‘අම්මා’ කියන්නේ ලෝකයේ භාවිත කෙරෙන වචන අතරින් ඉතා ම මිහිරි වචනයක්. අම්මා කෙනෙකු නිසා දරුවෙකු ලබන සැනසීම – අස්වැසිල්ල කියා නිම කළ නො හැකි තරම්. දුකට පීඩාවකට පත් වුණ දරුවෙකුට අම්මාගෙන් ලැබෙන සෙනෙහසින් සියලූ දුක්ඛ පීඩාවන් අමතක වෙලා යනවා. මව් තුරුලේ උණුසුමින් සැනසෙන පුංචි කිරිකැටියාටත්, පාසල් යන සුරතලාටත්, යොවුන් වියට පත් දරුවන්ටත්, ජීවිතයේ කුමන අවධියක හෝ දිවි ගෙවන කාහට වුවත් අම්මාගෙන් ලැබෙන්නේ පමණ කළ නො හැකි ආදර කරුණාවක්.

භාග්‍යවතුන් වහන්සේ වදාරනව, මේ දරු සෙනෙහස සිවිය විදගෙන, හම විදගෙන, මස් විදගෙන, නහර විදගෙන, ඇට විදගෙන, ඇට මිදුලූවලට කාවැදිලයි තියෙන්නෙ කියලා. දරු සෙනෙහස එ් තරම් බලවත්.

හෙමින් හෙමින් ලෝකයට පා තබන පුංචි දරුවා ලෝකය හඳුනා ගන්නෙත් අම්මාගෙ ඇසුරින්. මනු ලොව උපදින්නට පින අරන් එන පුංචි සිඟිත්තා කුමන ආකාරයේ රූ සපුවකින් යුතු වුණත් අම්මාගේ සෙනෙහසට නම් එ්ක ගැටලූවක් නෙමෙයි. සමහර වෙලාවට මෙලොව එළිය දකින සමහර පුංචි දරුවෝ උපතින් ම නානාවිධ අඩුපාඩු ඇතිවයි උපදින්නේ.

අත්, පා, කන්, නාසාදී ඉඳුරන්ගේ ආබාධ… සමහර පුංචි දරුවන්ට කතා කරන්න බැහැ. යමක් හඳුනාගැනීමේ ශක්තිය නැහැ. එ් මොන විධියේ අඩුපාඩු ඇති ආබාධිත දරුවෝ වුණත් අම්මාගෙන් සිරුර පුරා දුවන ලේ දහරා පුංචි සිඟිත්තාට තියෙන අසීමිත සෙනෙහස නිසා සුදු පාට කිරි බවට පත්වෙනවා. අම්මා එ් කිරි ටික දරු පැටියාට පොවන්නේ අසීමිත සෙනෙහසක් හදවතට තුරුලූ කරගෙන.

‘තොටිල්ල පදවන අත ලොව පාලනය කෙරේ’ කියල වටිනා කියමනක් තියෙනවා. ඇත්තටම තමන් ආදරයෙන් ලෝකයට බිහි කරපු පොඩි දරුවා ලොකු මහත් වෙලා රටට, ජාතියට, ආගමට, පරිසරයට හිතකාමී යහපත් ගුණ සමුදායකින් සමන්විත ශික්ෂාකාමී විනීත පුරවැසියෙකු බවට පත්වෙන්නේ විශේෂයෙන් ම අම්මා ගන්නා වෑයමට අනුවයි.

භාග්‍යවතුන් වහන්සේ මව්පියන් හඳුන්වන්නේ පූර්වාචාරීන් හැටියට. වර්තමානයේ ළදරු පාසලට යොමු කරන පුංචි දරුවන්ට ඉස්සරවෙලා ම ගුරුවරයා වෙන්නෙ තමන්ගෙ මෑණියන්. මව් උකුලේ නැළවෙන චූටි දරුවා මව් සෙනෙහස හඳුනාගන්නවා. මවගේ කතාබහ, උණුසුම, මව් ඇකයේ පහස හොඳින් හඳුනාගන්නවා. ඊට පස්සෙ තමයි බාහිර ලෝකය හඳුනගෙන හෙමින් හෙමින් සමාජයට එකතු වෙන්නෙ.

දරුවෙකු මෙලොවට බිහි කිරීම නිසාවෙන් ම අම්මා කෙනෙක් වෙන පින්වත් අම්මාවරුන්, සැබෑම අම්මාවරුන් වෙන්න තවත් වැදගත් කරුණු රාශියක් බලපානවා. පවුලෙන් පාසලට, පාසලෙන් ගමට, ගමෙන් නගරයට, නගරයෙන් රටට, රටින් මුළු මහත් ලෝකයට ම හිතකාමී යහපත් දරුවෙකු බිහි කරන්න මුලින් ම ලබාදෙන හික්මීම කොයි ආකාරයට ද දිය යුත්තේ කියල බුද්ධිමත්, පින්වත් අම්මාවරු හොඳින් ම දන්නවා.

එ් අම්මා තෙරුවන් ගුණ සහිත නැළවිලි ගීත ඉතා මිහිරි හඬින් ගායනා කරමින් තමයි, පුංචි සිඟිත්තා නිදි කරවන්නේ. එ් තුළින් චූටි දරුවාට රැකවරණයත්, ආශීර්වාදයත් නොමඳව ලැබෙන බව ඇය හොඳාකාරව ම දන්නව. බහ තේරෙන වයසට ආවම බුද්ධ කාලීන සමාජය තුළ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණ උත්තම චරිත කථා කියල දෙනවා නින්දට යන තුරු ම. පුංචි ම කාලෙ ඉඳල බෙදා හදා ගෙන පිළිවෙළකට කෑම කන්න පුරුදු කරනවා. වැඩිහිටි අය සමීපයේ ගෞරව සහිතව සංවරව ඉන්න, කථා කරන්න පුරුදු කරවනවා. අපේ අතීත මුතුන් මිත්තන් ඉතා ගෞරවයෙන් ඇසුරු කළ සිරිත් මල්දම, සුභාෂිතය, ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය වගේ අගේ ඇති ඔවදන්වලින් පිරුණු වටිනා පොත පත පරිශීලනය කරන්න දෙනවා. එ්වා මතකයේ රඳව ගන්නටත් උදව් කරනවා.

වැඩිහිටියන්, ගුරුවරුන් දැක හුනස්නෙන් නැගිට ගෞරවාන්විතව කථා කරනවා. දරුවන්ට ද එ් අයුරින් ම කතා බස් කරන්නට යොමු කරවනවා. එ් අතර ම දරුවන් හදාරන විෂයයන් පිළිබඳ ව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන්නට දිරි ගන්වනවා. අතපසු කිරීම්, නො සලකා හැරීම් වැනි අවස්ථාවල තරවටු කරනවා. සුදුසු ආකාරයේ දඬුවම් පමුණුවනවා. එ් විතරක් නෙවෙයි; තම තමන්ගේ හිතෛෂී ඥාතීන්, වැඩිහිටියන්, සිල්වතුන් වහන්සේලා නිවසට පැමිණෙන විටත් – ආපසු යන විටත් පෙර ගමන් යෑමට, පසු ගමන් යෑමට පුරුදු පුහුණු කරවනවා. වැඳ නමස්කාර පෙරටුව පිළිගැනීමට හුරු කරවනවා. පියතුමා කෙරෙහි, වැඩිහිටි සොයුරු සොයුරියන් කෙරෙහි ගෞරව සම්ප‍්‍රයුක්ත හැඟීමෙන් වැඳුම් පිදුම් කරන්නට සලස්වනවා. වයෝවෘද්ධ අයට, යාචක පින්වතුන්ට, ආබාධිත අයට කාරුණිකව උපකාර කරන්න හැඩ ගස්වනවා. කිසි කෙනෙකු පිළිබඳ ව අවඥා සහගතව, ද්වේෂ සහගතව, විවේචනාත්මකව කථා කිරීමෙන්, හඳුන්වා දීමෙන් තොරව ක‍්‍රියා කිරීමේ අහිංසක වැදගත්කම මැනැවින් පහදා දෙනවා.

එ් වගේ ම සම වයසේ මිතුරු මිතුරියන් සමග ඉතා සුහදව ක‍්‍රියා කරන අයුරු කියා දෙනවා. ඇසුරු කරන්නන්ගේ අඩුපාඩු වැරදි ගැන නො සිතා හොඳ පුරුදු ගැන ම යළි යළි සිහි කරන්නට පුරුදු කරවනවා. නිවසේ දී මෙන් ම විද්‍යාලයේ දී ද ඉතා කාර්යක්ෂම ව අනුන්ගේ සිත් පහදින ආකාරයට ක‍්‍රියා කරන්නට හැඩ ගස්වනවා. තමාගේ මෙන් ම ඇසුරු කරන ස්ථානයේ ද පවිත‍්‍රතාව පිළිබඳ ව සැලකිලිමත් වෙන්නටත් සියලූ ක‍්‍රියාකාරකම් ඉතා දක්‍ෂ ලෙස අනලස්ව කැමැත්තෙන් කරන්නටත් පුරුදු කරවනවා. නිතර නිතර දරුවාගේ කුසලතා අගය කරමින් අන්‍යයන් ඉදිරියේ ප‍්‍රශංසා මුඛයෙන් කථා කරනවා.

ඤණවන්ත අම්මාවරු හොඳින් ම දන්නවා, මේ ජීවිතයේ තම කුසින් බිහි වූ තමාගේ ම දරුවා වුණත් පෙර සසර ජීවිතවල දී බොහෝ ගුණධර්මවලින් පෝෂිත යහපත් චර්යා ධර්ම සමුදායකින් සමන්විතව දෙව් මිනිස් දෙගතියෙහි සිටි අයෙකු වෙන්න පුළුවන් බව. බුදු, පසේබුදු, මහ රහත් යන උත්තරීතර තත්ත්වයන් උදෙසා අහිංසක ලෙස පාරමී පුරන උතුමෙකු වෙන්න පුළුවන් බව. එ් නිසා එ් අම්මාවරු ප‍්‍රියමනාප වූ මිහිරි වචනවලින් ම දරුවන්ට අමතනවා. මාතෘත්වය පිළිබඳ ළමා සිතක ඇති විය යුතු ගෞරවනීය, වන්දනීය ස්වභාවය නො බිඳී යන ආකාරයට ම වචන හසුරුවනවා. තිරිසන් සතුන්ගේ නමින් හෝ වෙනත් ළාමක වූ පහත් යැයි සමාජ සම්මත වචනවලින් හෝ ආමන්ත‍්‍රණය නො කරන්නට නිරතුරුව වග බලා ගන්නවා. දරුවන්ට ශාපවන ආකාරයේ වචන කිසි ම විටක කියන්නේ නැහැ.

එ් වගේ ම අප අවට පරිසරය ඇසුරු කොට වෙසෙන සියලූ සත්ව කොට්ඨාස කෙරෙහි හිංසාකාරී ප‍්‍රතිපදාවෙන් තොරව එ් හැම සත්වයන්ට ම මේ මිහිකත දෙරණ මතුයෙහි ජීවත් වීමේ අයිතිය පිළිබඳ ව කාරුණික වන්න හුරුපුරුදු කරනවා. නා නාවිධ තර`ග විභාග, ක‍්‍රීඩා තරඟ කියන්නෙ තම තමාගේ සහජ කුසලතා, අහිංසක කුසලතා බාහිර ලෝකයට විදහා දක්වන ක‍්‍රියාදාමයන් විනා අන්‍යයන් කෙරෙහි ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම් ආදි යහපත් සමාජ ධර්මතාවයන්ට පටහැනි ක‍්‍රියාකාරකම්වලට පෙළඹෙන දේ නොවන බව මනා කොට පහදා දෙනවා. අනුන්ගේ ජයග‍්‍රහණයන් – තමාගේ පරාජයන් සම සිතින් ඉවසන්නට පුරුදු කරනවා.

තර`ගකාරී අධ්‍යාපනයක් ලබා දීම, ගේ ෙදාර ඉඩකඩම් – යාන වාහන – ස්ථාවර බැංකු තැන්පතු ලබා දීම, නොයෙක් විලාසිතාවන්ගෙන් යුතු ඇඳුම් ආයිත්තම්වලින් සැරසීම පමණක් සාරවත් පුරවැසියෙක් තනන්නට කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව නැණ ගුණ වඩන පින්වත් මව්වරු හොඳින් ම දන්නවා.

එ් වගේ ම යි දැනුම් තේරුම් ඇති අම්මාවරුන් අරපිරිමැස්මෙන් කටයුතු කරන්නට පුරුදු කරවනවා. කෙතරම් බහුල වශයෙන් තිබුණත් නිකරුනේ විය පැහැදම් කරන එක – නාස්ති කරන එක පිරිහීමට හේතු වන කරුණක් බවත්, අරපිරිමැස්මෙන් යුතුව ක‍්‍රියා කිරීම, නැතිවූ බඩු බාහිරාදිය සොයාබලා යළි පරිහරණයට ගැනීම, කැඞී බිඳී ගිය බඩු බාහිරාදිය යළි ප‍්‍රතිසංස්කරණය කොට පරිහරණයට ගැනීම දියුණුවට සෞභාග්‍යයට හේතුවන කරුණක් බවත් පැහැදිලි කර දෙනවා.

විශේෂයෙන් ම අම්මාරුවන් තම දරුවන් ඉදිරියේ ශිෂ්ට සම්පන්න ලෙස වැදගත් ආකාරයට ස්ථානයට, ජාතියට, ආගම ධර්මයට උචිත වන ආකාරයේ ඇඳුම් පැලඳුම්වලින් සැරසී සිටීමට වග බලා ගන්නවා. නිරතුරුව පංචශීල ප‍්‍රතිපදාව තුළ හික්මවාලන්නට අප‍්‍රමාණ වෑයමක් ගන්නවා. ඊට පටහැනිව ක‍්‍රියා කිරීම බෞද්ධයන් හැටියට නො ගැළපෙන දෙයක් බව පහදා දෙනවා. පංචශීල ප‍්‍රතිපදාවේ හික්මෙන අයට ලැබෙන ස්වර්ග මෝක්ෂ සම්පත් පිළිබඳවත්, නො හික්මෙන අයට ලැබෙන දුගතිගාමී අඳුරු ජීවිත පිළිබඳවත් සවිස්තරව කියා දෙනවා. තමන් නො දන්නවා නම් සිල්වත් ගුණවත් පැවිදි උතුමන් වහන්සේලා සමීපයට යොමු කර අවවාද ලබාගන්නට ඉඩ සලසා දෙනවා. අලූතින් අරඹන හැම කටයුත්තක දී ම දැනුම් තේරුම් ඇති වැඩිහිටියන්ගේ, පැවිදි උතුමන් වහන්සේලාගේ අවවාද අනුශාසනා අනුව ම කටයුතු අරඹන්නට පුරුදු කරවනවා.

මේ සියල්ල ම අතරේ පුර පසළොස්වක පොහොය දිනවල කොයි තරම් කටයුතු බහුල වුවත් විහාරස්ථානයකට යොමු කර අෂ්ටාංග උපෝසථය සමාදන් වී පසුදා පහන් වන තුරු එ් උතුම් ශීලය රැකගෙන සංවර වන්නට විශේෂයෙන් ම උදව් කරනවා.

අපේ ම ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී ලලාට ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, ග‍්‍රීවා ධාතූන් වහන්සේ, කේෂ ධාතූන් වහන්සේලා, ෙදා්ණයක් ධාතුන් වහන්සේලා, දළදා වහන්සේලා දෙනමක් සමග තවත් බොහෝ ධාතුන් වහන්සේලා වැඩ වෙසෙන සර්වඥ ධාතු මංජුසාවක් වැනි මේ සිරිලක් දෙරණ බබළවන වාසනාවන්ත පිරිසක් බිහි වන්නේ එ් පින්වන්ත අම්මාවරුන්ගේ අප‍්‍රතිහත ධෛර්යය නිසා ම යි. කරුණාව, දයාව, අනුකම්පාව, සමානාත්මතාවය, අන්‍යෝන්‍ය සුහදශීලි බව, කාර්යක්‍ෂම බව, අරපිරිමැස්ම වැනි උතුම් ගුණවලින් සපිරුන හා විශේෂයෙන් තෙරුවන් කෙරෙහි ගෞරවනීය හැඟීමෙන් යුතුව සිල් ගුණ දම් රකින වාසනාවන්ත මනුෂ්‍ය රත්නයන් සමාජයට පරිත්‍යාග කරන්නට අම්මාවරුන්ට හැකියාව තිබෙනවා.

යම් කලක ජීවිතයේ සැඳෑ සමයට පා තබන එ් අම්මාවරුන්ට මහලූ නිවාස තුළට කොටු වී සෝ සුසුම් නො හෙළා සමාජයට මහා මෙහෙවරක් කළ වීරෝධාර මාතාවන් හැටියට සැනසුම් සුසුම් හෙළන්න පුළුවන් වේවි.

දේශයේ උදාරත්වය අගයන පින්වත් අම්මාවරුනි, හැබෑවටම දරුවන්ට ආදරේ ඇති – වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම වාසනාවන්ත අම්මා කෙනෙක් වන්නට ඔබට ද තුනුරුවනේ අනන්ත ආශීර්වාදයත්, දෙවියන්ගේ දැහැමි රැකවරණයත් එක සේ ම සැලසේවා…!

සටහන
ඊරියකැලේ උත්තරා සිල් මාතාව