“මේ ඇහුණ ද හාමිනේ! බලන්න අර ඈත එනව පේන්නෙ අපේ සමන් පුතා නේ ද?”

“හැබෑ නේන්නම්. සමන් තමයි. ඉස්කෝලෙ සුදු ඇඳුම පිටින් නේ ද ඔය එන්නෙ? මොකද දන්නෙ නෑ මූණත් මැලවිලා. බලමුකො මොකද වුණේ කියලා….

ආ… සමන්… මොකද පුතා අද අමුතු වෙලා… ඔයාට කරදරයක්වත් ද? බොහොම කේන්තියෙන් වගේ. ඉස්කෝලෙ ගියේ නැතෙයි? අම්මයි තාත්තයි අද ඔයා මෙහෙ එන බව දන්නව ද? ඈ ළමයො මොකද කථා නැත්තෙ?”

“හා…. හා….. හාමිනේ ඔයා ප්‍රශ්න වැලක් ම අහනවනෙ… මේ දරුව ගෙදරට එනකන් ඉන්නකො. අපි හෙමිහිට ටිකක් විවේක අරගෙන මේ දරුවත් එක්ක කථා කරමුකො. එන්න පුතේ… ඇඳුම් මාරු කරගෙන එහෙම මුකුත් කාල බීල නිවීහැනහිල්ලේ කථා කරමු.”

සමන් හෙමින් සීරුවේ නිවසට ඇතුළු වෙලා මුහුණ සෝදා ගන්න ගියා..

“හාමිනේ… මේ කොලුවා ඉස්කෝලෙන් කට්ටි පැනල වගෙයි ඇවිත් තියෙන්නෙ. අයියට දුරකථන ඇමතුමක් දීල සමන් මෙහෙ ආව කියල දන්වන්න. ඒ මිනිස්සු බය වෙලා හොයන්න පුළුවනි.

මුහුණ කට සෝදාගෙන ආව සමන්ට උණු තේ කෝප්පයක් ලැබුණා.

“ඉතින් දැන් පුතාගෙ මහන්සි නිවෙන්න ඇති මයෙ හිතේ. එන්නකො අපි මෙහෙන් වාඩිවෙලා ටිකක් කථාකරමු මොකක්ද ඔයාගෙ ප්‍රශ්නෙ කියල. හැබෑට මොකක්ද පුතේ වුණේ? ඔයාගෙ මාමටයි නැන්දටයි කියන්න බැරි දෙයක් නැහැනෙ. ඉතින් අපිට හංගන්නෙ නැතිව ඔක්කොම විස්තරේ කියන්න. අපි ඔයාට උදව් වෙන්නම්.”

“ඔන්න මාමෙ… මම මීට පස්සෙ ඉස්කෝලෙ යන්නෙත් නෑ. ගෙදර යන්නෙත් නෑ.”

“ඒ මොකද එක පාරට ම ඒ වගේ තීරණයක් ගත්තෙ?”

“මාමෙ… මට ඊයෙ අපේ තාත්තා හොඳට ම වේවැලෙන් ගැහුවා. අම්මත් බැන්නා.”

“ඉතින් ඇයි ගැහුවෙ?”

“අපි ඊයෙ ඉස්කේලෙ ගිහින් එනකොට හරි වැඩක් වුණානෙ මාමෙ…”

“ඉතින් කියන්නකෝ.”

“පාරෙ අයිනෙ එක වත්තක තිබුණ අඹ ගහක අඹ පිරිල තිබුණා. අපි වත්තට පැනල හොරෙන් අඹ කඩා ගත්තා. ඉතින් අඹ බෙදා ගන්න ගිහින් අපි කට්ටිය ගහගත්තා. ඒක ආරංචි වෙලා තමයි තාත්ත මට දඬුවම් කළේ. ඉතින් මාමෙ ඕකට ඔහොම ගහන්න ඕනයැ. මම උදෙන් ම ගෙදරින් පිටත් වෙලා ඉස්කොලෙ නො ගිහින් මෙහෙ ආවා. ඔන්න මට ගෙදර යන්න කියන්න නම් එපා. මම යන්නෙ නෑ ම යි.”

“හරි හරි, මම කියනදේත් අහන්නකො පුතේ, මොනව වුණත් ඔයා කළේ නම් ලොකු වැරැද්දක්. වැරදි තුනක් කළා.”

“ඒ මොනව ද ඒ?”

“හොරෙන් අඹ කැඩුව එකත් වැරැද්දක්. ළමයි එක්ක ගහගත්ත එකත් වැරදියි. මව්පියන්ට නො දන්වා ඉස්කෝලෙ නො ගිහින් මෙහෙ ආව එක හොඳ වැඩක් ද? තාත්තා ඔයාට දඬුවම් කළේ ඔයාට තියෙන ආදරේට…”

“ආදරේට ගුටි දෙන සිරිතක් තියෙනවයැ.”

සමන් නෝක්කාඩු කියන්න වුණා.

“පුතා අහල තියෙනව ද? හැඳි නො ගා හදන කිරි හොද්දෙ කථාව ගැන?”

“මම අහල නෑ.”

“හැඳි නො ගා හදන කිරි හොද්දයි, නො ගහ හදන දරුවයි එක වගේ. හැඳි නො ගා හොදි හැදුවොත් කන්න බෑ කැටි ගැහෙනවා. වැරැද්දට දඬුවම් නොකර හදන දරුවත් නරක් වෙනවා. හොඳට හැදෙන්නෙ නෑ.”

“අනේ මන්ද මාමේ.”

“ඉන්න පුතේ… මට හොඳ කථාවක් මතක් වුණා. ඔයාට තවත් තේරුම් ගන්න පහසු වේවි. මීට බොහෝම ඉස්සර කාලෙක දඹදිව තක්සලා කියන නුවර තක්ෂිලා කියල විද්‍යාලයක් තිබුණා. ඒ පාසලේ ගුරුතුමා තමයි දිසාපාමොක් ඇදුරුතුමා. එදා මේ ඇදුරුතුමා වෙලා හිටියෙ වෙන කවුරුත් නෙවෙයි. අපේ බෝසතාණන් වහන්සේයි. ඉතින් ඒ රටේ හිටපු රජකුමාරවරු, සිටුකුමාරවරු වගේ උසස් කුලවල ළමයි පාසලේ ම නතරවෙලා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා.
එක දවසක් දිසාපාමොක් ඇදුරුතුමා තමන්ගෙ ශිෂ්‍ය පිරිසත් එකක් තරමක් ඈත තිබුණ ගඟකට දිය නාන්න පිටත් වුණා. ගුරුතුමාගේ පිටුපසින් ශිෂ්‍ය කුමාරවරු ගමන් කළා. ගඟට යන පාරේ අතරමග තිබුණ පැළක එක දුගී ස්ත්‍රියක් තල වේළමින් හිටියා. තල පැදුර දැකපු එක රජ කුමාරයෙක් තල අහුරක් අරගෙන කටේ දමාගෙන කමින් ගියා. මේ සිදුවීම මහලු කාන්තාව දැක්කත් පොඩි ළමයෙක්නෙ කියල ඒක ගාණකට ගත්තෙ නෑ. දෙවැනි දවසෙත්, පසුව තුන්වෙනි දවසෙත් මේ විදියට ම තල හොරෙන් කෑවා. ස්ත්‍රිය මුකුත් කිව්වෙ නෑ. හතරවෙනි දවසෙත් තල හොරෙන් කෑවා. ගුරුතුමා ආපසු එනකොට ස්ත්‍රිය මේ විස්තරය කිව්වා. ගුරුතුමා අසල තිබුණ බට පඳුරකින් බට ලීයක් කඩාගෙන පහරවල් කීපයක් ගැහුවා. කුමාරයා කෝපයෙන් පිපුරුවා. මොකද රජකුමාරයෙක් නිසා මාන්නෙන් හිටියෙ. ‘හොඳයිකො… දවසක මම රජ වුණා ම ගුරුතුමාගෙන් මේ පලිය ගන්නම්කො.’ කියලා කුමාරයා හිතුවා.

ඉගෙනීම අවසන් කරල කුමාරවරු තම තමන්ගෙ රටවලට ආපසු ගියා. තල කාපු කුමාරයා රජ වුණා. රජ වුණ ගමන් ම ගුරුතුමාට පණිවිඩ එව්වා තෑගි දෙන්න එන්න කියලා. දිසාපාමොක් ඇදුරුතුමා දැනගෙන හිටිය මෙයා මේ එන්න කියන්නෙ හොඳකට නෙමෙයි කියල…”

“ඉතින් ගුරුතුමා ගියේ නැද්ද මාමෙ?”

“ගියා ගියා… කාලයත් ප්‍රශ්නවලට විසඳුමක් කියනවනෙ. ටික කාලයක් ගියාට පස්සෙ, කුමාරයාගෙ තරුණ වයසත් ටිකක් ගෙවුනට පස්සෙ ඇදුරුතුමා බරණැස් නුවරට ගියා රජතුමා මුණගැහෙන්න. ඉතින් රජතුමා ගුරුතුමා ව රාජ සභාවට කැඳෙව්වා. රාජ සභාව ඉදිරියේ රජු මෙන්න මෙහෙම කිව්වා.

“ආ…. ගුරුතුමනි… මෙපමණ පණිවිඩ එවලත් ඔබ දැන් නේ ද ආවේ? එදා ඔබ තල ටිකක් හොරෙන් කෑවට උණ පතුරෙන් මට ගැහුවා මතක ද? ඒ පහරට මගේ පිට තවමත් රිදෙනවා. ඒකට ඔබට සලකන්නයි එන්න කිව්වෙ. මට එදා දඬුවම් කළාට රාජපුරුෂයිනි, මේ මහල්ලාගේ හිස ගසා දමනු.”

ඇමතිවරු පුදුමයෙන් උඩ බිම බැලුවා. එතකොට ගුරුතුමා මෙහෙම කිව්වා.

“රජතුමනි, මම එදා ඔබට තල හොරෙන් කෑවට දඬුවම් කළා තමයි. එදා මම ඔබට දඬුවම් නො කළා නම් ඔබ අද ඉන්නෙ ඔය සිංහාසනේ උඩ නො වෙයි. එහෙනම් අද ඔබ මහ පල් හොරෙක්. එදා ඔබගේ වැරැද්දට දඬුවම් කළ නිසයි අද ඔබට මේ සියලු සැප සම්පත් ලැබුණේ. ඒක වැරදි නම් මාව මරා දමන්න.”

ඇමතිවරු සියලු දෙනාම ගුරුතුමාගේ කීම පිළිගත්තා. රජතුමාට වැරැද්ද තේරුණා. රජු ගුරුතුමා ඉදිරියේ වැඳ වැටී සමාව ගත්තා. තමාගේ රාජ්‍යයේ පුරෝහිත තනතුර ගුරුතුමාට පිරිනැමුවා.

දැන් පුතාට තේරෙනව ද දඬුවමක වටිනාකම?”

“හ්ම්… ඔව් මාමේ.”

සමන් බිම බලාගෙන කිව්වා.

“පුතේ… මේ කථාවෙ නම තමයි තිලමුට්ඨ ජාතකය. එදා බෝසතාණන් වහන්සේ නුවණින් කටයුතු කළ නිසා සියල්ල හොඳින් විසඳුනා. ඔය දරුවා හොඳට මතක තියාගන්න. වැඩිහිටියො වැරැද්දට දඬුවම් දෙන්නෙ ඔයාගෙ ම යහපතට කියලා…

රාහුල පොඩි හාමුදුරුවෝ උදේට හැමදාම වැලි දෝතක් අහසට විසිකරල “අද දවසේ මේ වැලි කැට ගණනට සමාන අවවාද මට ලැබේවා!” කියල ප්‍රාර්ථනා කරනවා කියල ඔයා අහල තියෙනවා නේ ද? තමන්ගෙ වැරදි පෙන්නල දෙන එක නිධානයක් පෙන්නනවා වගේ කියල හිතන්න කියලා බුදුරජාණන් වහන්සේත් දේශනා කළා.

අද සමාජයේ නිතර ම අහන්න ලැබෙන්නෙ මව්පිය ගුරුවරු වැරැද්දකට අවවාදයක්, දඬුවමක් කළොත් ඒක ඉවසා ගන්න බැරිව තමන්ගෙ ජීවිත පවා නැති කර ගන්න හදන දරුවන් ගැනයි. එක්කෝ ඒ දඬුවමට දෙමව්පියන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් පලිගන්න උත්සාහ කරන දරුවන් ගැනයි. ඒක හරි ම අවාසනාවක්. ඒ නිසා පුංචි දරුවන් වගේ ම තරුණ දරුවනුත් හිතට ගන්න, වැරැද්දකට ලැබෙන දඬුවම හෝ අවවාදය ඉවස ගන්න. දඬුවමක් ලැබුණොත් නැවත ඒ වැරැද්ද කරන්න හිතෙන්නෙ නෑ. අපිටත් පුංචි කාලෙ ලැබුණ දඬුවම් තවමත් මතකයි.

වරදක් කරන්න පෙළඹුණු අවස්ථාවක මීට පෙර එවැනි වරදක් කළ අවස්ථාවක දෙමව්පියන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් ලැබුණු දඬුවම සිහිපත් කරලා ඒ දඬුවමට භයෙන් හික්මෙන දරුවන් ඉන්නවා. ඒකට කියන්නේ දණ්ඩ භය කියලයි. සමහරවිට ඒ දඬුවම එදා නොලැබුණා නම් ආයෙ ආයෙමත් ඒ වරද කරන්න ඒ දරුවා පෙළඹෙන්න පුළුවන්.

සමන් පුතාට දැන් තේරෙනව නේ ද? සමන් පුතා කරපු වැරැද්දෙ බරපතළකම?”

“ඔව් මාමා. මට තේරුණා. මට සමා වෙන්න. අම්මගෙන් තාත්තගෙන් මට සමාව ගන්න ඕන. මම දැන්ම ම ගෙදර යනවා. මම හොඳ ළමයෙක් වෙනවා.”

“හොඳයි… හාමිනේ අපි දෙන්නත් සමන් පුතා එක්ක ගිහින් එමු.”

හැමෝම සමන්ලාගේ ගෙදර යන්න සූදානම් වුණා…

සටහන – මානෙල් පොඩිමැණිකේ