ශ්‍රද්ධාවන්ත බෞද්ධ කාන්තාව ‍දේව ඇදහිලි, යැදීම්, නැකත් ආදිය ගැන සිතන්නට යන්නේ නැහැ. මන්ද ඇය බුදුරජාණන් වහන්සේ සරණ ගිය මහා පෞරුෂයක් ඇති තැනැත්තියක් නිසා. නමුත් වත්මන් ලෝකයේ බොහෝ කාන්තාවන් මිත්‍යා දෘෂ්ටික යි. දෘෂ්ටිය වරදා‍ගෙන මේ ‍ලෝකයේ ජීවත්වන කාන්තාව කර ගන්නා විපත ගැනත්, ඒ වරදින් අත මිදිලා ඇයට උදාකර ගත හැකි සැපත ගැනත් අප මහමෙව්නා අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේ නමක් සමඟ සාකච්ඡා කළා.

දෘෂ්ටි සම්පත්තිය කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට සිතන්නට දැක්මක් හදා ගත් අයට ඇති සම්පතක්. විපත්තිය කියන්නේ නිරයගාමි දෙයක්. අංගුත්තර නිකායේ භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයට වදාළා. (දිට්ඨිවිපත්ති හේතුවා භික්ඛවේ සත්තා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.) දෘෂ්ටි විපත්තිය හේතුවෙන් කය බිඳී අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා කියා.

එහෙමනම් අපි මේ මනුස්ස ලෝකයේ අවුරුදු සියයකටත් අඩු කාලයක් ගෙවා මැරිලා යන්න ඉන්න අය යි. බොහෝම ටික කාලය යි මේ ලෝකයේ අපි කවුරුත් වාසය කරන්නේ. මේ පොඩි කාලය ඇතුළත අපේ දෘෂ්ටිය විපතකට වැටුණෙ‍ාත් අපි මියගියාට පස්සේ අපට නැවත මිනිස් ලෝකයේ ඉපදීමක් ලැබෙන්නේ නැහැ. බුද්ධ වචනයේ තිබෙන විදිහට අපායෙ තමයි උපදින්නෙ.

ඇයි කාන්තාව මෙතරම් මිත්‍යා දෘෂ්ටිය පසුපස්සේ යන්නේ?

දේවාල, කේන්දර, නැකැත්, පලාඵල ආදී දේ පසුපස ‍‍‍බොහෝ කාන්තාවන් යන්නේ කුතුහලයකින්. එක් තැනකින් වැරදුණත් අනෙක් තැනින් හරියයි කියලයි ඇය නිතරම හිතන්නේ. මේ ‍දේ පසුපස්සේ යන්නේ ඇයි කියා සොයා බැලු‍වොත් පෙනෙනවා, එක්කෝ තමන් සතු දෙයක් නැතිවෙලා. ඒවාට හානි වෙලා. නැත්නම් තමාගේ ව්‍යාපාරය බංකො‍ළොත් වෙලා, නිතර ම ලෙඩදුක්, හම්බු කරන දේ ඉතිරියක් නැහැ, දරුවන් අකීකරුයි. එහෙම නැත්නම් තමාට නිසි ගෙයක් දොරක් නැහැ, සුදුසු විවාහයක් නැහැ, දරු සම්පතක් නැහැ, වාහනයක් නැහැ තමා ආශා කරන දේ ලැබෙන්නේ නැහැ, රැකියා උසස්වීම් නැහැ. ඒ කියන්නේ ලාභය නිසාත්, අලාභය නිසාත් බො‍හෝ දෙනෙක් මිත්‍යා දෘෂ්ටිය පසුපස්සේ යනවා. ලාභයක් ලැබීමේ ආශාවෙන් යනවා. නැත්නම් අලාභය එපා කියා යනවා.

ඒ වගේම ඇයට නිතර, නිතර ලෝකයෙන් කෙණහිලිකම් එනවා නම්, නින්දා අපහාස එනවානම් ඇයි මට ම විතරක් මෙතරම් නින්දා අපහාස කියා එයට උත්තරයක් සොයන්න මිත්‍යා දෘෂ්ටිය පස්සෙ‍ යනවා. සමහර විට තමා‍ගේ පවුලේ අය විරසක වෙලා නම් ඒකට හේතුව හොයන්නත් ඇය පෙළඹෙන්නේ මිත්‍යා ඇදහිල්ලකින්. සමහර අම්මල දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතා කඩන්නත්, සමහර ලේලිලා අම්මාගෙයි පුතා‍ගෙයි සම්බන්ධය කඩන්නත් මිත්‍යා විශ්වාස කරමින් ඒ වැඩ කරනවා. ඒ වගේ ම ලෙඩ වෙනකොට, ජීවිතයට නොයෙකුත් කායික, මානසික දුක් එනවිට ඇයි මට මෙතරම් දුක් ‍ගොඩක් කියලා පිහිටක් සොයන්නෙත් මිත්‍යා ඇදහිල්ලකින්. කේන්දරය බලනවා, නිමිති බලනවා, දේවාලවල ගිහින් යදිනවා. ඒ නිසා අපට පෙනෙනවා සාමාන්‍ය ලෝකයේ ජීවත්වෙන පෘතග්ජන ස්වභාවයේ පිරිස මෙසේ චංචල වෙන්නේ, උතුම් බුද්ධ ශාසනයක් මුණ ගැසී තිබෙද්දීත් මිත්‍යා මත පසුපස්‍සේ යන්නේ අෂ්ටලෝක ධර්මය දරා ගන්න බැරි නිසයි.

මොනවද මේ අෂ්‍ට ලෝක ධර්ම

අංගුත්තර නිකායේ දේවදත්ත විපත්ති සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ වදාළා
සාධු භික්ඛවේ භික්ඛු කාලේන කාලං අත්තවිපත්තිං පච්චවෙක්ඛිතා හෝති – පින්වත් මහණෙනි, භික්ෂුව කාලෙන් කාලෙට තමන්ට සිදුවන විපත්ති ගැන නුවණින් සලක සලකා බලන්න ඕන. (මෙහිදී භික්ෂුව කිව්වාට දහමේ පිහිට සොයන ඕනෑම ශ්‍රාවකයෙකුට, ශ්‍රාවිකාවකට පොදු බුද්ධ අවවාදය යි එය.)

කාලේන කාලං පරවිපත්තිං පච්චවෙක්ඛිතා හෝති – කාලෙන් කාලෙට අනුන්ට වෙන ‍විපත් ගැන සළකා බලන්න ඕනෑ.

කාලේන කාලං අත්තසම්පත්තිං පච්චවෙක්ඛිතා හෝති – කාලෙන් කාලෙට තමන්ට ලැබෙන සම්පත් ගැන නුවණින් සළකා බලන්න ඕනෑ.

කාලේන කාලං පරසම්පත්තිං පච්චවෙක්ඛිතා හෝති – කාලෙන් කා‍‍ලෙට අනුන්ට ලැබෙන සම්පත් ගැන නුවණින් සළකා බලන්න ඕනෑ.

මේ ආකාරයට බලනකොට හොඳට තේරුම් යනවා තමන්ටත් කාලයකට විපත් තිබෙනවා. කාලයකට නැහැ. කාලයට සැපෙන්, කාලයට දුකෙන්. තමන් නුවණින් විමසද්දී තේරෙනවා මට විතරක් නොවේ අනෙක් අයටත් මේ වගේමයි කියලා. එහෙමනම් මේ සියල්ල පොදු ධර්මතාවයක්. එවිට ඇය නිගමනයකට එනවා මට විතරක් නොවේ මේ කරදර, ලෙඩදුක්. අනෙක් අයටත් කාලෙන් කාලයට ලෙඩදුක්, කරදර විපත් එනවා. මේ සියල්ල අනිත්‍යයි. මේකයි ලෝක ස්වභාවය කියා ඇය හඳුනා ගන්නවා. එතකොට ඇයගේ ජීවිතය සංසිඳෙනවා.

ලැබීම් හා නොලැබීම්

ලැබීම් හා නොලැබීම් හැම දෙනාට ම පොදුයි කියා දන්නා ශ්‍රාවිකාව කැමැති කැමැති දේ ඉල්ලාගෙන දේවාල ගානේ යන්නේ නැහැ. තමාගේ දේපල, ව්‍යාපාරවලට අලාභ වනවිට, දරුවන් අකීකරු වනවිට, බරපතළ ලෙඩරෝග හට ගත්විට, ඇය කිසිවිටෙක කලබල වෙන්නේ නැහැ. ඇය සොයාගෙන යන්නේ තමන්ගේ සිත රැකගත හැකි ක්‍රමයකුයි. චංචලවන, කම්පාවෙන සිතක් තිබෙන්නේ අශ්‍රැතවත් පෘතග්ජනයාට යි. භාග්‍යවතුන් වහන්සේ දුතිය ලෝකධම්ම සූත්‍රයේදී වදාළ පරිදි, අශ්‍රැතවත් පෘතග්ජනයාට ලාබයක් උපදින විට ඒ දේ අනිත්‍ය වෙලා යනවා, එය දුකක් ගෙන දෙනවා කියා ‍තේරෙන්නේ නැහැ. ඒ වගේ ම සමහර කාන්තාවන් නිවසක් හැදුවත්, විවාහයක් වුණත්, රැකියාවක් කළත්, ව්‍යාපාර කළත් ඒ හැම දේකම ඇති අනිත්‍ය ස්වභාවය, දුක්ඛිත ස්වාභාවය, වෙනස්වෙන ස්වභාවය තේරුම් නොගෙන ඒ ලාභය වැළඳ ගන්නවා.

ඒ වගේම ඇයට අලාභයක් එනවා. එය ඉවසාගෙන දරා ගන්නට තේරෙන්නෙත් නැහැ. තමාගේ ‍දේපළ ස්වභාවික විපතකින් විනාශ වෙනවා. රැකියාව අහිමි වෙනවා. මේ වගේ අලාභ එනකොට ඒ දේ අනිත්‍යයි, දුකයි, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්තයි කියා හිතන්න ඇය දක්ෂ නැහැ. ඒ නිසයි බොහෝ දෙනා අලාභය ඉදිරියේ මහා කම්පාවට පත් වෙලා සුසුම් හෙලන්නේ. සියදිවි නසා ගන්නේ. බුදු සමිඳුගේ ධර්මය ජීවිතයට ගළපා ගන්නට හැකියාවක් නැතිකමයි හේතුව.

අශ්‍රැතවත් පෘතග්ජනයාගේ යාළුවෝ, නෑදෑයින් ඔහුව අතහැර යනවා. මේ හැම දෙයක් ම අනිත්‍යය කියා දන්නේ නැති නිසා ඒක දරාගන්න බැරි වෙනවා. ‘යසස තිබෙන කාලයේ පිරිස සිටියට එයත් අනිත්‍ය දෙයක්. දවසක මම තනි වෙනවා’ කියා කල්පනා කළේ නැති නිසා දුක හටගන්නවා. මට නරක කාලයක් ලබලා ද කියා සිතා මිත්‍යා මත ඔස්සේ යනවා. බුදු කෙනෙකුගේ ධර්මයක් අසා නැති නිසා විසඳා ගන්න ක්‍රමයක් නැහැ. ඒ ‍වගේ ම නින්දාවක් ආවොත්, දුකට පත් වෙනවා, ප්‍රශංසාවක් ආවොත් මහත් උද්දාමයට පත්වෙනවා. ඒ දෙකම අනිත්‍යයි, දුකයි, වෙනස්වෙන ස්වභාවයට අයිතියි කියා හිතන්න පුළුවන්කමක් ඇයට නැහැ. තමන්ට කායික ‍හෝ මානසික දුකක් හට ගන්නවා. ඇයි මට මෙහෙම වුණේ? කියා බාහිරින් පිළිතුරු සොයනවා. වෙලාව බලනවා. ඒ අනුව කටයුතු කරනවා. ‍දේවාලවලට ගිහින් අයදිනවා. නම‍ුත් මේ විදිහට අෂ්ට ලෝක ධර්ම තමන්ගේ ජීවිතයට එනවිට ආර්ය ශ්‍රාවිකාවක් නම් බාහිරින් පිළිසරණක් සොයන්නේ නැහැ. ඇයට ඒ සඳහා යම් පිළිවෙළක්, පිහිටක් තිබෙනවා.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවිකාවක් නම්…

භාග්‍යවතුන් වහන්‍සේ වදාළ පරිදි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවිකාවකට ලාභයක් උපන් විට, ඇය කල්පනා කරනවා මට ලාභයක් උපන්නා. මේ ලාභය අනිත්‍යයි, දුකයි, වෙනස්වෙන ස්වභාවයට පත් වෙනවා කියලා. පෘතග්ජනයාට නැති පෞරුෂයක් ආර්ය ශ්‍රාවිකාවට තිබෙනවා. ඇයත් ලස්සන නිවසක ඉන්නවා. ඇයට හොඳ සැමියෙක් සිටිනවා. දරුවන් සිටිනවා. යාන වාහන තියෙනවා. රටේ පිළිගත් රැකියාවක් කරනවා. නමුත් ඇය නිරන්තරයෙන් ඒ සියල්ල ම අනිත්‍යයි, දුකයි, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්තයි කියා සිහි කරනවා. ඒ දේ තුළ සිත අළවා තබන්නේ නැහැ.

ඒ ‍ව‍ගේම ඇයට අලාභයක් එනවා. රැකියාව අහිමි වෙනවා. අකාලයේ පවුල විනාශ වෙනවා. දේපළ අහිමි වෙනවා. එවිටත් ඇය සිතනවා මට විතරක් වෙන දෙයක් නොවේ මේ. මේ ලැබුණ අලාභය අනිත්‍යයි, දුකයි, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්තයි කියන දහම් මනසිකාරය සිහි කරනවා. ඒ වගේම ආර්ය ශ්‍රාවිකාව යස අයස දෙකේදී ම එහි අනිත්‍ය ස්වභාවය සිහි කරනවා. ඒ වගේ ම ඇයගේ ජීවිතයට යම් දවසක ප්‍රශංසාවක් ආව ද ඒ ගැනත් කල්පනා කරන්නේ මේ සියල්ල අනිත්‍යයි, දුකයි, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඒ ප්‍රශංසා කළ අය ම දවසක ඇයට නින්දා කරනවා. එදාට ඇයට කඩා වැටීමට දෙයක් නැහැ. ඒ හැම දෙය ම අනිත්‍ය යි කියා එවිටත් සිහි කරනවා. ඒ වගේ ම නො හිතපු වෙලාවල ඇයට අධික කායික දුකක් හට ගන්නවා. බරපතල රෝගයක් වැළඳෙනවා. එවිටත් ඇය අනිත්‍යතාව සිහි කරනවා. ඒ ජීවිතයට ම කාලයක දී විශාල සැපක් ලැබෙනවා. නො සිතු ධනයක් ලැබෙනවා. එවිටත් ඇයට සිහි කරන්න තිබෙන්නේ පෙර පුරුදුකළ දේ ම යි. ඒ තමයි මේ හැම දේම අනිත්‍යයි, දුකයි, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා ඒ අෂ්‍ට ලෝක ධර්ම ගැන යථාර්ථය කල්පනා කරනවා. එසේ සිතද්දී ලාභයක් ලැබුණත් උද්දාමයට පත් නොවී අලාභයක් ආවත් කම්පාවට පත්නොවී සිටිනවා. එසේ සිතන උපාසිකාවක් කවදාවත් තවත් නොපෙනෙන සරණක් සොයාගෙන යන්නේ නැහැ. මේ හැම දේම අනිත්‍යයි, දුකයි, වෙනස්වෙන ස්වභාවයෙන් යුක්තයි කියා උතුම් බුදු වදන ම සිහි කරනවා. ඇය මහා පෞරුෂයකින් යුක්තව කල්පනා කරන්නේ තමා බුදුන් සරණ, දහම් සරණ, සඟ සරණ තුළ පිහිටා සිටින ආකාරය ගැන යි. ඇය මේ ජීවිතයේ මහත් කරදර මැද සිටියත් ඊළඟ ජීවිතයේ ඇයට සුගති ලෝකයකට යා හැකි වෙනවා. බුදු සමිඳුගේ ධර්මය තුළ ස්ථාවර වී සිටීමේ වාසිය ඒකයි.

මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙමු

එනිසා ආර්ය ශ්‍රාවිකාව මේ ජීවත් වෙන සුළු කාලය දෙස නොවේ බලන්නේ. මරණින් මත්තේ ජීවිතය දෙස යි. ඒ ජීවිතෙත් අනතුරක් නො වන්නට, මේ ජිවිතයේත් අනතුරක් නො වන්නට ඇය කටයුතු කරනවා. යම් කරදරයකදී එය ඉවසාගෙන තුනුරුවන් සිහි කරගෙන, සෑය බෝධිය වන්දනා කරගෙන, ජීවිතය තුනුරුවන්ට පූජාකරමින්, පිරිත් කියමින්, දහම් මනසිකාර කරමින්, රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරමින් සිටීමට ඇය දක්ෂ වෙනවා. එසේ සිටිද්දී මරණයට පත්වුණත් ඇයගේ මතු ජීවිතය සැපයි. බුදුරජාණන් වහන්සේගේ පහළවීම ඉර උදාවූවා වගේ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කණාමැදිරි එළි වගේ. සූර්යාලෝකය පහළ වූවාට පසු කණාමැදිරි එළි දිලෙන්නේ නැහැ. ඒ නිසා ඉර උදාවෙලා තිබෙද්දී අප තවත් කණාමැදිරි එළි පස්සේ යායුතු නෑ. බුදු සමිඳුගේ ධර්මය ඉදිරියේ කාන්තාවටත් ප්‍රඥාවන්ත ජීවිතයක් උපදවා ගත හැකියි.

නයනා නිල්මිණි