1. (පුණ්ණචන්දෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී පුන්සඳ මඬල වැනිය. (චන්දකිරණනිකරෝ විය තේන දේසිතෝ ධම්මෝ) ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී පුන්සඳ මඬලින් විහිදෙන සිහිල් සඳකිරණ වැනිය. (පුණ්ණචන්දකිරණසමුප්පාදිතපීණිතෝ ලෝකෝ විය සංඝෝ) ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී පුන්සඳ කිරණේ සිහිලසින් ප්‍රීතියට පත් වූ ලෝ සතුන් වැනිය.

2. (බාලසූරියෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී ළාහිරු මඬල වැනිය. (තස්ස රස්මිජාලමිව වුත්තප්පකාරෝ ධම්මෝ) ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී ළාහිරු මඬලින් පැතිරෙන රශ්මි ජාලය වැනිය. (තේන විහතන්ධකාරෝ ලෝකෝ විය සංඝෝ) ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී ළාහිරු රශ්මියේ ආලෝකය ලබා අඳුර පහ වී ගිය ලෝ සතුන් වැනිය.

3. (වනදාහකපුරිසෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී වනය දවන පුරුෂයෙක් වැනිය. (වනදහනග්ගි විය කිලේසවනදහනෝ ධම්මෝ) කෙලෙස් වනය දවාලන උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී වනය දවනා ගින්න වැනිය. (දඩ්ඪවනත්තා ඛෙත්තභූතෝ විය භූමිභාගෝ දඩ්ඪකිලේසත්තා පුඤ්ඤක්ඛෙත්තභූතෝ සංඝෝ) බුදු මුවින් වදහළ සද්ධර්මය නිසා කෙලෙස් වනය දවාලීමෙන් උතුම් පින්කෙත වූ ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී වනය දැවී යාමෙන් සරුකෙතක් වූ භූමිභාගය වැනිය.

4. (මහාමේඝෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී මහා මේඝයක් වැනිය. (සලිලවුට්ඨි විය ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී වැසි දහර වැනිය. (වුට්ඨිනිපාතූපසමිතරේණු විය ජනපදෝ උපසමිතකිලේසරේණු සංඝෝ) බුදු මුවින් වදහළ සද්ධර්මය නිසා හැම කෙලෙස් දුහුවිල්ලක්ම සංසිඳී ගිය ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී වැහි දහර වැටී දූවිලි සංසිඳී ගිය ජනපදය වැනිය.

5. (සුසාරථී විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී දක්ෂ රියැදුරෙක් වැනිය. (අස්සාජානීයවිනයූපායෝ විය ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී ආජානීය අශ්වයන් හික්මවන උපාය වැනිය. (සුවිනීතස්සාජානීයසමූහෝ විය සංඝෝ) බුදු මුවින් වදහළ සද්ධර්මය නිසා මැනැවින් දමනය වූ ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී මැනැවින් හික්මුණු ආජානීය අශ්ව සමූහයා වැනිය.

6. (සබ්බදිට්ඨිසල්ලුද්ධරණතෝ සල්ලකත්තෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී සියලු මිසදිටු හුල් උදුරාලීමට දක්ෂ හෙයින් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් වැනිය. (සල්ලුද්ධරණූපායෝ විය ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී හුල් උදුරාලන උපාය වැනිය. (සමුද්ධටසල්ලෝ විය ජනෝ සමුද්ධටදිට්ඨිසල්ලෝ සංඝෝ) බුදු මුවින් වදහළ සද්ධර්මය නිසා සියලු මිසදිටු හුල් උදුරා දමා සුවපත් වූ ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී උල් උදුරා දමා සුවපත් වූ ජනයා වැනිය.

7. (මෝහපටලසමුප්පාටනතෝ වා සාලාකියෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී මෝහ පටලය මුළුමනින්ම ඉවත් කිරීමට දක්ෂ හෙයින් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් වැනිය. (පටලසමුප්පාටනුපායෝ විය ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී පටලය ඉවත් කරනා උපාය වැනිය. (සමුප්පාටිතපටලෝ විප්පසන්නලෝචනෝ විය ජනෝ සමුප්පාටිතමෝහපටලෝ විප්පසන්නඤාණලෝචනෝ සංඝෝ) බුදු මුවින් වදහළ සද්ධර්මය නිසා මෝහ පටලය මුළුමනින්ම ඉවත් කොට දමා නුවණැස උපදවා ගත් ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී පටලය ඉවත් වීමෙන් පැහැදිලි පෙනීම ලැබූ ජනයා වැනිය.

8. (සානුසයකිලේසබ්‍යාධිහරණසමත්ථතාය වා කුසලෝ වෙජ්ජෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී අනුසය සහිත කෙලෙස් රෝග සුව කිරීමට දක්ෂ හෙයින් අතිදක්ෂ වෙදැදුරෙක් වැනිය. (සම්මා පයුත්තභේසජ්ජමිව ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී මැනැවින් ලබාදෙන බෙහෙත වැනිය. (භේසජ්ජපයෝගේන සමුපසන්තබ්‍යාධි විය ජනසමුදායෝ සමුපසන්තකිලේ සබ්‍යාධානුසයෝ සංඝෝ) බුදු මුවින් වදහළ සද්ධර්මය නිසා අනුසය සහිත වූ සියලු කෙලෙස් දුරු කර දමා සුවපත් වූ ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී මැනැවින් යෙදූ බෙහෙත් ලබා රෝග සුවපත් වූ ජන සමූහයා වැනිය.

9. (සුදේසකෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී (ක්ෂේම භූමිය වෙත මඟ පෙන්වා දෙන) යහපත් උපදේශකයෙකු වැනිය. (සුමග්ගෝ විය ඛේමන්තභූමි විය ච ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී යහපත් මඟෙන් යා හැකි ක්ෂේමභූමිය වැනිය. (මග්ගප්පටිපන්නෝ ඛේමන්තභූමිප්පත්තෝ විය සංඝෝ) ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී යහපත් උපදේශකයා පෙන්වූ මාවතේ ගමන් කොට ක්ෂේමභූමියට පැමිණි තැනැත්තා වැනිය.

10. (සුනාවිකෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී යහපත් නාවිකයෙකු වැනිය. (නාවා විය ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී නෞකාව වැනිය. (පාරප්පත්තෝ සම්පත්තිකෝ විය ජනෝ සංඝෝ) ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී යහපත් නාවිකයාගේ උපකාරයෙන් නෞකාවේ නැඟී සයුරෙන් එතෙරට පැමිණ සමෘද්ධිමත් වූ ජනයා වැනිය.

11. (හිමවා විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී හිමවත් පව්ව වැනිය. (තප්පභවෝසධමිව ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී හිමවත් පව්වේ ඇති බෙහෙත් වැනිය. (ඕසධූපභෝගේන නිරාමයෝ විය ජනෝ සංඝෝ) ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී හිමවත් පව්වේ බෙහෙත් පානය කොට නිරෝගී වූ ජනයා වැනිය.

12. (ධනදෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී ධනය ලබා දෙන්නෙකු වැනිය. (ධනං විය ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී ධනය වැනිය. (යථාධිප්පායං ලද්ධධනෝ විය ජනෝ සම්මාලද්ධඅරියධනෝ සංඝෝ) බුදු මුවින් වදහළ සද්ධර්මය නිසා මැනැවින් ආර්ය ධනය ලබා ආර්ය ධනයෙන් ධනවත් වූ ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී තම අභිමත පරිද්දෙන් ධනය ලැබූ ජනයා වැනිය.

13. (නිධිදස්සනකෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී නිධානයක් පෙන්වන්නෙකු වැනිය. (නිධි විය ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී නිධානය වැනිය. (නිධිප්පත්තෝ විය ජනෝ සංඝෝ) ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී නිධානය ලබා ගත් ජනයා වැනිය.

14. (අභයදෝ විය වීරපුරිසෝ බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී නිර්භය භාවය උපදවාදෙන වීර පුරුෂයෙක් වැනිය. (අභයමිව ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී නිර්භය වැනිය. (සම්පත්තාභයෝ විය ජනෝ අච්චන්තසබ්බභයෝ සංඝෝ) බුදු මුවින් වදහළ සද්ධර්මය නිසා අත්‍යන්තයෙන්ම සියලු භය දුරුකොට නිර්භය භාවයට පත් වූ ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී නිර්භය බව ලැබූ ජනයා වැනිය.

15. (අස්සාසකෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී සැනසිල්ල දෙන්නෙකු වැනිය. (අස්සාසෝ විය ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී සැනසිල්ල වැනිය. (අස්සත්ථජනෝ විය සංඝෝ) ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී සැනසිල්ලට පත් වූ ජනයා වැනිය.

16. (සුමිත්තෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී සැබෑවටම හිතවත් යහපත් මිතුරෙක් වැනිය. (හිතූපදේසෝ විය ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී හිතෝපදේශය වැනිය. (හිතූපයෝගේන පත්තසදත්ථෝ විය ජනෝ සංඝෝ) ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී හිතෝපදේශය අසා යහපත උදා කරගත් ජනයා වැනිය.

17. (ධනාකරෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී ධන ආකරයක් වැනිය. (ධනසාරෝ විය ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී සාරවත් ධනය වැනිය. (ධනසාරූපභෝගෝ විය ජනෝ සංඝෝ) ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී සාරවත් ධනය පරිභෝග කළ ජනයා වැනිය.

18. (රාජකුමාරන්හාපකෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී රාජ කුමාරයන් නහවන්නෙකු වැනිය. (සීසන්හානසලිලං විය ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී හිස ස්නානය කරනා ජලය වැනිය. (සුන්හාතරාජකුමාරවග්ගෝ විය සද්ධම්මසලිලසුන්හාතෝ සංඝෝ) බුදු මුවින් වදහළ සද්ධර්මය නම් වූ ජලය ස්නානය කොට සැනසුණු ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී හිස ස්නානය කළ රාජ කුමාරවරු සමූහය වැනිය.

19. (අලංකාරකාරකෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී අලංකාර කරවන්නෙකු වැනිය. (අලංකාරෝ විය ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී අලංකාරය වැනිය. (අලංකතරාජපුත්තගණෝ විය සද්ධම්මාලංකතෝ සංඝෝ) බුදු මුවින් වදහළ සද්ධර්මය නිසා අලංකාර වූ ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී අලංකාර ලෙස සැරසුණු රාජපුත්‍ර සමූහයක් වැනිය.

20. (චන්දනරුක්ඛෝ විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී සඳුන් රුකක් වැනිය. (තප්පභවගන්ධෝ විය ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී සඳුන් රුකෙන් විහිදෙන සුවඳ වැනිය. (චන්දනුපභෝගේන සන්තපරිළාහෝ විය ජනෝ සද්ධම්මූපභෝගේන සන්තපරිළාහෝ සංඝෝ) බුදු මුවින් වදහළ සද්ධර්මය නිසා සියලු පරිලාහයන් සංසිඳුවා ගත් ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී සඳුන් පරිභෝග කොට සියලු දැවීම් සංසිඳුවා ගත් ජනයා වැනිය.

21. (දායජ්ජසම්පදානකෝ විය පිතා බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී දරුවන්ට දායාදය ලබාදෙන පියාණන් වැනිය. (දායජ්ජං විය ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී දායාදය වැනිය. (දායජ්ජහරෝ පුත්තවග්ගෝ විය සද්ධම්මදායජ්ජහරෝ සංඝෝ) බුදු මුවින් වදහළ සද්ධර්මය නම් වූ දායාදය රැගෙන යන ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී පියාගේ දායාදය රැකගෙන රැගෙන යන පුත්‍ර සමූහයා වැනිය.

22. (විකසිතපදුමං විය බුද්ධෝ) බුදුරජාණන් වහන්සේ වනාහී විකසිත රතු නෙළුමක් වැනිය. (තප්පභවමධු විය ධම්මෝ) උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී ඒ නෙළුමේ රොන් වැනිය. (තදුපභෝගීභමරගණෝ විය සංඝෝ) ශ්‍රාවක මහා සඟරුවන් වහන්සේලා වනාහී ඒ නෙළුමෙන් රොන් උරනා බමර සමූහයා වැනිය.

ඛුද්දකනිකායට්ඨකථා