highlights of the week
Home » බෞද්ධ සාහිත්‍ය වර්ණනා » විශ්වයේ අග මුල සොයා ගිය අපේ ජන කවියෝ

විශ්වයේ අග මුල සොයා ගිය අපේ ජන කවියෝ

විශ්වයේ සම්භවය හා පැවැත්ම ගැන කුහුලින් යුතුව සොයා බැලීමට හා විමසීමට මිනිසා පෙළඹුණේ විද්‍යාඥයන් පහළ වීමට බොහෝ කලකට පෙර සිට ය. විද්‍යාඥයා වුව ද හදිසියේ පහළ වූවකු නොව ආදිකාලීන මානව චින්තන පරිණාමයේ ක්‍රම විකාශයක ඵල වශයෙන් එම තත්ත්වයට පත් වූවෙකි. විශ්වය අරබයා කල්පනා මාත්‍රයෙන් වුව ද යම් සංකල්ප ගොඩනැගූ ආදිමිනිසා ද එක්තරා අන්දමක ගවේෂකයෙකි. නව සොයාගැනීමක් කළ තැනැත්තෙකි. ඔහුගේ ගවේෂණ පරිපාකයට පත් වීමේ ප්‍රතිඵලයක් ලෙස කෙමෙන් විශ්වය අනාවරණය කර ගැනීමට නූතන මිනිසා සමත් විය. එහෙයින් නූතන දියුණු ශිෂ්ටාචාරයට පදනම දමන ලද්දේ ආදිකාලීන මුතුන්මිත්තන් විසිනි යි කිය හැකි ය.

මිනිසා විශ්වඥානය අත්පත් කර ගැනීම පිළිබඳ පුරාවත හැදෑරීමට අපට උපකාරී වන ප්‍රධාන මූලාශ්‍රය නම් ලේඛනගත ව හා වාචෝද්ගත ව පැවත එන සාහිත්‍යය යි. වාචන මාර්ගයෙන් හෙවත් මුඛ පරම්පරාවෙන් පැවතගෙන ආ භාණක සාහිත්‍යය ඉනුත් වැදගත් වනුයේ ප්‍රාකෘති මිනිසාගේ චින්තන පරිණාමය එහි පිළිඹිබු වන හෙයිනි. ජනශ්‍රැති නමින් මෙකල හැඳින්වෙන මෙම මාහැඟි සාහිත්‍යාංගය පෝෂණය කළෝ ගැමි ජනකාය යි. ජනකතා, ජන කවි, ජන ගී, පිරුළු, ජන නාටක, ජන ක්‍රීඩා, ජන ඇදහිලි හා විශ්වාස, උපමා, උපහැරණ ආදි වශයෙන් මුඛ පරම්පරාගත ව පැවත එන සියල්ල මේ ගණයට ඇතුළත් වේ. ගැමි ජනකාය තම දැනුම් මට්ටමේ තරමට අවට ලෝකය හා විශ්වය තම සිතුවිලිවලට ග්‍රහණය කර ගත් ආකාරය එම ජනශ්‍රැතිවල අතරින් පතර දක්නට ලැබේ. එදිනෙදා ජීවිතයට අදාළ කාර්යයන්හි නිරත වීමේ දී ලබන ජයග්‍රහණයන්, පසුබෑම්, කලකිරීම්, දුක් දොම්නස්, සැප සොම්නස් ආශ්‍රය කර ගත් ගැමි ජනකාය සිය අත්දැකීම් තුළින් බාහිර ලෝකය දෙස හෙළුෑ දෘෂ්ටිය වඩාත් විශද කෙරෙන්නේ ජන කවියෙනි.

ලොව අනෙකුත් දේශ දේශාන්තරයන් සමඟ කෙසේ වෙතත් තමන් වෙසෙන රටේ අනෙක් ප්‍රදේශ ගැනවත් නියත තතු දැනගැනීමේ සන්නිවේදන සබඳතා සීමා වී පැවති පැරණි යුගයේ ගැමියා විශ්වය, පෘථිවිය, ඉරහඳ, ග්‍රහලෝක ගැන කුහුලක් දක්වන්නට ආවේශය ලැබුවේ ජන කවියේ සංවාදශීලී ස්වරූපය නිසා ය. එම සංවාදාත්මක මෙහෙයුමට ඔවුන් මෙහෙයවනු ලැබුවේ සිය ජීවන අරගලයේ ඵල වශයෙනි. ස්වභාවධර්මයේ විෂම වෙනස්වීම්වලින්, වන සතුන්ගෙන් හා ආක්‍රමණිකයන්ගෙන් වන උපද්‍රව මැඩලමින් ජීවිකාව සඳහා කාලය වැය කළ ආදි මිනිසුන්ගේ මුළු මහත් පරිශ්‍රමය වූ කලී සිය වර්ගයාගේ පැවැත්ම සඳහා කළ අති දුෂ්කර අරගලයකි. අහස, පොළව, මුහුද පහළ වූයේ කෙසේ ද වැස්ස, ජල ගැලුම්, නියඟ, ලැව්ගිනි හට ගන්නේ කුමන බලවේගයකින් ද යන්න ඔවුන්ට ගැටලුවක් විය. මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ඒ පිළිබඳ ව එකිනෙකා සමඟ සංවාදයක යෙදුණේ තනිකම, කාන්සිය, විඩාව මඟහරවා ගැනීමේ ද උපායක් වශයෙනි. මේ කාරිය සඳහා කවිය ඔවුන්ට කදිම යානයක් වී ය.

ජීව ප්‍රකෘතිය හා විශ්වයේ ස්වභාවය ගැන විමසන්නට අපේ ජන කවියන් පෙළඹුනේ බුදු සමයෙන් ලද හික්මීම නිසා ය. ආගම, භාෂාව, සංස්කෘතිය හා ජීවිතය යන සතරෙහි ඒකමිතිය ජන කවියා තම කලාත්මක අන්තර්ඥානයෙන් පසක් කොට ගත් බව මාර්ටින් වික්‍රමසිංහ කියයි. මනුෂ්‍යයා සතුව පවත්නා ඉන්ද්‍රිය ශක්තියේ හා බුද්ධි ශක්තියේ සංයෝගයෙන් අන් කිසිම සත්වයෙකුට නොමැති ශක්‍යතාවයක් ඔහු ලබා සිටින බවත්, එය අන් කිසිවක් නොව භාෂාව බවත් වාග් විද්‍යාඥයෝ කියති. එම ශක්‍යතාවයේ ඵල වශයෙන් මින් පෙර සමාජයේ කිසිවෙකු නොඇසූ, එහෙත් කාටත් තේරුම් ගත හැකි නව ප්‍රකාශයක් උත්පාදනය කිරීමට මිනිස් මනසට හැකි වූ බව ද ඔවුන් පළ කරන මතයකි. භාෂාව සතු මෙම ප්‍රබල ශක්තියෙන් වඩාත් ඵල නෙළා ගත්තේ ජන කවියා ය. විශ්වයේ පහළ වීම ගැන කුහුලක් දක්වන ඔහු සිවුපදයේ හෙවත් කවියේ උපත ද ඒ හා සමඟ ම සිදු වී යයි අදහයි.

අහස උපන් තැන සකි නුඹ දන්නව ද
පොළව උපන් තැන සකි නුඹ දන්නව ද
මුහුද උපන් තැන සකි නුඹ දන්නව ද
සිවුපද උපන් තැන සකි නුඹ දන්නව ද

විශ්වයේ සම්භවය පිළිබඳ විමසන්නට තරම් සියුම් අන්තර්ඥානයක් ඔහු තුළ පහළ වූයේ දෙදහස් වසරක් මුළුල්ලේ සිංහල බෞද්ධ ජනකාය ප්‍රගුණ කොට ගත් භාෂා ශක්‍යතාවයේ හා චෛතසික පරිණාමයේ ඵල වශයෙනි. හැම දෙයක් ම පහළ වූයේ ග්‍රහ තාරකාවන්හි බලපෑමෙන් බව තිර ලෙස ඇදහූ ජන කවියා ඊට දුන් පිළිතුර මේ ය.

අහස උපන්නේ අස්විදයෙන් නොවෙද
පොළව උපන්නේ පුව පුටුවෙන් නොවෙද
මුහුද උපන්නේ මුවසිරසෙන් නොවෙද
සිවුපද උපන්නේ වීණාවෙන් නොවෙද

භාෂාවේ මෙන් ම මිනිස් කටහඬේ බලය හා විශ්වයේ වස්තූන් කෙරෙහි එහි බලපෑම ජනකවියා ඉවෙන් මෙන් හඳුනාගත් අයුරු පහත එන නිදසුන් කවියෙන් සමර්ථනය වෙයි.

අහසේ ගොසින් ඉර හඳ දෙවියන්ට කියන්
පොළොවේ ගොසින් මිහිකත දෙවියන්ට කියන්
වස් නැත අපට එළුවෙන් පාළියෙන් කියන්

අවර උදය පායන ඉර දෙවිගෙ වරන්
වෙසඟ පුරට පායන සඳ දෙවිගෙ වරන්
ලොහැම සතට මිහිකත දෙවියන්ගෙ වරන්
සිවු පද කියන අප රැක දෙන් සතර වරන්

කල්පයක් වැනසී ගොස් නැවත කල්පයක් පහළ වීම පිළිබඳ සංකල්පය අරභයා ගැමි කවියා නිර්මාණය කළ ලෝකෝත්පත්ති කථාව කාලයේ අවකාශය හා මිහිතලේ උපත ගැන ඔවුන් සිතූ අයුරු හෙළි කරන්නකි. විශ්වය තුළ චක්‍රාවාට ඇති වීම පිළිබඳ ව කාල නිර්ණයක් ගැමි කවියා ගෙන හැර දැක්වූයේ විද්‍යාඥයන්ගේ ගණිත ක්‍රම ගැන අවබෝධයකින් නො වේ. එය ඔවුන්ගේ නැණ පමණින් හඳුනාගත්තකි.

ද්වා දස මසකින් අවුරුද්දක් වෙයි තුන්සිය හැටපස් දින යෙදිලා
ඒ ලෙස අවුරුදු අසංකයක් වී මේ ලොව තිබුණේ කප බෙදිලා
ඒ ලෙස අවුරුදු අසංකයක් වෙයි සුදනනි මේ තුන්ලොව සැදිලා

එක් එක් කල්පයට බුදුරජාණන් වහන්සේනමක පහළ වීම පිළිබඳ දහම් ගැට ඉදිරිපත් කිරීමේ දී ගැමි කවියා කාල වකවානු දැක්වූවා සේ ම ඒ ඒ යුගයන් නම්වලින් හැඳින්වීමට ද ඔහු සමත් වී තිබේ. පළමු යුගය නේත්‍රා යුගය ලෙසත්, දෙවන යුගය පේත්‍රා යුගය ලෙසත්, තෙවැනි යුගය ද්වාපර යුගය ලෙසත් ඔහු හඳුන්වා දී ඇත.

නේත්‍රා යුගයට කකුසඳ මුනිරජ බුදු වීලා ලොව වැඩ සිටියේ
පේත්‍රා යුගයට කෝනාගම මුනිරජ බුදු වීලා ලොව වැඩ සිටියේ
ද්වාපර යුගයට කස්සප මුනිරජ බුදු වීලා ලොව වැඩ සිටියේ
මේ කලි යුගයට ගෞතම මුනිරජ බුදු වීලා ලොව වැඩ සිටියේ

සමුදුර ගොඩ ගලා මහා විනාශයක් වීම පිළිබඳ අත්දැකීම අපට පසක් කොට ගන්නට ලැබුණේ මෑතක දී වුව ද ඒ පිළිබඳ අතීතයේ විසූ අපේ ජනකවියන් සිය නිර්මාණයන්හි කළ ඉඟි දැක්වීම්, බෞද්ධ සම්ප්‍රදායයෙන් ඔවුන් උකහා ගත් ලෝක ධර්මතාවන්හි යථාර්ථවාදී බව ඉඳුරා පළ කෙරෙයි. මෙරට සැදැහැවත් බෞද්ධයන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වුණ ජන කාව්‍යයක් වන තුන්සරණයෙහි පහත දැක්වෙන පද්‍යය ම ඊට නිදසුනකි.

නො වී මින් ඉදිරි කිසි දුක් හැමදාම
එවී දැන් මතුව මුහුදේ රළ සේ ම
බැම්මේ උනත් මේ දිවි යනවා නියම
පේවී තුන්සරණ ගන්නයි හැමදාම

තුන්සරණයේ බලය මහ සමුදුර පවා ඉක්මවා පවතින බව එහි ම සඳහන් වන ‘මහ මුහුදට වැඩිව ද තුන්සරණේ’ යන පද්‍ය පාදයෙන් කියැවෙයි.
ලෝක විනාශය පිළිබඳ ජනකවියා දක්වා ඇති අදහස් විද්‍යාඥයන් ඒ අරභයා පළ කොට ඇති ඇතැම් මතයන්ට එකඟ වෙයි. භූමි පරිභෝජනය සීමාතික්‍රාන්ත වූ විට විවිධ විපර්යාසයන් සිදු වී ලෝකය අවසානය කරා ළං වන අයුරු ගැමි කවියා දකින්නේ මෙපරිද්දෙනි.

සොබන උතුම් වන මෙම භද්‍ර කල්පෙට
ගණන සරිවු තැන කල්පය නසින්නට
නොදැන අසමි නුඹගෙන් මම දැනගන්ට
කුමන දෙයක් මුල්වෙද කප නසින්නට

හත හත හත්වරක් ගිනි වැද නසින කලා
අට අට අටවරක් ජලයෙන් යති නැසිලා
මෙලෙසට සිවු සැටක් වර ජලයෙන් වැසිලා
සුළඟට එක් වරක් හසු කර යයි නැසිලා

කල්පාන්තයේ දී ලෝකය විනාශ වී යාමත්, ඉනුත් කාලාන්තරයකට පසුව නැවත පෘථිවිය පාදුර්භූත වී ජීවීන් පහළ වීම පිළිබඳවත් සංකල්ප පහළ කරන්නට ජන කවියා ඥානය ලැබුවේ කෙසේ ද? ‘මා වී උත්පැත්තිය හා ගොයම් මාලය’ කාව්‍යයේ දැක්වෙන පහත සඳහන් පද්‍ය යුගලයෙන් පැවසෙන්නේ පැරණි ගැමි කවියා එය උපකල්පනය කළ සැටියකි.

මහ සම්මත රජු හට මෙලෙසින්නේ
මහ ජල ගලමින් පොළොව නසින්නේ
මහ බඹු සමඟින් එකතු වෙමින්නේ
මහ පොළොවත් දෙවියෝ මවමින්නේ

මහ බඹුගේ පින් මහිමෙන් එම විට
ඊ හත පිපුනයි දෙරණින් උන් හට
මහ සම්මතයේ බුදිමින් උන් විට
පහ වුණි එම රස ලොව කළ විගසට

හිරු සත් කඩකට පුපුරා මිහිතලය ගිනියම් වී දැවී අළු වී යාම, මහ වැසි ඇද හැළී ජලයෙන් වැසී පොළෝතලය සහමුලින් ම අජීව ලෝකයක් බවට පත් වීම, අනතුරුව අසංඛ්‍ය කාලයකට පසුව යළිත් මිහිමත ජීවීන් පහළ වීම වැනි පෘථිවියේ සම්භවය පිළිබඳ සිදුවීම් ජන කවියාගේ මනසට නැගුණේ බුදු දහමේ අන්තර්ගත ලෝකෝත්පත්ති විස්තරය ඔහුගේ උප විඤ්ඤාණගත ව පැවති හෙයිනි. ජීව ලෝකය හා එහි ඇති වීම, නැති වීම හඳුනාගැනීමට එම නිදහස් සසුන්පත ඔහුට අනුබලයක් වී ය. ‘එකල්හී එක් කෑදර දේවතාවෙක් රස පොළොව ඇඟිල්ල ගා දිව ගා බැලී ය’ යනුවෙන් කියැවෙන අග්ගඤ්ඤ සූත්‍රය ගැමි කවියාගේ සංකල්පවලට පිවිසුණේ කොතරම් නිර්මාණශීලී ලෙසදැයි පහත සඳහන් කවිවලින් වටහා ගත හැකි ය.

පොරණ මෙකප ලොව බට දෙව් බඹ පිරිස
සැපෙන ප්‍රීති අහරෙන් විසුවෙය නිදොස
එදින පොළොව පිට දිලි පස් අමා ලෙස
නෙතින දැක එයින් බඹ පුතකු නොවලස

කන හළ මී ලෙසින්, සැදි එපසෙහි රසය
නෙක සිත ලොබින් අතැඟිලි වන මින් ගොසය
එක විට මඳක් දිව ගා බැලුව විගස ය
සැක නොව සිතී එය අම රසය විලසය

එක් වෙලා එකල සැම බඹ පුත් සතුට
සිත් පුරා කෑ ය පස් රස එතැන් සිට
මත් වෙලා ලොබින් බෝ කල් ගිය කලට
රොක් වෙලා වෙන ම ගොඩවල් දබර කොට

පෘථිවිය මත ජීවීන් බිහි වී ආහාර සොයා යාම, එම අහරට ලොබින් එකිනෙකා දබර කර ගැනීම, පංගු බෙදා ගැනීම ආදි වශයෙන් ස්වාර්ථ ලෝකය නිසා සමාජයීය වෙනස්කම් සිදු වීම ඇරඹිණ. එම සමාජ පරිණාමය ගැන කියන්ට එතරම් උගත්කමක් නොලද ගැමි ජනයා සමත් වී තිබීම ආශ්චර්යජනක ය.

ගැමි ජනකාය අතර පැතිර පවත්නා විශ්වාස හා ඒ අනුව කෙරෙන ඇදහිලි රැසකට මුල් වී ඇත්තේ ඉර හඳ ආදි ග්‍රහ වස්තූන්ගේ බලපෑම බව පෙනේ. මෙම ග්‍රහයන් දෙවිවරුන් සේ සලකා ඔවුහු පුද පූජා පැවැත්වූහ. කෙනෙකුට භාග්‍යය හෝ දුර්භාග්‍යය ගෙන දෙන්නේ ග්‍රහයන්ගේ බලපෑම නිසා ය යන්න ඔවුන්ගේ විශ්වාසය වී ය. ගැමි ජීවිතයේ සෑම වැදගත් සිදුවීමක් ම බැඳී පැවතුණේ මෙම විශ්වාසයන් පදනම් කොටගෙන ය.

ජීවීන් කෙරෙහි ඇතිවන සෞරග්‍රහ මණ්ඩලයේ බලපෑම ජන කවියා දැන සිටි බවට නිදසුන් නොඑක් තැනින් හමු වෙයි. සෙත්කවි, වස්කවි බැඳීමේ දී ග්‍රහයන්ට අනුව නිසි ගණ පිහිටුවා කාව්‍යය බන්ධනයට අපේ පසුකාලීන කවීන් පෙළඹුනේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ අරභයා පැනවූ උවදෙස් හා නීතිරීති කවි ලකුණු මිණිමල හා හෙළදිව් අබිදානවත යන ග්‍රන්ථවල දක්නට ලැබේ.

භූමි ගණේ ගුරු ම තුනයි සිරිසැප දෙයි ම ගණේ
දේව ගණේ ලඝු ම තුනයි ආයුෂ දෙයි න ගණේ
වායු ගණේ අගට ගුරයි ඇවිදුම් දෙයි ස ගණේ
සූරිය ගණේ මැදට ගුරයි රෝග වඩයි ජ ගණේ

ගුත්තිල කාව්‍ය කර්තෘ වෑත්තෑවේ හිමියන් වායු ගණයෙන් සිය කාව්‍යය ආරම්භ කළ නිසා උන්වහන්සේට ලක්දිව හැරයන්ට සිදු වී යැයි කියැවේ. සක්වළ වස්තූන්ගේ බලපෑම් මානව ජීවිතයේ පැවැත්ම හා භෞතික වස්තූන් කෙරෙහි ප්‍රතිබද්ධ ව ඇති බවත්, කාව්‍ය බන්ධනයේ දී මෙහෙයවන චෛතසික ශක්තියට එහි ආකර්ෂණය වැඩි බවත් පැරැණ්නෝ ඇදහූහ.

සූරිය ගිනි වායු ආකාශ සිවු ගණ
ජ, ර, ස, ත, මේ පිළිවෙළ පෙර ලෙස හැඳිනගෙන
සෝක මර උමතු දුක්පත් වෙයි මෙයින
අවැඩට තියන ගණ මේ යැයි දනු නිතින

තමන් හොඳින් දන්නා ඉර හඳ තරු පිළිබඳ ව යම් යම් සංකල්ප ගොඩනගා ගත් ජන කවීහු එම ග්‍රහ වස්තුවල පරිමාවත්, එහි දුර ප්‍රමාණයත් ගැනත් තම නැණ පමණින් මැන කීමට කවිය උපයෝගි කොට ගත්හ. ‘සූරිය මඬල වට කොච්චර ද සකිසඳ’ යනුවෙන් එක් අයෙකු විමසන පැනයට අනෙකා පිළිතුරු දුන්නේ ‘පනස් යොදුන් වෙයි සකිසඳ ඉර මඬලා’ යනුවෙනි. විශ්වය ගැන තමන් සිතන සිතුම් පළ කරන්නට ජන කවියන් බොහෝ දුරට උපයෝගී කර ගත්තේ තේරවිලි කවිය යි. චන්ද්‍ර මඬල ගැන කියැවෙන තේරවිලි කවි යුගළයක් මේ ය.

වැඳ මාලේ සත හට ගුණ ගැන නොවැඳ
කොඳ උදුලේ වට කර සයුර හිම සඳ
වඩන ලොලේ ගති සෙනෙහස වර නොවැඳ
සඳ මඬලේ වට කොච්චර ද සකිසඳ

ඉන්ද්‍ර දිග පැමිණි සත හට සර නොවෙනා
සුන්ද්‍ර ගුණ කොමල සකිසඳ බස් ඇඳිනා
ඉන්ද්‍ර සදිසි දෙවියෝ වත් සම නොවෙනා
චන්ද්‍ර මඬල වට හතළිස් නව යොදුනා

ග්‍රහ මණ්ඩලය ගැන පමණක් නොව අහස ගෙරවුම, විදුලි කෙටීම, වැස්ස, කඳු ගංගා මුහුද ප්‍රාදුර්භූත වීම ආදිය ගැන ගැමි කවීහු අපූරු නිර්මාණයන් බිහි කළහ. ඒ පිළිබඳ සිතන්ට, විමසන්ට ඔවුන්ගේ කුහුල වැඩුණේ පරිසරයේ හා සතුන්ගේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳ ව සියුම් ලෙස, අදීන ව කරන ලද නිරීක්ෂණයන්හි ඵල වශයෙනි.

අහස ගෙරවිල්ල සකි නුඹ දන්නව ද
පොළොව ගෙරවිල්ල සකි නුඹ දන්නව ද
අහසේ තරු මනින කෙණ්ඩිය දන්නව ද
මුහුදේ දිය මනින කෙණ්ඩිය දන්නව ද

අහස, පොළොව, මුහුද සිසාරා ගමන් ගන්නා වාහන, අහස් නැව්, යාත්‍රා ගමනාගමනය මතු යම් දවසක පරිසරය දෙදරවන තරමේ ව්‍යසනයක් වන බැව් අතීතයේ ජීවත් වූ ගැමි කවියා උපකල්පනය කළ අයුරු විස්මයාවහ ය.

අහස ඉරිතලා අහසෙන් දුවන්නේ
පොළොව ඉරිතලා පොළොවෙන් දුවන්නේ
මුහුද ඉරිතලා මුහුදෙන් දුවන්නේ
අහස පොළොව මුහුද ම ඉරිතලන්නේ

විද්‍යාත්මක දියුණුව නිසා වර්තමාන යුගයේ ඕසෝන් පටලය පුපුරා යන තරමේ මහා විපතක් සිදු වෙමින් පවත්නා බව මුළු ලොව ම දන්නා කාරණයකි. මුහුද පුපුරා ඉරිතලා යාම නිසා ඇති වූ සුනාමියෙන් ඉන්දියන් සාගර කලාපයේ දිවයින් රැසකට බරපතළ හානි සිදු විය. ඉහත සඳහන් කවියෙන් පැවසෙන්නේ එම විපත් මීට බොහෝ කලකට පෙර ජීවත් වූ අපේ ගැමි කවියා නිරීක්ෂණය කළ බව නො වේ ද?

සටහන – මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

රහතුන් නිවසනා පාය ප්‍රකාසේ

"බුදු සසුන සශ්‍රීක ව බැබළුණ ඒ අසිරිමත් යුගය අලලා ජෝන් ද සිල්වා නම් වූ දේශප්‍රේමි නාට්‍යවේදියාණන් විසින් මීට සියක් වසරකට පෙර ‘සිරි සඟබෝ’ නාට්‍යය උදෙසා රචනා කරන ලද “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” නමැති ගීතය එම විෂය අරභයා ලෝක ඉතිහාසයේ ම රචනා වූ එක ම ගීපද රචනය ලෙස දැක්විය හැකි ය. ගීතයේ පසුබිම ලෙස වර්ණනා කර ඇත්තේ අනුරාධපුර රාජධානියේ වැඩ විසූ රහතන් වහන්සේලා පිටු දුන් පරිසරය ය."