අනුරාධපුර සමයේ සැදැහැවත් කුලදරුවෝ දෙදෙනෙක් ගිහිගෙයි කලකිරී ථූපාරාමයේ පැවිදි වූහ. ථූපාරාමය ලක්දිව බුදුසසුන පිහිටවූ මුලදී ම දෙවන පෑතිස් නිරිඳුන් විසින් කරවන ලද සෑයයි. මේ ස්ථානය සොළොස්මස්ථානවලින් ද එකකි.

එකට පැවිදි වූ දෙනමගෙන් එක් නමක් උභය ප්‍රාතිමෝක්ෂය ප්‍රගුණ කොට පසුවස් විසීමෙන් පවාරණය කොට ‘පැදුම්කඩදොර’ නම් ස්ථානයෙහි වාසය කිරීම සඳහා ගියේ ය. අනෙක් නම ථූපාරාමයෙහි විසීය. ‘පැදුම්කඩදොරට’ ගිය හිමි නම එහි දිගු කලක් වාසය කොට ස්ථවිර භාවයට ද පැමිණ, ‘මේ ස්ථානය විවේකයට ද පහසුයි. එක දිනයේ ම මහණ වූ මගේ මිත්‍රයාටත් ඒ බව දැන්විය යුතුය’යි සිතා ථූපාරාමය බලා පිටත් වී ගියේය.

එහි පැමිණෙන උන්වහන්සේ දැක සමාන වස් ඇති මිත්‍ර තෙරුන්වහන්සේ පෙර ගමන් කොට පා සිවුරු පිළිගත්හ. ආගන්තුක හිමියෝ සෙනසුනට පිවිසුනාහ. පිවිසී, ‘දැන් දැන් ගිතෙල් හෝ පැණි හෝ වෙන යම් පාන වර්ගයක් හෝ එවාවි’ යයි සිතමින් සිටියේ ය. පසුව ‘අවුළුපත් හෝ එවාවි’ යයි සිතුවේ ය. එහෙත් කිසිවෙක් කිසිම දෙයක් ගෙන ආවේ නැත. මෙතෙක් කිසිවක් නොලැබුණත් ගමට පිඬු පිණිස ගිය පසු ප්‍රණීත ආහාර වර්ග ලැබේවි යයි සිතුවේ ය. පසුදින උදෑසන ම හිමිවරු දෙනම පිඬුසිගා වැඩියහ. දෙදෙනා වහන්සේ මුළු වීථිය පුරාම හැසිරුන නමුත් ආහාරයට ලැබුනේ කැඳ ඩිංගක් පමණි. හිමිවරු දෙදෙනා එය ආසන ශාලාවක හිඳ වැළඳූහ.

‘ඊයේ සිට මෙසේ සිදුවුනත් දහවල් කාලයේදී මිනිසුන් අපට ප්‍රණීත භෝජන දේවි’ යැයි නැවතත් ආගන්තුක හිමිනම සිතුවේ ය. නමුත් දහවලට ලැබුණේ ද ඉතා සුළු භෝජනයකි. අනතුරුව ආගන්තුක හිමිනම “ආයුෂ්මතුනි, හැමදාම යැපෙන්නේ මේ ලෙසටදැ”යි ඇසීය. උන්වහන්සේ “එසේය” කියා පිළිතුරු දුන්හ.

“ආයුෂ්මතුනි, මා වාසය කරන පැදුම්කඩදොර ප්‍රත්‍ය පහසුකම් ඉතා බොහෝය. එහි වඩිනු මැනව” යි ආගන්තුක හිමිනම තම මිතුරු හිමිනමට ආරාධනා කළහ.

තෙරුන් වහන්සේ නුවර දකුණු දොරින් නික්මිණි. ථූපාරාමයට යන මාර්ගය මගහැර කුඹල් ගමට යන මාර්ගයට පිවිසුනාහ.

“ආයුෂ්මතුනි, මේ මගට පිළිපන්නේ ඇයිද?” ආගන්තුක හිමි නම ඇසූහ.

“ඔබවහන්සේ පැදුම්කඩදොර වර්ණනා කළහ. එහි යමු” යි මිතුරු හිමිනම කීහ.

“ආයුෂ්මතුනි, මෙතෙක් විසූ තැන ඔබවහන්සේට වැඩි පිරිකරක් නැතිද? ගෙන යාමට කිසිවක් නැතිද?”

“නැත. කිසිවක් නැත.”

“එහෙත් ආයුෂ්මතුනි, මගේ සැරයටිය, තෙල් ගුලාව හා වහන් උරය ද ඔබවහන්සේ විසූ තැන තබා ආමි. ඒවා ගෙන එන්නෙමි” යි ආගන්තුක හිමිනම කීහ.

“ආයුෂ්මතුනි, එක දිනක් විසූ තොප මේ තරමක් බඩු එහි තැබුවේ ද?” යි ඇසීය.

“එසේය” කියා පිළිතුරු දුන්හ.

“ඔබවහන්සේ වැන්නවුන්ට හැම තැන ම ආරණ්‍යය ය. ථූපාරාමය සතර බුදුවරුන්වහන්සේගේ ධාතු නිධාපිත ස්ථානයයි. ලෝවාමහාපායේ පහසුවෙන් ධර්මශ්‍රවණය කළ හැකිය. එතැන බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලය වැනිය” යි මිත්‍රහිමි ථූපාරාමය බලා වැඩියාහ.
ආගන්තුක හිමිනම දෙවැනි දින පැදුම්කඩදොර බලා පිටත් වී ගියේ ය.

ඇසුර – විශුද්ධි මාර්ගය

මානෙල් පොඩි මැණිකේ