ධනය ටිකෙන් ටික උපයාගෙන ධනවත් වූවෝ ද උපතින් ම විශාල ධනස්කන්ධයකට උරුම කම් කියන මනුෂ්‍යයෝ ද ලෝකයෙහි වෙසෙති. තමන් සතු එම ධනයෙන් ඉතා කුඩා ප්‍රමාණයක් හෝ කිසිවෙකුට නො දෙන, තණ්හාවෙන් ම තම දිවිය ගත කරන පිරිස් ද ඒ අතර දුර්ලභ නො වේ. එවන් ධනවතුන් දිවා රාත්‍රී නිදි නොලබා රැස්කරන්නා වූ යම් ධනයක් වේ ද එය මෙලොවට පමණකි. දන් දුන් කිසිවක් නොමැති බැවින් පරලොව දී ලද හැකි සැපයක් නැත්තේ ය.

මෙම කතාවෙන් විස්තර වන ධනපාල සිටුතුමා ද අතීතයේ ජීවත් වූ එවැනි පුද්ගලයෙකි.

යමෙක් මෙලොවෙන් පරලොවට යමක් රැගෙන යන්නේ නම් ඒ ඔහු විසින් සැදැහැ සිතින් කළ දනක් පිනක් පමණි. තම නිවස හදිසියේ ඇති වූ ගින්නකින් විනාශ වනු දැක නිවසෙන් පිටතට යම් වස්තුවක් විසි කර දමන්නේ ද ඒ ආකාරයෙන් දන් දුන් යම් වස්තුවක් ඇත්නම් එය මතු සසර ගමනට සැප විපාක ම උපදවයි.

ලෝක සත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් වැඩ සිටි අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන කාලයෙහි ධනපාල නම් ප්‍රේතයෙකු මුල්කර ගනිමින් මෙම ධර්ම දේශනාව වදාළ සේක.

අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වීමට පෙර පැවති නගරයක ධනපාල නම් සිටු කෙනෙක් විය. ඔහු ශ්‍රද්ධාව නොමැති අප්‍රසන්න තද මසුරු පුද්ගලයෙකි. කුසල් අකුසල්වල විපාක නොමැති බව කියන මිථ්‍යා අදහස්වලින් යුත් නාස්තික දෘෂ්ටියක් වැළඳගත්තෙකි.

එම සිටුතුමා මරණයෙන් පසු වාලුකා කාන්තාරයක ප්‍රේත උපතක් ලැබී ය. ඔහුගේ ශරීරය තල් ගසක කඳක් තරම් විය. සම රළු ය, විරූපී හිසකෙස්වලින් යුක්ත ය. ඉතා භයානක පෙනුමකින් යුත් ඔහු ශරීරය ද දුර්වර්ණ ය. දුටුවන් බියට පත් වන සුලු විය. අවුරුදු පනස් පහක කාලයක් තිස්සේ ආහාර ස්වල්පයක් හෝ දිය බිඳුවක් හෝ නොලබයි. අධික කුසගින්න සහ පිපාසය හේතුවෙන් උගුර කට වියළී ගොස් ය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව සැවැත්නුවර වැඩ වාසය කරන කාලයෙහි සැවැත්නුවර වැසියන් වූ වෙළෙන්දන් පන්සියයක පිරිසක් ගැල්වලින් උතුරු දිග ප්‍රදේශයට වෙළඳාම පිණිස පිටත්ව ගියහ. ඔවුන් රැගෙන ගිය බඩු විකුණා එහි දී ලබාගත් බඩු ගැල්වල පුරවාගෙන ආපසු එමින් සිටිය දී සවස් කාලය ගෙවීයමින් තිබුණි.

දිය සිඳී ගිය වියළි ගඟක් ළඟට පැමිණි ඔවුන් ගොනුන් ගැල්වලින් මුදා හැර රාත්‍රිය එහි ගත කළෝ ය. එවිට පෙර සඳහන් කළ ධනපාල ප්‍රේතයා උග්‍ර පිපාසයෙන් ජලය සොයමින් එම ස්ථානයට පැමිණියේ ය. ජලය බිඳක් හෝ නොලබා පීඩාවට පත් වූ ඔහු මුල් සිඳුනු තල් ගසක් සේ වෙළෙන්දන් අසල ස්ථානයක ක්ලාන්තව බිම ඇද වැටුණේ ය.

එය දුටු වෙළෙන්දෝ ප්‍රේතයාගෙන් මෙලෙස විමසා සිටියහ.

“නිර්වස්ත්‍රව විරූපී ශරීරයකින් යුත් ඔබගේ නහර වැල් ද ඉල්පී ඇත. ඉල ඇට පවා දර්ශනය වන සිරුර ඉතා කෙට්ටු ය. දැකීමට බියකරු පෙනුමක් ඇති ඔබ කවරෙක් ද?”

“පින්වතුනි, මම ප්‍රේත ලෝකයෙහි උපන් දුකට පත් ප්‍රේතයෙක් වෙමි. බොහෝ පව්කම් සිදුකර මරණයෙන් පසු ප්‍රේත ලෝකයෙහි උපන්නෙමි.

පෙර දස්සන නම් රජු රාජ්‍යය කරන කාලයෙහි මම ධනපාල නමින් යුත් සිටුවරයෙකි. මා හට ගැල් අසූවක පමණ අමු රන් තිබුණි. එසේ ම කහවණු ද ගැල් අසූවක් විය. එසේ ම මා හට රත්‍රන් සහ මැණික් වර්ග ද බොහෝ තිබුණි.

එපමණ මහා ධනයකට උරුමකම් කීව ද මා හට දන් දීමට නම් කිසිම කැමැත්තක් ඇති නො වී ය. යාචකයෝ මා නොදකිත්වා යැයි සිතා නිවසෙහි දොරවල් වසාගෙන ආහාර අනුභව කළෙමි.

මා හට කිසිදු ශ්‍රද්ධාවක් නොතිබිණි. තද මසුරු ලෝභයෙක් වීමි. දන් දෙන පුද්ගලයින් එයින් වළක්වා තර්ජනය කළෙමි. දන් පින් කරන බොහෝ මිනිසුන් එම පින්කම්වලින් වැළැක්වූයෙමි.

දන් දීමෙහි පුණ්‍ය විපාකයක් නම් නොමැත. පින, පින යැයි කියමින් නිරපරාදේ වස්තුව විනාශ කරයි. සීලයක් රැකීමෙන් ලැබෙන්නෙ කුමන විපාකයක් ද? සිල් රැකීම නිෂ්ඵල වැඩකට නැති දෙයකි. එකල මාගේ අදහස එසේ විය.

පැන් පොකුණු, ආරාම, මල් වතු, පැන් ශාලා සහ යාමට නො හැකි තැන්වල පහසුව පිණිස ඉදිකරන ලද ඒදඬු පාලම් ආදිය ද මම විනාශ කර දැමුවෙමි. ඒ මම නො කළ කුසල් ඇතිව කළ අකුසල් ඇතිව ම මිනිස් ලොවින් චුත වීමි.

ප්‍රේත අපායෙහි උපන් මා ආහාර අනුභවයක් නො දනිමි. අධික පිපාසයෙන් පෙළෙමි. ලෝභ සිතින් කිසිවෙකුට දන් නො දී යමෙකු තණ්හාවෙන් වස්තුව රැස් කරයි ද ඒ දන් නොදීම එම පුද්ගලයන්ගේ විනාශය නම් වේ. ප්‍රේත ලෝකයෙහි උපන් සත්වයන්ට ද බොහෝ විනාශයට කරුණු නම් ඇත.

යමෙකුට විනාශයක් වේ නම් එය දන් නොදීම යයි කියමි. දන් නොදීම විනාශයට හේතුවක් ය යන කරුණ විපාක විඳින බැවින් ප්‍රේතයෝ ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දැන ගනිති. ප්‍රේතයන් හට පෙර අත්භවයෙහි කරන ලද කර්මය ප්‍රකට වන බැවින් ඔවුහු එය මනාව දැන ගනිති. මම පුණ්‍ය කටයුතු කළ හැකිව තිබියදී එයින් වැළකී සිටියෙමි. බොහෝ ධනය තිබියදී කිසිවක් කිසිවෙකුට නොදුන්නෙමි.

ධනය බොහෝ තිබුණ අවස්ථාවේදී කිසිවක් නොදුන් මම දැන් විපාක විඳිමින් පසුතැවිලි වෙමි.

තවත් මාස හතරකින් මාගේ මරණය සිදුවන්නේ ය. මම ඒකාන්තයෙන් ම කටුක දුක් සහිත අවීචි මහා නරකයට වැටෙන්නෙමි.

ඒ නරකය කොණ් සතරක් සහිත ය. දොරටු ද සතරකි. කොටස් වශයෙන් ප්‍රමාණයට බෙදන ලද්දකි. යකඩයෙන් කරන ලද පවුරකින් වට කරන ලද්දකි. යකඩ පියනකින් වසන ලද්දකි.

එම නරකයේ පොළව ද යකඩයෙන් ම සැදී ඇත. සෑම විට ම යොදුන් සියයක් දුරට අග්නි ජාලාව පැතිර පවතී.

එම නරකයෙහි ඉපිද මම බොහෝ කාලයක් දුක් විඳින්නෙමි. එම නිසා මම අතිශයින් ම කණගාටුවට පත්ව සිටිමි.

එම නිසා මම නුඹලාටත් කියන්නේ මෙය යි. ප්‍රසිද්ධියේ හෝ රහසින් හෝ සතුන් මැරීම, බොරු කීම ආදී පව්කම් නොකරනු මැනවි. සිත කය වචනයෙන් උපක්‍රම යොදමින්, අප්‍රකට ව, විෂම ලෝභයෙන් ළාමක අකුසල් නොකරන්න.

ඔබලා ද ඒ අකුසල් කරන්නේ නම් කර්ම විපාකයෙන් නම් ඔබලාට ද ගැලවීමක් නම් නැත්තේ ය. නිරය ආදි සිව් අපාය ද මිනිසුන් අතර උපදින්නේ නම් අඩු ආයුෂය ද ඔබ ලබන්නේ ය.

“න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්පදේසෝ
යත්ථට්ඨිතෝ මුඤ්චෙය්‍ය පාපකම්මා”

අහසෙහි සිටියත් පාපකර්ම විපාකයෙන් මිදීමක් නම් නැත. සමුද්‍ර මධ්‍යයෙහි සිටියත් මිදීමක් නැත. පර්වත ගුහාවකට ඇතුල් වූවත් මිදීමක් නැත. යම් තැනක සිටි විට පාපකර්ම විපාකයෙන් මිදෙන්නේ නම් එබඳු ප්‍රදේශයක් ලෝකයෙහි නැත්තේ ම ය.

නුඹලා මවට පියාට කරුණාවෙන් උපස්ථාන කරව්. ශ්‍රමණයන් වහන්සේලාට, රහතන් වහන්සේලාට ගෞරව පුදසත්කාර කරන්නෝ වව්. මෙසේ මා විසින් කියන ලද ක්‍රමය අනුගමනය දෙව්ලොව ඉපදීමට හේතු වෙයි.”

එම වෙළඳුන් ධනපාල ප්‍රේතයාගේ කීම අසා සංවේගයට පත්ව අනුකම්පා සිත් ඇතිව භාජනවලින් පැන් ගෙනවිත් ඔහු පොළොවේ නිදි කරවා මුවට වත් කරන්නට වූහ. මහ ජනකායක් විසින් බොහෝ වේලාවක් මෙසේ එක දිගට පැන් වත් කරන ලදී. එනමුත් එම ප්‍රේතයාගේ පාපකර්මයේ බලගතු භාවය හේතුවෙන් උගුරෙන් පහළට නො බැස්සේ ය. පිපාසය කෙලෙස නම් සන්සිඳෙන්න ද?

“ඔබගේ බලවත් පිපාසයට කිසියම් සහනයක් ලැබුණේ ද?” ජලය වත්කිරීමෙන් අනතුරුව වෙළඳුන් විමසා සිටියහ.

“මෙපමණ වෙලාවක්, මෙතරම් ජනතාවක් විසින් මගේ මුවට වත්කරන ලද ජලයෙන් එක් බින්දුවක් පමණ හෝ මාගේ උගුර තුළට ඇතුල් වූයේ නම් මේ ප්‍රේත භවයෙන් මා නොමිදේවා” යි ප්‍රේතයා පිළිතුරු වදන් දුනි.

බොහෝ කලකිරීමට පත් වූ එම වෙළඳ පිරිස පිපාසය සන්සිඳවීමට හැකි කිසියම් උපායක් ඇත්නම් එය පවසන්න යැයි ප්‍රේතයාගෙන් විමසා සිටින්නට වූහ.

“මෙම පාප කර්මය ගෙවී ගිය කල්හි, තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට හෝ දන්දුන් කල්හි මට දක්ෂිණාව දෙන්නේ නම් මම මේ ප්‍රේත ආත්මයෙන් මිදෙන්නෙමි.”

එබස් ඇසූ වෙළෙන්දෝ සැවැත්නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ එම පුවත සැල කර සිටියහ. තෙරුවන් සරණ ගොස් පංච සීලය සමාදන් වී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට සතියක් මුළුල්ලේ මහ දන් පූජා කර එම පුණ්‍ය ශක්තිය ප්‍රේතයාට අනුමෝදන් කළහ. භාග්‍යවතුන් වහන්සේ එම සිදුවීම ඇසුරෙන් සිව්වණක් පිරිසට ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක. මහජනයා ධර්ම ශ්‍රවණය කර ලෝභය ආදී මසුරු ගති දුරු කර පුණ්‍යකර්මයන් සිදු කරමින් දහම් මගට යොමු විය.

ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය.
සටහන – හර්ෂ නිලංක පෙරේරා.