”වනන්තරේ ඉන්නව ලස්සන කුරුල්ලො ජාතියක්, උන්ගෙ බෙල්ල නිල් පාටයි, ලස්සන පිල් කළඹක් තියෙනව,
හොටත් ලස්සනයි. එ් මොනරු ලස්සනට නාද කරනව, මේ පොළව පවා නිල් පාට තණකොළවලින් වැහිල
තියෙන්නෙ, ගලා බහින වතුර ටිකත් හරි ම අගෙයි,
අහසෙ තියෙන වලාකුළුත් හරි ම ලස්සනයි. ලස්සන හිතක් තියෙන කෙනාගෙ ස්වභාවයත් ඔන්න ඔය වගෙයි…”
ලාහුගල වනපෙතට ඇතුළු වූ සැණින් මසිතට
නිරායාසයෙන් ම ගලා ආවේ චූලක රහතන් වහන්සේ වදාළ එ් ථේර ගාථාව යි.
මුහුදු මහා විහාරයේ සිට කාවන්තිස්ස නිරිඳුන් විසින්
විහාර මහා දේවිය මඟුල් ඇතා පිට නංවාගෙන ගිය අතීත පිය සටහන් ඔස්සේ පිය නැගූ අප දැන් ඉන්නේ එ් ඓතිහාසික මංගල උත්සවය සිදුවූ උත්සව භූමියේ ය.
පසුව මේ බිම කාවන්තිස්ස රජතුමා විසින් මහා සංඝයා වහන්සේ වෙත පවරා දෙනු ලැබී ය. එ් මඟුල් මහා
වෙහෙර යි. මොනරාගල පොතුවිල් මාර්ගයේ
සියඹලාණ්ඩුව පසුකොට පොතුවිල් දෙසට ගමන්කිරීමේ දී
සුන්දර ලාහුගල වන පියස මුණගැසේ. ලාහුගල ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර සීමා මායිම ආසන්නයෙන් දකුණු දෙසට ඇති ගුරු පාර
ඔබව ඓතිහාසික මඟුල් මහ වෙහෙර වෙත කැඳවාගෙන
යනු ඇත. මග දෙපස සුන්දරව පිල් විදහා රඟන මොනරුන්ගේ
රැුඟුම් බැලීමටත්, දකුණු දෙසින් සුවඳ හමන පුන් කුසුමින් සුසැදි වන විල් තලයේ අසිරිය විඳීමටත්, ඔබ පමා නො වුණහොත් අඩ හෝරා අඩක් යාමට මත්තෙන් ඔබට එ් සොඳුරු පුද බිම මුණගැසෙනු නො අනුමාන ය.
මඟුල් මහා විහාරයේ නටබුන් පිරුණු අක්කර
ගණනාවක භූමි භාගය ම වටකොට කළු ගලින් නිර්මිත වූ මහා ප‍්‍රාකාරයක් ඇත. එ් ප‍්‍රාකාරය මධ්‍යයේ පැරණි ගඩොලින් නිර්මිත චෛත්‍යයක නටබුන් ඇත. චෛත්‍යය වටා බැඳි ශෛලමය ප‍්‍රාකාරයත්, සලපතළ මළුවත් යම් තරමකට සුරැුකී ඇතත් චෛත්‍යයේ ශේෂ වී ඇත්තේ දේවතා කොටුව දක්වා කොටස පමණකි.
අතරමග දී නෙළා ගත් වන මල් ගෙන එදා රහතන් වහන්සේලා වන්දනා කළ වන මැද පිහිටි එ් සෑයට පුදා වන්දනා කළ අපි තණ පලසින් වැසී ඇති අතීත නටබුන් මත සීරුවෙන් පා තබා බටහිර වාහල්කඩ දොරටුව වෙත පැමිණියෙමු.
මුහුදු මහා විහාරයේ සිට කාවන්තිස්ස රජතුමා මඟුලැතු පිටින් කැඳවාගෙන ආ විහාර මහා දේවිය හා
විවාහ මංගල්‍යය සිදු වූ එ් ඓතිහාසික මණ්ඩපය
හමුවන්නේ එහි දී ය. ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වඩා හිඳුවා ස්වර්ණමාලී මහ සෑය හැ¥ ගැමුණු මහ රජතුමාගේත්, සම්බුදු සසුන වෙනුවෙන් මහ මෙහෙයක් කළ සද්ධාතිස්ස මහ රජතුමාගේත් පිය රජතුමා මෑණියන් සමග අතිනත ගත් ඓතිහාසික මගුල් මණ්ඩපය හමුවන්නේ එහි දී ය.
මුළුමනින් ම කළු ගලින් කරවන ලද පොළෝ මට්ටමින්
අඩි කීපයක් උස මණ්ඩපයක් වන මෙය පසුකාලීනව මහා සංඝරත්නය වෙත පූජා කරද්දී බෝධීන් වහන්සේ රෝපණය කරන ලද බෝධි මණ්ඩපය බවට පත්වී ඇත.
බෝධි මණ්ඩපය පසු කොට ආපසු පිවිසුම් මාර්ගය දෙසට පියවර තබද්දී ගල් කණු රැුසකින් සමන්විත බුද්ධ මන්දිරයේ නටබුන් පැහැදිලිව ම දැකිය හැකි ය. එදා රහතන් වහනසේලාගේ පා පහසින් සුවඳවත් වූ අක්කර ගණනක මෙම මුළු බිම් පෙදෙස ම කලක් ත‍්‍රස්තවාදී ග‍්‍රහණයට නතුව තිබූ අතර අදත් මනුෂ්‍ය වාසයෙන් තොර වූ පුරාවිද්‍යා රක්ෂිතයකි.
අප මෙහි ආ මොහොතේ පටන් කුහුලින් යුතුව අප දෙස බලමින් අත්තෙන් අත්තට මාරුවෙමින් නද දෙන මොනරුන්ට, දඬු ලේණුන්ට ඔවුන්ගේ වන රජ දහනේ
නිදහසේ සැරි සරන්නට ඉඩ දී පුරාවිද්‍යා රක්ෂිතයට සැතපුම් කාලක් පමණ ඈතින් පිහිටි විහාරගෙයි වැඩ සිටින ඓතිහාසික මඟුල් මහා විහාරයේ විහාරාධිපතින් වහන්සේ සොයා ගමන් ඇරඹීමු.
අප විහාර ගෙය වෙත පැමිණෙන විට, පානම්පත්තු ශාසන බල මණ්ඩලයේ සභාපති, මඟුල් මහා විහාරය, කිරි වෙහෙර, කොට වෙහෙර හා නීලගිරි මහා සෑය යන සිව් මහා විහාරාධිපති අම්පාර මඩකලපු දෙදිසාවේ උප ප‍්‍රධාන සංඝ නායක අතිපූජ්‍ය හුලංනුගේ රතනසාර
ස්වාමීන් වහන්සේ බලවත් ලෙස රෝගාතුරව වැඩ සිටියත්, අපගේ පැමිණීම අසා කරුණාවෙන් උන්වහන්සේ
ගිලන්ව වැතිර සිටි සයනය අසලට ම අප කැඳවා තොරතුරු සපයා දීමට තරම් කාරුණික වූහ.
”මම මේ විහාරස්ථානයට වැඩම කළේ 1971 දී. අසූ ගණන්වල දී ත‍්‍රස්තවාදී කලබල ඇතිවුණාට පස්සේ
බොහෝ දෙනා මේ ගම් බිම් අතහැරල ගියා. එ්ත් මේ සිද්ධස්ථානවල තියෙන ඓතිහාසික වටිනාකමත්, එ්ව අනාගත පරපුරට දායාද කිරීමේ වැදගත්කමත් දන්න අපි කොහොම ද මේව අතහැරල දාන්නෙ.. ජීවිත අවදානම පවා නො තකා මේව රැුක ගත්ත නිසානෙ අද මහත්තයලට මෙහෙම හරි වන්දනා කරන්න, කථා කරන්න මේ සිද්ධස්ථාන ඉතිරි වෙලා තියෙන්නෙ.”
”ගෞරවනීය ස්වාමීන් වහන්ස, ත‍්‍රස්තවාදී
කලබලවලට කලින් වන සතුන්ගෙන් පවා කරදර
වෙන්න ඇති.”
”මහත්තයො මේ කැලේ අදත් වන සතුන් ගැවසෙනව. එදා අලි කොටි වලසුන් අපිට පෙනි පෙනි එහා මෙහා ගියා. තුනුරුවන් සරණින් අපිට අනතුරක් කරල නැහැ. අපි ඉතින් සියලූ සත්වයන්ට ම මෙත් සිතින් ඉන්න කොට වන සතුන්ට පවා එ්ක දැනෙනව නෙව.”
”ස්වාමීන් වහන්ස, මේ විහාරස්ථානයට යාබද ගමට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල වුණා කියල මා අසා
තියෙනව.”
”මහත්තයෝ එදා හරියට පොසොන් පෝය දවස.
ඔය නටබුන් වෙලා තියෙන චෛත්‍යයට එහා පැත්තෙ තිබුණ ගමේ නම බෝගහලන්ද. අපි එදා සවස බුද්ධ වන්දනාව
කරලා බෝධි පූජාව තියල අවසන් වුණා විතරයි. ? අටයි දහයට විතර එ් ගම්මානෙට හිත් පිත් නැති ත‍්‍රස්තවාදීන් පැනල කපල කොටල මිනිසුන් මැරුවා.
වාසනාවට එදා ගමේ වැඩි පිරිසක් බෝධි පූජාවට ඇවිල්ලයි හිටියෙ. ගමේ ඉතිරිවෙලා හිටිය කීප දෙනා තමයි ඔය අවාසනාවන්ත ඉරණමට මූණ පෑවෙ.”
”ස්වාමීන් වහන්ස, ඔය කාවන්තිස්ස රජතුමාගෙ සරණ මංගල්‍ය උත්සවය සිදුවුණ ආකාරය පැහැදිලි කරල දෙන්න පුළුවන් ද?”
”දැන් මහත්තයල මුහුදු මහා විහාරයට ගිහින් එ් විස්තරේ මූලික කොටස දැනගත්තනෙ. ඔය ගම් බිම් පවා ඉස්සර සිංහල ගම් බිම්. දැන් අක්කර පත්තු කියන්නෙ අක්කර දහය බැගින් රජතුමා දුන්න ප‍්‍රදේශය. කල්මුණේ කියන්නෙ කෙළ අමුණ කියන එක. ඉතින් මුහුදු මහා විහාරය පිහිටි ස්ථානයෙදි මඟුල් ඇතා පිට හිඳුවා ගත් දේවිය මේ ස්ථානයට එක්කගෙන ඇවිල්ල තමයි මංගල උත්සවය සූදානම් කළේ. මහත්තයල දකින්න ඇති පසුව බෝධිඝරය වුණ ස්ථානය තමයි මංගල මණ්ඩපය කරවූවෙ.
අද කාලෙ හැටියට මඟුල් පෝරුව කියමුකො.
ඊට පස්සෙ රජතුමා මේ සම්පූර්ණ මංගල උත්සවය වෙනුවෙන් සැකසුව ඉදිකිරීම් සියල්ල සඟ සතු කොට පූජා කළා. ඊට පස්සෙ මෙහෙ දොළොස් දහසක් රහතන් වහන්සේල වැඩ ඉඳල තියෙනව. උන්වහන්සේල පැන් පහසු වුණ පොකුණු හතක් අදත් දකින්ට තියෙනව ඔය ගල් පවුරෙන් එපිට.”
”ස්වාමීන් වහන්ස, මීට අමතරව මෑතකදි පුරාවිද්‍යා කැණීම්වලින් මතු කර ගත් විස්තර තියෙනව ද?”
”මහත්තය දැක්ක ද? චෛත්‍යයට මඳක් මෙහායින්
වටකරල තියෙන සඳකඩ පහණ. එ්ක හරි සුවිශේෂී එකක්, ලංකාවෙ මුණගැසුන එම වර්ගයේ එක ම සඳකඩ පහණ විදියටයි එය සැලකෙන්නෙ.”
”ස්වාමීන් වහන්ස, අවසාන වශයෙන් මේ ස්ථානය වැඳ පුදා ගන්න එන සැදැහැවතුන්ට යම් සිහිපත් කිරීමක් කරන්ට තියෙනව ද?”
”ත‍්‍රස්තවාදීන්ගෙන් මේ රට නිදහස් වුණාට පස්සෙ
දැන් ඕනෙම කෙනෙකුට ඇවිත් මේ නැගෙනහිර පුද බිම් දෑසින් දැකබලා වන්දනා කර ගන්ට පුළුවන්.. දැන් එහෙම එන පිරිසුත් ඉන්නව. හැබැයි එ් එන පිරිසට වැසිකිළි පහසුකම් වගේ සනීපාරක්ෂක පහසුකම් හදල දෙන්න යම් පිරිසක් ඉදිරිපත් වෙනව නම් බොහොම පින්. එ් වාගෙ ම දොළොස් දහසක් රහතන් වහන්සේල වැඩ සිටිය මේ බිමේ අද හරියට වන්දනා කර ගන්ටවත් විහාර ගෙයක් නෑ.. එහෙම දෙයක් හදාගන්ට උදව් ලැබෙනවා නම් අපිට සැනසිල්ලෙ දෑස පියාගන්ට එ් හොඳටෝම ඇති.”
වසර හතළිස් ගණනක්, විටෙක වග වලසුන්ට මැදි වී, විටෙක කුරිරු ත‍්‍රස්තයන්ට මැදි වී, වැනසී යාමට බොහෝ කොට ඉඩ තිබූ මේ වනගත පුද බිම අනාගත පරපුර වෙනුවෙන් රැුක දෙන්නට අතිපූජ්‍ය හුලංනුගේ රතනසාර ස්වාමීන් වහන්සේ වැනි සංඝ පීතෘන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් කළ මෙහෙය අපරිමිත ය. උන්වහන්සේලාගේ අද දවසේ පැතුම ද උන්වහන්සේලා වෙනුවෙන් කිසිවක් ලබාගැනීම නො වේ. වන්දනා කරන්නට එන සැදැහැවතුනට සුවසේ වන්දනා
කර ගැනීමට ඇවැසි පහසුකම් සපයා දීම පමණි. උන්වහන්සේලාගේ එ් අහිංසක පැතුම ඉටු කොට දීමට සමත් සවි ඇත්තෝ පින් පුරා ගනිත්වා…!

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ