highlights of the week
Home » අපේ ආච්චිගේ ලස්සන බණ කථාව » අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 16

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 16

“පුතේ… මේ…. ඔයාල දන්නවැයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වූ මේ කල්පයට කියන නම?” කියලා එදා ආච්චි අපෙන් ප්‍රශ්නයක් ඇහුවා.

එතකොට ම නංගියා අත උඩට උස්සා මෙහෙම උත්තර දුන්නා. “ඔව්… ඔව්… ආච්චි… මං දන්නවා. මහාභද්‍ර කල්පය කියලා නේ මේ කල්පයට කියන්නේ.” ආන්න එතකොට යි මටත් ආච්චිගෙන් කල්ප ගැන විස්තරේ අහන්ට සිතුණේ.
“අනේ ආච්චි, ඔය අද අහපු ප්‍රශ්නය නම් අපට හරී වැදගත්. මං ඔයාගෙන් ඔය ගැන අහන්ට ම යි උන්නේ. හැබෑටම ආච්චියේ මොකක්ද මේ කල්පය කියන්නේ?”

“පුතේ… ඔයාලා ධර්මය ඉගෙන ගනිද්දී මේ කල්ප ගැනත් දැනගෙන තියෙන්ට ම ඕනෑ. එතකොටයි අපට මේ බුද්ධ රත්නයේ පහළ වීමේ ඇති මහා දුර්ලභකොම යාන්තමින් හරි තේරුම් ගන්ට ඇහැක් වෙන්නේ… ඕං… එහෙනම් මං කියා දෙන්නං… හොඳට අහගෙන ඉන්ට හොඳේ.”

ඒ මෙහෙමයි පුතේ… මහා කල්පය, අසංඛෙය්‍ය කල්පය, අන්තඃ කල්පය කියාලා කල්ප වර්ග තුනක් තියෙනවා.

මහා කල්පයකට පුතේ අසංඛෙය්‍ය කල්ප හතරක් තියෙනවා. ඒ හතරට කියනවා සංවට්ට කල්පය, සංවට්ටට්ඨායි කල්පය, විවට්ට කල්පය, විවට්ටට්ඨායි කල්පය කියලා. මෙයින් එක් අසංඛෙය්‍ය කල්පයක අන්තඃ කල්ප හැට හතරක් තියෙනවා.

ඉතින් පුතේ සංවට්ට කල්පය කියලා කියන්නේ ලෝකය ක්‍රමයෙන් විනාශ වේගෙන ගොහින් නැතිවී යන කල්පයට යි. සංවට්ටට්ඨායි කල්පය කියන්නේ එහෙම නැතිවෙච්චි කල්පය ඒ නැති වී විනාශ වූ විදිහට ම කාලාන්තරයක් දිගටම එහෝම තියෙන කල්පයටයි.

ඊ ළඟට පුතේ විවට්ට කල්පය කියන්නේ ආභස්සර බඹතලේ පටන් පහළ ඇති සියලු ම ලෝක ආයෙමත් හැදෙන්ට ගන්නා කල්පයට යි. විවට්ටට්ඨායි කල්පය කියන්නේ එහෙම හැදිලා ගිය ලෝක කාලාන්තරයක් ම එහෝම පවතින කල්පයට යි.

ඒ වගේ ම පුතේ ලෝකය කිව්වාම ඉන් අදහස් කරන්නේ මේ පෘථිවිය විතරක් නෙමේ. පහළ අපාගත ලෝකත් ආභස්සර බඹතලේ දක්වා ඇති සියලු ලෝක හොඳේ…. ඉතින් ලෝක විනාශයේ දී ඒ විනාශය තුන් අයුරකින් වෙනවා.

ගින්නෙන් විනාශ වෙනවා. ජලයෙන් විනාශ වෙනවා. සුළඟින් විනාශ වෙනවා. ලෝකය හැදිලා හිටං පවතින කල්පයේ දී, ඒ කියන්නේ විවට්ටට්ඨායි කල්පයේ දී රෝගපීඩාවලින් දුක් විඳිමින් නැසෙනකොට ඒකට රෝග අන්තඃ කල්පය කියනවා. එහෙම නැත්නම් අවිආයුධවලින් දුක් විඳිමින් නැසෙන්ට පුළුවනි. එතකොට ඒකට ආයුධ අන්තඃ කල්පය කියනවා. එහෙමත් නැත්නම් කන්ට බොන්ට නැතිව සාගින්නෙන් මැරෙන්ට පුළුවනි. ඒකට කියන්නේ දුර්භික්ෂ අන්තඃ කල්පය කියලයි. ඔන්න ඔය විදිහට පුතේ අන්තඃ කල්ප තුනකුත් තියෙනවා.

මං දැන් කියාපු ලෝක විනාශයේ දී කල්ප විනාශය සම්පූර්ණයෙන් පටන් ගන්නේ විවට්ටට්ඨායි කියන කල්පයෙන් පස්සෙයි. ඒ කියන්නේ ලෝකය ඇතිවෙලා පැවතුනාට පස්සෙයි. ඒ විවට්ටට්ඨායි කල්පයේ උපදින සත්වයන්ගේ සිත්වල හටගන්නා රාග – ද්වේෂ – මෝහ යන තුන්වැදෑරුම් අකුසල්වලින් මොකාක්හරි එකක් බලවත් වෙනවා. ඒ අනුව රැස්කර ගත් කර්මයන්ට අනුව තමයි ගින්නෙන් හරි ජලයෙන් හරි සුළඟින් හරි විනාශ වෙන්නේ. එතකොට පුතේ මේ කෝටි ලක්ෂයක් සක්වළ පුරා ඉන්නා සියලු සත්වයෝ වගේ ම හැම භෞතික දෙයක්මත් සම්පූර්ණයෙන් ම විනාශ වෙලා යනවා. ආභස්සර, සුභකිණ්ණ, වේහප්ඵල යන බඹතල දක්වා කෝටියක් සක්වළ බෙරයක ඇතුළේ මොකෝවත් නැතිව හිස් වුණා වාගේ වෙනවා.

නමුත් පුතේ ලෝකය සැදී පවතින කාලයේදීත් විනාශ සිද්ධ වෙනවා. හැබැයි සම්පූර්ණයෙන් ම නැසෙන්නේ නෑ. ඒ විනාශයට තමයි අන්තඃ කල්පවල දී විනාශ වෙනවා කියන්නේ. ඒ කියන්නේ පුතේ ලෝකය සැදී පවතින කාලයේ දී විනාශ වෙන්නේ සත්වයෝ විතරයි. ඒ සත්වයන්ගේ සිත් තුළ හටගන්නා රාග – ද්වේෂ – මෝහාදී අකුසල් මුල් කොට කරන කර්මයන්ට අනුකූලව එක්කෝ රෝගයන් නිසා සත්තු වැනසෙනවා. එහෙම නැත්නම් යුද කෝලාහල, ආයුධ වර්ෂා නිසා වැනසී යනවා. එහෙමත් නැත්නම් කන්ට බොන්ට නැතිව දුර්භික්ෂයෙන් වැනසී යනවා. හැබැයි ඒ විනාශයේ දී සංවට්ට කල්පයේ විනාශයේ දී වගේ සත්වයෝ නැත්තට නැතිවෙන්නේ නෑ. ගොඩාක් ඈයෝ මැරෙනවා. නමුත් කොටසකගේ පණ රැකෙනවා. ඒ පණ කෙන්ද රැකගත්තු ඈයෝ ක්‍රමයෙන් කුසල් දහම් දියුණු කර ගනිමින් ආයෙමත් පැවැත්ම යහපත් කොර ගන්නවා. එතකොට ආයුෂ වැඩිවෙන්ට ගන්නවා.”
“එතකොට ආච්චි… ඔය අන්තඃ කල්පයක් ගෙවිලා යන්ට කොච්චර කාලයක් ගතවෙනවා ද?”

“ඒක මෙහෙමයි පුතේ. ගව්වක් විතර විශාල අටුවක අබ පුරෝලා තියෙනවා කියලා හිතමු. එතකොට ඉර්ධිමත් කෙනෙක් ඇවිදින් හිටං අවුරුදු සීයකට වරක් ඒ අබ අටුවෙන් එක අබ ඇටයක් අයින් කරනවා. එතකොට පුතේ ඒ අබ අටුවේ අබ ඉවර වෙන්ට කොයිතරම් කලක් යා ද?”

“හාපෝ… ආච්චියේ… අවුරුදු සියයකට ම අයින් කරන්නේ එක අබ ඇටයයි නේ. ඉතින් එහෙමනං අටුවේ තියෙන අබ ඇට කෝටිගණන අවසන් වෙන්ට කොයිතරම් අවුරුදු ගත වේවි ද කියා කොහොමෙයි කියන්නේ?”

“ආං හරි… පුතේ. ඒ වගේ ම යි. යොදුනක් දුර ගල් පරුවතයක් අවුරුදු සියයකට වතාවක් සළුවකින් පිස දාන්ට පටන් අරන් ගොඩාක් කල් ගියා ම ඒ පරුවතේ කොල්ලු ඇටයක් ගානට ගෙවෙනවා. නමුත් පුතේ අන්තඃ කල්පය ඒත් අවසන් නෑ.

එතකොට පුතේ ආන්න ඒ අන්තඃ කල්පයේ ජීවත්වෙන මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් දස අවුරුද්දට බහිනවා. එතකොට ඒ මිනිස්සුන්නේ රාගාදී කෙලෙස්වලට අනුව රෝගයෙන් හරි ආයුධයෙන් හරි දුර්භික්ෂයෙන් හරි විනාශ වෙලා යනවා. එයින් ඉතුරු වෙච්චි ඈයො කුසල් දහම් දියුණු කොරගෙන කල් ගත කරන්ට පටන් ගන්නා නිසා ආයෙම ආයුෂ වැඩි වෙනවා. එහෙම වැඩිවෙලා වැඩිවෙලා හිටං අසංඛෙය්‍යට ම ආයුෂ වැඩි වෙනවා. ඊට පස්සේ ආයිමත් අකුසල් නිසා මිනිසුන්නේ ආයුෂ ක්‍රමයෙන් අඩුවෙවී ගොහින් දස අවුරුද්දට බහිනවා. එතකොට ආයිමත් ලෙඩරෝගවලින් හරි ආයුධවලින් හරි දුර්භික්ෂයෙන් හරි සත්වයෝ විනාශ වෙනවා.

ඉතින් පුතේ ඒ වගේ ම මහපොළොව අවුරුදු දාහකට වැඩෙන්නේ අඟලයි. අන්තඃ කල්පයක දී මහපොළොව යොදුනකුත් තුන් ගව්වක් උසට වැඩෙනවා. ඒ වගේ ම පුතේ ඔය අන්තඃ කල්පයක යුග හෙවත් කාලපරිච්ඡේද අටක් තියෙනවා.”

“මොනවාද ආච්චි ඒ යුග අට?”

“ඒ මෙහෙමයි පුතේ. උත්සර්පිණී කියලා යුග සතරයි, අපසර්පිණී කියලා යුග සතරයි. උත්සර්පිණී යුග සතරේ දී සත්වයාගේ ආයුෂ අවුරුදු දහයේ පටන් අසංඛෙය්‍ය දක්වා වැඩෙනවා. අපසර්පිණී යුග සතරේ දී අසංඛෙය්‍ය ඉඳන් අවුරුදු දහය දක්වා ආයුෂ පහළට බහිනවා.

ඒකෙන් උත්සර්පිණී යුග සතර කලි යුගය, ද්වාපර යුගය, ත්‍රෙතා යුගය, කෘත යුගය කියලා හඳුන්වනවා. අපසර්පිණී යුග සතර කෘත යුගය, ත්‍රෙතා යුගය, ද්වාපර යුගය, කලි යුගය කියා හඳුන්වනවා.

ඉතින් පුතේ මේ යුගවලින් කෘත යුගය කොටස් හතරකට බෙදෙනවා. ඒ සතර කොටස ම ගුණධර්මවලින් යුක්තයි. ත්‍රෙතා යුගයත් කොටස් හතරකට බෙදෙනවා. එයින් තුන් කොටසක් ගුණ ධර්ම යුතු කාලය යි. එක් කොටසක් අධර්මයෙන් යුක්තයි. ද්වාපර යුගයත් සතර කොටසකට බෙදෙනවා. එයින් දෙකොටසක් ධර්මයෙන් යුක්තයි. දෙකොටසක් අධර්මයෙන් යුක්තයි. කලි යුගයත් කොටස් සතරකට බෙදෙනවා. එයින් එක් කොටසක් ධර්මයෙන් යුක්තයි. අනිත් තුන් කොටස අධර්මයෙන් යුක්තයි.

ඉතින් පුතේ කලියුගයක සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් පහළ වීම තරම් ආශ්චරිය වෙන දෙයක් නෑ පුතේ. ඒක හරියට නිරයේ ගිනිජාලා මැදින් මල්රොන් පිරීගිය මහා පියුමක් පිපී ගොහින් දස දිසාවේ සුවඳ විහිදුවනවා වගේ මහා පුදුම දෙයක් මයෙ පුතේ.

ඉතින් පුතේ එක් මහා කල්පයකට අසංඛෙය්‍ය කල්ප සතරක් තියෙනවා. ඒ එක් එක් අසංඛෙය්‍ය කල්පයකට අන්තඃ කල්ප හැටහතරක් බැගින් තියෙනවා. එතකොට පුතේ අසංඛෙය්‍ය කල්පයකට අන්තඃකල්ප දෙසිය පනස් හයක් තියෙනවා.

ඒ වගේ ම පුතේ අන්තඃ කල්පයක යුග අටක් තියෙනවා නොවැ. එතකොට අසංඛෙය්‍ය කල්පයක යුග තියෙනවා දෙදහස් හතළිස් අටක්. ඔය විදිහට මහා කල්පය මහා දීර්ඝයි පුතේ.

ඉතින් පුතේ බුදුවරු නූපදින කල්ප තියෙනවා. ඒවාට කියන්නේ බුද්ධශූන්‍ය කල්ප කියලයි. බුදුවරු පහළ වන කල්ප පහක් තියෙනවා පුතේ. ඒවාට කියන්නේ සාර කල්පය, මණ්ඩ කල්පය, වර කල්පය, සාරමණ්ඩ කල්පය, භද්‍ර කල්පය කියලයි.

එතකොට පුතේ බුදුවරු පහළ වෙන අසංඛෙය්‍ය කල්ප පහක් තියෙනවා කිව්වා නේ දැන් මං. ආන්න ඒකෙදී යම් කල්පයක එක ම බුදුකෙනෙක් පහළ වෙනවා නම් ඒ කල්පය බුද්ධශූන්‍ය කල්පයන්ට වඩා සාරවත් නිසා එයට සාර කල්පය කියනවා.

ඊ ළඟට පුතේ යම් කල්පයක දෙනමක් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා නම් ඒ කල්පයට කියන්නේ මණ්ඩ කල්පය කියලයි. මණ්ඩ කියන්නේ ඉතාමත් උත්තම කියන එකටයි. එතකොට මණ්ඩ කියන්නේ බුදුවරු දෙනමක් පහළවීමෙන් ඒ කල්පය උතුම් ගුණවත්කමින් යුක්තයි කියන එක.

ඊට පස්සේ පුතේ ඒ මණ්ඩ කල්පයේ දෙවනුව පහළ වූ බුදුරජාණෝ තුන්වැනිව අනාගතයේ බුදුවරු පහළ වෙන බවට අනාවැකි වදාරණවා. ඒ කල්පයේ තුන්නමක් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා. එයින් ඒ කල්පය උත්තම භාවයට පත්වෙන නිසා එයට වර කල්පය කියනවා. වර කියන්නේ උතුම් කියන එකයි පුතේ.

ඊට පස්සේ පුතේ යම් කල්පයක සතරනමක් බුදුවරු පහළ වෙනවා නම් ඒ කල්පයට කියන්නේ සාරමණ්ඩ කල්පය කියලයි. ඒ කියන්නේ පුතේ ඒ කල්පය සාරවත් ගුණයෙන් උතුම් බවට පත්වුණා කියන එකයි.

ඊට පස්සේ තමයි පුතේ ඉතා ම අසිරිමත් මහා භද්‍ර කල්පය උදාවෙන්නේ. ඒ මහා භද්‍ර කල්පයේ පස්නමක් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා. මේ කල්පයට වඩා වෙනත් සුන්දර කල්පයක් නැති නිසයි මේ කල්පයට මහා භද්‍ර කල්පය කියන්නේ. ඉතින් පුතේ මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන බුදුවරයන් වහන්සේලා සතරනමක් පහළ වුණා. ඊ ළඟ අන්තඃ කල්පයේ දී මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්ට නියමිතයි පුතේ. එතකොට පුතේ හොඳින් මතකේට ගන්ට අපි මේ ගත කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන පවතින කාලයේ කියලා හොඳේ…”

(සද්ධර්මාලංකාරය ඇසුරෙනි)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

One comment

  1. මේ වගේ අති සුන්දර, ගැඹුරු දහමක් ඉතාමත් ම සරල ලෙස, අපිට අනුකම්පාවෙන්ම දේශනා කරනවට ඔබ වහන්සේට තෙරුවන් සරණ පතනවා….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 15

"උන්නාන්සේ ව දැක්කා විතරයි පුතේ අර මරලතෝනි දිදී හිටිය මිනිහාගේ හිතට මහා කෝපයක් හටගත්තා නොවැ. ඇස්ගෙඩි ලොකු කොරාන අපගේ මහෝත්තමයන් වහන්සේ දිහා බලාන උන්නා. “හහ්.... මේකා මොකෝ මෙහේ ආවේ. මං මේකාවත් මරා දමනවා” කියලා හිටං තමන් ඇඳේ වැතිරී සිටිද්දී ම අර භයානක මන්තරේ මතුරන්ට පටන් ගත්තා නොවැ. "