අද ඔබට කියවන්න ලැබෙන්නේ අපූරු පිරිත් ආරක්ෂාවක් ගැනයි. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අපගේ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුබ්බේකතහේතු වාදය නම්වූ ‘සියල්ල පෙර කර්මය අනුව සිදු වේ’ යන්න නොවදාළ දෙයකි. උපන් සත්වයා ජරාවටත්, ව්‍යාධියටත් පත්වේ. උපන් සත්වයා ජරා මරණය කරා යයි. ලෙඩ දුක් වුවත් කාරණා අටක් නිසා හටගනී.

(වාත සමුට්ඨානා ආබාධා) වාතය කිපීමෙන් හටගන්නා ආබාධ, (පිත්ත සමුට්ඨානා ආබාධා) පිත කිපීමෙන් හටගන්නා ආබාධ, (සෙම්හ සමුට්ඨානා ආබාධා) සෙම කිපීමෙන් හටගන්නා ආබාධ, (සන්තිපාතිකා ආබාධා) තුන්දොස් කිපීමෙන් හටගන්නා ආබාධ, (උතු පරිණාමජා ආබාධා) ඍතු විපර්යාස නිසා හටගන්නා ආබාධ, (විෂම පරිහාරජා ආබාධා) වැරදි පරිහරණය නිසා හටගන්නා ආබාධ, (ඕපක්කමිකා ආබාධා) උපක්‍රම නිසා හටගන්නා ආබාධ, (කම්ම විපාකජා ආබාධා) කම්ම විපාක නිසා හටගන්නා ආබාධ…. මේ අනුව ලෙඩ රෝග කරදරවලදී කර්ම විපාක එක හේතුවක් පමණයි. මනා ශ්‍රද්ධාවෙන්, බලවත් විශ්වාසයෙන්, පහන් සිතින් පිරිත් බලය යොදාගෙන කර්ම විපාකයෙන් සිදුවන ආබාධ හැර අනෙක් ආබාධ දුරුකර ගත හැකි බව නාගසේන මහරහතන් වහන්සේ විස්තර කළ වදාළ බව මීට පෙර ලිපිවල ඔබ කියෙව්වා මතක ඇති. මේ වන විටත් පිරිතෙන් ලැබූ සහනය ඔබ අත්දැක ඇත. ඒ අනුව අදත් ඔබට කල්පයක් පවතින පිරිත් ආරක්ෂාවක් පුරුදුකර ගන්නා හැටි ඉගෙන ගන්නට අවස්ථාව උදාවේ.

මේ උතුම් පිරිත් ආරක්ෂාව නිසා අපගේ මහා බෝධිසත්වයෝ මොණර යෝනියේ ඉපිද අවුරුදු හත්සියයක් කිසිදු උවදුරකට ලක් නො වී නිදුක් ව ජීවිතය ගත කළහ. මේ උතුම් පිරිත මෝර පිරිත යි. මෝර පිරිතේ ආනුභාවය ද කල්පයක් පවතී. ‘බ්‍රහ්ම මන්ත්‍රය’ යනු බ්‍රහ්මචාරීන්ගේ මන්ත්‍රය යන්න ද වේ. බෝසත් මොනරා බ්‍රහ්මචාරී ව තම ආරක්ෂාවට කළ උතුම් ආර්ය වන්දනාවක් හෙයින් බ්‍රහ්ම මන්ත්‍රය යි. බ්‍රහ්මචාරී ව මෝර පිරිත නිතර සිහිකරන කෙනා විස්මිත දේ අත්දකී. මෝර පිරිතෙන් සම්පූර්ණ ජීවිත ආරක්ෂාව හා උවදුරු අනතුරු නිවාරණය සිදු වේ. ඒ නිසා අතීතයේ ශ්‍රාවකයෝ නිතර මෝර පිරිත භාවිත කළහ. මෝර පිරිතේ ආරම්භයට කතා වස්තුවක් වෙයි. එය සැකෙවින් මෙසේ ය.

ගොඩාක් ඉස්සර කාලෙක බෝධිසත්වයෝ මොණර යෝනියේ පිළිසිඳ ගත්තා. කිණිහිරි මල් පැහැය වගේ රන්වන් පැහැ ඇති මොණර බිත්තරයකිනුයි මොණරා උපන්නේ. මොණරා තනි රත්තරන් පාට පිල් කළඹින් යුතු වුණා. පියාපත් අතරේ රතු පාටින් දිලිසෙන පිහාටු තිබුණා. දුටුදුටුවන්ගේ නෙත් සිත් වසඟ කරවන රූපයක් තිබුණා. ඉතින් මේ රණමොණරා තමාව රැකගන්ට ඕනෑ නිසා පර්වත තුනකින් එහාට ගොසින් සතරවැනි පර්වතේ දණ්ඩක හිරණ්‍ය නමැති එක්තරා පර්වත තලාවක වාසය කළා.

රණමොණරා රාත්‍රිය ගතකොට රෑ එළිවෙද්දී පර්වත මුදුනේ හිඳගෙන උදාවෙන හිරුමඬල දෙස බලා තමන් ආහාර සොයා යන ගොදුරු බිමේ අනතුරක් නොවීම පිණිස බ්‍රහ්ම මන්ත්‍රයෙන් රැකවල් කරමින් මෙහෙම කියනවා.

1. උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසන්ති

මේ හිරු උදාවන විට – ඇස් ඇති එක ම රජු ලෙස
පතුරුවා රන්වන් රැස – මහපොළොව බබුළුවන්නේ
මහපොළොව බබුළුවන – හිරු මඬල නුඹ වදින්නෙමි මම
නුඹ විසින් සුරකින අපි – මෙ දවස වසමු සුවසේ

බෝසත් මොණරා මේ ගාථාව කියලා සූර්යාට නමස්කාර කරනවා. ඊට පස්සේ අතීතයේ වැඩ හිඳ පිරිනිවී ගිය බුදුරජාණන් වහන්සේලාට බුදුගුණයන්ට නමස්කාර කරනවා.

යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

හැම දහම් පරතෙර වැඩි – උතුම් සම්බුදු මුනිවරුන් වෙද
ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා
ඒ උතුම් සම්බුදුවරු – මගේ දිවි සුරකිත්වා
සම්බුදුවරුන් හට – මාගේ වැඳුම වේවා

සතර මග ඵල නුවණට – මාගේ වැඳුම වේවා
උතුම් රහතුන් හට – මාගේ වැඳුම වේවා
ඒ රහත් ඵලයට – මාගේ වැඳුම වේවා

මේ විදිහට නමස්කාර කොට මොණරා ගොදුරු සොයාගෙන යනවා. සවසට ත් ආයෙමත් පර්වතේ මතට ඇවිදින් වාඩිවෙලා බැස යන හිරු මඬල දෙස බලාගෙන මෙහෙම කියනවා.

2. අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං

පතුරුවා රන්වන් රැස – බබුළුවා මේ පොළොව ද
ඇස් ඇති එක ම රජු ලෙස – හිරුමඬල බැස යන විට
මහපොළොව බබුළුවන – හිරු මඬල නුඹ වඳින්නෙමි මම
නුඹ විසින් සුරකින අපි – මේ රැය ද වසමු සුවසේ

යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

හැම දහම් පරතෙර වැඩි – උතුම් සම්බුදු මුනිවරුන් වෙද
ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා
ඒ උතුම් සම්බුදුවරු – මගේ දිවි සුරකිත්වා
සම්බුදුවරුන් හට – මාගේ වැඳුම වේවා

සතර මග ඵල නුවණට – මාගේ වැඳුම වේවා
උතුම් රහතුන් හට – මාගේ වැඳුම වේවා
ඒ රහත් ඵලයට – මාගේ වැඳුම වේවා

මේ විදිහට ආරක්ෂාව ඇති කරගෙන රණමොණරා තමන් රාත්‍රියේ ලගින තැනට යනවා. මොණරාට පිරිතේ ආනුභාවය නිසා රෑට හෝ දවාලට හෝ කිසි භයක්, තැති ගැනීමක්, ලොමුඩැහැ ගැනීමක් හටගත්තේ නෑ.

මේ විදිහට කිසිදු අනතුරක් නොමැතිව වසර හත්සියයක් මොනරා නිදුක් ව සිටියේ ය. පිරිතේ ආනුභාවය නිසාවෙනි. බඹසරෙහි බලය මුසුවූ නිසාවෙනි. ඒත් රාජ ආඥාවට අනුව රාජ පරම්පරා 6ක් ම මොනරා අල්ලන්නට උපක්‍රම යෙදුවත් කිසිදු දෙයක් සඵල නො වී ය. හත්වෙනි රාජ පරම්පරාවේ දී ඒ සඳහා වෑයම් කළ වැද්දා මේ රහස දැන ගත්තේ ය. ඒ තමයි බඹසරත්, උදේ හවස කියන බුද්ධ මන්ත්‍රයත් නිසා මොනරාට කිසි කෙනෙකුට ළං විය නො හැකි බව. ඔහු සෙබඩක් පුරුදු කරවා බෝසත් මොනරා බුද්ධ මන්ත්‍රය සිහිකරන්නට පෙර සෙබඩගේ හඬින් හිතට රාගය ඉපැද්දවී ය. පිරිත අමතක වූ මොනරා සෙබඩිය සොයා ගියේ ය. මේ අවසරයෙන් වැද්දා මොනරා අල්ලා ගත්තේ ය. එනමුත් මොනරා තම ධර්ම බලයෙන් ගැලවුනේ ය. රජු ද සතුටු කරවූයේ ය. මේ විස්තරය සවිස්තරව ඉගෙනගන්නට ‘නුවණ වැඩෙන බෝසත් කතා 16’ වැනි පොත කියවන්න.

මෝර පිරිත සම්පූර්ණ ජීවිත ආරක්ෂාවට හා උවදුරු පහ කිරීමට අතීතයේ සිට භාවිත වූයේ ය. එසේ හෙයින් ඔබත් උදේ සවස භාවිත කරන්න. සමහර අය පිරිතේ පළමු කොටස උදේ කාලයේ ද දෙවන කොටස සවස් කාලයේ ද භාවිත කරති. එහි වරදක් කීමට නො හැකි ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ අපට මෙය වදාළේ එක විට ය. මෝර පිරිතේ බලය දස දහසක් සක්වළ පැතිර පවතී. ඕනෑම තැනක දී ඕනෑම දුරක දී සිහිකොට ආරක්ෂාව සලසා ගත හැක්කේ ය.

මෝර පිරිතෙහි අර්ථය විමසා බලද්දී ඇත්තටම කොයිතරම් ආරක්ෂාවක්දැයි හැඟේ. බුද්ධ වන්දනාවක සුවය උපදී. උදේ සවස සිහිකරන්නට ඇත්නම් කොයිතරම් භාග්‍යයක්දැයි සිතේ. ඒ නිසා පිරිතේ අර්ථය විමසා බලනු මැනවි.
විශේෂයෙන් ගමන් බිමන් යෑමේදී මෝර පිරිත සිහිකිරීම අත්‍යවශ්‍යයෙන් ම වටී. මාර්ග අනතුරු, ජීවිත අනතුරු සිදු නො වේ. මෝර පිරිත උදේ සවස සිහි කරන කෙනාට අණවින, කොඩිවින, උවදුරු නොවැදේ. අමනුෂ්‍ය දෝෂ පහව යත්. කිසිදු ජීවිත අන්තරායක් කළ නොහැකි වෙයි. මහා බ්‍රහ්මයා තමා තුරුලේ හොවාගෙන සිටිනා සේ ආරක්ෂාවක් මේ බ්‍රහ්ම මන්ත්‍රය නම් වූ මෝර පිරිතෙන් සැලසේ. නමුත් එහිලා සුදුසුකම් අවශ්‍ය ය. විශ්වාසයත්, සිතේ පහන් බවත්, කර්ම විපාකයෙන් ආවරණය නො වුණ බවත් ය. බ්‍රහ්මචාරී සීලය පුරුදු කරනා අයෙකුට මේ මෝර පිරිත තියුණු අසිපතක් බඳු ය. බ්‍රහ්මචාරී කෙනා හට පිරිත වහා ඵල ගෙන දෙයි.

නරක ස්වප්න දුටු අයෙක් උදේ සිහිපත් වේ නම් ඇඳේ සිට ම මෝර පිරිත සිහිකළ යුතු ය. බුදු පහන දල්වා සජ්ඣායනා කළ යුතු ය. නපුරු ස්වප්න දෝෂ නැති වේ. විශේෂයෙන් නිතර නිතර ස්ත්‍රීන් ගැන සිතිවිලි නිසා පීඩාවට පත්වන අය මෝර පිරිත සිහිකළ යුතු ය. බඹසරට අනතුරු දෑ සිතේ නිතර හක්කොලන් කරත් නම් මෝර පිරිත සිහි කළ යුතු ය. ගිහි අයෙක් නම් බඹසර සිල් සමාදන් ව දින 7ක් ආරක්ෂා කොට මහා සෑය, මහා බෝධිය සමීපයේ මෝර පිරිත බොහෝ වාර ගණනක් සජ්ඣායනා කොට ජීවිතය පූජා කළ යුතු ය. බඹසරට ඇති උවදුරු දුරු වේ. පාඩම් කරන ළමුන්ට සිත ගිය අරමුණ මතක් වීම පීඩාවක් වේ. පාඩම් කරන මේසයේ මෝර පිරිත ලියා තියන්න. සරාගී අරමුණු මතක් වන වරක් පාරා මෝර පිරිත කියන්න. ප්‍රතිඵලය අත්දකින්න. සිත සන්සිඳේ. බඹසරට ආශා අය මෝර පිරිත නිතර කීමට පුරුදු වන්න. වැරදි කාම සේවනාදී අනාචාරයට සිත නිතර යන්නේ නම් මෝර පිරිත නිතර කීමෙන් සිත පාලනය කරගැනීමේ හැකියාව ඇතිවේ. නරකට සිත යන වරක් පාසා ‘යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බ ධම්මේ’ ගාථාව සිහිකරන්න. මෝර පිරිතේ ආරක්ෂාව ඔබ අත්දකින්න. තිසරණයෙන් ලැබෙන සරණ ම සිහි කරන්න. සරණ සීලය කිලිටි කර ගන්න එපා.
සෑම සුභ කටයුත්තකදී ම මෝර පිරිතේ ‘යේ බ්‍රාහ්මණා…..’ ගාථා සිහිකොට සිදුකරන්න. අර්ථය සිදුවේ. දියුණුව සැලසේ. අන් අයට පිරිත් සෙත් කරන අය බඹසර සීලයේ පිහිටා කරන්න.

විශේෂයෙන් ජීවිත අනතුරුවල දී, අසාධ්‍ය රෝගීන්, හදිසි අනතුරු සිදුවූ අවස්ථාවල දී, ලෙඩාට රෝගය සොයා ගත නො හැකි අවස්ථාවල දී බඹසර සමාදන්ව (මහා සෑය, මහා බෝධිය) ආදී උතුම් ස්ථානවලදී මෝර පිරිත බොහෝ වර සජ්ඣායනා කොට ඔවුන්ගේ ජීවිත පුදා සෙත් පතන්න. අප ද දැනුවත්ව බොහෝ අය සුවපත් වූ අවස්ථා විය. තමාට අනතුරක් පැමිණේ දෝ යැයි හැඟෙන සෑම විටක ම මෝර පිරිත සිහිකරන්න. හැකි නම් සිංහලෙන් ද සිහි කරන්න. අර්ථය වැටහෙන බැවින් සතුට උපදී.

ජාතක කතා පොතේ මහා මෝර ජාතකය නම් තවත් ජාතක කතාවක් වෙයි. ඉදිරියට සරල සිංහලෙන් ඔබට කියවන්න ලැබේවි. ඒ අනුව මේ බෝසත් මොනරා උතුම් දහම් පවසද්දී වැද්දා පසේබුදු බවට පත්වේ. එවිට ඒ පසේබුදුරජුන්ගේ සත්‍ය ක්‍රියාවේ බලයෙන් ලොව සියලු සතුන්ගේ පරෝපක්‍රම බන්ධන සුන් විය. සතුන්ගේ සිර බන්ධන කැඩී නිදහස් විය. මන්ත්‍ර බන්ධන සුන්විය. එනිසා සියලු පරෝපක්‍රම බන්ධන සුන්කිරීමට මෝර පිරිතෙන් සෙත් සලසාගන්න. මීට කලින් පිරිත්වලදී ඉගෙනගත් පරිදි මේ උතුම් මෝර පිරිත ද සියලු දෙයට යහපති. අපගේ මහා බෝධි සත්වයෝ තිරිසන් යෝනියේ ඉපිද සිහිකළ ගාථා මෙතරම් බලසම්පන්න නම් උතුම් සම්බුදු බවට පැමිණ වදාළ රතන සූත්‍ර, ධජග්ග සූත්‍ර, කරණීයමෙත්ත සූත්‍ර ආදියේ කෙතරම් බලානුභාවයක් ඇද්දැයි සිතනු වටී.

අතීතයේ සිට පැවත එන ආරක්ෂක පිරිත් ලෙස රතන සූත්‍රය, අංගුලිමාල පිරිත, මෝර පිරිත, කරණීයමෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, ධජග්ග සූත්‍රය, ආටානාටිය පිරිත ආදිය පිළිබඳ ඔබට දැන් යම් වැටහීමක් ලැබී ඇතැයි සිතමි. තිසරණය බලවත් කර ගන්න. වෙන සරණක් නො සොයන්න. සරණ ගිය ශ්‍රාවකයාට උවදුරු පැමිණෙද්දී මේ සූත්‍ර වරක් සිහි කළත් විස්මිත ආරක්ෂා සැලසේ. උතුම් ආරක්ෂාවක් ලබන්නට තමන් සුදුස්සෙක් කර ගන්න. “සරණක් නෑ” යැයි අඳෝනා නගන දීන අසරණ බවින් මිදෙන්නට වහා ම, අද අද ම තිසරණ සරණ යන්න. මෝර පිරිතේ අනන්ත බලයෙන් ඔබට සෙත් වේවා…!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි