පිටිසර පෙදෙසක වාසය කළ තෙරුන් වහන්සේනමක් මහා සෑයත්, මහ බෝධියත් වැඳීම සඳහා අතවැසි වූ තෙරනමක් සමඟ අනුරාධපුරයට ගියේ ය. සවස් කාලයේ බොහෝ දෙනා වන්දනා කරන හෙයින් ටික වේලාවක් නතර වී සිට ඔවුන් ගිය පසු තෙරුන් වහන්සේ සාමණේරනමටත් නොදන්වා හුදෙකලාව ම වන්දනාව සඳහා මහසෑයට ගියහ. සාමණේරනම මෙය දැක මහතෙරුන් වහන්සේ අවේලාවේ කොහි යන්නේදැයි දැනගැනීම සඳහා උන්වහන්සේට නො දැනෙන්න පසුපස්සේ ගියේ ය.

තෙරුන් වහන්සේ දකුණු දෙරටුවෙන් සෑ මළුවට ඇතුළු වී බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සෑය වඳින්නට පටන් ගත්හ. උන්වහන්සේ ඉතා බැතිබරව වන්දනා කරන බව දැක මල් ලැබුණා නම් පූජා කරන්නට ඉතා කැමති වේ යැයි සාමණේරනම සිතුවේ ය. තෙරුන් වහන්සේ සෑය වැඳ නැගිට දා‍ෙහොත් මුදුනේ තබාගෙන සිටින විට සාමණේරනම උගුර පාදා තමා එහි සිටින බව ඇඟවී ය.

ඔහු දුටු තෙරණුවෝ “ඔබ මෙහි කොයිවේලේ පැමිණියේදැ” යි ඇසූ විට “ඔබ වහන්සේ සෑය වඳිද්දී ම” යැයි කියා “ස්වාමීනී, මල් ලැබුණොත් පූජා කරන්නේදැ” යි ඇසී ය.

“ආයුෂ්මතුනි, මෙවැනි අසදෘශ චෛත්‍යයකට මල් ලැබුණොත් පූජා නො කරන්නේ කවරෙක් ද?” යැයි කී විට සාමණේරයෝ ඉර්ධියෙන් හිමාලයට ගොස් සුවඳින් හා පැහැයෙන් යුතු මල් පෙරහනක් ගෙනවුත් පිළිගැන්වූහ. තෙරණුවෝ “මල් ඉතා ටික නො වේ ද?” කියා බටහිර පැත්තේ පියගැට පෙළින් උඩට නැග මල් පූජා කරන්නට පටන් ගත්හ. පළමු පේසාව පිරී පහතට මල් වැටිණි. නැවත සෑම තැන ම මල් විසිරුවමින් පූජා කළහ. එතරම් විශාල මළුව මලින් පිරුණ නමුත් “සාමණේරය, මල් අවසන් වන්නේ නැහැ නොවැ” යි තලතුනා තෙරනම පැවසූහ.

“ස්වාමීනී, පෙරහන යටිකුරු කොට හළනු මැනවි” යි සාමණේරනම කීවේ ය. එවිට මල් අවසන් විය. තෙරුන් වහන්සේ පෙරහන සාාමණේරනමට දී ඇත්පවුර වටා ගොස් සෑය තෙවරක් පැදකුණු කොට හැරී යන්නේ, ‘මේ සාමණේරනමට මහත් වූ ඉර්ධියක් ඇත්තේ ය. එහෙත් මෙය රැකගන්නට හැකි වේදැ?’ යි දිවැසින් බලන්නේ එය රැකගත නො හැකි බව දුටුවාහ.

“සාමණේරය, ඔබ දැන් මහත් ඉර්ධි ඇත්තෙකි. අනාගතයේ මේ ඉර්ධිය නසාගෙන එක ඇසක් කණ වූ පේසකාර ස්ත්‍රියක අතින් සාදන ලද කැඳ බොන්නට සිදුවන්නේ යැ” යි උන්වහන්සේ කීවාහු ය.

සාමණේරනම ඒ අනාවැකිය ගණනකට නො ගත්තේ ය. තෙරණුවෝ කුටෙලිතිස්ස විහාරයට වැඩියහ. සාමණේරනම තෙරණුවන් පිඬු පිණිස යන විට උන්වහන්සේ පිටුපස නො ගොස් “ස්වාමීනී, කවර ගමකට වඩිනා සේක්දැ” යි විමසා “අසවල් ගමට” යැයි කී විට උන්වහන්සේ එහි පිටත් කර යවා තමා පසුව අහසින් ගොස් ගම්දොර සමීපයේ දී තෙරුන් වහන්සේගේ පා සිවුරු දුන්නේ ය.

තෙරුන් වහන්සේ “සාමණේරය, පෘථග්ජන ඉර්ධිය ඉතා දුර්වලයි. විරුද්ධ අරමුණක් දැකීමෙන් බිඳෙන්නට පිළිවෙන. ඒ නිසා අප්‍රමාදී වව්” යයි අවවාද කළහ. එහෙත් ඒ අවවාදය පිළිගත්තේ සාමණේරනම නම් නො වේ. තෙරුන් වහන්සේ චෛත්‍ය වන්දනා කරමින් කබුපෙලන්ද විහාරයට වැඩියහ. එහි වාසය කරද්දී ද සාමණේරයෝ අහසින් ගියහ.

දිනක් රූමත් පේෂකාර තරුණියක් ගම අසල විලකට බැස මියුරු සරින් ගීයක් ගයමින් නෙළුම් මල් නෙළුවා ය. සාමණේර හිමි විලට උඩින් අහසින් යන්නේ ඇයගේ ගීත ස්වරයට බැඳුණි. ඒ සමඟ ම ධ්‍යානයෙන් පිරීහී පියාපත් සිඳී ගිය කපුටෙකු මෙන් අහසින් වැටුණේ ය. බිඳී ගියත් සමාපත්තියේ බලයෙන් ජලයෙහි නො වැටී විල් ඉවුරට පාත් විය. උන්වහන්සේ වේගයෙන් දුවගොස් උපාධ්‍යාය තෙරණුවන්ට පා සිවුරු දී නැවතුනාහ.

තෙරණුවෝ තවදුරටත් අවවාද කළ නමුත් සාමණේර හිමි නතර කිරීමට නො හැකි විය. සාමණේරනම විල් ඉවුරට ගොස් තරුණිය ගොඩට එන තුරු බලා සිටියේ ය. සාමණේරනම අහසින් ගිය බවත්, නැවත පැමිණ සිටින බවත් දුටු තරුණිය “සාමණේරයෙනි, ඉවත් වෙව” යි කීවා ය.

ඔහු ඉවත් වූ කල දියෙන් ගොඩට පැමිණි ඇය වස්ත්‍ර හැඳගෙන අවුත් “ස්වාමීනී කුමක් නිසා මෙහි සිටින්නේදැ” යි ඇසුවා ය. සාමණේරනම තම අදහස කී විට ඕතොමෝ නොයෙක් අයුරින් ඊට විරුද්ධව කරුණු කීවා ය. එහෙත් ඔහුගේ අදහස වෙනස් කරන්නට පුළුවන්කමක් නො වී ය. තරුණිය තම නිවසට ගොස් තම දෙමාපියන්ට මේ ගැන කීවා ය. දෙමව්පියෝ එතනට පැමිණියහ. ඔවුහු ද ඔහුට අවවාද කළහ. කිසිම අදහසක් පිළිගැනීමට ඔහු කැමති නො වී ය.

අවසානයේ දී ඔවුහු මෙසේ ද විමසුවාහු ය. “අපි පේෂකාරයෝ වෙමු. අපේ කර්මාන්තය ඔබට කළ හැකි ද?” “පින්වතුනි, ගිහි වූයේ නම් පේෂ කර්මාන්තය හෝ කුළුපොතු කර්මාන්තය හෝ කරන්නේ ය. මට හැඳ ගැනීමට වස්ත්‍රයක් දීමට තරම් තොප පරිත්‍යාගශීලි නො වන්නාහු ද?” යි ඇසූ විට පේෂකාරිය තමන්ගේ ඉණ වටා ඔතා තිබුණු වස්ත්‍රය ලිහා දුන්නී ය. එය හැඳගෙන මහණකමින් ඉවත් වූ ඔහු ගෙදරට කැඳවාගෙන යනු ලැබුණු පසු ඇය පාවා ගත්තේ ය. ඔහු රෙදි විවීම ඉගෙනගෙන අනෙකුත් පිරිස සමඟ පේෂ කර්මාන්තයේ යෙදී සිටියේ ය.

දිනක් අනෙක් කම්කරුවන්ගේ බිරින්දෑවරු කල් තියා ඔවුනට කෑම ගෙනාහ. ඔහුගේ බිරිඳ මෙතෙක් බත් නො ගෙනා නිසා, අනෙක් අය වැඩ නතරකොට කෑම කද්දී ඔහු රෙදි විවීමෙහි යෙදී සිටියේ ය. තම බිරිය පමා වී පැමිණි බැවින් ඔහු ඇයට තර්ජනය කළේ ය. ඇය සැමියා අමතා මෙසේ කීවා ය. “වෙන අයගේ ගෙවල්වල අවශ්‍ය උපකරණ රැස්කරගෙන තිබේ. පිටතින් ගෙනත් දෙන්නෝ ද සිටිති. මා තනිවම සියලු දේ ම කර ගත යුතු ය. ගෙයි මොනවා ඇති ද නැති ද කිසිවෙක් දන්නේ නැත. ඉතින් කැමති නම් අනුභව කරන්න. අකමැති නම් නිකන් ඉන්න හීරළුවා..” ඔහු තදින් කෝප විය. “දවල් වී බත ගෙනාවා මදිවට මට වදන්වලින් ද අවමන් කරන්නී ය.” කියා දමා ගැසිය යුතු වෙනත් දෙයක් නැතිව රෙදි වියන අලුව ගෙන ඇය වෙතට දමා ගැසී ය. එහි තියුණු කොණ ඇයගේ ඇසක ඇනී ඇස තුවාල විය. ලේ වැගිරෙන්නට විය.

ඒ මොහොතේ ම උපාධ්‍යායන් වහන්සේ “එකැස් කණ පේෂකාර ස්ත්‍රියක් පිසූ කැඳ බොන්නට වේවි” යයි පැවසූ වදන් සිහි වී ඒ ගැන සිතමින් හඬන්නට පටන් ගත්තේ ය. එය බලා සිටි පිරිස “පින්වත, දැන් හැඬීමෙන් ඵලක් නැත. හැඬීමෙන් ඇස ප්‍රකෘතිමත් කළ නො හැක. හැඬීම නවතා කළ යුතු ප්‍රතිකාරයක් කරව” යි ඔවුහු තරවටු කළහ. “පින්වතුනි, ඇස තුවාල වූ නිසා නො වේ. මාගේ උපාධ්‍යායන් වහන්සේගේ අවවාද සිහි වීමෙන් හඬමි” යි ඔහු පැවසී ය.

(මැඳුම් සඟි අටුවාව ඇසුරිනි)

සටහන – මානෙල් පොඩිමැණිකේ