මම කවදත් මහ මුහුදට ප‍්‍රිය කරමි. නිසංසලේ මහ සයුරු තෙරට වී සිතිජය තෙක් දිවෙන ඈත අනන්තය දෙස බලා සිටින විට සිත එක්තැන් වේ. එවිට බුදුරජාණන් වහන්සේ මහ මුහුද උපමා කොටගෙන දෙසූ පහාරාද සූත‍්‍රය වැනි විසිතුරු දෙසුම් සිහියට නැගෙන්නේ නිරායාසයෙනි.

නිතර මහ සමුදුරට ඉහළ අහසේ පාවෙන වලා කැටි දෙස නෙත් යොමා සිට හුරු පුරුදු මා අද එ් සුදු පුලූන් කැටි වන් වලාකුළුවලට ඉහළින් සිට අඩි තිස්පන් දහසකටත් වඩා පහළින් දකින නිල්වන් පලස මේ දහම් දිවයින වට කොට ඇති මහ සමුදුර ම මිස වෙන කිසිවක් නො වේ. ලක් දෙරණින් ගුවනට නැගී සුදෝ සුදු වලා කැටි අතරින් පා වී දඹදිව් තලය බලා යන මේ ගමන සිහිනයක් නො වේ. සැදැහැවත් කුලපුතෙකුගේ සිත මත්තෙහි බොහෝ කලක් තිබී පිනට සැබෑ වූ පැතුමකි. එදා රහතන් වහන්සේලා දහස් ගණනින් ඍද්ධි බලයෙන්
ගුවනින් වැඩි මංපෙත ඔස්සේ දඹදිව බලා යාමට අද එතරම් චිත්ත දියුණුවක් උපදවා ගැනීමට අපහසු වූ අපට ගුවන් යානයක උපකාරය ලැබීම වාසනාවකි.

කටුනායකින් අප ගුවන්ගත වී අඩ හෝරාවක් ගතවන්නටත් මත්තෙන් පහතින් දිස්වුණ නිල්වන් පලසේ අනෙක් පස කෙළවරින් ලා දුඹුරු පැහැයෙන් මේ දිස්වෙන්නේ සියලූ බුදුවරුන් ලොවට පහළ වන එ් මහා පුණ්‍ය භූමිය නො වේ ද… සාදු…! සාදු…! සාදු…!

හෝරා තුන හමාරක ගුවන් ගමනකින් පසු අප බුද්ධගයා ගුවන්තොටුපළට ළඟා වීමු. සියලූ බුදුවරුන්ගේ ජය භූමිය වන මේ බිමට මුල් වරට පා තබන සැදැහැවත් ශ‍්‍රාවකයෙකුගේ සිතෙහි ඇතිවන හැඟීම කිසිලෙසකින් වත් වචනයට හැරවිය නො හැකි ය. එ් නිසා මම එසේ කිරීමට ද උත්සාහ ද නො කරමි. බුද්ධගයා ගුවන්තොටුපළ සිසාරා සිහින් ස්වරයෙන් ඇසෙන ‘බුද්ධං…. සරණං…. ගච්ඡුාමි….’ ස්වරය එ් හැඟුම් තවත් තීව‍්‍ර කරද්දී අපි ගයාවෙන් බස් රථයට නැග ගත්තෙමු….

කි. මී. 280ක් පමණ මඟ ගෙවා අප බරණැස් නුවරට ළඟා වෙද්දී රාත‍්‍රී නවය පමණ වී තිබුණත් ගතට කිසිදු විඩාවක් නො දැනුණේ සිත ශ‍්‍රද්ධාවෙන් පිරී තිබුණ නිසාවෙන්  බව මම දනිමි….

සියලූ බුදුවරුන් වහන්සේලා දම්සක් දෙසුම පවත්වන ඉසිපතන මිගදායේ සිට හිමිදිරියේ දෑස් පියන් පත් විවර කිරීමට ලැබීම මොන තරම් නම් භාග්‍යයක් ද?

අලූයම අවදි වී ඇඳ මත සිට දෑස පියාගෙන සිටි මගේ සිතේ තිබූ උතුරා යන සතුට අතරින් ගාථාවක අරුත් සිහිවිය.

‘සතං හස්ථි – සතං අස්සා
සතං අස්සතරීරථා – සතං කන්‍යා සහස්සාවී ආමුත්ත මණිකුණ්ඩලා 
– ඇතුන් දහසක් ලැබුණත්.. අසුන් දහසක් ලැබුණත්… අශ්ව රථ දහසක් ලැබුණත්… ස්වර්ණාභරණයෙන් සුසැදි කන්‍යාවන් ලක්ෂයක්  ලැබුණත්…. යමෙක් බුදුරජාණන් වහන්සේනමක් දකින්නෙමැයි තබන එක් පියවරක සොළොස් කලාවෙන් එකක් වත් එ් කිසිවක් නො වටනේ ය.’ තව මොහොතකින් අප පියවර ඔසවන්නේ එබඳු ගමනකට නො වේ දැයි මට සිතේ.. මුළු පරිසරය ම ගැඹුරු නිහැඬියාවක ගිලී ඇත. අරුණලූ නැගීමට තව හෝරාවක් පමණ ඇත. එ්ත් එතරම් ඉවසිල්ලක් නො තිබුණු අපි අලූයම සඳ කිරණින් මිගදාය නැහැවෙද්දී දෝතින් දහස්පෙතියා මල් මාල දරාගෙන හදවත උතුරා යන සැදැහැයෙන් යුතුව මූලගන්ධකුටි විහාරයට ඇතුළු වීමු.

ධර්මචක‍්‍ර මුද්‍රාවෙන් යුතු ඉතා පියකරු බුද්ධ ප‍්‍රතිමා වහන්සේනමක් වඩා හිඳුවා මේ නව මූලගන්ධකුටි විහාරය ඉදි කරවන ලද්දේ අනගාරික ධර්මපාලතුමා විසිනි. එවකට එංගලන්තයට ගෙන ගොස් තිබුණ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට සුදුසු පූජනීය ස්ථානයක් සෙවූ ධර්මපාලතුමා මේරි පෝස්ටර් රොබින්සන් මහත්මියගේ ආධාරයෙන් මේ මනරම් විහාරය ඉදි කොට ඇත. අපගේ වාසනාවට ධර්මපාලතුමා පහළ නො වන්නට මෙසේ අපට නිදහසේ සිත් සේ වන්දනා කර ගන්නට බරණැසක් නො තිබෙන්නට ද ඉඩ තිබුණි.

සිත් පුරා නව මූලගන්ධකුටි විහාරය වන්දනා කර ගත් අපි එ් අනගාරික ධර්මපාල ශ‍්‍රීමතාණන්ට ද පුණ්‍යානුමෝදනා කළෙමු.

හිමිදිරියේ පළමු ළා හිරු රැුස් දහර ඉසිතනය සිප ගනිද්දී අපි නව මූලගන්ධකුටි විහාරයෙන් පිටතට පියවර තැබීමු. අප පැමිණෙන විට හිස මුඩු කොට කසාවතකින් ගත පොරවාගත් සිල් මෑණියන් වහන්සේනමක් පැමිණි පිරිසට මිගදායේ අතීත අසිරිය පහදා දෙමින් සිටි සේක. අපිදු එ් තොරතුරුවලට සවන් දුනිමු.

‘‘එදා බුදුරජාණන් වහන්සේ ගයාවේ සිට පා ගමනින් පස්වග තවුසන් සිටිය මේ බිමට වැඩම කරද්දී පස්වග තවුසන් මුණගැසුන ස්ථානය සිහිවෙන්න තමයි මේ සම්මුඛ චෛත්‍යය හදල තියෙන්නේ.”

‘‘”මෑණියන් වහන්ස මේ භූමිය ඉසිපතනය කියල හඳුන්වන්න විශේෂ හේතුවක් තියෙනව ද?”

‘‘ඔව්. අතීතයේ හිමාලයේ විසූ ඍෂිවරුන් අහසින් ඇවිත් පතිත වුණ ස්ථානය කියන අදහසින් ඉසිපතන නමින් හඳුන්වන බවත් සැලකෙනවා.

මුවන්ගේ අභයභූමිය යන අදහසින් තමයි මිගදාය කියන්නේ. බුදුරජාණන් වහන්සේ මුලින් ම වැඩ හිටිය ගන්ධ කුටිය කියන අදහසින් තමයි මූලගන්ධකුටි විහාරය කියල කියන්නේ. මේ තියෙන්නේ එ් පැරණි මූලගන්ධකුටි විහාරය යි…

මේ ස්ථානයෙදි තමයි යසකුල පුත‍්‍රයා ඇතුළු ප‍්‍රථම රහතන් වහන්සේලා හැටනම බිහි වුණෙත්. එ් වාගෙ ම ප‍්‍රථම වස් කාලයෙන් පස්සේ දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ධර්මය දේශනා කරමින් වඩින ලෙස එ් බුදු පුතුන්ට දහම් චාරිකාවේ වැඞීමට අනුදැන වදාළේත් මේ ස්ථානයේ දී ම යි.”

‘‘සාදු….! සාදු….! සාදු…..!”

‘‘මේ තමයි ධම්මරාජික ස්ථූපය. එදා ඇසළ පුන් පෝය දවසේ නැගෙනහිරින් පුන්සඳ මඬල පායා එද්දී, පස්වග තවුසන් සවන්පත් යොමා අසා සිටිද්දී, සැට කෝටියක් දෙවි දේවතාවරු අහස් ගැබ පුරා සාධුකාර දෙද්දී, මිහි මඬල කම්පා කරවමින් භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවතුම් සූත‍්‍රය දේශනා කරල ගෞතම බුද්ධ ශාසනයෙ දහම් සක කරකවා හැරියෙ මෙන්න මේ බිමේ සිටයි.”

‘‘සාදු….! සාදු….! සාදු…..!”

අපි ධම්මරාජික ස්ථූපය අසල සිට බුදු සිරිපා පහස ලද එ් බිම මත නළල තබා වන්දනා කළෙමු. මල් පහන් සුවඳ දුම් පූජා කළෙමු. දෙවියන්ට ආරාධනා කොට දම්සක්
පැවතුම් සූත‍්‍රය මිහිරට හඬ නගා සජ්ඣායනා කළෙමු.

නිල් තණ පලසින් වැසී ගිය මිගදාය අදත් ඉතා ම රමණීය දසුනකි. මම එ් තණපත් මත පා තබා බුදු හිමියන් වැඩ සිටි ගන්ධ කුටිය සොයා ගියෙමි. මේ බිමේ වැලි කැටයක් පාසා කෙතරම් නම් එ් සම්බුදු සිරිපතුල් යුගලෙහි පහස ලබන්නට ඇද්ද?

ගන්ධ කුටිය අද පාළුවට ගොසිනි. අනේ සම්බුදු සමිඳාණෙනි… සැදැහැයෙන් පිරුණු සිතක් හද ගැබෙහි රුවාගෙන මෙතරම් දුරු කතර ගෙවාගෙන ඔබ වහන්සේ දකින්නට මා මෙහි පැමිණෙන විට පමා වී ඇත…. වසර දෙදහස් ගණනක් පමා වී ඇත…. මම බුදු සමිඳු වැඩ සිටි එ් ගන්ධ කුටියෙහි හිස තබාගෙන නෙත් කෙවෙනි පුරා පිරී තිබූ කඳුළුවලට රිසි සේ ගලායන්නට ඉඩ හැරියෙමි.

‘‘ආනන්ද, මා පිරිනිවන් පෑ පසු ඔබලාට සිතෙන්නට පිළිවන් මේ ධර්මය අතීතයට ගිය එකක් කියා. ආනන්ද එසේ නො සිතිය යුතු ය. මාගේ පිරිනිවන් පෑමෙන් පසු මා දේශනා කොට වදාළ ධර්ම විනය ඔබලාට ශාස්තෘ වන්නේ ය.”

භාග්‍යවතුන් වහන්සේගේ එ් වචන හදවතෙහි රැව් පිළිරැව් දෙන්නට විය. ඇත්තෙන්ම තවමත් පමා නැත. අපගේ වාසනාවට එ් දම් විනය තවමත් සුරැුකිව තිබේ. භාග්‍යවතුන් වහන්සේට කරන නියම පූජාව වන්නේ එ් දහම් මගෙහි නො පමා වීම යි. මම කඳුළු පිස දමා නැගිට සිටියෙමි. පරනිම්මිත වසවත්ති දෙවින් පවා මේ ඉහළ අහසේ සිට තවමත් එ් දම්සක් දෙසුම ඇසූවනින් ම අර්ථ මෙනෙහි කරනවා විය නො හැකි ද?

අප කරනා මේ සියලූ පින් එ් සියලූ දෙවියෝ අනුමෝදන් වෙත්වා! දහම් මග දියුණු කර ගැනීම පිණිස මහන්සි ගන්නා සියලූ දෙනාට ම දෙවියෝ ද රැකවරණ සලසත්වා.!