ඉපදීම දුකකි. ජරාවට පත්වීම දුකකි. ලෙඩ රෝගවලට ගොදුරු වීම දුකකි. මරණයට පත් වීම දුකකි. අපාගත වීම දුකකි. අතීත සසර දුකකි. අනාගත සසර ද දුකකි. ආහාර සොයා ගැනීම ද දුකකි ආදී වශයෙන් සසර සැරිසරා යන සත්වයා දුකට පත් වන්නා වූ අවස්ථා අටක් ගැන දක්වමින්, ඒ ඒ අවස්ථාවන් දුක වශයෙන් ම දක්වමින් එකී දුකින් නිදහස් වීම අරබයා සැදැහැවත් කුල පුතුන් විසින් වීර්යය උපදවා ගතයුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක. එකී දුකින් ලෝසතුන් නිදහස් කරවන්නට භාග්‍යවතුන් වහන්සේ වසර හතළිස් පහක් පුරාවට දෙසා වදහළ සුවාසූදහසක් වූ දහම්පද පෙළහරින් ඔබ හමුවට තෙවන දිග හැරුම වශයෙන් මේ ගෙනෙන්නේ ලෙඩ රෝගවලට ගොදුරු වීම දුකක් බවට දෙසා වදහළ දහම්පද පෙළගැස්මයි, “ව්‍යාධිය දුකකි.”

කායිකව මෙන් ම මානසිකව ද නිදුක් නිරෝගී බව සියල්ලන්ගේ ම ඒකායන පැතුමකි. නිරෝගී බව උතුම් ලාභය වශයෙන් බුදුවරුන් විසින් දේශනා කොට වදාරන්නේ නිරෝගීභාවයෙහිලා ඇති වටිනාකම, වැදගත්කම පිළිබඳව ලත් අවබෝධයෙනි. අප මහබෝසතාණන් වහන්සේ ද දුෂ්කර ක්‍රියාව අතහැර මධ්‍යම ප්‍රතිපදාව සොයාගෙන එය ප්‍රගුණ කිරීමට පෙර සිය දුර්වලව ගිය ශරීරය ප්‍රකෘතිමත් කර ගැනීමට කටයුතු කළේ නිරෝගී බව සියලු කටයුත්තෙහි අත්‍යවශ්‍ය වන දෙයක් බැවිනි.

සියල්ලෝ ම නිදුක් නිරෝගී බව පිණිස වෙහෙසෙති. ප්‍රාර්ථනා කරති. “මහණෙනි බොහෝ සෙයින් ම සත්වයෝ මෙබඳු දේ කැමත්තෝ ය. මෙබඳු දේ ආශා ඇත්තෝ ය. අනේ අපට දුක් කරදර කණගාටු වෙන්න එපා. අපිට ඉෂ්ට කාන්ත මනාප දේවල් ම ලැබේවා.” යි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ එයයි. නමුත් සිතු දේ නොම වෙයි. නොසිතු දේ ම සිදුවෙයි. ඒකාන්ත වශයෙන් නිරෝගී බව ලබන්නෙකු නො වේ. සියල්ලන් ම අඩු වැඩි වශයෙන් ලෙඩ රෝගවලට ගොදුරු වීම සිදු වේ. ව්‍යාධි දුක ද උපන් සත්වයාගේ උරුමයක් ම ය.

යම් තැනක ඇස, කන, නාසය, දිව, කය, මනස ආදී ආයතනයන්ගේ වේවා රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණාදි උපාදානස්කන්ධයන්ගේ පහළවීමක්, ලැබීමක් වේවා ඒ වනාහී රෝගයන්ගේ පැවැත්ම බව භාග්‍යවතුන් වහන්සේ උප්පාද සූත්‍රයන්හී දේශනා කොට වදාළේ එනිසා ය.

මේ කය රෝගී බවට පත්වන්නේ ඇයි? මම ය කියා හඳුනාගෙන සිටින්නා වූ මේ කය සතර මහා ධාතූන්ගෙන් සකස් වූ රූපයකි. රූපය යනු සංඛත ධර්මයකි. සකස් වූවකි. හටගැනීමක්, වැනසී යාමක්, පවතින දේ තුළ වෙනස් වීමක් ස්වභාව කොට ගත්තකි. එහෙයින් සතර මහා ධාතූන්ගෙන් සකස්ව ඇති මේ කය ඒ ඒ තත්ත්වයන්ට අනුව වෙනස් වීම ස්වභාව කොටගෙන සිටී. මේ කය තම සිතැඟියාවට අනුව (වසඟයේ) පැවැත්විය හැකි ආත්මයක් නො වේ. වසඟයේ පැවැත්විය නො හැකි අනාත්ම දෙයකි. එහෙයින් මේ කය ලෙඩ වීම සිදුවන්නකි.

“මහණෙනි, මේ රූපය අනාත්මයි. යම් හෙයකින් මේ රූපය ආත්මයක් වූවා නම් මේ රූපය ආබාධ පිණිස නොපවතී. එසේ වූවා නම් මගේ රූපය මෙසේ වේවා කියා ද මගේ රූපය මෙසේ නොවේවා කියා ද ලැබිය හැකි වන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මේ රූපය අනාත්මයක් වන්නේ ද, එහෙයින් මේ රූපය ආබාධ පිණිස පවතී. මගේ රූපය මෙසේ වේවා කියා ද මගේ රූපය මෙසේ නොවේවා කියා ද ලැබිය නො හැකි වන්නේ ය.”

(පඤ්චවග්ගිය සූත්‍රය – සං. නි. 3)

මේ ආකාරයට අනාත්ම වූ ද, සතහට ආබාධ පිණිස පවතින්නා වූ ද සතරමහ ධාතූන්ගෙන් සකස් වූ රූපය (කය) දෙස බැලිය යුතු ආකාරය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මෙපරිදි ය.

“මේ රූපය අනිත්‍ය වශයෙනි. දුකක් වශයෙනි. රෝගයක් වශයෙනි. ගඩුවක්, හුලක්, දුක්ඛිත දෙයක්, ආබාධයක් (පීඩා සහිත දෙයක්), අනුන්ට අයිති දෙයක්, නැසෙන්නා වූ දෙයක්, හිස් දෙයක්, අනාත්ම දෙයක්.” ආදී වශයෙනි.

(මහාමාලුංක්‍ය සූත්‍රය – ම. නි. 2)

භාග්‍යවතුන් වහන්සේ භේසකලා වනයේ වැඩ සිටින දිනෙක භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණි නකුලපිතු ගෘහපතිතුමා මෙසේ පැවසුවේ ය.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම දැන් දිරා ගියපු කෙනෙක්. බොහෝ ම වයසක කෙනෙක්. මහලු වුණ කෙනෙක්. සෑහෙන්න වයසයි. ජීවිතයේ අවසාන භාගයට ඇවිල්ලයි ඉන්නේ. රෝගී ශරීරයක් ඇති කෙනෙක්. හැම තිස්සෙම මොකක් හරි අසනීපයකින් ලෙඩ වෙච්ච ගමන් ම යි ඉන්නෙ. ඉතින් ස්වාමීනී, මට සිතේ සතුට වඩවන උතුම් ස්වාමීන් වහන්සේලා නිතර දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්ස, මා හට අවවාද කරන සේක්වා.!”

භාග්‍යවතුන් වහන්සේ නකුලපිතු ගෘහපතිතුමාට මෙසේ අවවාද කළ සේක.

“ගෘහපතිය, ඒක එහෙම ම තමයි. ගෘහපතිය, ඒක එහෙම ම තමයි. මේ කය කියන්නේ ලෙඩදුක් හැදෙන දෙයක් නෙව. මේ කය සියුම් කටුවකින් වැසී තිබෙන බිත්තරයක් වගෙයි. එබඳු වූ මේ කය පරිහරණය කරමින් යම් කෙනෙක් මොහොතකට නමුත් නිරෝගී බව ගැන උදම් අනයි නම්, ඒක අඥානකම විනා අන් කුමක් ද? ඒ නිසා ගෘහපතිය, ඔබ හික්මිය යුත්තේ මේ විදිහටයි. මා හට අසනීපවලින් දුක් විඳින කයක් තිබෙන කොට වුණත් සිත විතරක් ලෙඩ කර ගන්නේ නැහැ කියලයි. ගෘහපතිය, ඔන්න ඔය විදියටයි ඔබ හික්මෙන්න ඕන.”

(නකුලපිතු සූත්‍රය – සං. නි. 3)

මෙයින් ඉතාම පැහැදිලි වන්නේ සංඛතයක් වූ මේ කය නිරන්තරයෙන් රෝගීවීම උරුමකරගෙන සිටින බව ය. එසේ කය ලෙඩ රෝගවලට ගොදුරු වෙද්දී සිත ද රෝගී වන බව ය. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ නකුලපිතු ගෘහපතිතුමාට ලෙඩවෙන කය එසේ තිබුණාවේ, සිත ලෙඩ කර නොගන්නා ලෙස අවවාද කරන සේක. සිත ධර්මයෙන් රැකගත හැකි ය. නමුත් කය රැක ගැනීම කිසිලෙසකවත් කළ නො හැකි නිසාවෙනි එසේ අවවාද කොට වදාළේ. කය ද රැක ගැනීමට හැකියාවක් වේ නම් ඒ පිළිබඳව ද භාග්‍යවතුන් වහන්සේ අවවාද කරන සේක් ම ය. එහෙයින් නිබඳව රෝගී වන මේ කය පැවැත්වීම නම් දුකක් ම ය.

මේ ශරීරය වසා පැතිර ඇති රෝගී තත්ත්වයන් පිළිබඳව අප භාග්‍යවතුන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී ආදීනව සංඥාව වශයෙන් මෙසේ දේශනා කරන සේක.

“මේ කය වනාහී බොහෝ දුක් තිබෙන්නා වූ ද බොහෝ ආදීනව තිබෙන්නා වූ ද දෙයකි. මේ කයෙහි විවිධාකාර රෝගාබාධයෝ උපදින්නාහු ය. ඒ කවර රෝගයන් ද? ඇස් රෝගයන් ය, කන් රෝගයන් ය, නාසා රෝගයන් ය, දිවේ රෝගයන් ය, කයේ රෝගයන් ය, හිසේ රෝගයන් ය, පිටිකනෙහි රෝගයන් ය, මුඛ රෝගයන් ය, දත් රෝගයන් ය, ක්ෂය රෝගයන් ය, ඇදුම රෝගයන් ය, පීනස් රෝගයන් ය, දාහ රෝගයන් ය, උණ රෝගයන් ය, කුසේ රෝගයන් ය, සිහි මූර්ජා වීම ය, ලේ අතීසාර රෝගයන් ය, අර්ශස් රෝගයන් ය, කොලරා රෝගයන් ය, කුෂ්ඨ රෝගයන් ය, ගඩු රෝගයන් ය, හමේ රෝගයන් ය, ශ්වාස රෝගයන් ය, අපස්මාර රෝගයන් ය, දද, කඩුවේග, කැසීමෙන් හටගත් ගෙඩි, කැසීම්, පණු හොරි, රත්පිත්, දියවැඩියා, අංශභාග, පිළිකා, භගන්දරා ආදී රෝගයන් ය.

පිතෙන් හට ගන්නා, සෙමෙන් හට ගන්නා, වාතයෙන් හට ගන්නා, තුන්දොස් කිපීමෙන් හටගන්නා, ඍතු විපර්යාසවලින් හටගන්නා, වැරදි ලෙස කය පරිහරණයෙන් හටගන්නා, උපක්‍රමයෙන් හටගන්නා, කර්ම විපාකයෙන් හටගන්නා රෝගයෝ ය. සීතල ද උණුසුම ද කුසගින්න ද පිපාසය ද මළපහ කිරීම ද මූත්‍රා කිරීම ද ආදී රෝගාබාධයන් ය.”

(ගිරිමානන්ද සූත්‍රය – අං. නි. 6)

මේ ආකාර වූ අනේක රෝගාබාධයෝ මේ කයෙහි වෙත්. මේ කිසිවක් වැළඳෙනවාට කිසිදු සත්වයෙකු කැමති නො වන්නේ ය. එහෙත් යම් කයක් පවත්වයි ද මේවායින් මිදීමක් ඒ කිසිවෙකුටවත් නො වේ.

“මහණෙනි, රෝග පීඩාවන්ට ගොදුරු වීම උරුමකර ගත් සත්වයන් හට මේ ආකාර වූ කැමැත්තක් හට ගන්නේ වෙයි. ‘අනේ අපි වනාහී ඒකාන්තයෙන් ම රෝගපීඩාවන්ට ගොදුරුවීම උරුම කොටගත් උදවිය නො වන්නෙමු නම්, අප වෙතට රෝග පීඩාවන්ට ගොදුරු වීම (යළි) පැමිණීම ඒකාන්තයෙන් නො වන්නේ නම්’ යනුවෙනි.

එහෙත් මහණෙනි, එය වනාහී කැමැති වීමෙන් පමණක් උදාකර ගැනීමට කිසිසේත් නො හැක්කේ ම ය. මෙය ද කැමති වන්නා වූ දේ නොලැබීමේ දුක ය.

(මහා සතිපට්ඨාන සූත්‍රය – දී. නි. 2)

මේ බුදු සසුනේ තම යහපත කැමති ශ්‍රාවකයා විසින් උදේ හවා සිහිකළ යුතු සතර කමටහන්වල අසුභානුස්සතියේදී ද මරණානුස්සතියේදී ද අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ මේ කයෙහි ස්වභාවය පිළිබඳව මෙසේ සිහිකළයුතු වන්නේ නිබඳව ම රෝගපීඩාවන්ට ලක්වෙන මේ කය කෙරෙහි කලකිරී රෝගාබාධයන්ට ගොදුරු වීම නම් වූ දුකෙන් නිදහස් වීමට වෙර වීරිය උපදවා ගැනීම පිණිස ය.

“මේ කය වනාහී නිරන්තරයෙන් ම ගඩු කුෂ්ඨ වණාදී රෝගයන් හට ගැනීම ස්වභාව කොට ඇත්තකි. කෙනෙක් යම් පිළියම් කළේ ද ඒ කිසිවක් ඵල නොදරත් ම ය.

පැවැත්මට උපකාරී වන්නා වූ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතරමහ ධාතූන්ගේ යම් වෙනස්වීමක් වේ ද එසැණින් ම මේ කයෙහි අභ්‍යන්තරව ද බාහිරව ද මතුවන්නා වූ උවදුරු ය (රෝගාබාධයන් ය). නිරන්තරයෙන් වෙනස්වීමට ලක්වන්නා වූ මේ සතරමහ ධාතූන් ඉතා සුළු කලෙකදී සත්වයා ව මරණයට පත්කර දමති.

ගෙවුණ සසර පුරාවට ම අප රෝගාබාධවලට ගොදුරුව අනේක වූ දුකක් වින්දෙමු. තවදුරටත් මේ සසර ගමනේ සැරිසරා යන්නේ නම් ඒ තාක් අපි මේ දුක විඳවිය යුතු වන්නෙමු. එහෙයින් රෝගී වීම නම් වූ දුක නො වන්නා වූ ඒ අමා මහ නිවන දකින්නට අපි මේ මොහොතේ සිට හෝ වෙර වීරිය උපදවා ගත යුතු වන්නෙමු. මේ ඊට කාලය යි. මන්ද, දුලභ මිනිස් දිවියත්, සම්බුදු සසුනකුත් මේ මොහොතේ දී අපට ලැබී ඇති නිසාවෙනි.

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි