සමාජය තුළ අසාධාරණයෙන් ජීවත්වන අය බොහෝ සැප සම්පත් විඳිමින් ජීවත් වනවා දුටුවාම අපට සිතෙනවා ‘අපි මේ ධර්මයේ හැසිරෙමින් කොතරම් හොඳින් ජීවත් වුණත් අපට ම යි හැම කරදර ම. අසාධාරණයෙන් ලෝකයේ ජීවත්වන අයට කිසිදු කරදරයක් නෑනේ’ කියා. අපි ඒ සම්බන්ධයෙන් මහමෙව්නාව අනගාරිකා අසපුවේ පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.

අප ගෙවා ආ සංසාරයේ ස්වභාවය කල්පනා කර බැලුවොත්, මුළු සංසාරය ම කරදරයක්. අපි මේ ගත කරන්නේ මනුස්ස ජීවිතයක්. මනුස්ස ජීවිතය කියන්නේ සුගතියක්. ඉතින් සුගතියක් වූ මනුස්ස ජීවිතයේ අපි එකිනෙකා වෙන් වෙන්ව තම තමන් දෙස බැලුවොත් මේ ගෙවා දැමූ ටික කාලයට අපි අඬපු වාර ගණන කොපමණ ද? සුගතියක් වූ මේ මනුස්ස ජීවිතයේ අපි සුසුම් හෙලූ වාර ගණන සිහි කරලා ඉවර කරන්න පුළුවන් ද? ප්‍රශ්න ඇවිත් පීඩා විඳි දවස් ගණන මතක් කළොත්? මේ සුගති ලෝකයේ මෙහෙම දුක් කන්දරාවක් තිබෙනවා නම්, ගෙවා ආ සංසාරේ කොතරම් දුකක් විඳ ඇද්ද?

ඒ විඳි අපමණ දුක් කන්දරාව සමඟ සසඳන විට මේ ජීවිතයේ ගෙවපු දුක දූවිල්ලක් තරම්වත් නැහැ. දූවිල්ලක් තරම්වත් නැති දුක මෙ තරම් අපව පෙළනවා නම්, සංසාරේ අපි කොපමණ දුකක් විඳින්නට ඇද්ද? මනුස්ස ලෝකයේ අපි කවුරුත් කුමක් නිසා හෝ සුවෙන් ඉන්නවා. නැවත ප්‍රශ්නයක් ආ විට දුක් වෙනවා. නැවත සුවෙන් ඉන්නවා. සතෙක්, ප්‍රේතයෙක්, නිරි සතෙක් වුණොත් එකදිගට, එකදිගට ප්‍රශ්න, දුක්, වේදනා එනවා. ඒ ලෝකවල සැප නැහැ. ඒ වගේ සංසාරයක යන අතරතුරයි මේ වගේ සුගති ලොවක් වූ මනුස්ස ලෝකයට අපි ආවේ.

එසේ අපි මනුස්ස ලෝකයට ආවත් මනුස්ස වූ හැම කෙනෙකුට ම වාසනාව නැහැ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහන්න. ඒත් පින මෝරා ඇති කෙනෙකුට බුදුරජුන්ගේ ධර්මය අසන්න ලැබුණොත්, තමන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් එනවිට ඔහුට හිතන්න පුළුවන් පිළිවෙළක් මුණගැසෙනවා. නමුත් සාමාන්‍ය ලෝකයා හිතන්නේ ධර්මයට ආ පසු සියලු ප්‍රශ්න විසඳෙන්න ඕන කියලයි. තමන් ධර්මයේ හැසිරෙන නිසා තමන්ට කායික පීඩා එන්න බැහැ.

ආර්ථික ප්‍රශ්න එන්න බැහැ. රැකියා ප්‍රශ්න එන්න බැහැ. තමන්ගේ දරුවන්ට කිසිදු පීඩාවක් එන්න බැහැ කියලයි. එහෙම හිතන්න එපා. ඒ සිතිවිල්ල අසාධාරණ සිතිවිල්ලක්. මේ ධර්මයට යම් කෙනෙක් ආ විට ඔහුට මුණගැහෙන්නේ ප්‍රශ්නයක් ආ විට ඒකට මුහුණ දෙන ක්‍රමය සහ සසරෙන් මිදෙන ක්‍රමය යි.

අප කවුරුත් සංසාරේ ගමන් කරනතුරු කායික පීඩා, මානසික පීඩා නැවත නැවත අප කරා එනවා. එනිසා අප ධර්මයට පැමිණිය යුත්තේ සංසාර දුකට අකැමැත්තෙන් ම යි. එක දිගට ප්‍රශ්න එනවිට ඔබට සිතෙන්න පුළුවන් අනේ මටමනේ මේ ඔක්කොම කරදර එන්නේ කියලා. නැහැ…. ඒක එහෙම නොවේ. ඔබ එක එක්කෙනා සමග වෙන වෙනම කතා කරලා බලන්න, සමාජය ඉදිරියේ හිනාවෙලා හිටියාට හැමෝටම නොයෙක් ආකාරයේ ප්‍රශ්න තිබෙනවා.

එකිනෙකාට පෞද්ගලික වූ තමන්ගේ කතාවක් තම අභ්‍යන්තරයේ තිබෙනවා. එහෙමනම් හැමෝටම පොදු වූ දෙයක් තිබෙනවා. බොහෝ දෙනා හිනාවෙලා පිටට පේන්න ඉන්නවා. නමුත් ඇතුළත ගිනි ගන්නවා. අප කා තුළත් ඇතුළත අර්බුද තිබෙනවා.

මනුස්ස ලෝකයේදී විටෙක අපි සැපෙන් ඉන්නවා. ඒ අට ලෝ දහමේ හොඳ පැත්ත යි. තව වෙලාවකදී අපි දුකෙන් ඉන්නවා. ඒ අටලෝ දහමේ නරක පැත්ත යි. අටලෝ දහම කියන්නේ වෙලාවකට ලාභ ලැබෙනවා. තව විටෙක ලාභ නො ලැබී යනවා. එතකොට අලාභ. වෙලාවකට නින්දා ලැබෙනවා. තව වෙලාවක ප්‍රශංසා ලැබෙනවා. තව අවස්ථාවක තමා වටේ පිරිවර සිටිනවා. තව වෙලාවකදී අයස. කිසිවෙකු නැතිව තමන් තනිවෙනවා. තව අවස්ථාවදී කායික මානසික දුක් එනවා. තව අවස්ථාවකදී සැපසේ ඉන්නවා. මේ සියලු දේ අප හැමෝගේම ජීවිතවලට වරින් වර ඇවිත් තිබෙනවා. මේ අටලෝ දහමේ දුක් පැත්ත එනකොට අපි හිතනවා ‘අනේ ඇයි මට ම මෙහෙම වෙන්නේ. මට කරදරවල ඉවරයක් නැහැනේ’ කියලා. නමුත් සැප පැත්ත ලැබෙද්දී එසේ කල්පනා කළේ නැහැ. අපි ‘මට ම යි මේ ලාභ ලැබෙන්නේ. ඇයි මට ම ප්‍රශංසා. මා වටේ ම ඇයි පිරිස. මට ම ඇයි මෙ තරම් සැප ලැබෙන්නේ’ කියලා අපි කවුරුත් හිතුවේ නැහැ. ඒ කාලයේදී ලාභයෙන්, ප්‍රශංසාවෙන්, යසසින්, සැපයෙන් උද්දාමයට පත් වෙනවා. අලාභ එනවිට, නින්දා එනවිට, ඥාතීන් යහලුවන් ඈත් වෙනවිට, ජීවිතයට එකදිගට කායික, මානසික දුක් පීඩා එනවිට ‘මට ම ඇයි මෙ තරම් කරදර?’ කියා අප කල්පනා කළ වාර ගණන කොතරම් ද? ‘මම අයහපත කරන්නේ නැත්නම්, හැමෝටම උදව් උපකාර කරනවා නම්, ඇයි මට ම මෙහෙම වෙන්නේ?’ කියලා අප සිතුවොත් ඒ සිතිවිල්ල අසාධාරණයි. ඒ ඇයි? ඒක ලෝක ස්වභාවය නිසා.

ඔබ හිතන්න, ඔබට හොඳින් ලාභ තිබෙන කාලයක් කියලා. ලෝකයා එදාට ඔබේ පැත්තේ ඉන්නවා. අපට පාඩු ලැබූ මොහොතක් සිතන්න. අපට කවුරුත් නැහැ. තනි වූ මොහොතක ලෝකයා ඔබ සමග නැහැ. අටලෝ දහම ලෝකය අනුව පෙරළෙනවා. ලෝකය අටලෝ දහම අනුව පෙරළෙනවා. අටලෝ දහමේ හොඳ පැත්ත තිබෙනවිට ලෝකයා අපිත් සමග සිටිනවා. අටලෝ දහමේ නරක පැත්ත පෙරළෙන විට අපට කවුරුත් නැතුව තනි වෙන්න වෙනවා. නමුත් පෘථග්ජන මානසිකත්වයේ ස්වභාවය නම් ලාභ, යසස, ප්‍රශංසා, සැප එනකොට ‘මම වාසනාවන්තයි. මටයි මේවා ලැබෙන්නේ’ කියා උදම් වෙනවා. එයට ඇලෙනවා. ඉවසන්න දක්ෂ නැහැ. සියලුම දෙය අනිත්‍ය වෙලා යනවා කියා හිතන්න තරම් සිත පුළුල් නැහැ. සිත පටු වෙලා. අපට මීට පෙර තිබූ ලාභ දැන් අහිමියි. පෙර කාලයේ තිබූ යසස දැන් අඩුයි. ප්‍රශංසා අඩුයි. සැප අඩුයි.

සමහර අම්මලා අප සමග කියනවා “මම තරුණ කාලේ, රැකියා කළ කාලේ, හැඩරුව තිබූ කාලේ අපේ දරුවෝ ඒ අයගේ යාලුවන් නිවසට ආ විට ‘මේ මගේ අම්මා’ කියලා ඉස්සරහට එක්කගෙන යනවා. දැන් වයසට ගිහිං එකතැන වැටිලා ඉන්නකොට ඒ අයගේ යහලුවන් නිවසට එනදාට අම්මේ අද කට්ටියක් අපේ ගෙදරට එනවා කියලා ඒ අම්මාව කාමරයකට දාලා දොර වහනවලු. එක ම අම්මා. එක ම දරුවා. නමුත් පොඩි කාල සීමාවක වෙනස් වෙලා අවස්ථා දෙකක් වුණා. මේ දේ හැමෝටම පොදු වූ දෙයක්. කවදහරි දවසක අපි එක්තැන් වෙලා මලමුත්‍රා ගොඬේ වැටිලා කාමරයක තනිවෙලා ඉද්දී සමහරවිට තමන්ගේ ම දරුවෝ ‘මේ මගේ අම්මා’ කියලා අන් අයට හඳුන්වලා දෙන්න අකමැති වෙන්න පුළුවන්. වේලාසනින් ම අනිත්‍ය මනසිකාරය තුළින් ධර්මයේ සිත පිහිටුවාගෙන නොසිටියොත් ඒ වෙලාවට හිත කඩා වැටෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළා තමන් වහන්සේගේ ශ්‍රාවකයාට එහෙම වෙන්නෙ නැහැ. ආර්ය ශ්‍රාවකයා ඊට වඩා කල්පනා කරනවා. ලාභය ඉපදුනත් ඒක අනිත්‍යයි. ඒ අනිත්‍ය දේ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේ දුකයි. ඒ නිසා ඒ දේවල් මට ඕන ආකාරයට තබා ගන්න බැහැ කියලා හිතන්න ඕන. රටේ ජනාධිපති වෙනස් වුණොත් ඒ ජනාධිපති කාලයේ දැක්වූ ගරු සැළකිලි ඊට පස්සේ නැහැ. රජයේ ඉහළ නිළයක් දරලා, උසස් රැකියාවක් කරලා විශ්‍රාම ගිය පසු ඒ සැළකුම් නැහැ. ඒකයි ලෝක ස්වභාවය. මේ ලාභය අනිත්‍යයි, ඒක දුකයි. මට ඕන ආකාරයට පවත්වන්න බැරි නිසා අනාත්මයි මට ධනය තිබෙන නිසා පිරිස එකතු වෙලා ඉන්නවා. නමුත් මේක අනිත්‍යයි කියා අපට තේරුම් ගන්න පුළුවන් නම් මේ ධර්ම මාර්ගයේ දිග ගමනක් අපට යන්න පුළුවන් වේවි.

යම් දවසක් එනවා කිසිම කෙනෙක් අප දෙස නො බලන. මේ අතේ පයේ හයිය තිබෙනතුරු බලය, ධනය, තනතුරු තිබෙනතුරු තමයි කවුරුත් අපට ප්‍රශංසා කරන්නේ. සමහරවිට මේ ලෝකයේ සිටිනතුරු පමණයි ප්‍රශංසා. මියගිය පසු කාලයක් කතා කරනවා. එතැනින් ඒක ඉවරයි. ඒක අනිත්‍යයි. අපට ප්‍රශංසාව නවත්වන්න බැහැ. ඒක ලෝක ධර්මය යි. නමුත් ප්‍රශංසාව එනවිට නුවණින් කල්පනා කරනවා නම්, ඒ ප්‍රශංසාවට නො ඇලී එය අනිත්‍ය වෙලා යනවා කියලා එදාට දරා ගැනීම ලෙහෙසියි. තමා සමග වටේ පිරිවර ඉඳලා ඒ අය අඩු වෙවී යද්දී දරන්න බැරි වෙනවා. ඒ වගේම සැපෙන් ඉන්නකොට ඒක අනිත්‍යයි කියලා සිහි නො කර ඉන්නවා නම්, එතැන තමන්ගේ අඩුවක්. දිනෙන් දින ශරීරයේ වැහිරෙනවා. ඉඳගෙන ඉන්න අමාරු වෙනවා. කායික පීඩා වැඩියි. සැපසේ ඉන්න කාලයේ ඒ හැම දෙයක් ම අනිත්‍යයි කියලා සිහි කළොත් ඔහුට සැපය අනිත්‍ය වෙලා යනවිට දරන්න පුළුවන්කම තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩසිටි සෝණා රහතන් තෙරණිය ඔබට හොඳ උදාහරණයක්. ඇය ගිහි කාලයේ රූමත්. ඇයට පුත්තු දස දෙනෙක් සිටියා. ඒ දරුවොත් රන් කඳන් වගේ ලස්සනයි. ළමයි දස දෙදෙක් සිටිනකොට ඒ අම්මා තේජස්. තමන් වයසට ගියාම එක දරුවෙක් හරි බලයි කියන බලාපොරොත්තුව ඒ අම්මාගේ හිතේ තිබුණා. දවසක් ඒ අම්මාගේ සැමියා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ගියා. දැන් මේ අම්මා ස්වාමියාත් නැතුව දරුවන් දස දෙනෙක් හදාවඩා ගන්න ඔට්ටු වෙනවා. ඒක ලෙහෙසි වැඩක් නොවේ. ඉතා අමාරුයි. ඒ දරුවන්ට උගන්වන්න ඕන. ගෙවල් දොරවල් හදා දෙන්න ඕන. රැකියා සොයා දෙන්න ඕන. විවාහ කර දෙන්න ඕන. දේපල පවරන්න ඕන. ඇය මත විශාල වගකීමක්. ඇය කෙසේ හෝ කරදර මැද දරුවන් ලොකුමහත් කළා. දුකසේ සියලු දේ විඳ දරාගෙන කාලය ගත කළා. මානසික පීඩාවලටත් මුහුණ දිදී සිත ශක්තිමත්ව සිටියා. ස්වාමියාට බණින්නේත් නැතිව, දරුවන්ට බණින්නේත් නැතිව සිතේ හයිය අරගෙන සියලු දෙයට මුහුණ දුන්නා.

දරුවෝ ලොකුමහත් වුණා. සුදුසු විවාහ කර දුන්නා. දේපල පවරා දුන්නා. ඒ සෝණා අම්මා තමන් වෙනුවෙන් කිසිදු දෙයක් තබා ගත්තේ නැහැ. සියලු දේ දරුවන්ට පැවරුවා. කාලයක් යද්දී බාල පුතයි ලේලියි කියනවා “අම්මා ඇයි අපි ගාවම ඉන්නේ? තවත් නව දෙනෙක් ඉන්නවනේ. ඒ ගෙවල්වලටත් යන්න” කියලා. ඒ අම්මා එළියට බැහැලා තව දරුවෙකුගේ නිවසට ගියා. ටික කාලයක් යද්දී ඒ ගෙදර දරුවොත් කියනවා “ඇයි අම්මා අපට වැඩිපුර දේපලක් දුන්නා ද? තව අය ඉන්නේ. ඒගොල්ලෝ ගාවටත් යන්න” කිව්වා. ඇය ඒ නිවසින් එළියට බැස්සා. තමන්ට නැගිටගන්න බැරුව ඉද්දී අත දීපු අම්මා නේද මේ කියා ඒ දරුවෝ අමතක කළා. කන්න අකැමති වුණාම බලෙන් කටට බත්ගුලි දාලා කැව් අම්මලාටයි එහෙම කරන්නේ. තමන් තුරුළට අරන් කිරි පොවපු අම්මාටයි එහෙම කරන්නේ. පොඩි කාලයේ වරු ගණන් තමන්ගේ උකුලේ තියාගෙන නලවපු අම්මාට අද නිදාගන්න ඒ නිවෙස්වල ඉඩ නැති වෙලා. ඇය ගෙයින් ගෙට යනකොට සෑම නිවසක ම දොරවල් වැහුණා. ඇය දරුවන්ටවත් ලේලිලාටවත් දොස් කිව්වේ නැහැ. වෛර කළෙත් නැහැ. මේ දරුවාගේ වැරදි අනෙක් දරුවාට කිව්වේ නැහැ. පාඩුවේ හිටියා. ඇයට සිදු වූ අසාධාරණය කිව්වෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ සාධාරණය – අසාධාරණය සොයන්න එපා කියලා. එහෙම අසාධාරණකම් එකදිගට එනකොට ඒ අසාධාරණ සංසාරයෙන් නිදහස්වීම තමයි හොඳම දේ. දුක් කරදර එකදිගට එනකොට දුක් කරදර දෙන කෙනාට ඇගිල්ල දිගු කරනවාට වඩා හොඳයි කෙලවරක් නැති මේ සංසාරයෙන් නිදහස් වෙන එක. විසඳුම ඒකයි. ඇගිල්ල දිගු කරන අයට වෛර බැඳගත්තොත්, මීටත් වඩා දුක් කරදර තිබෙන ලෝකයක උපත සැකසේවි.

ඉතින් මේ අම්මා කල්පනා කරනවා අසාධාරණය සංසාරයේ ස්වභාවය යි. ඒ නිසා මේ අසාධාරණ සංසාරයට ඇලෙන්න හොඳ නැහැ. ඒ කාලයේ මේ දරුවෝ මගේ වටේ දැවටි දැවටි සිටියා. ඤාතීන් යහලුවෝ මට හිටියා. අද කවුරුත් නැහැ. මම යසස තිබූ කාලයේ උදම් වුනෙත් නැහැ. අයස ආ විට කම්පා වෙන්නෙත් නැහැ කියා ඇය කල්පනා කළා. දැන් ඇය වයසයි. අතපය වාරු නැහැ. දුර්වලයි. කායික දුකටත් මානසික දුකටත් ඔරොත්තු දිදී ඒවාට කම්පා නොවී ඇය විසඳුමකට ආවා. ඇය භික්ෂුණී ආරාමයකට ගියා. එතැනත් ඇයට ලෙහෙසි වුණේ නැහැ. එතැන සිටි භික්ෂුණීන්ගේ බොහෝ වැඩ කරන්නට ඇයට සිදු වුණා. දර පැලුවා, වතුර උණු කළා, පැන් පහසුවෙන්ට වතුර පිරවූවා, අතුපතු ගෑවා, දවස පුරාම වැඩ කළා. සාමාන්‍ය කෙනෙක් නම් එතැනටත් ගැටී යනවා. ඇය ඉවසුවා. දවස පුරාම වැඩ කරලා රාත්‍රියට පහළට බැහැල එතැන තිබෙන කණුවක් අල්ලාගෙන තමන්ගේ ශරීරයේ තිබෙන දෙතිස් කුණුපයන් සිහි කරමින් සක්මන් භාවනාව කරනවා. ඇයට මලුවක සක්මන් කරන්නට වාරු නැති නිසා ඇය කණුව වටේට සක්මන් කරනවා. මේ මහපොළොවට පස් වෙලා යන කයක්, කුණුප කොටස්වලින් සැදුනු කයක් දරාගත් නිසානේ මට මේ දුක කියා සිතමින් ඇය සක්මන් භාවනාවේ යෙදෙනවා. ඇය කායානුපස්සනාව සිහිකරමින් රැය පුරා සක්මන් කරනවා.

ඇයගේ සිත පටු වුණා නම් ඒ තෙරණිය රාත්‍රිය පුරා ම සිහි කරන්නේ දරුවන් කළ අසාධාරණ යි. ‘මම ලොකු පුතාගේ ගෙදර ගියාම මට මෙහෙම කළා. අනෙක් පුතාගේ ලේලි මෙහෙම කළා. පොඩි දුවත් හුඟක් වෙනස් වෙලා’ ආදී ලෙස රැය පුරා අයෝනිසෝ මනසිකාරයෙන් කාලය ගෙවන මව්වරුන් අදටත් කොතරම් සිටිනවාද. තමන්ට සිදු වූ අසාධාරණය සිත සිතා නිදි වරනවා. මේ තෙරණිය තමාට සිදු වූ අසාධාරණ සිත සිතා නොවෙයි නිදි වරන්නේ. අසාධාරණකම් තිබෙන මේ සංසාරයෙන් මිදෙන ආකාරය සිත සිතා නිදි වරනවා. ඒ තෙරණිය කෙතරම් නම් දියුණු ද!

එක්දිනක් දවල් කාලයේ බොහෝසේ වෙහෙසිලා රාත්‍රියේ සක්මන් කරන්නට ආවා. එදින ඇගේ පින මෝරා තිබුණා. අපේ භාග්‍යවතුන් වහන්සේ එදා මහාකරුණා සමාපත්ති ඥානයට සමවැදිලා ලෝකය දෙස බැලුවා. උන්වහන්සේ පින මෝරා තිබෙන මේ තෙරණිය දුටුවා. මේ බියකරු සසරින් මිදෙන්නට ගන්නා වීර්යය දුටුවා. බුදුරජාණන් වහන්සේ එතැනට ආලෝකයක් එවා ඊට පසුව ගාථාවක් වදාළා. “කෙනෙක් ධර්මයේ හැසිරෙන්නේ නැතිව අවුරුදු සියයක් ජීවත් වුනත් වැඩක් නැහැ. ධර්මයේ හැසිරෙමින් එක් දිනක් ජීවත් වීමත් උතුම්” යැයි වදාළා. මේ දහම් පදය අසා ඒ තෙරණිය නිකෙලෙස් වුණා. දැන් ඒ තෙරණින් වහන්සේ අපි වගේ සංසාරයේ නැහැ. ඇය ගෞතම බුද්ධ ශාසනයේ වීර්ය අධික භික්ෂුණීන් වහන්සේ ලෙස අගතනතුරු ලැබුවා.

අද වෙද්දිත් අපි මේ සංසාරයේ ඉතිරිවෙලා ඉන්නේ එකපිට එක කරදර එද්දී අපට සිතන්න බැරි වුණා ‘අනේ මේක සංසාරයේ ස්වභාවය නේ’ කියලා. අපට දුකක් එනකොට අපි කල්පනා කරන්නේ ‘අසවලා නිසයි මට මේ දුක. මගේ ජීවිතයට කරදරවල ඉවරයක් නැහැනේ’ කියලයි. ඒ හැම කරදරයක් අස්සේ ම මම කියන වචනය අල්ලාගෙන අපි දුක් විඳිනවා. ඒ ආකාරයට සිතුවොත් අපට මේ සසරින් එතෙර වීමට තිබෙන මාර්ගය වැහෙනවා. නමුත් ‘මේ දුක් කරදර එන එක සංසාරයේ ස්වභාවයක්. තවත් මම මේ දුක් සහිත සසරේ යනවා නම්, ඒක මම මට ම කරගන්නා අසාධාරණයක්. මේ ජීවිතයේ දුක ටිකක් අඩු වෙන්න පුළුවන්. ලබන ජීවිතයේදී මට මීට වඩා ගොඩාක් දුක් විඳින්න වෙයිද දන්නේ නැහැ’ කියලා අපි සිතන්න ඕන. සංසාර දුකෙන් නිදහස් වෙන්න ධර්මය ඇසෙන වෙලාවේ දුකට අකැමති වෙලා, ධර්මයට කැමති වෙන්න ඕන. එතකොට අප සිහි කරන්නේ දුක ඇති කරන සිද්ධි නොවේ. සිහි කරන්නේ දුකෙන් නිදහස් වෙන්නට තිබෙන ධර්මය යි. හැබැයි මේකට ලොකු පිනක් මෙන්ම ප්‍රඥාවත් සිතේ හයියත් ඕන වෙනවා.

එනිසා අවිද්‍යාවෙන් වැහිලා, තණ්හාවෙන් බැඳිලා මේ ගෙවා ආ සංසාරේ ආරම්භක කෙළවරක් පනවන්න බැහැ කියා භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම් කරුණ නිතර සිහි කළ යුතු වෙනවා. ඔබ මේ සසරේ මහා කටුක දුක් විඳ තිබෙනවා. මහා දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දී තිබෙනවා. මේ මහ පොළොව නම් වූ සොහොන් පිටිය පුරවමින් තමයි අපි පැමිණ තිබෙන්නේ. ඒ නිසා මේ හැම සංස්කාරයක් ගැනම කළකිරීම ම යි වටින්නේ. අවබෝධයෙන් ම නො ඇලීමයි වටින්නේ. නිදහස් වීම ම යි වටින්නේ කියලා වදාළ ධර්මය ම යි සිහි කළ යුතු වන්නේ.

සියලු දුකින් නිදහස් වූ, මහෝත්තම ගුණ ඇති රහතන් වහන්සේලා, රහත් තෙරණින් වහන්සේලා සිහි කරමින්, වන්දනාමාන කරමින්, ධර්මයට දිවි පුදාගෙන මේ ධර්මයේ හැසිරුණොත් අපටත් මේ එකපිට එක කරදර එන සංසාරයෙන් නිදහස් වීමට ශක්තිය ලැබේවි.

සාකච්ඡා කළේ – නයනා නිල්මිණි