නැගෙනහිරින් ආලෝකය ටික ටික ඇවිත් කඳු පංති අතරින්, ගස් වැල් අතරින් අමුතු ම දිස්නයකින් පිණි බිඳුත් හිනස්සවමින් ජනෙල් කවුළුවලින් නිවසට ඇතුළු වෙනවා. ඇත්තටම ඒක සතුට දනවන, මනස ප්‍රබෝධවත් කරවන, සුන්දර, මනෝරම්‍ය දර්ශනයක්. හැබැයි ඒ සතුට සම්පූර්ණ වෙන්න සූර්යයාත්… පිණි බිඳුත්… ගස්වැලුත්… මේ හැමදේම තිබුණත් මනසෙත් සූදානමක් තිබෙන්න ඕනි.

නමුත්… මේ ලෝකේ මිථ්‍යාදෘෂ්ටික මිනිසුන්ගෙන් පිරී ඉතිරී යද්දී අසුර ලෝකයන්, නිරයන් ආදී වූ සතර අපායන් හිස් නො වී පිරෙන්න පටන් අරන්. අපිට උදෑසනට දකින්ට ලැබෙන සුන්දරත්වය සමඟ දැනෙන සතුට ඇත්තටම සතුටක් නෙවෙයි කියලා මේ ලෝකයට අතිශය දුර්ලභ ව පහළ වන, මහා ඍද්ධි ඇති, දසබලධාරී වූ, තුන් ලෝකයට ම වාසනාව කැන්දන, මහානීය වූ, මහා පුරුෂෝත්තම ශාස්තෘ වූ බුදු පියාණන් වහන්සේ සරණ ගිය අපි යම් තාක් දුරට දැනගෙන තියෙනවා.

ඇත්තටම ස්වභාව සෞන්දර්යයේ නියම සතුට විඳින්න පුළුවන් වන්නේ සියලු ලෝකවලින් මිදුනු උතුම් රහතන් වහන්සේලාට පමණයිනෙ. දවස පටන් ගන්නෙ ම අපි ගිනි පත්තු කරගෙනමනේ. දවල්ට ගිනි ගන්නවා. රෑට දුම් දානවා. තාම මේ ක්‍රමයෙන් අත් මිදෙන්න බැරි වුණානේ. මාර තොණ්ඩුවට අහුවුණ කෙනා තාම හිතන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගන්නේ කොහොමද කියලා.

සමහර මිනිස්සු ජීවත් වෙන්නේ කන්න, බොන්න, සැපට ඉන්න. ඒත් ඒ සැප ලබන්න කොයිතරම් දුකක් විඳිනව ද කියලා තමාටවත් අවබෝධයක් නෑ. ඒ සැප කොයිතරම් තුච්ඡ, ළාමක, හීන දෙයක් ද කියලා ඒ මාර බන්ධනයට ගොදුරු වුණ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ.

දරුවෙක් උතුම් ධර්මය තුළ හික්මෙන්න හදනකොට ඒකට කැමතිත් නෑ. පුළුවන් තරම් කරන්නෙ ම එවැනි දරුවන් අපහසුතාවයන්ට පත් කරන එක ම යි. කල දුටු කල වළ ඉහ ගන්න, නරක අතට මාන බලන අය නම් ඕන තරම්…

නමුත්… උතුම් ශ්‍රී සද්ධර්මය අකාලිකයි. මේ වගේ පිරිහුනු සමාජයක් දැන් තියෙනවා තමයි. බුදුරජාණන් වහන්සේගේ උත්තම දෙතිස් පුරුෂ ලක්ෂණ දැක දැකත්, ෂඞ් වර්ණ රශ්මි ජාලා දැක දැකත්… මහා කාරුණික බව දැන දැනත් කෲරකම්වලට ඉඩ දුන්නු මිනිසුන් සිටි සමාජයක් එකලත් තිබුණා නම් මෙකල ගැන කවර කතා ද? එහෙත් තවමත් උතුම් ශ්‍රී සද්ධර්මය ජීවමාන ව පවතිනවනේ. ඒ නිසා මොහොතක් මොහොතක් පාසා අප්‍රමාදී වීමයි කළ යුතු. ප්‍රමාද වීම නම් කොහෙත් ම සුදුසු නෑ. බොහෝ මිනිස්සුන්ට උතුම් ධර්ම මාර්ගයට එන්න වාසනාවක් නෑනේ. එය කොයිතරම් නම් ශෝචනීය දෙයක් ද? භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ සත්වයාට සතර අපාය කියන්නේ මහ ගෙදර වගේ තැනක් කියලයි. මිනිසා කොහේ ගියත් ආපසු එන්නේ තමන්ගේ මහ ගෙදරටනේ. මහගෙදර අතෑරෙන්නෙ ම නෑනේ. පාරත් හොඳට පුරුදුයි.

ගෙදර බිත්තියේ දිවා රෑ දෙකේ ඉහළ පහළ දුවන හූනා කාටත් හුරු සතෙක්. ඌ බල බල ඉන්නේ ගොදුරක් ලැබෙනකල්. වැසි කාලේ මිහිපිට සැරිසරන මෙරු විදුලි ආලෝකය වටේ කැරකෙන කොට හූනන්ට දැනෙන ප්‍රීතිය, උන්ට මෙරු අල්ලන්න තියෙන කලබලය කාටත් තේරෙනවා. ඒ ගැන මෙහෙම හිතන්න පුළුවන් නම්…. ‘හූනා සතුටු වෙනවා, ඌට බඩ කට පුරා කන්න ලැබෙන නිසා. නමුත් ආලෝකයට ප්‍රිය කරලා සතුට සොයන්න ආපු මෙරුවා, සතුට නිසා ම ජීවිතේ අහිමි කර ගන්නවා. එහෙමත් නැත්නම් හූනාගේ කටට හසු වෙලා මරණ වේදනාවෙන් දඟලනවා…’

සංසාරේ අපි කොයිතරම් හූනෝ වෙලා ඉපදිලා පව් රැස්කර ගන්න ඇති ද? කොයි තරම් නම් මෙරු වෙලා ඉපදිලා හූනන්ගේ ගොදුරක් බවට පත් වෙන්න ඇති ද? මම හූනා බවට පත් වෙද්දී මගේ මේ ජීවිතයේ හිතවත් කොයි තරම් පිරිසක් මෙරු බවට පත් වන්නට ඇති ද? සංසාරය කියන්නේ කොයි තරම් නම් මායාකාරී දුක්ඛිත ගමනක් ද? යළි යළිත් කැරකෙන්නේ එක ම තැන ම යි. වෙනසකට තියෙන්නේ මේ හමුවෙන දේවල් මේ මායාකාරී හිත පිළිගන්නේ ම අලුත් දෙයක්, නොවිඳපු දෙයක්, සැප සහගත ස්ථිර දෙයක් ආදී ලෙස ගුණ කියමින් ම යි.

නමුත්… කලාතුරකින් විශ්වය ම එළිය කරමින් පහළ වන ඒ මහා වීරයන් වහන්සේ මේ හැම දේක ම යථා තත්ත්වය අවබෝධයෙන් ම දේශනා කළේ ඔබටත්, මටත් මේ සසර සැරිසරන සියලු සත්වයන් කෙරෙහිත් ඇති අසීමිත කරුණාව නිසා ම යි. උන්වහන්සේ කෙරෙහි නියමාකාරයෙන් කෘතගුණ දැක්වීම නම් උතුම් ආර්ය මාර්ගය තුළින් සියලු දුක් නසන අමා ඔසු ගෙන නිවන නමැති ක්ෂේම භූමියට ප්‍රවිෂ්ට වීම ම යි. අසංඛත වූ උතුම් නිවනින් සදා නිවෙන්නට සත්පුරුෂ සියලු සත හට වාසනාව උදාවේවා!!!

සටහන – දිල්හානි සෝමරත්න