. එම සුහදශීලී සම්බන්ධතාව වනසන ලද්දේ දේශපාලන වශයෙන් බලයට පැමිණීම පිණිස පොර වැදුණු ආත්මාර්ථකාමී නායකයන් විසිනි.

ඉතිහාසයේ කිසිදු යුගයක සිදු නොවූ පරිදි ජාතිභේදවාදී ක්‍රියාවන්හි දැඩි බලපෑමක් ඇති වූයේ සිංහල බෞද්ධ ජනකායට ය. එහි බරපතළ විපාකයක් නම් අතීත සිංහල බෞද්ධ සංස්කෘතික උරුමය විදහා පෙන්වන සාහිත්‍ය කලා නිර්මාණයන්ට පවා වාරණ පැනවීමයි. මෙයට නිදසුනක් වශයෙන් ඉදිරිපත් කළ හැකි විශිෂ්ට ගී පද නිර්මාණයකට, මහාමේඝ සත්පුරුෂ පාඨක පින්වතුන්ගේ අවධානය යොමු කරවනු කැමැත්තෙමි.

මෑත යුගයේ සිංහල ජාතියේ වාසනාවට උපන්, නිර්මාණාත්මක පෞරුෂයෙන් අගතැන්පත් මහගම සේකර, පණ්ඩිත් අමරදේව, විසාරද නන්දා මාලිනී යන විශිෂ්ටයන් තිදෙනාගේ ප්‍රශස්ත සමවායයෙන් බැඳුණු එකී ගී පද නිර්මාණය වූ කලී ‘මේ සිංහල අපගේ රටයි’ යන මහරු‍ ගී වදන් පෙළහරයි. 1965 වසරේ දී තිරගත වූ ‘සාරවිට’ නැමැති සිනමා සිත්තම තුළින් විකසිත වූ ඒ ගී මල් පොකුර 1966 වසරේ දී පැවති සරසවිය සම්මාන උළෙලේ දී හොඳම ගී පද රචනය, ගායනය හා සංගීතය උදෙසා සම්මාන ලැබීය.

ගීතයේ ස්ථායි ගායන කොටස ආරම්භ වන්නේ සිංහල දේශයේ අනන්‍යතාවය හා උදාරත්වය මතු කොට දැක්වෙන ප්‍රබල සනිටුහනක් ඉදිරිපත් කරමිනි:

“මේ සිංහල අපගේ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි”

එකම වදන තෙවරක් යොදා තිබීමත්, පදාන්තයන් නගන අනුප්‍රාසවත් ධ්වනියත් නිසා ම දේශය පිළිබඳ උදාර හැඟීමක් ශ්‍රාවක සිතට පිවිසෙයි. සිංහලයන් විසින් ආර්ය ජනාවාසයක් බවට පත් කර ගනු ලැබූ යුගයේ සිට පරපුරෙන් පරපුරට ඉපදී පැවතගෙන ආවා වූද මතු මතුත් ඉපිද මියෙන්නා වූද ඔවුනට අයත් ලොව එකම රට සිංහල දේශයයි. අවුරුදු දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ඒ දේශය අභිබවා යාමට සමත් වූ රටක් ලොව තවත් නොමැති බව පරිසර සාධකවලින් ද සනාථ වෙයි.

“අහස සිඹින ගිරි කඳුරු
පොළොව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු
එරට අසිරි සිරි එයුරු”

මිහිපිට දක්නා ලැබෙන ස්වභාව ධර්මයේ සියලු‍ භෞතික සම්පත්වලින් අනූන පාරිසරික පද්ධතියක් අපට හිමිය. මධ්‍යම කඳුකරයෙන් අහසට නැගුණා වූ මහා ස්තූපයන් බඳු ගිරිශිඛර මතින් පැන නැගී සිව් දිසා ගලා බසින්නා වූ ගංගාවන්ගෙන් ද සමුදුරු පරයන මහ වැව්වලින් ද ලක් පොළව තෙමා සශ්‍රීක කරන්නේය. පවුරක් මෙන් රට වටා පිහිටා තිබෙන මහ මුහුදින් ඒ පොළොව රැකෙන්නේ ය. එබඳු වූ දේශයක අසිරි සිරි පමණ කළ නොහැක්කේමය.

ඒ අසිරිමත් දේශය වාසභූමි කොට ගත් අතීත මුතුන්මිත්තන්ගේ රුව ගුණ වරුණ කෙසේද?

“මව්බිම වෙනුවෙන් පොරණේ
දිවි දුන් විරු දරුවන්නේ
ලේවලිනුයි ඒ දෙරණේ
මිණි කැට මුතු ඇට මැවුනේ”

ඒ විරු දරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් ස්වකීය මාතෘභූමියේ ආරක්ෂාව හා සෞභාග්‍යය උදෙසා සිය මෙහෙවර ඉටු කොට මියපරලොව ගියාහුය. පර සතුරන්ගෙන් රට රැකගැනීම සඳහා සටන් වැදුණු ඔවුන්ගේ සිරුරින් ගලා ගිය ලේ දහරාවලින් මැවුණු මිණි මුතු කැට වන් වෙහෙර විහාර, මහා සෑය හා කෙත් යායවල් බැලූ බැලූ අත ඇසදිසි මානයේ අද ද අපගේ නෙත් සිත් පුබුදයි.

“සමනොළ ගිරි වළලු‍ බිමේ
බුදු සිරිපා පිපෙන හිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ”

සිංහල ජාතියේ උපතත් සමඟ අප දේශයට ලැබුණු සම කරුණා ගුණ මහිමය වූ කලී බුදුරජාණන් වහන්සේගේ උතුම් අදිටනයි. එනම්; සිංහල දේශයේ ආරක්ෂාව සක් දෙවිඳුන්ට පැවරීමයි. මුනි සිරිපා පිපෙන සමනොළ ගිරි වළලු‍ බිම පවත්නා තාක් කල් සිංහල ජාතියටත්, සිරිලක් භූමියටත් රැකවරණය සැලසෙනු ඇත.

මාත්‍රා තුනෙන් තුන සංගත වන, දදාරා තාලයෙන් ගැයෙන, දේශාභිමානය උද්දීපනය කරන, සිරිලක් භුමියේ සකලවිධ සෞන්දර්යයත්, ජාතික වාත්සල්‍යයත්, උතුම් බෞද්ධ උරුමයත් යුගයෙන් යුගයට ලොවට හඬ නගා කියන මෙබඳු මහරු උදානයක් තවත් අපට ඇත්තේ ද ?

සිංහල බෞද්ධ උරුමය ගැන ලොවට කෙසේ වෙතත් තම රටටවත් කියන්නට මැලි වන තරමට දේශපාලනයෙන් ඔද්දල් වී ගිය පාලකයන්ගේ අතින්, එවකට පැවති එකම විද්‍යුත් මාධ්‍ය වූ ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීම පවා තහනම් කෙරුණු මේ අනගි දේශාභිමානී ගීතය දැනුදු කලාතුරකින්වත් අසන්නට ලැබෙන්නේ නැත. ඒ තරමටම සිංහල බෞද්ධ උරුමය නූතනයන් අතින් ගිලිහී ගියේ දේශපාලන බලලෝභයේ විපාක වශයෙනි. අතීත ඉසුරුමත් යුගයේ මව්බිම වෙනුවෙන් දිවි දී කටයුතු කළ රාජ්‍ය පාලකයෝ තම රාජ්‍යත්වයත්, දේශයත් බුදු සසුන වෙනුවෙන් පූජා කළහ. මව්බිම වෙනුවෙන් දිවි දීම හෙවත් ජීවිතය කැප කිරීම කෙසේ වෙතත් ඒ පිළිබඳව සිහිපත් කිරීමටවත් වත්මන් බොහෝ පාලකයන් ඉදිරිපත් නොවීම සිංහල ජාතියේ අවාසනාවකි. තමා බෞද්ධයකු බව අමතක කොට තිරුපති වන්දනාවේ යන පාලකයන් සිටින යුගයක ලක්දෙරණේ මිණි කැට, මුතුඇට පහළවීම සිහිනයක්ම පමණක් වන්නේය.

අද අප ජාතිය පත්ව තිබෙන ඛේදජනක ඉරණම පිළිබඳව මීට අවුරුදු හතළිස් පහකට ඉහත දී මාර්ටින් වික්‍රමසිංහ මහතා, සිය ‘මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය’ ග්‍රන්ථයෙහිලා කළ අනතුරු ඇඟවීමකින් මෙම ගී රසහව් විමසුමට කුණ්ඩලිය තබමි.

“සිංහලයන්ගේ අනාගතය ඉතා අඳුරු ය. වර්තමාන අවදානම් තත්ත්වය ගැන ලංකාවේ දේශපාලඥයන්, ඉන්දියාවේ බමුණන් අනුකරණය කළ පඬුවන් හා යතිවරයන් ද වගකිව යුතුය.”

සටහන – දයාපාල ජයනෙත්ති