ඒ 1961 වර්ෂයයි. හිරු රැසින් උණුසුම් වූ ග්‍රීෂ්ම ඍතුවේ දිනක, රෝස පැහැති කම්මුල් ඇති, නිල්වන් විසල් නෙත් ඇති, අතිශයින් ම පියකරු බිළිඳියක් මෙලොව එළිය දුටුවා ය. තවත් සහෝදර සහෝදරියන් සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ ඈ බාලම දියණිය වූවා, සැප සම්පත් ඇති ව සුවසේ වැඩුණා ය. කෙමෙන් පාසල් වියට පත් ඇයගේ දෙමව්පියන් වෙන් වීමට ගත් තීරණය නිසා ඔවුන්ට තරමක අසීරු කාලයක් එළඹිණි.

එතෙක් පෞද්ගලික ගුරුවරයෙකුගෙන් අධ්‍යාපනය ලද ඈට ඉන්පසු නේවාසික ව අධ්‍යාපනය ලබන්නට සිදු විය. මෙසේ ක්‍රමයෙන් තුරුණු වියට පත් ඈ දුටු දුටුවන් වසඟ කරන රුවකින් යුතු වූවා ය. අධ්‍යාපනයට එතරම් දස්කම් නොදැක්වූ ඈ කුඩා කල පටන් ආශා කළේ බැලරිනාවක වීමටයි. එනමුදු ඇයට ඒ සිහිනය සැබෑ කරගන්නට නොලැබී යන්නේ දෛවය විසින් ඇයව වෙනස් ම මාවතක රැගෙන යාමට සැලසුම් කර තිබූ බැවිනි.

ඈ නමින් ඩයනා ෆ්‍රැන්සිස් ස්පෙන්සර් වූවා ය. අතිශයින් ම පියකරු රූපයක් හිමි වූ ඇයට විසිවන සියවසේ අසිරිමත් මනාලිය ලෙසින් බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි කුමරුගේ අත ගන්නට වාසනාව ලැබිණි. ඒ රාජකීය විවාහ මංගල්‍යය රූපවාහිනියෙන් නැරඹූ පිරිස පමණක් මිලියන 750 ඉක්මවීය. එවකට ඈ විසි වන වියෙහි පසු වූවා ය. විවාහයෙන් පසු ඈ හඳුන්වනු ලැබුවේ ‘වේල්ස්හී කුමරිය’ යන ගෞරව නාමයෙනි. යොවුන් වියෙහි එළිපත්තේ හුන් ඈ එකල, සමාජය පිළිබඳ අත්දැකීම් අඩු, අතිශයින් ම ලැජ්ජාශීලී, අහිංසක තරුණියකි. ඒ වයසේ පසුවන සෑම යුවතියකට මෙන් ම ඇයට ද ආදරණීය ස්වාමියකු සමඟින් දරුවන් ලබා සෙනෙහසින් ගෙවන යුගදිවියක් පිළිබඳ වූ සිහිනයක් විය. ඒ කිරුළ හිමි තම කුමරුන්ට ඈ බෙහෙවින් ආදරය කළ බැවිනි. කුමරු සමඟ සෙනෙහසින් බැඳුණු ඈ සිතුවේ තමා මෙලොව සිටින වාසනාවන්තම යුවතිය කියා ය. එනමුත් ඇගේ ඒ පැතුම් සුණුවිසුණු වන්නට වැඩි කලක් ගත නොවිණි.

ඇගේ විවාහ දිවියට දෙවැනි ගැහැනියකගේ මැදිහත් වීමක් සිදු විය. ඇය, ඩයනා කුමරියට වඩා වසර ගණනාවකින් වැඩිමහලු වූ ඇගේ ස්වාමියාගේ බොහෝ කලක පටන් පැවති අනියම් පෙමෙහි හිමිකාරියයි. ඇයට ඒ සම්බන්ධය පිළිබඳ විවාහ ගිවිස ගැනීමට පෙරම වටින් ගොඩින් දැන ගන්නට ලැබුණ ද විවාහය නතර කරන්නට නොහැකි තරමට ඒ වෙද්දීත් ඈ ඔහු වෙත බැඳී සිටියා ය. කර්මය විපාක දීමට පරිසරය සැකසෙන අයුරු බලන්න! ඒ සඳලුතලයෙන් බැස දිළිඳු ජනයා වෙත පැමිණි ජනතාවගේ හදවත්හී රැජිණ ලෙස මහත් කීර්තියට පත් ඈ පිළිබඳ ඊර්ෂ්‍යාවකින් හා නොරිස්සුමකින් පසු වූ සාඩම්බරකාරී, සාම්ප්‍රදායික රාජකීය ගතිපැවතුම්වලින් යුතු රජ පවුල පවා ඈ වෙත දැක්වූයේ පහත් කොට සැලකීමත්, නොසැලකිල්ලත් පමණි. සැනසීමට වදනක්වත් කීමට කෙනෙක් නොමැති ව රජ මැදුර තුළ තනි වූ ඇගේ කඳුළ ලොවට රහසක් නොවිණි.

එනමුදු ඈ ඒ සියල්ල දරා ගනිමින් තම පුතුන් දෙදෙනාට අසීමිත සෙනෙහසකින් කටයුතු කළා ය. ආයම්මාවරුන් වෙත දරුවන් නොපැවරූ ඈ ඔවුන්ව මනාව හැඩගස්වමින් රජ පවුලට පවා මාතෘත්වය පිළිබඳ මනා ආදර්ශයක් සැපයූවා ය. තමා කෙතරම් පීඩාවට පත් වුවද ඇගේ හදවතින් උතුරා ගියේ කරුණාවයි. පුණ්‍යායතන 100කට පමණ සම්බන්ධ ව කටයුතු කළ ඈ, තම විසිතුරු ඇඳුම් ආයිත්තම් පවා වෙන්දේසි කරමින් ඉන් ලද ඩොලර් මිලියන 5.6ක ආදායම ඒඩ්ස් හා පියයුරු පිළිකා සම්බන්ධ ව කටයුතු කරන ආයතනවලට පරිත්‍යාග කළා ය. ලෝකය පුරා විසූ කුඩා දරුවෝ ද අසරණ මිනිස්සු ද ඇගේ කාරුණික බැල්මකින් පවා සැනසුනෝ ය. සමාජ සේවා කටයුතුවල නිරත වීමෙන් ඈ ලත් ආත්ම තෘප්තිය ඇගේ හදවත පෑරූ වේදනාවලට මහත් අස්වැසිල්ලක් විය. සැබැවින් ම ඈ තමා නොලද සෙනෙහස ලෝකයට පිරිනැමුවා ය. ලොව පුරා සිටි මිනිසුන්ගේ යහපත උදෙසා කැපවූ ඇගේ සුවිසල් නෙත් බර ව තිබුණේ ඒ කරුණාවෙන් හා ජීවිතය පිළිබඳ වූ මහත් විඩාවකිනි.

තම එකම පැතුම වූ, ස්වාමියාගේ සෙනෙහස අහිමි වීමෙන් මානසික අවපීඩනයට පවා පත් වූ ඈ නොයෙක් වර ජීවිතය තොර කර ගැනීමට උත්සාහ කළා ය. නොයෙක් වර ආහාර ගැනීමේ අක්‍රමිකතාවලින් පවා පෙළුණා ය. රාජකීයන් අතර සැබවින් ම ඈට ආදරය කළ යමෙක් වී නම්, ඒ ඇගේ පුතුන් දෙදෙනා පමණි. මේ ආකාරයෙන් අතෘප්තිකර විවාහ දිවියේ 15 වසරක් ගෙවිණි. ඇගේ අත ගත් බ්‍රිතාන්‍ය කිරුළ හිමි කුමරුට ඇගෙන් වෙන් වීමට අවශ්‍ය විය. කෙතරම් වේදනා වින්දත් කිසි දිනක තම ස්වාමියාගෙන් වෙන් වන්නට නොසිතූ ඈ අවසන ඔහුගේ සතුට පතා ඉමහත් ශෝකයක් හදෙහි තුරුලු කරගෙන ඔහුගෙන් වෙන් වූවා ය. ඉනුත් වසර කිහිපයකට පසු ඈ අල්මා නම් උමං මාර්ගයක් තුළ අවාසනාවන්ත ලෙස රිය අනතුරකට පත් ව සදහට ම දෙනෙත් පියා ගත්තා ය. එවකට ඩයනා කුමරිය තිස් හය හැවිරිදි තරුණ මවක් වූ අතර, මෙලෙස නොසිතූ නොවිරූ ලෙස මෙලොවින් සමුගැනීමට ඈ කළ අතීත කර්මය කවුරුන් නම් දනී ද?

ඇගේ හදිසි වියෝවෙන් මුළු ලොවක් හඬා වැටුණි. ඇයට උපහාර පිණිස ලෝකය පුරා උපන් බිළිඳියන් ඇගේ නමින් නම් කරනු ලැබිණ. ඩයනා කුමරියගේ වියෝවෙන් දශක දෙකක් ඉක්මවූ අද පවා ඇගේ නමට පුදන ආදරයේ අඩුවක් නොමැත. ජනතාවගේ කුමරිය වශයෙන් නිහතමානී ව කටයුතු කළ, කරුණාබර සොඳුරු යුවතියකගේ පෙම් පුවත කඳුළින් අවසන් ව ගියේ එලෙසිනි. සැබැවින් ම මෙය නම් හද පාරනා ඛේදාන්තයකි.

ගෙවාගෙන ආ අතිශයින් ම දීර්ඝ වූ සසර ගමනේ ඇගේ කතාව වනාහී ඔබේත්, මගේත් කතාවයි. ඔබත් මමත්, අනන්ත සසරේ ස්වාමියාගේ හෝ බිරිඳගේ, ආදරයේ නාමයෙන් කළ රැවටීමකට හසු ව ඒ ශෝකයෙන් උමතු වන්නට ඇති. ජීවිතය තොර කර ගන්නට ඇති. සතර මහා සාගර ජලය පරදා කඳුළු සලන්නට ඇති. සැබැවින් ම මේ සසර ගමන අතිශයින් සැහැසි නොවේද? සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි අවබෝධයෙන් ම කලකිරීමට නොවටින්නේ ද? ස්වාමියා කිරුළ හිමි කුමරෙකු නොවූව ද මීට සමාන දිවි ගෙවනා දහස් ගණන් බිරින්දෑවරු මෙලොව වසති. අනාගතයේ දිනක වුව ද ඇගේ ඉරණමට මුහුණ දෙන්නට ඔබටත් මටත් සිදු නොවන්නේ යැයි කීමට ඇති සාක්ෂිය කුමක්ද? අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ කලින් කලට අත්ත විපත්තීන්, පර විපත්තීන් සිහි කළ යුතු බවයි. ලොවක් සැනසූ, ලොවක් හැඬවූ එබඳු රූපයෝ පවා අනිත්‍ය වී යත්, කළ හොඳ පමණක් ඉතිරි වෙත්.

ධර්මය නෑසෙන, සීලයක් ගැන අසන්නට නොලැබෙන, ගුණධර්ම පුරුදු කිරීමක් නොමැති ප්‍රත්‍යන්ත දේශයක නපුරු උපතක් ලද ඈට සසරේ ස්වභාවය මෙය යැයි කියා දෙන්නට කිසිවෙක් නොවී ය. අසාධාරණය රජයන, දුක් සෝ සුසුම් පිරි, කඳුළින් භරිත සසරින් එතෙර විය යුතු බව ඈට අසන්නට නොලැබිණි. තෙරුවන් සරණ යන්නට ඇයට භාග්‍යයක් නොතිබිණි. එබැවින් කුරිරු මිනිසුන් සමඟ වෙසෙමින් ලෝකයට කරුණාව බෙදන්නට ඈ දැක්වූ සමර්ථකම විස්මිත ය. දුර්ලභව ලත් මිනිස් දිවිය තුළ, ධර්මය මුණ නොගැසීමෙන්, කාරුණික සිත් ඇති යහපත් යුවතියකට අහිමි ව ගිය ඒ ක්ෂණ සම්පත්තිය ඔබටත් මටත් අහිමි නොවේවා.

සටහන – යූ. කේ. ගුණතිලක