ඒ සිත නිවා සනසාලන දම් අමා දියවර ගලා තුන්ලොව ම සුවපත් කෙරුණු බුද්ධ කාලය යි. ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියැසින් දැක බලා ගන්නටත්, ඒ උතුම් මිහිරි දම් අමාවන් බුදු මුවින් ගලා එන ඇසිල්ලේ සවන් දෙන්නටත් වාසනාවන්ත වූ මිනිසුන්ගේ යුගය යි. සිතෙහි සුද වවන්නා වූ ඔවුන්ගේ ජීවිත සෑම කල්හි ම යහපතින් පිරී තිබුණි. එසේ සැලසුණ යහපත කෙතරම් ද යත් එකල කොසොල් රාජධානියේ අගනුවර වූ සැවැත්නුවර විසූ හත් කෝටියක ජනකායෙන් කෝටි පහක් ම මාර්ගඵලලාභී උපාසකයන් වූහ. ඒ උපාසකයන් මරණ මංචකයේ වැතිර සිටිය දී සදෙව් ලෝ වැසි දෙවිවරුන් මාලාදාමයන් අතින් ගෙන ඔවුන් වෙත පැමිණ ඒ ඒ දෙව්ලොව ඉපදෙන්න යැයි කියා ඇරයුම් කළහ. ඒ සියල්ලෝ මරණින් මතු නිදා පිබිදියාක් මෙන් උපන්නේ දෙව්ලොව ම ය…!

ඔවුහු යළි කිසි දිනකවත් දුගතියට නම් නො ගියෝ ය. සතර අපායෙන් සදහට ම නිදහස් වූවෝ ය. උත්තම රැකවරණ සලසා ගත්තෝ ය. ගිනි ගෙයක් වන් ගිහිගෙයි ම හිඳ වුව ද ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් නිදහස් වීමේ ඍජු මාවත තුළ තිරසාර වන්නට පින් ඇත්තෝ වූවේ ඒ සම්බුදු ශ‍්‍රාවකයන් පමණක් ම ය. එකල පමණක් නො වේ; මෙකල ද ඒ පින ඇත්තේ සම්බුදු ශ‍්‍රාවකයන්ට ම ය.

එකල ගිහිගෙයි මහා රාජකාරීන්ගෙන් ඉසිඹුවක් ලද ඇසිල්ලේ ඔවුන් සංඝයා වහන්සේලා දැක වන්දනා කරන්නට, ධර්ම කථාවෙහි යෙදෙන්නට ආරාම, වන සෙනසුන් කරා පිය නැගූ බව නිසැක ය. ඒ ගෞතම සම්මා සම්බුදු යුගය තරම් සාකල්‍යයෙන් ම සුන්දර වූ, අර්ථ පරිපූර්ණ වූ වෙනත් යුගයක් නම් මිහිපිට නො වී ය.

එදා මෙන් අදත් ගෞතම සම්බුදුරජාණන් වහන්සේ වදහළ උතුම් ශ්‍රී ධර්මස්කන්ධය ශ‍්‍රාවක පිරිසට නො මඳ රැකවරණය සලසා දෙමින් ජීවමාන ව වැඩ සිටින්නේ ය. එදා මෙන් අදත් ගිහිගෙයි රාජකාරීන්ගෙන් මඳ විවේකයක් ගෙන නුබ ගැබ සරණ සියොතුන් සේ ම නිදහසේ විමුක්ති මාර්ගය හුරු කරන්නට අත්‍යන්තයෙන් ම උචිත වූ සෙනසුන් ද තිබෙන්නේ ය. අද අප ඔබට කියන්නේ ද නැණ පහන් දල්වන්නට වෙහෙස වන්නවුන් හට පහන් කන්දක් ම වූ එවන් අසිරිමත් තෝතැන්නක් පිළිබඳවයි; කාමයෙන් අත්මිදීගත් නිෂ්කාමී දිවි පෙවතකට මංපෙත් විවර කරන්නා වූ, කෙලෙස් තවන්නවුන්ගේ ක්ෂේම භූමියක් ගැනයි. ඒ, ගෞතම සම්මා සම්බුදුරජුන් සරණ ගිය ගිහි උපාසක ශ‍්‍රාවකයන්ගේ සිල් ගුණ නැණ දියුණුපමුණු කිරීමේ උත්තරීතර අරමුණින් මහමෙව්නාව භාවනා අසපු සංචිතයට අනුබද්ධව සඳලංකාවෙහි ඉදි කෙරුණු ‘භාවනා කන්ද’ මහමෙව්නාව උපාසක භාවනා මධ්‍යස්ථානය යි.

අවිවේකී ගිහි ජීවිතයන් ගත කරන උපාසක පින්වතුන් හට සුව සේ නිවන් මඟ පුරුදු කිරීම පහසු කරනු පිණිස මෙම භාවනා මධ්‍යස්ථානය ගෞතම සම්මා සම්බුදු සසුනට පූජා කෙරුණේ 2011 වර්ෂයේ උඳුවප් මස තුන්වන දා ය. විදේශයක ඉපිද ගෞතම සම්බුදු සසුනේ උතුම් ශ‍්‍රාවකත්වය දරා ගැනීමේ වාසනා මහිමය උරුම කරගත් සැදැහැවත් සම්බුදු ශ‍්‍රාවිකාවකගේ මූලිකත්වයෙන්, කුටි හතකින්, ආවාස ගෙයකින්, සක්මන් මළුවකින්, සියලූ ගෘහ උපකරණ සහිත මුළුතැන්ගෙයකින් යනාදි බොහෝ පහසුකම්වලින් සමන්විතව අංග සම්පූර්ණව ඉදි කෙරුණු මේ මනරම් භාවනා කන්ද දෙවසරක් පුරා ගිහි උපාසකවරුන්ට ධර්මය ප‍්‍රගුණ කිරීමෙහි ලා මහානීය තෝතැන්නක් ම විය.

තථාගත ශ්‍රී සද්ධර්මය වනාහි ඇසීමෙන් පමණකුදු, කථා කිරීමෙන් පමණකුදු නො නවතින්නකි. ඒ උතුම් ධර්මය තමා තුළට පමුණුවාගෙන, තමා තුළින් දකිමින් ප‍්‍රගුණ කළ යුත්තකි. පංච කාමයන් සමග නිරන්තරයෙන් ගනුදෙනු කරනා ගිහි පිරිසට එය සැබැවින් ම දුෂ්කර ය. ඒ සා දුෂ්කර වූ දෙය පවා ඉතා පහසුවෙන්, ඉතා සුවසේ සිදු කරන්නට බුද්ධ කාලීන උපාසක උපාසිකාවන් සමර්ථ වූයේ නො මඳ ව ලද කලණමිතුරු උපකාරයනුත්, ඒ කල්‍යාණ වූ ඇසුර නිසාවෙන් වැඩි දියුණු වූ දහම් දැනුමත් අනුසාරයෙන් බව නො රහසකි.

ඒ බුද්ධ කාලයටත් වඩා වර්තමානය අවිවේකී ව ඇති බැවින් සහ විවේකය ලද ඇසිල්ලක වුව ධර්මය ප‍්‍රගුණ කිරීමට ඇති අවස්ථාවන් අතිශයින් විරල බැවින් භාවනා කන්ද ඉදි වීම හරහා ඉටු වුණේ අතිශයින් කාලෝචිත වූ අවශ්‍යතාවයක් බව පැහැදිලි ය. භාවනා කන්දේ දී දින සතක් පුරාවට ක‍්‍රියාත්මක කෙරෙන එක් වැඩසටහනක් උදෙසා උපාසකවරුන් සත් දෙනෙකුට සම්බන්ධ වීමේ ඉඩ ප‍්‍රස්තාව ඇත. ඒ දින සත මුළුල්ලේ සියලූ මඟ පෙන්වීම් පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් සිදු කෙරේ. ගිහි දස ශීලයෙහි පිහිටා උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් ධර්ම මාර්ගයට පිළිපන් ඒ උපාසකවරුන්ගේ දාන මාන ආදි දෛනික අවශ්‍යතා කැපකරු මහතාගෙන් සැපිරෙන අතර ඒ කටයුතුවලට උපකාර කරමින් වත්පිළිවෙත් ඉටු කිරීමේ අවස්ථාව ද උපාසක පින්වතුන්ට විවර ව ඇත.

උදෑසන හතරේ පටන් රාත‍්‍රි 10.30 වනතුරු දිනයේ දහම් වැඩසටහන් සිදු කෙරෙන කාලය තුළ කලණ මිතුරු ඇසුරේ හිඳිමින්, බුද්ධ වන්දනා, සද්ධර්ම ශ‍්‍රවණය, සූත‍්‍ර දේශනා අධ්‍යයනය, ධර්ම සාකච්ඡා, භාවනා පුරුදු කිරීම, වත්පිළිවෙත් ඉටු කිරීම ආදි වූ නිවන් මඟට උපකාර වන සොඳුරු ගුණධර්මයන් ප‍්‍රගුණ කිරීමේ ක‍්‍රමවත් වැඩපිළිවෙළක් භාවනා කන්දේ ක‍්‍රියාත්මක ය. භාවනා කන්දේ ඇති ත‍්‍රිපිටක පොත් වහන්සේලා වැඩ වෙසෙනා පුස්තකාලය වෙන්ව ඇත්තේ උපාසකවරුන්ගේ පරිශීලනය උදෙසා ම ය. සරල, අල්පේච්ඡ ජීවන රටාවකට අනුගත විය හැකි ආකාරයෙනුත්, භාවනානුකූල වටපිටාවක් නිර්මාණය වෙන ආකාරයෙනුත් මේ භාවනා කුටි සැකසී ඇත. අතීතයේ පටන් පැවත එන්නා වූ බෞද්ධ කලා ශිල්පයන් හා සම්ප‍්‍රදායන් ඉස්මතු කරවමින්, දහම් මනසිකාරයට උපයෝගී වන ආකාරයෙන් කුටි නිර්මාණය කර තිබීම පැසසුම් කටයුතු ය.

විදෙස්ගත ව සිටින සැදැහැවතුන් පවා දින හතක විවේක කාලයක් සකසා ගෙන භාවනා කන්දට පැමිණෙන්නේ මෙවන් යුගයක මෙවන් මහඟු අවකාශයක් සැලසී තිබීම ඔවුනගේ නො මඳ අස්වැසිල්ලට හේතු වී ඇති නිසාවෙනි. දින කිහිපයක හෝ විවේකයක් තිබේ නම් ඒ දින කිහිපය තුළ පවා මේ හා සම්බන්ධ ව ලද විවේකය සැබෑ විවේකයක් වගට පත් කර ගන්නට ද අවස්ථාව තිබේ.

තදබල ශාරීරික ආබාධ නො මැත්තේ නම්, හුදෙකලාවේ සිටිය හැකි, තනිව තම කටයුතු ඉටු කරගත හැකි, ඉතා කුඩා හෝ ඉතා මහලූ වයසේ පසු නො වන්නේ නම්, අමනුෂ්‍ය ගැටලූ, මානසික ගැටලූ නො තිබේ නම් නිවැසියන්ගේ අවසරය ඇති ව භාවනා කන්දේ සතියක් පුරා ධර්මය ප‍්‍රගුණ කිරීමට ගෞතම සම්බුදු සසුනේ සියලූ උපාසකවරුන්ට හැකි ය. මේ මහඟු අවස්ථාවෙන් වහා වහා ඵල නෙළා ගන්නට පින්වත් උපාසකවරු අප‍්‍රමාදී වෙත්වා!

අප සරණ ගිය ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යමෙකු නිසි ලෙස බුද්ධානුශාසනාවේ යෙදෙන්නේ නම් ඒ තැනැත්තාට සියලූ දුකින් නිදහස් වන්නට දින සතකුත් ප‍්‍රමාණවත් බව ය. ඉදින් ගොයුම් ගොත් සම්බුදු සමිඳුන් සරණ ගිය පින්වත් උපාසකවරුනි, ඒ සම්මා වායාමයේ යෙදෙන්නට දින සතක් පුරා ඔබට මේ විවර ව ඇත්තේ මහානර්ඝ අවස්ථාවකි. ඔබ සියල්ලන්ට ද භාවනා කන්ද තුළ නැණ පහන් දල්වන්නට භාග්‍යය උදා වේවා!

භාවනා කන්ද හා සම්බන්ධ වීම සඳහා අයැදුම්පත් මහමෙව්නාවේ සියලූ අසපු ශාඛාවලින් සහ www.mahamevnawa.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා ගත හැකි ය. ඒ සියලූ අයැදුම්පත් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයට යොමු කළ යුතු අතර සියලූ සම්බන්ධීකරණ කටයුතු ඒ හරහා සිදු කෙරේ.