“වලාකුළු පහව ගිය අහසේ නැගී දිලෙන පුන්සඳක් වගේ, නිර්මලව රැස් විහිදා බබළන හිරු මඬලක් වගේ, මහා මුනිවරයාණන් වූ අංගීරස බුදුසමිඳාණෙනි, ඔබවහන්සේත් අන්න ඒ වගේ ම යි. සියලු ලොව අභිබවා යසසින් බබළනවා.”

(ගග්ගරා සූත්‍රය – සං.නි. 1)

සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් මේ ලෝකයට පහළ වන්නේ බොහෝ දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ය, හිතසුව පිණිස ය, ලෝකානුකම්පාවෙන් ම ය. ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු වූ සියල්ල අවබෝධ කළ සේක. සර්ව සම්පූර්ණ ජීවිතයක් ඇති සේක. මහා නුවණැති වන සේක. අළාමක ප්‍රඥා ඇති සේක. ගම්භීර ප්‍රඥා ඇති සේක. අද්විතීය වන සේක. අසහාය වන සේක. ලොව කිසිවෙකුට ඉසිලිය නො හැකි අපමණ ගුණ දරා වැඩ සිටි සේක. අපමණ ගුණ ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ තවත් බුදුරජාණන් වහන්සේනමක් කල්පයක් පුරාවට දේශනා කරයි ද ඒ කල්පය අවසන් වී යන්නේ ය. බුදු ගුණස්කන්ධය පවසා අවසන් නො වන්නේ ම ය. බුදුරජාණන් වහන්සේ ඒ අපමණ බුදුගුණ ගුණ නවයකට කැටිකොට වදාළ සේක. මේ ලිපියෙන් විස්තර වන්නේ ඒ ගුණ නවයෙන් සයවැන්න වූ අනුත්තරෝ පුරිසදම්ම සාරථී ගුණය ගැනයි.

දමනය කිරීමට අසීරු වූ අකීකරු දෙව් මිනිසුන් ඉර්ධි ප්‍රාතිහාර්යයෙන් ද ආදේශනා ප්‍රාතිහාර්යයෙන් ද අනුශාසනී ප්‍රාතිහාර්යයෙන් ද දමනය කොට අමා මහ නිවනට පමුණුවා වදාළ නිසා අපගේ ශාස්තෘන් වහන්සේ “අනුත්තරෝ පුරිසදම්මසාරථී” නම් වන සේක. බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ ආකාරයකින් ලෝ සතුන් දමනය කරන ආකාරය කේවඞ්ඪ නම් ගෘහපති පුත්‍රයාට මෙසේ වදාළ සේක.

“පින්වත් කේවඞ්ඪ, ඉර්ධි ප්‍රාතිහාර්ය කියන්නේ ශරීර කිහිපයක් මවා පෙන්වීම, හදිසියේ නො පෙනී ගමන් කිරීම, පර්වත විනිවිද ගමන් කිරීම, දිය මතුපිට ඇවිදීම, අහසින් ගමන් කිරීම ආදි නොයෙකුත් ඉර්ධි ප්‍රාතිහාර්යයන් ය.

පින්වත් කේවඞ්ඪ, ආදේශනා ප්‍රාතිහාර්ය කියන්නේ ඒ කෙනාට අනුන්ගේ සිත් කියන්න පුළුවන්කම යි. ඔබේ සිත මේ විදිහයි. ඔබ සිතන්නේ මේ විදිහටයි. සිත්වල ඇති දොම්නස් බව සොම්නස් බව, සිත හැසිරෙන අරමුණු ආදිය ගැන ප්‍රකාශ කළ හැකිවීමයි.

පින්වත් කේවඩ්ඪ, අනුශාසනී ප්‍රාතිහාර්ය කියන්නේ ධර්මයෙන් අනුශාසනා කිරීමයි. මේ විදිහට හිතන්න, මේ විදිහට හිතන්න එපා. මේ විදිහට විමසන්න, මේ විදිහට විමසන්න එපා. මේ මේ දේවල් පුරුදු කරන්න, මේ මේ දේවල් ප්‍රහාණය කරන්න. මේ මේ දේවල් ලබාගෙන වාසය කරන්න ආදී වශයෙන් අනුශාසනා කරමින්, සීල සමාධි ප්‍රඥා මාර්ගය පෙන්වා දී සසර දුකින් සත්වයා මුදවා ගැනීමට කටයුතු කිරීමයි. තථාගතයන් වහන්සේ වර්ණනා කරන්නේ මේ අනුශාසනී ප්‍රාතිහාර්ය ම යි.”

(කේවඩ්ඪ සූත්‍රය – දී. නි. 1)

බුදුරජාණන් වහන්සේ පහළ වූ යුගයක දෙව් මිනිස් ලෝකයාට තම ජීවිතය මුළුමනින් ම දමනය කර ගන්න වාසනාව ලැබේ. ඒ මක්නිසා ද යත් බුදුරජාණන් වහන්සේ (දන්තෝ) මුළුමනින් ම දමනයට පත් වූ, (දමයතං සෙට්ඨෝ) අන් අය දමනය කිරීමෙහි ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ වන නිසා ය.

භාග්‍යවතුන් වහන්සේ දඬු මුගුරු අවි ආයුධවලින් තොරව විවිධාකාර වධ බන්ධනවලින් තොරව ඒ ඒ පුද්ගලයන්ට ගැළපෙන අයුරින් ධර්මයෙන් ම ඔවුන් දමනය කළ සේක. අනාවරණ ප්‍රඥා ඇති ඒ සුගතයන් වහන්සේ ඒ ඒ පුද්ගලයා ව දමනය කිරීමට සුදුසු වෙලාව, කතා කිරීමට සුදුසු වචන, දමනය කළ යුතු ආකාරය, මේ පුද්ගලයා කොපමණකින් දමනය වෙත් ද ආදී සෑම දෙයක් ම මනාකොට දැක වදාළ සේක. ඒ ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම්, සසර පුරුදු, කල්පනා කරන ආකාරය, ඉන්ද්‍රියයන්ගේ මෝරා ඇති ප්‍රමාණය, සිතේ කෙලෙසුන් ක්‍රියාත්මක වන ආකාරය ආදී සෑම ගති ලක්‍ෂණයක් ම කිසිදු බාධාවකින් පැකිලීමකින් තොරව බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ කොට දකින සේක. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සකල ලෝකයේ ම දමනය කරන අය අතර ඒකාන්තයෙන් ම අග්‍ර වන සේක.

දමනය කිරීමට සුදුසු පිනැතියන් තුන්ලොවේ කොතනක සිටියත් මහා කාරුණිකයන් වහන්සේගේ බුදු ඇසට ඔවුන් සියල්ලෝ ම පෙනෙන්නේ ඈතට පෙනෙන හිමාල පර්වත රාජයා සේ ය. ඒ කිසිවෙකු හෝ අත්නොහැර දින සති මාස ගණන් බොහෝ වෙහෙසී ඒ සියලු දෙනාට ම පිහිට වූ සේක.

භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටි පන්සාලිස් වස පුරා ම එසේ දමනයට පත් කළ දෙව් මිනිසුන් ගණන ප්‍රමාණය කළ නො හැකි තරම් ය. සසරේ රැස්කළ පින් ඇති ඔවුහු සසරේ ම ඇති විවිධාකාර දෝෂයන් කරණ කොටගෙන සසරට ම සිරවී සිටියෝ ය. කෙලෙස් රෝගාදිය සුව කරන ශල්‍ය වෛද්‍යවරයාණන් වූ භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ පුද්ගලයාගේ කෙලෙස් දෝෂ හඳුනාගැනීමට අතිශයින් ම දක්‍ෂ වන සේක.

සසරේ කල්ප ගණන් පුරුදු වුණු ඒ දෝෂ සැණෙකින් ඉවත් කර පාරිශුද්ධ ජීවිතයක් ඔවුනට දායාද කරන්නට භාග්‍යවතුන් වහන්සේ අතිශයින් ම සමත් වූ සේක. ඒ නිසා අපායගාමී පවු කරමින් සසර සැඩ පහරේ ගසාගෙන ගිය ඒ පින් ඇති දෙව් මිනිසුන් සසර දුකින් නිදහස් වී සදහට ම නිවී සැනසී ගියහ.

භාග්‍යවතුන් වහන්සේ එකල සිටි විවිධාකාර ස්වභාවයේ අය දමනයට පත්කළ සේක. වාද කිරීම පිණිස පැමිණි සච්චක, කුණ්ඩලකේසී, උපාලි ගෘහපති ආදීන් ද දමනය කළහ. කුල මානයෙන් මත් ව වී සිටි වංශවත් කුලීනයන් ද දමනය කළහ. මිසදිටුවෙන් මුළා වී සිටි බක බ්‍රහ්මයා, පුණ්ණ, සේනිය, ජම්බුක ආදීන් ද දමනය කළ සේක. අංගුලිමාල, ආලවක හා සුචිලෝම යක්ෂයන්, නාලාගිරි ඇතා ආදී චණ්ඩ ගති ඇති අය ද සුවචයන් බවට පත්කළ සේක.

රාහුල, සංකිච්ච, අධිමුත්ත, භද්‍ර, රේවත ආදී වයසින් සත් වැනි වියෙහි පසු වූ ළදරු ශ්‍රමණයන් මහා මුනිවරුන් බවට පත් කළ සේක. අදින්න පුබ්බක, මසුරුකෝසිය ආදී මසුරන් දානපතියන් කළ සේක. පටාචාරා, කිසාගෝතමී, උබ්බරී, සන්තති ඇමති ආදී ප්‍රිය විප්පයෝග දුකින් සිහි විකල් වී සිටි අය, ප්‍රිය අප්‍රිය සැම දෙයකින් ම සදහට ම නිදහස් කර සුවපත් ජීවිත දායාද කළ සේක. අම්බපාලි, විමලා, සිරිමා, අඩ්ඪකාසි ආදී වෙසඟනන් සද්ධර්මයෙහි සුපිහිටි සුසිල්වත් ශ්‍රාවිකාවන් බවට පත්කළ සේක. ඛේමා, රූපනන්දා ආදී රූපයෙන් මත් වී සිටිය අයට රූපයේ යථා ස්වභාවය පෙන්වා දී රූපය පිරිසිඳ අවබෝධ කර දුන් සේක.

මහා කප්පින, භද්දිය, අනුරුද්ධ ආදී රන් බඳුනේ ආහාර ගත්, රන් මිරිවැඩි පයලූ ඉසුරුමත් රජවරු මැටි පාත්‍රය අතට ගෙන ගෙපිළිවෙළින් පිඬුසිගා යන, පාංශුකූල වස්ත්‍ර දරණ, රුක් සෙවණේ වාසය කරන නිකෙලෙස් මුනිවරුන් බවට පත්කළ සේක. යස, රට්ඨපාල, උග්ගසේන ආදී මහේශාක්‍ය සිටු පුතුන් තුරුණු වියේ දී ම මුළුමනින් ම කාමයන් බැහැර කර ලොව්තුරු සුව විඳින්නන් බවට පත් කළ සේක.

උත්පලවණ්ණා, සුමේධා, අනූපමා, භද්‍රකාපිලානී වැනි සුරූපිමත් තරුණියන් කසාවත දරා ඈත වන සෙනසුන්වල ගිරිගුහාවල හුදෙකලාවේ භය තැති ගැනීම්වලින් තොරව කෙලෙස් රහිත දිවි ගෙවන්නියන් බවට පත්කළ සේක. කන්ථක අශ්වයා, මණ්ඩුක, පාරිලෙය්‍යක ඇතා ආදී තිරිසන් සතුන් පවා පරලොව දෙවියන් අතරට ගෙනගිය ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම අනුත්තරෝ පුරිසදම්ම සාරථි නම් වන සේක.

බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන් පමණක් නොව ගිහි ශ්‍රාවකයන් පවා මනා හික්මීමක් ඇති දමනයට පත් වූ ජීවිත ගතකළ බව එදා දඹදිව පුරා ප්‍රචලිත විය. එය අන්‍යාගමිකයන් අතර පවා කතාබහට ලක්විය. එදා ජීවත් වූ බොහෝ දෙනාට මේ අසිරිමත් බුදු සසුනට පැහැදීම ම මහඟු පිටුවහලක් විය. කොසොල් රජතුමා මේ කරන ප්‍රකාශය ඊට හොඳ නිදසුනකි.

කෝසල රාජධානිය පුරා තම අණසක පැතිරූ කොසොල් රජතුමාට තම අධිකරණ සභාවේ දී අන්‍යයන් තමන් වෙත අවනත කරවා ගැනීම අතිශයින් ම දුෂ්කර විය. එදා වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දුටු කොසොල් මහ රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය.

“ස්වාමීනි, යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සිය ගණන් පිරිසට දහම් දෙසා වදාරණ සේක. එවිට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් අතරේ කිවිසුම් හඬක් හෝ උගුර පාදන හඬක් හෝ නො ඇසෙන්නේ ම ය. ස්වාමීනී, සිදු වූ දෙයක් පවසමි. එම දිනයේ ද භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සිය ගණන් පිරිසට දහම් දෙසමින් වැඩසිටි සේක. එකල්හි ඔබවහන්සේගේ ශ්‍රාවකයෙක් උගුර පෑදුවේ ය. ඒ මොහොතේ එක්තරා සබ්‍රහ්මචාරීන් වහන්සේනමක් තම දණහිසින් උන්වහන්සේගේ දණහිසට තට්ටු කොට “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, නිශ්ශබ්ද වනු මැනවි. ශබ්ද නො කළ මැනවි. අපගේ ශාස්තෘන් වහන්සේ දහම් දෙසන සේක” යැයි කියා ඇඟවූයේ ය. එවිට ස්වාමීනි මට මේ අදහස ඇති විය. “භවත්නි ඒකාන්තයෙන් ම ආශ්චර්යයි. ඒකාන්තයෙන් ම අද්භූතයි. දඩුමුගුරුවලින් තොරව, අවි ආයුධවලින් තොරව මේ ශ්‍රාවක පිරිස වනාහී මැනවින් හික්මී සිටින්නාහු ය. ස්වාමීනී, මම මේ ආකාරයෙන් මැනවින් හික්මී සිටින පිරිසක් නම් බුදුසසුනෙන් බැහැර වූ වෙන කිසිදු සසුනක, ආගමක නො දකින්නෙමි.”

(ධම්ම චේතිය සූත්‍රය – ම.නි. 2)

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වසර 2560 ක් ගත වුවද අදට පවා මෙය සාධාරණ ය. අදටත් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනී ප්‍රාතිහාර්යය ජීවමාන ය. අදටත් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව අසා දුස්සීල අය සිල්වත් වෙති. අසමාහිතයන් සමාහිත වූ සිත් ඇත්තෝ වෙති. මසුරු අය දානපතියන් වෙති. කාමයෙන් සතුටු වූ අය නෙක්ඛම්මයෙන් සතුටු වෙති. දුගතිය උරුම කර ගත්තෝ සුගතිය උරුම කර ගනිති. අනවබෝධයෙන් සිටි අය ජීවිතාවබෝධය ලබති. මෙසේ දෙව් මිනිස් ලෝකයා ව යහපත පිණිස දමනය කොට වදාළ ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම අනුත්තරෝ පුරිසදම්මසාරථි නම් වන සේක.

(මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.)