වහලයේ තිබූ අවසන් උළු කැටයත් අතට ගත් සේතු පුපුරා තිබූ උළු කැටය පහළට විසි කළේ ය. උළු සෙවිළි කොට තිබූ වහලයේ දිරා ගිය පරාල සහ රීප්ප මත දැන් ඇත්තේ දිරා ගිය ටකරන් තහඩු ය. උළු වහලයේ අවසන් ශේෂය වූ මුදුන් උළු කැටය පුපුරා තිබුණෙන් පොළොවට වැටීමටත් පෙරාතුව අහසේ දී ම දෙපළු ව පොළොවේ වැදී කුඩා කැබලිති ලෙස බිඳී විසිරුණි. එදෙස බැලූ සේතුගේ නෙත් මානයට මිදුලේ අර්ධ කවයක ප්‍රදේශයක් ගොදුරු විය.

සේතුට වම් පසින් වතුර බොන ළිඳ යි. ළිං බැම්ම කොයි මොහොතක හෝ ළිඳ තුළට ම කඩා වැටීමට සූදානම් වූ ආකාරයකි සේතුට පෙණුනේ. ළිඳට පිටතින් සිටවූ කණු දෙකක් සම්බන්ධ කොට ගැට ගැසූ ලී දණ්ඩේ කටු කම්බියෙන් එල්ලෙන ඉපැරණි බොලොක්කයෙන් වතුර අදින හැමවිට ම නැගෙන්නේ අමිහිරි ශබ්දයකි. ඒ ශබ්දය සේතුට තම මවගේ මුවින් නිතර නිතර පිටවෙන “නැහැ – නැහැ” යන වචනය තරමට තිත්ත ම තිත්ත ය.

ළිඳට ආසන්නව අපිළිවෙළට සිටවා ඇති කෙසෙල් ගස්වල එල්ලෙන වියළි පරඬැල් අතු නිවස ගිල ගැනීමට බලා සිටින අවතාර සමූහයක් ලෙසිනි සේතුට සිතුණේ. සඳ ඇති රාත්‍රියට නම් ඒවා අවතාර ම ය. සේතු පුංචි ම සංදියේදිත් මේවා මෙසේ ම ය. එකල සේතුගේ සිතේ ඇතිවූ භය තවමත් සේතු තුළ නැතුවා ම නො වේ.

“හඳ පුච්චන්න ද උඹ එළියක් අරගෙන යන්නෙ?” හොඳින් හඳ පෑයූ රාත්‍රියක පවා වැසිකිළියට යාමට ගිනි පෙනෙල්ලක් හෝ අතට ගන්නා සේතුගෙන් මව අසයි.

ගහක දෙකක හටගත් කෙසෙල් කැන්වල ගෙඩි පවා පෑවිල්ලට හසුවීමත්, පොහොර මදිකමත් නිසා හැකිලී ගොස් ඇත්තේ තම නිවැසියන්ගේ සිරුරු මෙනැයි සේතුට සිතේ.

හදිසි මුදල් අවශ්‍යතා වෙනුවෙන් මව විසින් විකුණා දැමීමෙන් පසු ඉතිරිව ඇති පොල් ගස් කිහිපය ද කණාටු වී ගොසිනි. බොහෝ ගස්වල ඇත්තේ ගෙඩියකි, දෙකකි. ගෙඩි හත අටකට වඩා වැඩි ගසක් වේ නම් ඒ ඉතා කලාතුරකිනි. තද පෑවිල්ලෙන් පිළිස්සී ගිය පොල් කරඬුත්, ඒවායින් පහළට එල්ලෙන හැකිලී ගිය පොල් ගෙඩිත්, කණාටු පොල් ගසුත් සේතුට සිය කෙසඟ මවත්, ඇගේ පපුවේ එල්ලෙන ලොට තනත් සිහි කළේ ය. පවුලේ ජීවන බරට උරදෙන පොල් ගස් ටික කියාපාන්නේ තව දුරටත් ඒ කටයුත්තෙහි ලා තමන් අපොහොසත් බවකි යි සේතු නිතර ම කල්පනා කළ දෙයකි. ‘මොනා ම හරි කරන්න වෙනවා. ඒත් මොකද කරන්නෙ?’ යි සේතු නිතර නිතර කළ තවත් කල්පනාවකි.

සේතු තදින් හුස්මක් ගත්තේ ය. නිවසේ ඉදිරිපස මිදුල දෙස බැලූ සේතුගේ දෑසට මෙවර හසු වූයේ එක පෙළට සිටවූ කණු මත ඇති පෙට්ටි දේවාල සමූහය යි. රටේ තොටේ ප්‍රචලිත සියලු දෙව් දේවතාවෝ ඒවායේ වැඩ හිඳිති. ඵලදාව අඩු වීම නිසා හිඳින තෙල් ප්‍රමාණය අඩු කරන්නට සිදු වූයෙන් දැන් දැන් ඒවායේ පහන් දල්වන්නේ බදාදා හා සෙනසුරාදා යන කෙම්මුර දිනවල දී පමණි. දශක කිහිපයක් පුරාවට දිනපතා දල්වන ලද පහන්වලින් නැගුන දැලි බැඳී මූසල කලු පැහැයක් ගත් ඒ පෙට්ටි තුළ දෙවිවරු තබා යක්කුවත් සිටිතියි විශ්වාසයක් සේතුට නැත.

“ඔය පුච්චපු තෙල් කන්දරාවෙ හැටියට දෙයියෙක් නෙවෙයි යකෙක්, මළ පෙරේතයෙක් හරි ඕවයෙ ඉන්නව නම් ඌ මෙලහකට අපිට අනුකම්පා කරලා…”

නිවසේ අමාරුකම් ඉහවහ ගිය දවසක සේතු කීවේ කෝපයෙනි. මව සිය දෙකන් දුබල දෑතින් වසා ගත්තේ සේතුගේ වචන සිය කන්වල කුහරවලින් හදවතට කිඳා බසිනු වළක්වා ගැනීමට ය.
“උඹට වැහුනෙ මහ සොහොන ද? උඹේ මහ එකාව ද?” යි මව ද ඇසුවේ කෝපයෙනි. ශෝකයෙනි. බියෙනි. ඕ ‘මහ එකා’ යැයි කීවේ සේතුගේ මිය ගිය පියාට ය. සේතු තුළ ද බියක් ඉපදුණි. ඔහු ඒ ගැන වැඩිදුර කිසිත් නොකියා නිහඬ වූයේ එනිසා ය.

“දෙයියන්ගෙන් සමාව ගනිං. වැඳල සමාව ගනිං.”

මව සේතුට අණ කළා ය. සේතු එසේ කළේ ය.

සේතුට දකුණුපස ඉදිරියෙන් පෙනුනේ නිවසට තවත් සුළු ආදායමක් ලබාදෙන පුවක් ගස් පේළිය යි. ඒවා වැටක් මෙන් එක පෙළට සිටවා තිබුණි. පුවක් ගස් ද මුහුණ දී සිටියේ පොල් ගස් මුහුණ දී සිටින ඉරණමට ය. සමහර ගස් සේතුගේ සිහින් දෙපාවලටත් වඩා සිහින් ය. ඒ ගස් පුවක් කරඬු පවා දරා සිටින්නේ හාස්කමකට මෙනි. සේතුලාගේ ජීවිත ද එසේ ම ය. හැම ගහක ම පුවක් තිබුණත් සියල්ල එකතු කළත් ගෙඩි සීයක් නැති බව සේතුට පැහැදිලි ය.

සේතු වහල මත කකුල් දෙක සීරුවට මාරු කර වත්තේ අනෙක් අර්ධය දෙස බැලුවේ ය.

පොල් අතුවලින් වට කළ වළ වැසිකිළියට තලගොයෙකු හෝ කබරයෙකු රිංගනු ඔහුගේ දෑසට හසුවුණි. එහි රජ කරන නිලමැස්සෝ වැසිකිළිය තුළට යන හැම විට දී ම ඇඟේ වසමින් අදාළ කටයුත්ත කර ගැනීමට කරන බාධාව තරම් හිරිහැරයක් සේතුට මේ ලෝකයේ තවත් නැති තරම් ය. ඒ වෙලාවට සේතු දෑතින් ම උන්ව පලවා හැරීමට ගන්නා උත්සාහය ඵලක් නැත. එනිසා සේතු යාබද ඉඩමේ ගංසූරිය පඳුරු අතර සැඟවෙන්නට වඩාත් කැමති ය.

පිළිකන්න පුරාවට සරුවට වැවී ඇත්තේ නිදිකුම්බා සහ වල් තල පඳුරු පමණකි. කොහොම ගලවා ඉවත් කළත් ඒවා නැවත නැවත වැවෙන්නේ නිවැසියන් සමඟ ආරෝවට මෙනි.

මෙවෙලේ සේතුට දකුණු පසින් ඇති බුලත් මැසි හතර දිස් විය. ඒවායේ අයිතියත්, ආදායමත් පමණක් පවුලේ හතරදෙනා අතර වෙන වෙන ම පැවතුණි. එකක් මව අයිති කර ගත්තා ය. එකක් සේතු ය. ඉතිරි දෙක සේතුගේ වැන්දඹුවක ව ආපසු පැමිණි වඳ සහෝදරියටත්, දීග යා නොහැකිව නිවසට ම නාකි වෙන සහෝදරියටත් වෙන වෙන ම අයිතිව පවතී. අයිතිය බෙදුනේ වෙන වෙන ම සාත්තු කරන නිසාවෙනි. මව එයින් ලබන සුළු ආදායම දේවාලවල නඩත්තු කටයුතු හා පුද පූජා සඳහා යොදවන්නී ය. සේතු බීඩිවලටත්, හුණු දුංකොළ ගැනීමටත් මුදල් වියදම් කළේ ය. සහෝදරියෝ මසුරු ලෙස තම මුදල් එකතු කළ අතර මොනම උවමනාවකටවත්, මොනම හදිසියකටවත් ඒ මුදල් වියදම් නොකළාහ.

“උන් දෙන්නා දෑවැද්දට එකතු කරනවා…” සහෝදරියන්ගෙන් මුදල් ඉල්ලා නොලැබුණ විට මවට පැමිණිලි කරන සේතුට මවගෙන් ලැබෙන්නේ එවැනි උපහාසාත්මක පිළිතුරකි.

වත්ත පුරා ම කිසියම් සාරවත් බවකින් යුතු කොළ පැහැයක් වී නම් මේ බුලත් මැසි පමණකි. අයිතියත්, ආදායමත් වෙන් වෙන්ව පවතින නිසා කවුරුත් ඒවාට හොඳින් සාත්තු කළ අතර සාත්තුව හොඳ නිසා ම බුලත් වැල් ද සරුවට වැවුණි.

කාරණය නොදත්මුත් සේතුගේ මුව’ගට සිනාවක් නැගුණි. ඔහු තමා අත වූ ඉටිකොළය ගෙන උළු කැටය ඉවත් කිරීම නිසා වහල මුදුනේ ඇති වූ හිඩැස වසා දැම්මේ ය. ‘ගේ නොතෙමුනොත් ඇති’ යි සේතුට සිතුණි.

ඊ ළඟට සේතුට ඇති වූ බරපතළ ම ගැටළුව වූයේ ජීවිතය ආරක්ෂා කරගෙන බිමට බැසගන්නේ කොතනින් ද යන්නයි. නැගුන තැනින් බසින්නට යාම අන්තරාදායක ය. ඒ තරමට වහලේ ඇති ලීත්, ටකරන් තහඩුත් කාලයේ පහරකෑමට ලක්ව තිබුණි.

“බලාගෙන බැහැපන්. උඹට තව මාස හයක් අපලයි…” පහළ සිට මව කියූ දේ සේතුට ඇසුණත් ඔහු තුළ ඒ ගැන දැන් දැන් විශ්වාසයක් නැත. උපන්දා සිට ම මව ඔවැනි කතා කොතෙක් නම් කියා ඇතිමුත් සුගති කාලයක් නම් තවම උදාවී නොමැත.

“උළු තිබුණ නම් වහල මෙච්චර කල් වත් ඔරොත්තු දෙන්නෙ නෑ.” මව කුඩු වී ගිය උළු කැබලි දෙස බලාගෙන කීවා ය. අනතුරුව ඕ සේතුට “අවුරුදු හැත්තෑවක් විතර ඇති මයෙ හිතේ…” යි කීවත් එය සේතුට ඇසුණේ නැත. සේතු සිටියේ දිරා ගිය වහලයෙන් පරෙස්සමට බැස ගැනීම පිණිස සම්පූර්ණ වශයෙන් ම සිත කය යොදවමිනි.

“මහ මිනිහ අවුරුද්දක් වෙලාවෙ බූරු ගහල පැරදිලා සේදිරිස් අප්පු පැත්තක උළු බාගෙන ගියා හිලව්වට. මගේ කටේ බලේට තමයි එක පැත්තක් හරි බේරගත්තෙ. සේතු මං මේ උඹට කියන්නෙ, මහ මිනිහ හිටිය නම් අපි මෙලහකටත් මහ පාරේ හිඟා කනවා.”

මව අතීතය සිහියට නගා කීවා ය. ඇගේ වචන බීරි අලින්ට වීණා වැයීමක් ම විය. දැන් සේතු වහලයෙන් බසිමින් සිටී. මෙවර සේතුගේ මුළු අවධානය ම යොමුව පැවතියේ බදාම පතුරු ගැලවී ගිය බිත්තියට හේත්තු කොට තිබූ අබලන් ඉනිමඟ වෙත ය. තමාගේත්, ඉනිමඟේත් සුළු බරට වුව ද දුබල බිත්තිය කඩා වැටීමට ද බැරි නැත. නැතහොත් අබලන් ඉනිමඟ තමාත් සමඟ කඩා වැටෙන්නට ද පුළුවන. සේතු විමසිලිමත් වූයේ හදිසියක් වුවහොත් පැනගන්නේ කොතනට ද කියා ය. වල් පඳුරු හා ගල් මතු වුණ පේමන්ට් එකට පැන්නොත් කකුල් හිල්වෙනු ඇත. කබොක් පොළව ද ඊට දෙවෙනි නැත. මව කියූ දේ සේතුට ඇසුණි නම්, “දැන් මේ ජීවත්වෙන විදිහෙයි, හිඟා කන එකෙයි ඇති වෙනස මොකක්ද?” යි කියා අසන්නට ද බැරි නැත.

“තව වැඩි කාලයක් මේ ගෙදර ජීවත් වෙන්න බැරි වෙයි.” බිමට බැස ගත් සේතු මවට කීවේ ය. මව හැඟීම් විරහිතව නිවස දෙස බලා සිටිනු දුටු සේතුගේ සිත තුළ කලකිරීම මුසු ශෝකයක් ඉපදුණි.

“මොනව කරන්න ද කියල මටත් තේරෙන්නෙ නෑ…”

සේතුගේ වචනවල ඇති අසරණකම මව දනී. තරුණ වයසේ පසුවෙන සේතුට මව ආඩපාලි නොකියන්නේ එනිසා ය. සේතු ළමා වයසේ සිට ඇදුම රෝගයෙන් පීඩා විඳින්නෙකි. මෑතක සිට වරින් වර මතුවෙන අධික කැස්සත්, කැස්ස සමඟ සෙම පිට වීමෙනුත් හේ පීඩා විඳියි. කහින වෙලාවට පිට වෙන සෙම කන්දරාව කොහේ සිට එත්දැයි සිතා ගැනීමට පවා අසීරු කරුණකි.

මවත්, පුතුත් අතර වූ නිහැඬියාව බිඳුනේ තැපැල්කරුගේ සීනු නාදයෙනි. තැපැල්කරු වැට අයිනේ බලා සිටිනු දුටු සේතු ඉක්මන් ගමනින් වැට අයිනට යන්නට විය.

“සේසරි ගුණසිංහ?”

“ඔව් මං තමයි…” සේතු ලිපිය ගන්නට අත දිගු කරමින් කී ය.

“අත්සන් කරල ඕන ගන්න. පුළුවන් ද?”

“ඔව්…” සේතු පෑන අතට ගත්තේ ය. ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ලැබීම නිසා සේතුගේ සිත සතුටින් ඉපිල ගියේ තමා අයදුම් කළ පාසලේ මුරකරු රැකියාව තමාට ලැබී ඇතැයි සිතමිනි.

“මොකද ඔය තරම් කලබල?” සේතුගේ අත වෙව්ලනු දුටු තැපැල්කරු ඇසුවේ නොරිස්සුම් සහගතව ය. අත්සන ගැසූ සේතු පෑනත්, කොළයත් තැපැල්කරුට දී සිනාසුණි. තැපැල්කරු ලිපිය සේතු අතට දී යන්නට ගියේ ය.

ලිපිය කඩා බැලූ සේතුගේ මුව’ග වූ සිනහව අතුරුදහන් විය. ලිපියේ තිබුණේ ඉංග්‍රීසි අච්චු අකුරු වුවත් පෙනහලුවල රූප සටහන් දුටු සේතුට කාරණය අවබෝධ විය. හෙතෙම අකුරු ගැට ගසාගෙන රිපෝට් යන වචනය ද කියවා ගත්තේ ය.

“මොකක්ද? මොකද එක පාරට ම උඹේ මූණට උනේ?” අපේක්ෂා භංගත්වයෙන් බිමට නවා ගත් මුහුණින් යුතු සේතුගෙන් මව ඇසුවා ය.

“ක්ෂය රෝග ක්ලිනික් එකෙන් වාර්තාව එවලා.”

“ඉතිං උඹට කාසෙලු ද?”

“හරියට ම දන්නෙ නෑ. ඉංග්‍රීසියෙන් තියෙන්නෙ.” සේතු මවට ලිපිය දිගු කරමින් කීවේ ය.

“අවුරුද්දෙන් පස්සෙ මං උඹේ හඳහන බලන්න යනවා. ඉස්කෝලෙ මහත්තයට ම කියලා මං ඕක කියවගෙන එන්නං.” පිළිතුරක් නොදුන් සේතු ලිපිය මව අතට දී නිවසට රිංගුවේ ය.

අවුරුද්ද හෙට ය. ගමේ තැනින් තැන පත්තුවෙන රතිඤ්ඤා හඬ සේතුලාට ද ඇසේ. සේතුලාගේ නිවසේ ද වෙනදාට වඩා කලබලකාරී වෙනසකි.

සියලු දෙනාගේ ම පරණ ඇඳුම් එකතුකර ගත් වැන්දඹු ලොකු අක්කා ඒවා සෝදා අව්වේ වැනුවේ අවුරුද්දට අඳින්නට ය. සේතු පොඩි අක්කා සමඟ එකතුව නිවසේ මකුළුදැල් ආදිය කඩා පිරිසිදු කොට ගෙයි බඩු අස්පස් කළේ ය. ඇත්තෙන්ම අස්පස් කරන්නට තරම් දෙයක් සේතුගේ නිවසේ නැති තරම් ය.

මවට ආණ්ඩුවෙන් ලැබෙන රුපියල් දෙදහසක මුදල ම ඔව්හු අවුරුද්ද වෙනුවෙන් වියදම් කරන්නට පසුබට නොවූහ. දින තුනකට පමණ සරිලන කළමනා මිලදී ගත් පසු මුළු මුදල ම අවසන් විය.

මව වේළන ලද බත් තෙලෙන් බැද, සීනි සහ පිටි දමා සකස් කළා ය. වේළන්නට තරම් ඉතිරිවන තරමට බත් ඉවීමක් සේතුලාගේ නිවසේ නැත. අසල්වැසි නිවසක මංගල උත්සවයක් පැවති දිනෙක ඉතිරි වූ බත් කල්දේරමක් ම සේතුලාට ලැබුණි. සේතුගේ මව ඒ බත් සෝදා අව්වේ දමා වේළා ගත්තා ය. පසුගිය කාලයේ බොහෝ විට උදෑසන ආහාරය වූයේ එසේ වේළා ගත් සහල්වලින් සැකසූ කැඳ හෝ ගුලි ය.

‘මේ අවුරුද්දෙ නම් මොකක් හරි රස්සාවක් කරන්න ඕන.’ මවගේ කටයුත්ත දෙස බලා සිටි සේතු සිතී ය. හැම අවුරුද්දක ම සේතු එසේ සිතයි. ගෙවල්වල අවුරුද්දට තෙලෙන් බැදෙන්නේ කැවුම්, අතිරස වැනි කැවිලි ය. ඒවා බැදෙන විට හමන සුවඳ සේතුගේ නාස්පුඩු කිති කවයි. තම නිවසේ බැදෙන්නේ අනුන්ගේ ගෙවල ඉතිරි වූ බත් ය.

පියා මිය යන විට සේතු මව්කුසේ ය. සේතුගේ ලොකු අක්කා අඩු වයසින් ම පැන ගියේ ගමේ කසාද බැඳපු මිනිහෙකු සමඟිනි. බොහෝ කාලයක් ගත වුවත් දරුවෙකු නොලද ඈට ගෙදර එන්නට සිදු වූයේ සැමියාගේ අභිරහස් මරණයෙන් පසු යන එන මං නොමැතිවීම නිසා ය. සැමියාගේ දේපළ සියල්ල කසාද බිරිඳ අයිති කර ගත්තා ය. “වඳ මූසලී” යි කියා ගම්මු ඈ ව හඳුන්වන්නට වූයෙන් ඇය නිවසින් එළියට බැස්සේ ඉතා ම කලාතුරකිනි. කාලයක් ගත වූ පසු කුලී වැඩට ගියත් ගම්මුන්ගේ කුණු කතාත්, තරුණයන්ගේ අමුතු යෝජනාත් ඉවසාගත නොහැකිව ඕ රැකියාවක් කිරීම සදහට ම අත්හැර දැම්මා ය.

“උඹේ ඇඟේ ඇලෙනව ද? වැඩට පලයං.” යැයි මව ද කීවේ දෙතුන් වතාවකි. දියණියගේ අමාරුකම තේරුම්ගත් මව ඉන් පසුව රැකියාවක් කිරීම ගැන ඇයට මතක් කළේ ද නැත.

සේතුගේ පොඩි අක්කා ද ගෙදරට ම නාකි වූවාය. වැරැද්ද කොතැනදැයි සේතුට නොතේරේ.

“ඔය ගෙදර ගෑනුන්ගෙ මිනිස්සුන් ව මැරෙනවා.” යි ගමේ එවුන් පොඩි අක්කා බැලීමට පැමිණි මනමාලයින්ටත්, ඔවුන්ගේ ඥාතීන්ටත් කියා ඇති බව සේතු දැන ගත්තේ මවගෙනි. මව ගම්මුන්ට කොඩිවින කළ බව සේතු දනියි. ගම්මුන්ගේ කතා ගණන් නොගත් ගමේ සිරිසෝමට හඳහන් නොගැළපීම නිසා මව අකැමති වූවා ය. සේතු මේ කටයුතුවල දී සුපුරුදු නිහඬ බවේ ම ගැලී සිටියා මිස කිසිදු මැදිහත්වීමක් නොකළේ ය.

සේතු උපතින් ම දුබල ය. ළමා වයසේ දී ම ඇදුම රෝගයට ගොදුරු විය. වත්තෙන් ලැබෙන සුළු ආදායමත්, ආණ්ඩුවෙන් ලැබෙන මුදලත්, ගමේ ගෙවල කිරි දානවල ඇප ගැලවීමක දී ලැබෙන මුදලත්, ගම්මුන්ගේ කටයුතුවලදී දෙවියන්ට කන්නලව් කොට භාරහාර වීම්වල දී ලැබෙන මුදල් හෝ වෙනත් තෑගි බෝගවලිනුත් සේතුලාගේ ජීවිත පොළොවට පස් නො වී තවමත් ආරක්ෂා වී ඇත.

සේතු අවදි වූයේ අවුරුදු උදාව නිසා ගම පුරා පැතිර ගිය රතිඤ්ඤා ශබ්දයෙනි. රාත්‍රිය පුරා ම සේතුට නින්දක් නොවිණි. රාත්‍රියට සේතුට කන්න ලැබුණෙ බත් සමඟ කංකුං බැදුමකි. සේතුට කංකුං කෑවොත් එදාට බඩේ අමාරුව වැළඳෙයි. කන්නට වෙන දෙයක් නොමැති නිසාවෙන් ද පාන්දර අවුරුදු ලැබූ පසු අනුභව නැකත තෙක් මවගෙන් කිසිවක් කෑමට අවසර නොලැබෙන බවත් දන්නා හෙයින් ද සේතු කංකුං කෑවේ ය. මධ්‍යම රාත්‍රියට ආසන්න වෙත්දී සේතුගේ කුස තුළ වේරම්බ වාතයෙන් වන තරමේ කැළඹීමක් ඇති විය. පාන්දර තෙක් ම බඩේ කැක්කුමත්, වැසිකිළි යාමත් අඛණ්ඩ ව ම පැවතුණි.

අලුයමට ආසන්න වෙත්දී සේතු සිටියේ ඉතා ම අසීරු තත්ත්වයක ය. වැසිකිළියට ඇවිද යාමට තරම්වත් ශක්තියක් ඔහු තුළ ඉතිරි ව නොතිබුණි. නිළ මැස්සන් ඇඟේ වැසීමත්, නිතර නිතර වැසිකිළි යාමත් නිසා සේතුට තමා පිළිබඳ ව ස්වයං පිළිකුලක් ඉපදී තිබුණි.

“උඹ මොකක්ද මේ කරන්න හදන්නෙ?” සේතු අසීරුවෙන් හෝ නාගන්නට උත්සාහ කරනු දුටු මව ඇසුවා ය.

“නා ගන්න. රෑ පුරා ම බඩේලි ගියා.” සේතු පරණ තුවාය කරේ දමා ගනිමින් කීවේ ය. සීතල සුළඟක් සේතු තුළ හිරිගඩු නැංවී ද තමා තුළින් නැගෙන දුගඳ සේතුට ම ඉවසා ගැනීම දුෂ්කර විය.

“උඹට පිස්සු ද මේ නොනගතේ නාන්න? තාම අවුරුදු ලැබුවා විතරයි. නාන්න තියෙන්නෙ හෙට. දවසක් ඉවසගෙන හිටහං මේ තියෙන ලෙඩ වැඩි කර ගන්නෙ නැතුව.” මව සේතුගේ අතින් බාල්දිය උදුරා ගනිමින් කීවා ය.

“මං ළඟ ගඳයි…” සේතුගේ හඬ දුබල අසරණ ස්වභාවයක් පළ කළේ ය.

“උඹ ව ඉඹින්න කවුරුවත් එන්නෑ. ඔය සුද්දො පස්ස හෝදන්නෙ ම නෑ කියන්නෙ.”

මව තීරණය වෙනස් නොකොට කීවා ය. සේතුගේ සිතට කෝපයක් ආවත් සේතු කර බා ගත්තේ මව කියන දේ තුළ සත්‍යයක් ද තිබිය හැකි යැයි සිහියට නගා ගනිමිනි.

“දැන් කොහොමද?” මව පෙරළා සේතුගෙන් ඇසුවා ය.

“පාන්දර කෝපි එක බිව්වට පස්සෙදි තමයි නැවතුනෙ. ඊට පස්සෙ නින්ද ගියා. දැන් නම් බඩගිනියි හොඳටම. ඔක්කොටම වඩා ඇඟට පණ නැහැ…” සේතු කියවාගෙන ගියේ ය.

“නැකැත් වෙලාව වෙනකං ඉවසගෙන හිටපං…” සේතු මව සමඟ වාද කිරීමට නොගියේ ය. ඒ ඵලක් නොවන බව අත්දැකීමෙන් ම දන්නා නිසාවෙනි. නියමිත නැකැත්වලට මිස කිසි දෙයක් සිදුනොවන බව සේතු හොඳින් ම දන්නා කරුණකි.

උදෑසන නවය, දහය, එකොළහත් පසු විය. පැයෙන් පැයට බඩගින්න සේතුගේ කුස තුළ බුර බුරා නැගෙන්නට විය. ආහාර පිසින නැකත ඇත්තේ පෙරවරු එකොළහයි හතළිහට ය. අනුභව නැකත දොළහයි හතළිස් තුනට ය. තවත් පැයකට ආසන්න කාලයක් ඉවසා සිටීමට සේතුට සිදුව ඇත. ඇල්වතුර කෝප්ප දෙකක් හිස් කළ සේතු වැල් ඇඳේ හාන්සි විය. බඩගින්න අමතක කරනු පිණිස සේතු වහලයේ ටකරන්වල මතු වුණ කුඩා හිල් ගණන් කරන්නට නිරර්ථක උත්සාහයක යෙදුණි.

ඉදෙන කිරිබතේ සුවඳ නිවසේ පැතිරෙන්නට විය. සේතුගේ කටට කෙළ ඉනුවේ නිරායාසයෙනි. බඩගින්න සිය දහස් ගුණයකින් අධික ව දැනෙන්නට විය. තවත් මිනිත්තු විසි පහක්වත් ඉවසා සිටින්නට උවමනා ය. දිගට ම කෙළ ගිලුන නිසා සේතුට ඔක්කාරයක් ද සැදුණි.

“බීඩි බොන එක නවත්තපං. මට හිතෙන්නෙ උඹට කාසෙ ම තමයි.” වමනය දැමීමට තතනන සේතුට ලොකු අක්කා බැණ වැදුනා ය. කුඩා කරුණකටත් බැණ වැදීම ඇගේ සිරිත බව දන්නා සේතු එකට එක නොකීවේ ය.

අවුරුදු නැකත ආසන්න විය. නිවසේ සාලය මැද එළන ලද පැදුරේ කිරිබත් පිඟන් හතරක් ද වේළා බැදපු හාල් පිඟානක් ද වතුර ජෝගුවක් ද තැබුවේ පොඩි අක්කා විසිනි. මව දේවාලවල පහන් දැල්වීමේ නිරත ව සිටිනු දුටු සේතු, “තව විනාඩි දෙකයි” කියා මවට ඇසෙන්නට කීවේ ය.

සේතුලා එක පෙළට පැදුරේ ඉඳ ගති. සේතුට පළමුවත්, දියණිවරුන්ට දෙවනුවත් කිරිබත් පිඟන් ලැබුණේ මව අතිනි. සේතු ඉතිරි පිඟාන ගෙන මවට දුන්නේ ය.

සේතුගේ බඩේ කැක්කුම අධික විය. ඔහු එහෙට මෙහෙට ඇඹරෙද්දී පස්සා පැත්ත තෙත් වූ බව සේතුට දැනුණි. අවුරුදු නැකත උදා වූයේ එවිට ම ය.

“බලං ඉන්නෙ, කාපං. දැන් මැරෙන්න හැදුවෙ බඩගිනියි කියල.” මව සේතුට කීවේ තරහින් නො වේ. කිසිවක් සිදු නොවුණ ලෙස සේතු කාගෙන කාගෙන ගියේ ය.

“විකල කාපං කිඹුල වගේ ගිලින්නෙ නැතුව.” සේතු තුළ මව පිළිබඳ ව උපන්නේ නොරිස්සුමකි. එහෙත් ඔහු සුපුරුදු නිහඬ බවේ ම ගිලුණි.

උණුසුම් කිරිබත් ගුලි සේතුගේ උගුර තෙක් ම පිරුණි. ඊළඟ නිමේෂයේ ඔක්කාරයත් සමඟ ඉන් භාගයකටත් වඩා සේතුට වමනය විය.

නිමි.

පසුවදන :-
අපි බෞද්ධ යැයි කියා ගනිමින් දෙවියන්, යකුන්, භූතයින්, හඳහන් සරණ ගියෙමු. නැකතට ම ඉඳුල් කට ගෑවෙමු. අකුරු කියවූයෙමු. පාසල් ගියෙමු. කසාද බැන්දෙමු. ගෙවල් හැදුවෙමු. ගෙවැදුණෙමු. වසරක් පාසා නැකතට ම ඉව්වෙමු. නැකතට ම කෑවෙමු. නැකතට ම නෑවෙමු. එහෙත් වසරින් වසර අගාධයට ම ඇද වැටෙනවා මිස ළඟා කර ගත් යහපතක් රටටත්, ජාතියටත් ඇත්තේ ද නොමැත.

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි.