සම්බුදුරජාණන් වහන්සේ අපට මේ අයුරින් අවවාද කරනවා.

‘‘පින්වත් මහණෙනි, භික්ෂුව කැමති නම්, ‘මම දැහැමි ලෙස සිවුරු, පිණ්ඩපාත, කුටි, ගිලන්පස ආදිය ලැබෙන කෙනෙක් වෙනවා’ කියල, එ් භික්ෂුව සීලය ම යි සම්පූර්ණ කරන්න ඕන. තම සිත සමාධිමත් කිරීමෙහි නිතර නිතර යෙදෙන්න ඕන. ධ්‍යානයෙන් බැහැර නො වී ඉන්න ඕන. විදර්ශනා වඩන්න ඕන. හුදෙකලා වාසය ම යි දියුණු කරන්න ඕන.”
(ආකංඛෙය්ය සූත‍්‍රය – ම. නි. – 1)

අධාර්මික ජීවිතයක් නිසා සිත කෙලෙසෙන ආකාරය, එ් වාගේ ම සීලය අපිරිසිදු වන ආකාරය අප සිතා බැලිය යුතු කාරණයක්. ‘‘අපට සිල් රකින්න බෑ මේ වටපිටාව එක්ක ජීවත් වෙමින්” කියන අදහසක් අතීතයට වඩා බලවත් ව දැන් සමාජගත වෙලා තියෙනව. ‘‘සීලයක් රකින්නේ ඇයි ද?” යන්නවත් නො දන්න බෞද්ධ පිරිසක් මේ වන විට බිහි වෙලා. ”මේ වරද තිබෙන්නේ අලූත් සමාජයේ ජීවත් වන තරුණ පිරිසක් අතර බවයි” කියල එ් සමාජයට ඇඟිල්ල දිගු කරල විතරක් ඉන්න බැහැ. අවබෝධයෙන් ම සිල් රකින තරුණ පිරිස් වෙනදාට වඩා බිහි වෙලා තිබෙනව. බාල තරුණ මහලූ සියලූ දෙනා අතරින් සීලය අත් හැරීම සිදු වෙමින් යනව. සීලයට අනුග‍්‍රහ නො කරන රැුකියා බහුලයි, වෘත්තීන් බහුලයි, ව්‍යාපාර බහුලයි, අධ්‍යාපන ආයතන බහුලයි. මේවා ඇසුරු කරමින් ජීවත් වෙන කෙනා ගෙදර ඇවිත් සිල් රකීවි ද? නැහැ. ඔහුගේ ගෙදර පරිසරයක් සීලයක් තුළ වැඩෙනවා කියන එක දුර්ලභ දෙයක්. අපි මෙන්න මේ තත්ත්වය තේරුම් ගන්න ඕන. ලෝකයෙන් සිත පිරිසිදු කර ගන්නට අනුග‍්‍රහයක් නැහැ. කය පිරිසිදු කර ගන්නට නම් ඕනැ තරම් දේ තිබෙනවා. සමස්ත සමාජය ම සීලය අත් හරිමින් යන මේ ගමනේ ආධ්‍යාත්මික බෙලහීනතාව දැනටමත් දැකගන්නට පුළුවන්.

ඇතැම් පිරිස්වලට සත්ව ඝාතනය ගේ ෙදාර අත්‍යවශ්‍ය දෙයක්. ”නැත්නම් මැසි මදුරුවන්ගෙන් කූඹි කැරපොත්තන්ගෙන්, මීයන්ගෙන් ගෙවල් බේරගන්නෙ කොහොම ද?” කියල අහන අය ඉන්නවනෙ. එ් අය එ් උත්තරේ දෙන්නේ ලේසි නිසයි. සතුන් නො මරා ගේ දොර රැක ගැනීමට එ් අය උපක‍්‍රම කරන්න ඕන නේ ද? එ් සඳහා අමතර කාලයක් වැය නො කරන්නෙ, මේ සීල ගෞරවය නැති නිසා ම යි. ගේ ෙදාර ඉතා ප‍්‍රසන්නව පිසිිදුව තබා ගන්නේ නම් සත්ව උවදුරින් පීඩා විඳින එක බොහෝමයක් සීමා වෙනව. වෙළඳ පොළ තිබෙනව සතුන් මරන්නට බෙහෙත්. මදුරුවන්, මැස්සන්, කැරපොත්තන්, මීයන්, කූඹින්, ආදි නොව දැන් දැන් බල්ලන් පූසන් පවා මරා දමන්නට එක එක වෙළඳ පොළ උපක‍්‍රම බිහි වෙලා. ප‍්‍රාණඝාතය කරන්නට වෙළඳ පොළක් ඇති වෙලා. එහෙව් සමාජයකයි අපට ජීවත් වෙමින් සීලයක් පුරුදු කරන්නට තිබෙන්නේ.
සොරකම් කිරීම නිරයගාමී අකුසලයක් බව අප දන්නවා. එ්ත් ‘සොරකම ජීවත් වෙන්නට අවශ්‍ය දෙයක්. දියුණු වෙන්නට අවශ්‍ය දෙයක්’ කියන සංකල්පයක් ඇති වෙලා නේ ද? බලන්න කොච්චර භයානක ද? පොදු දේපළ පැහැර ගැනීම, වෘත්තීය ආයතනයේ සම්පත් අනවසරයෙන් ගෙන පරිහරණය කිරීම, රටේ පොදු යහපතට ගොඩ නැංවෙන නොයෙක් ව්‍යාපෘතිවලින් මුදල් සොරා ගැනීම.. මේ ආදි ලාභය පිණිස අන් සතු දෑ සොර සිතින් ගන්නට පරිසරයක් ගොඩනැෙඟමිනුයි යන්නේ. මේවා ප‍්‍රවෘත්ති හැටියට ජනමාධ්‍යයෙන් අසන බාල තරුණ ළමා පිරිස කුමක් ආදර්ශයට ගනී ද? එ්කාන්තයෙන් අනාගත වෘත්තිකයන් ලෙස ”මේ වැරදි දේ කරන්නට මේ ආකාරයේ ක‍්‍රමෝපායන් තිබෙනවා” කියල හඳුනාගන්නවා. මෙන්න මේ ආකාරයේ ලෝකයක යි අපි සීලය පුරුදු කරන්නේ කියල සීලය වඩන ශ‍්‍රාවකයා හොඳින් හඳුනාගත යුතු වෙනවා.

වැරදි කාම සේවනයට අනුබල දෙන ජනමාධ්‍ය පුවත් නිතර ඇසෙන විට අලූත් පරපුරක් කෙසේ නම් යහපත පුරුදු කරයි ද? කාම සේවනයට අනුබල දෙන විශාල කටවුට් බැනර්, චිත‍්‍රපට දැන්වීම්, සඟරා ආදිය ප‍්‍රසිද්ධියේ විකිණෙන සමාජයක අන්තර්ජාලය විසින් එ් සියලූ දෑ ඉක්මවා අධර්ම රාගය වපුරනවා නේ ද? දෙමාපියන්ට තම දුව, පුතා අන්තර්ජාලයෙන් බේරා ගැනීමට නො හැකි මට්ටමට අද එය ව්‍යාප්ත වෙලා නේ ද? වැරදි කාම සේවනයට අනුබල දී එ් මාර්ගයෙන් තම තමන්ගේ වෙළඳ පොළ භාණ්ඩ සේවා විකුණා ගන්නා ක‍්‍රමෝපායන් නීතියේ රැුහැනින් රිංගාගෙන සමාජගත වන යුගයක, බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයා ”මෙන්න මේ ආකාරයේ ලෝකයක යි අපි සීලය පුරුදු කරන්න තියෙන්නේ” කියල හොඳින් හඳුනාගත යුතු වෙනවා.

හොඳ ම බොරුව කියන ගුවන් විදුලි වැඩසටහන්, වචනයෙන් මුළා කොට අනුන් රැුවටීමෙන් විනෝදවෙන රූපවාහිනී වැඩසටහන් දැක තිබෙනවා නේ ද? සමාජයේ මානසික ආතතිය නැති කරන්නට බොරු කියා විනෝදයක් සැපයීමෙන් තම ව්‍යාපාරික අරමුණු මුදුන්පත් කර ගන්නා මේ ආයතන මහා පිළිගැනීමකින් යුක්තයි. පුංචි කාලෙ ඉඳන් එක එක බොරු කීමෙන් අත්වන වාසි පෙන්වන්නට සැලැස්වීමෙන් එ් ළමයා එයට අනුරූපව නේ ද ජීවිතය ගොඩනංවා ගන්නේ? බොරු කියා අනුන් රවටනවා කියන දේ ඕලාරිකවත් නො පෙන්වන සමාජයක එය අකුසලයක් ලෙස විග‍්‍රහ කරනවිට පිළිගනීවි ද? නැහැ. එහෙනම් අපි පිළිගන්නට ඕනැ ධර්මයකින් ම යි වචනයේ අපිරිසිදුකම අකුසලයක් කියල විග‍්‍රහ කරල දෙන්නෙ කියන කාරණය. පාලකයන් කියන බොරු ගැන ඔබ ඕනෑවටත් වැඩියෙන් දන්නවා. රජ කරන බොරුවක් ඇති සමාජයක යි මේ ධර්මය පුරුදු කරන්නේ කියන වැටහීමක ඉඳන් තමයි අපි සීලය පුරුදු කරන්නට ඕනැ. මේ ආකාරයෙන් අනතුරු සහිත තැන් දැනගෙන ම යි අපි ශ‍්‍රාවකත්වය ආරක්ෂා කර ගන්න ඕන, ඔය බාධාවන් දැනගෙන ම යි අපි සීලය පුරුදු කරන්නට ඕන.

පරුෂ වචන කියමින් තරුණ මදය ප‍්‍රකට කරන එක හරි වැදගත් දෙයක් වීගෙනයි යන්නේ. සමාජයේ ඉහළ පිරිස් ම පරුෂ වචනයෙන් එකිනෙකා බැණ ගන්නා ආකාරය ජනමාධ්‍යවල පෙන්වනවා. අන්තර්ජාලයේ තත්ත්වය එයට දරුණුයි. අනුන්ගේ සිත් පෙළන, සිත් රිදවන වචනයකින් තමාගේ සිත අපිරිසිදු වෙනවා කියන එක, එ් නිසා නිරයේ උපදින්න සිද්ධ වෙනවා කියන එක කෙතරම් ඛේදනීය ද? අපි නිරයට යවන්නට අනුබල දෙන සමාජයක් ඇසුරු කරන්නට තිබෙන නිසා ධර්මය ම යි උතුම් වන්නේ, ධර්මය ම යි ශ්‍රේෂ්ඨ වන්නේ කියන කාරණය හොඳින් පිළිගන්නට ඕනැ. පරුෂ වචනයේ ඇති පිළිකුල් සහගත බව නැති කරමින් එහි ආස්වාදය වැඩි කරමින් ජනමාධ්‍ය පවා හැසිරෙන නිසා අපි හොඳින් ධර්මයේ ම සිත පිහිටුවාගත යුතු වෙනවා. එහෙව් සමාජයකයි අපට ජීවත් වෙමින් සීලයක් පුරුදු කරන්නට තිබෙන්නේ.

කේලාම් කීමෙන් අපට වාසි ගොඩයි කියන අදහසක් පැතිරිලා නම් ඉවරයි. විහිළුවට අන් අය භේදබින්න කරල සතුටු වෙන එක කෙතරම් නුසුදුසු ද? තමාට යම් කෙනෙක්ගෙන් වාසි ලබන්නට ඕන වුණ විට, ඔහුට අහිතවත් අයගේ වැරදි ඔහුට ම කීම කෙතරම් සාහසික ද? තමා ඇසුරු කරන්නන්ගේ සිත දිනා වාසය කිරීමට වෙනත් අයගේ වැරදි කියා කෙටවීම කෙතරම් ජුගුප්සාජනක ද? මේ නිසා ම යි ධර්මයේ සිත සමාදන් කළ යුත්තේ. මේ නිසා ම යි සිත පිරිසිදු කරන සීලය සමාදන් විය යුත්තේ. එ් නිසා ලෝකයේ ඇත්ත තත්ත්වය දැනගෙන ම යි ශ‍්‍රාවකයා සීලය පුරුදු කරමින් ආරක්ෂා විය යුත්තේ.

ඔන්න ක‍්‍රිකට් සමයක් එනකොට එ් ගැන කතා වෙනව, චිත‍්‍රපටයක් එනකොට එ් ගැන කතා වෙනව, ඡුන්දයක් එනකොට එ් ගැන කතා වෙනව, හොරුන් ගැන ජනමාධ්‍යවල පෙන්වනකොට එ් ගැන කතා වෙනව, හොල්මන් අවතාර ගැන කතා වෙනව, එක එක රටවල යුද්ධ ගැන කතා වෙනව, ආහාරපාන ගැන රස හොය හොය කතා වෙනව, විලාසිතා ගැන දකින දකින විට කතා වෙනව, ගෙවල් ෙදාරවල් යාන වාහන ගැන තේරුමක් නැතිව කතා වෙනව, ගමේ තොටේ සිද්ධි ගැන කිසි වැඩකට නැති කාරණා කතා වෙනව… මෙහෙම දවස ගෙවිල යනව. මේ කතාව අපට හුරු කරන්න කරන්න තමයි ජනමාධ්‍යයට ඉඩක් ලැබෙන්නෙ, වෙළඳ පොළ ග‍්‍රහණයට අපිව නතු කරල තබන්න පුළුවන් වෙන්නෙ. මේ ආකාරයෙන් හිස් කතාවෙන් වළකින්න වළකින්න අනවශ්‍ය කතා බහෙන් සිත අපිරිසිදු වෙන එක ම යි නැති වෙලා යන්නේ. එ්ක ශ‍්‍රාවකයාට මහත් වූ සැනසිල්ලක් ම යි. බලන්න කතා අඩුවෙන් ඉන්න වෙලාවට මේ සිතේ හරි සන්සිඳීමක් ම යි ඇති වෙන්නේ. මේ නිසා මේ ආකාරයට ලෝකයේ ඇත්ත තත්ත්වය දැනගෙන ම යි ශ‍්‍රාවකයා සීලය පුරුදු කරමින් ආරක්ෂා විය යුත්තේ.

බෞද්ධ ප‍්‍රතිපදාවකින් ම මත්පැන්, මත්ද්‍රව්‍ය ප‍්‍රතික්ෂේප වෙද්දී, ලෝකයේ ම මත්ද්‍රව්‍ය භාවිත කරන රටවල් අතර ලංකාව හතර වන ස්ථානයට පත් වුණා නේ ද? කොහොම ද එ්ක වුණේ? පාලන පන්තිය සිය ව්‍යාපාර ලෙස මත්පැන් අළෙවි කරද්දී, කායික වෙහෙසට මත්පැන් පානය හොඳ දෙයක් යැයි අදහස් පැතිරෙද්දී, සමාජයේ වැදගත් තනතුරු හොබවන පිරිස් ඇතැම් විට මතට ඇබ්බැහි වෙද්දී, යහපත කියන පිරිස් මත් වීමේ ආදීනව කියනා විට පිළිගනීවි ද? එ් බොහෝ දුරට අඩුවෙන්. මේ ජීවිතයේ දී ම ධනයෙන් පිරිහෙන, සැපයෙන් පිරිහෙන, බලයෙන් පිරිහෙන, ආයුෂයෙන් පිරිහෙන, සිහි නුවණින් පිරිහෙන, රෝගයන්ට තෝතැන්නක් සපයන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය, ජීවිතයකට ගෙන එන අඳුරු බව නිසා ම අනේකප‍්‍රකාර සමාජ අර්බුද ඇති කරවනවා. මෙනිසා තමාගේ දියුණුව ගැන සිතාවත් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙන්නාට ලැබෙන මෙලොව පරලොව ලාභය අති මහත්. මෙන්න මේ ආකාරයේ ලෝකයක යි අපි සීලය පුරුදු කරන්නේ කියල සීලය වඩන ශ‍්‍රාවකයා හොඳින් හඳුනාගත යුතු වෙනවා.

සිත පිරිසිදු කරන සීලයක් දරාගෙන සිත අපිරිසිදු කරන වටපිටාවක ජීවත් වෙන්නට අපි කෙතරම් බලවත් වෙන්න ඕන ද? ගොඩක් අය සීලය අත් හරින්නේ මෙන්න මේ බාහිර ලෝකයේ අනුග‍්‍රහය නැතිකම නිසායි. බාහිර ලෝකයේ රැුල්ලට ම අහු වෙලා එ් ‘‘පෙරළුණු පිට හොඳයි” කියල ජීවත් වෙන නිසා ම නැවත නැවත දුක් විඳිමින් සංසාරේ ම යි අපට යන්න වෙන්නෙ. සම්බුදු සසුනක් හැමදාම නැහැ. හැම කාලෙම නැහැ. එ් නිසා ම යි සීලයේ අර්ථයට ආස කරල එ්ක පුරුදු කරන්නට හොඳ මානසික වීරියක් ඇති කර ගන්න ඕන. ජරා මරණ දුක නැවත නැවත සිහි කරමින්, සසර දුක ගැන නැවත නැවත සිතමින්, උනන්දුවෙන් ම කැමැත්ත ඇති කරගනිමින් සසරින් නිදහස් වීම පිණිස සීලය වඩන්නට අප කාටත් වාසනාව උදා වේවා..!

මහාමේඝ 2015 බක් කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.