පෙර අප ලක්දිව භික්ෂූන් සැටනමක් උතුරු දෙස පිහිටි රාජායතන චෛත්‍ය වැඳීම සඳහා එහි ගියාහ. චෛත්‍ය වැඳ පුදාගෙන එහි ම රාත‍්‍රිය ගෙවූ උන් වහන්සේලා පසුදා උදෑසන පිණ්ඩපාතය සඳහා ගමට පිටත් වූහ. නමුත් එක ගෙයකින්වත් ආහාරයට යමක් නො ලැබුණි. උන් වහන්සේලා හිස් පාත‍්‍රවලින් යුතුව ගම් දොරට පැමිණියාහු ය.

එම ගමේ කහවණු හැටක් ණය වී එ් වෙනුවට ගෙදරක මෙහෙකාරියක් ලෙස සේවය කරන නාගා නම් ස්ත‍්‍රියක් විසුවා ය. ඇය කළයක් ගෙන දිය ගෙන එ්ම පිණිස යන්නී, එ් භික්ෂූන් වහන්සේලා දුටුවා ය. දැක උන් වහන්සේලා වෙතට ගොස් වැඳ, ‘‘ස්වාමීනී, ඔබ වහන්සේලාට පිණ්ඩපාතය ලැබුණා ද?” යැයි විමසුවා ය.

භික්ෂූන් වහන්සේලා ද ‘‘උපාසිකාවෙනි, තවම පෙරවරු කාලය ඇත.” යැයි වදාළහ. නාගා දාසිය භික්ෂූන් වහන්සේලාට කිසිම ආහාරයක් ලැබී නැති බව තේරුම් ගෙන, මහත් වූ සංවේගයට පැමිණ, ‘කෙසේ හෝ මුන් වහන්සේලාට දානය සපයා දිය යුතු ය. බඩගින්නේ නො තැබිය යුතු ය. දන් දීමට කිසි වස්තුවක් මට නැත. සිදුවූ ණය ගෙවා ගැනීමට නො හැකිව වැඩ කරමින් සිටින දුගියෙක්මි. දැන් මම වැඩ කරන්නේ දවල් කාලයේ පමණයි. මට රාත‍්‍රියේත් වැඩ කරන්නට පුළුවනි. රාත‍්‍රියේ වැඩ කර දීම සඳහා මුදලක් ණයට ගෙන, භික්ෂූන් වහන්සේලාට දානය සපයා දෙමි.’ යි සිතා කළය භික්ෂූන් වහන්සේලා ඉදිරිපිට තැබුවා ය. අනතුරුව මෙසේ කීවා ය. ”ස්වාමීනී, මේ කළය මෙහි තබා යමි. නුඹ වහන්සේලා මා එනතුරු මෙහි මොහොතක් වැඩ සිටින සේක්වා.” එසේ කියා වහා ම තමන් සේවය කරමින් සිටි ගෙයට ම ගොස්, ගෙහිමියාගෙන් තවත් කහවණු හැටක් ණයට ඉල්ලා සිටියා ය.

එවිට ගෙහිමියා ‘‘නුඹ තවම පරණ ණය නො ගෙවා තිබිය දී තවත් ණය ඉල්ලා සිටින්නේ කුමට ද?” යැයි ඇසී ය. එවිට නාගා, ‘‘හිමියනි, ධනය ගැන බිය නො වනු මැනවි. මම දැන් ගන්නා මුදල වෙනුවට රාත‍්‍රියේ දී වැඩ කරන්නෙමි.” යැයි කීවා ය. ‘‘එසේ නම් හොඳයි…” කියා ඔහු කහවණු හැට දුන්නේ ය. උපාසිකාව මුදල් ගෙන වහා ගමෙහි ඇවිද එක ගෙයකට එක් කහවණුව බැගින් දී, දානය පිළියෙල කරවාගෙන භික්ෂූන් වහන්සේලාට පිරිනැමුවා ය. පිළිගන්වා වැඳ තමා දානය පිළියෙල කර ගත් ආකාරය ද එම භික්ෂූන් වහන්සේලාට දන්වා කළය ගෙන දියට ගියා ය.

ඇයගේ කථාවෙන් පුදුමයට පත් භික්ෂූන් වහන්සේලා එ් මොහොතෙහි දානය නො වළඳා තම තමන්ගේ පාත‍්‍ර ගෙන මහානාම නම් විල අසල මිදෙල්ල වනයට ගියාහු ය. එවිට නායක සංඝ ස්ථවිරයෝ අනිත් භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ කීහ.

‘‘ඇවත්නි, මේ දානය දුන් දුගී කාන්තාව අපගේ මව හෝ සොහොයුරියක් ද නො වන්නී ය. ඥාතියෙක් ද නො වන්නී ය. අතිශයින් දිළිඳු වූ ඇය මේ දානය තම ශරීරය විකුණා පිළියෙල කර ඇත්තේ, සිල්වත්, ගුණවත්, භික්ෂූන්ට දන් දීමෙන් මහත් ප‍්‍රතිඵලයක් ලැබෙන්නේ යැයි සිතාගෙන ය. එම නිසා මේ දානය අප සරාගීව සිට වැළඳීම සුදුසු නැත. ඇගේ දානය මහත් ඵල වනු පිණිස අප කෙසේ හෝ සියලූ කෙලෙසුන් නසා රහත් බව ලබා ම වළඳමු.”

එවිට භික්ෂූහු ‘රහත් නො වී මේ දානය නො වළඳමු’ යි වනයෙහි තැන තැන වැඩ හිඳිමින්, වෙනදාට වඩා බලවත් වූ උත්සාහයකින් භාවනාව පටන් ගෙන එදින පෙරවරු කාලයේ දී ම සියලූ දෙනා වහන්සේ ම සියලූ කෙලෙසුන් නසා, රහත් බව ලැබූ සේක.

මේ සිදුවීම දුටු දෙවියෝ සාදුකාර දුන්නාහු ය. උන් වහන්සේලා ද දෙවියන්ගේ සාදුකාර මැද පවිත‍්‍ර වූ සන්තාන ඇතිව නාගා උපාසිකාවන්ට මහත් ඵල වනු පිණිස ඇය දුන් ආහාර වැළඳූහ. මේ පුවත දැනගත් රටේ රජතුමාගේ ධවල ඡත‍්‍රයට අධිගෘහිත වූ දෙවියා ද සාදුකාර දුන්නේ ය.

රජතුමා ද දෙවියාගෙන් මේ පුවත අසා, නාගා ගැන පැහැදී ණය හිමියන් සමඟ ඇය ගෙන්වා, ඇයගේ ණය ගෙවා එම දිවයින ඇයට ම පවරා දී, බොහෝ සම්පත් ද දුන්නේ ය. ඕ තොමෝ තව තවත් පින්කම් කොට ජීවිතය අවසානයේ දෙව්ලොව උපන්නා ය. ඇයට ගෞරවාදර පිණිස මෙම දිවයින නාගදීපය ලෙස නම් කළේ යැයි ජනප‍්‍රවාදයේ කියැවේ.

රසවාහිනී ග‍්‍රන්ථය ඇසුරිනි

මහාමේඝ 2015 අධි ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මානෙල් පොඩිමැණිකේ