highlights of the week
Home » NEW ARTICLES » කූට විනිශ්චය දුන් නඩුකාරයාගේ ඉරණම – (කූට විනිශ්චයික ප්‍රේත වස්තුව)

කූට විනිශ්චය දුන් නඩුකාරයාගේ ඉරණම – (කූට විනිශ්චයික ප්‍රේත වස්තුව)

යුක්තිය සාධාරණය ඉක්මවා ගොස් පුද්ගලික දැන හැඳුනුම්කම්, ඥාති හිත මිත්‍රකම් මුලට ගෙන ලාභ සත්කාරයන්ට ගිජුවෙමින්, යුක්තිය පසිඳලන, සාධාරණය ඉටුකරන ස්ථානයන්ටත් තම නිල බලය යොදා අසාධාරණ ලෙස තීන්දු තීරණ ගන්නා ආකාරය අපට බොහෝ විට අසන්නට දකින්නට ලැබෙයි. බොහෝ විට මෙවැනි හිංසාවන්ට ලක්වන්නේ වරදකරුවන් නොව නිවැරදි සාධාරණ පුද්ගලයන් ය. නැතහොත් වරදකරුවන් ඉහළ තනතුරක සුදුවත් දරා සාධාරණය ගැන දේශනා කරමින් සිටියදී කිසිවක් නොදත් පහළ තනතුරුවල සිටි පුද්ගලයෝ නිරපරාදේ දඬුවම් ලබති. රටට සේවය කළ විරුවන් අධිකරණ නියමයෙන් පෝරකයට නියම වෙද්දී ඔවුන්ගේ අඹු දරුවෝ මහමඟ අසරණව පිහිට යදිති.

මනුලොව ඉපදී සිටියදී එලෙස අසාධාරණ ලෙස නඩු විසඳමින්, පිරිස් මැදට ගොස් බොරු බස්, පරුෂ වචන කියමින්, නැති ගුණ පෙන්වා කතා කරමින්, වංචාවෙන් මිනිසුන් මුළා කරමින් හැසිරුණු පුද්ගලයෙකු මරණයෙන් මතු ප්‍රේත ලෝකයේ ඉපදී බිහිසුණු දුක් පීඩාවන්ට මුහුණ දෙන ආකාරය විස්තර වන කතා පුවතකි මේ.

සියලු සත්වයන්ට මහා කරුණාවේ ආශීර්වාදයක් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වේළුවානාරාමයේ වැඩ වාසය කරන සමයක මෙම කූට විනිශ්චයික ප්‍රේත වස්තුව දේශනා කළ සේක.

බිම්බිසාර රජතුමා මසකට දින හයක් උපෝසථ සිල් සමාදන් වෙයි. රජු අනුගමනය කරන මිනිස්සු ද ඒ අනුව යමින් සිල් සමාදන් වෙති. රජු තමන් ළඟට පැමිණෙන මිනිසුන්ගෙන් “නුඹලා අද දින සිල් සමාදන් වන ලද්දේ ද? එසේ නොමැති ද?” යනුවෙන් ප්‍රශ්න කරයි.

එම මිනිසුන් අතර සිටි කේළාම් බස් පවසන, කපටි, අල්ලස් ගැනීමෙහි නිරත, දරුණු ක්‍රියාවන්හි යෙදෙන එක් පුරුෂයෙක් විය. ඔහු සිල් සමාදන් නො වූ බව රජු හට පැවසීමට බියෙන් “දේවයන් වහන්ස සමාදන් වූයෙමි” යනුවෙන් පැවසී ය. රජු එතැනින් පිටත්ව ගිය පසු ඔහුගේ යහළුවෙක් “යහළුව, ඔබ සිල් සමාදන් වන ලද්දේ ද?” කියා විමසී ය.

“මිතුර, මම රජු හට බියෙන් උපෝසථය සමාදන් වූ බව පැවසූවෙමි. මම පෙහෙවස් සමාදන් නො වූයෙමි.”

“එසේ නම් ඔබට අද උපෝසථය වේවා. උපෝසථය සමාදන් වන්න.” යි යහළුවා කීවේ ය.

ඔහු මිතුරාගේ කීම කැමැත්තෙන් පිළිගෙන නිවසට ගොස් ආහාරයක් නොගෙන ම මුව සෝදාගෙන උපෝසථ සීලය සමාදන් විය. රාත්‍රී ආහාර නොගෙන සිටි හෙයින් උදරයෙහි හටගත් බලවත් වාතය හේතුකොට ගෙන ඇතිවූ රෝගයක් උත්සන්න වීමෙන් ඔහු මරණයට පත් විය.

ඔහු එක් රැයක් එනම් අඩක් පමණක් පෙහෙවස් සමාදන් ව සිටි පුණ්‍ය ශක්තියෙන් විමාන ප්‍රේත භවයක උපත ලබා දිව්‍ය විමනක් සහ දෙවඟනන් දස දහසක් පිරිවර ඇතිව මහත් දිව්‍ය සැප ලැබී ය. කූට ලෙස අධිකරණ විනිශ්චය කිරීමෙන් ද පරුෂ වචන පැවසීමේ අකුසලයෙන් ද ඔහු තමාගේ පිටෙහි මස් තමා විසින් ම කඩාගෙන කයි.

පින්වත් නාරද ස්වාමීන් වහන්සේ සන්සුන් ගමනින් ගිජුකුළු පව්වෙන් පහළට බසිමින් සිටියහ. පර්වත ගුහාවකට අරක් ගෙන සිටි විමාන ප්‍රේතයෙකු උන්වහන්සේගේ නෙත ගැටුණේ එම අවස්ථාවේ දී ය. මඳකට වඩින ගමන නතර කළ උන්වහන්සේ ප්‍රේතයා මෙසේ ඇමතී ය.

“දිව්‍ය පුෂ්පයන් දරන්නා වූ නුඹගේ හිස පලඳනාවකින් යුක්ත ය. අත් වළලුවලින් හැඩ වී ඇත. නුඹේ ශරීර අවයව සඳහා සුවඳ සඳුන් ගල්වා තිබෙයි. ප්‍රභාෂ්වර මුහුණ වර්ණවත් ය, තරුණ සූර්යයෙකු මෙන් බබළයි.

ඔබගේ අත් පා මෙහෙවර කරන්නේ දිව්‍ය පිරිසකි. නුඹගේ මෙහෙසියන් වන්නේ දස දහසකින් සැදි දිව්‍යාංගනාවන් ය. ඔවුහු නොයෙකුත් දිව්‍ය සංඛයන්ගෙන් යුක්තව ආභරණයන්ගෙන් අලංකාරව සැරසී සිටිති. මාණික්‍යයෙන් යුතු මුදුන් මල්කඩින් යුක්ත ය.

දුටු අයව ලොමු දැහැගන්වන, විස්මයට පත් කරවන ඔබ මහත් ආනුභාවයක් සහිත අයෙකි. එසේ වුවත් ඔබ ඔබගේ ම පිට මස් කඩාගෙන අනුභව කරයි… මෙසේ සිදු වීමට සිත කය වචනයෙන් කුමන අකුසල කර්මයක් කරන ලද්දේ ද? තමාගේ පිටෙහි මස් තමා විසින් ම උගුල්වාගෙන කෑමට තරම් මේ කුමන අකුසල් විපාකයක් ද?”

එම පැනයට පිළිතුරු වශයෙන් ප්‍රේතයා මෙසේ පවසන්නට විය.

“ස්වාමීනි, මම මිනිස් ලොවදී පරුෂ වචන සහ බොරු බස් පවසමින් සිටියෙමි. කපටිකමින් අනුන්ට නැතිගුණ පෙන්වා වංචා කළෙමි. ඒ මම පිරිස් මැදට ගොස් සත්‍යය කියන්නට අවස්ථාව ලැබුණු විට අධර්මයක් ම පැවසුවෙමි. අසාධාරණ ලෙස නඩු විනිශ්චයන් දුන්නෙමි. එම පාපකර්මයන්ගේ විපාක වශයෙන් මම අද දවසේ මගේ පිටමස් ආහාරයට ගනිමි.

එසේම වෙනත් අයෙක් කේළාම් කීම වැනි අකුසල් කරයි ද එම පුද්ගලයා ද මා මෙන් ම පරලොව ගිය කල තමාගේ පිටමස් තමා විසින් ම කන්නේ ය.

පින්වත් නාරදයන් වහන්ස, ඔබ වහන්සේ විසින් මාගේ මේ රූපය හොඳින් දැකගන්නා ලදී. සත්වයන් පිළිබඳව ඉමහත් අනුකම්පාවෙන් යුක්ත ප්‍රතිපත්තියෙහි දක්ෂ බුදුරජාණන් වහන්සේලා යම් අවවාදයක් කරන්නේ ද එය ම මමත් ඔබ වහන්සේට පවසමි.

වචනයෙන් සංවරය සැප පිණිස වන්නේ ය. පරුෂ වචනත්, බොරු කීමත් නොකරනු මැනවි. ඔබ වහන්සේ මා මෙන් පිටමස් ආහාරයට ගන්නා ප්‍රේත ලෝකයට නොඑනු මැනවි.”

යුක්ති ධර්මය ඉක්මවා අල්ලස් ගැනීමෙන් නඩු විසඳීමේ පාප කර්මයේ ඉතා දරුණු විපාකයන් අවබෝධ කර දෙන කූට විනිශ්චයික කතාව පවින් වැළකීමට ආදර්ශයකි.

ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය

සටහන – හර්ෂ නිලංක පෙරේරා

One comment

  1. Please let us know the importance and merits of Ajeeva Attamaka seelaya as well.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන පූජාවන් නිෂ්ඵල වන්නේ ද?

අසමසම වූ සම්බුදුවරයන් වහන්සේලාට දෙව් මිනිසුන් විසින් පූජාවෝ පවත්වනු ලබති. ඒ පූජා සත්කාරයන් උන්වහන්සේලා නොඉවසති. මෙය බුදුවරුන්ගේ ධර්මතාවයකි.