අද ඔබට හඳුන්වා දෙන්නේ ජපානයේ මා සිදුකළ සංචාරය අතරතුර දී මුණගැසුන විස්මිත චරිතයක්. ඇයගේ විශේෂත්වය තමයි දෑස් නො පෙනෙන මා වැනි අය අකුරු ලිවීමට සහ කියවීම සඳහා භාවිත කරන බ්‍රේල් අක්‍ෂර දෑඟිලිවලින් ස්පර්ශ කිරීමෙන් අපටත් වඩා වේගයෙන් කියවන්නට හැකි වීම. ඇත්තෙන්ම ඇයට කිසිම ආබාධයක් නෑ. ඇයගේ පවුලේවත් ඇස් නො පෙනෙන අය නෑ. එ්ත් ඇයට හදවතින් ම ඕනෑකමක් ඇතිවුණා ඇස් නො පෙනෙන ජනතාවට උදවු කරන්න. ඉතින් ඔබත් කැමති ඇති නේ ද ඇගේ කතාව අසන්න? අපටත් එ් තුළින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. බොරුවට ආදරේ පෙන්නන එකට වඩා ඇත්තටම ආදරය කරන එක හරි ම අමාරුයි. හැබැයි ඇත්තටම ආදරය කරන අය තමයි ඇත්තටම ගොඩක් සතුටින් ඉන්නෙ. මේ ඇගේ කථාව.

‘‘මගේ නම ‘කනයා රජාරෙකා’. මම ඉපදුණේ ජපානයේ නගෝයා නගරයේ නගනෝ කියන හිම වැටෙන සීත සුන්දර ප‍්‍රදේශයක. මම විශ්ව විද්‍යාලයේ දී හැදෑරුවේ රසායන විද්‍යාව. සරසවියෙන් පිටවෙලා ඊට සම්බන්ධ රැුකියාවක යෙදුණත් විවාහයෙන් පස්සෙ එ් රැකියාවෙන් මම අයින් වුණා. විවාහ වුණත් මට දරුවො නෑ. එ් නිසා ම මට කුමන හෝ විදියකට සමාජ සහභාගිත්වයක් දැක්වීමේ දැඩි වුවමනාවක් ඇති වුණා.

ජපානයේ කිසිම දෙයක් ආසාව තිබුණට ම කරන්න බෑ. එ් සඳහා අනිවාර්යයෙන් ම එය කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාගැනීම පිණිස පාඨමාලාවක් හැදෑරිය යුතු වෙනවා. ඉතින් මම දෑස් නො පෙනෙන අය සඳහා උපකාර කිරීමට අදාළව සකසා ඇති පාඨමාලාවක් තෝරා ගත්තා. ජපානයේ බොහොම ප‍්‍රචලිතව තියෙනවා ස්වේච්ඡුා සේවා සමාජ. එ් ස්වේච්ඡුා සේවා සමාජ තුළින් තමයි බොහෝ සමාජ සේවා කටයුතු සිදු කරන්නෙ.

විෂයානුබද්ධ පාඨමාලා පවා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ සහයෝගය ලබා ගනිමින් පවත්වාගෙන යනු ලබන්නේ බොහෝ දුරට මේ ස්වේච්ඡා කව මගිනුයි.

ඉතින් මම වසරක පුහුණු කාලයකින් පස්සේ අතරමඟදි දෑස් නො පෙනී ගිය අයවළුන් සඳහා පුනරුත්ථාපන කිරීමේ සේවා සපයන මධ්‍යස්ථානයක සේවය කරන්න පටන් ගත්තා. පුහුණුවීමක් ලබාගත්තට මොකද එහි දී මට ලොකු අඩුවක් දැනුණා. මං බ්‍රේල් අකුරු පුහුණු කරන්නියක් ලෙස සේවය කළාට එ් වන විට මමත් අනිත් පෙනෙන අය වගේ ම බ්‍රේල් අකුරු කියෙවුවේ ඇස්වලින්. ‘‘දෑස් නො පෙනෙන අයට ඇඟිලිවලින් අකුරු කියවීමට පුරුදු කරවීමට පෙර එ්ක මට කරන්න පුළුවන් විය යුතුයි නේ ද?” මම මට ම කියා ගත්තා.

ඉතින් මං මට ම අභියෝග කරගත්තා මමත් නො පෙනෙන කෙනෙක් වගේ ම ඇඟිලි තුඩුවලින් බ්‍රේල් කියවන කෙනෙක් වෙනව කියලා. එහෙම හිතාගෙන බ්‍රේල් පොතක් අතගාන්න පටන් ගත්තා. එතකොට තමයි මට තේරුණේ වැඬේ හිතන තරම් ලේසි නෑ කියලා. මං විනාඩි පහක් විතර අතගෑවත් එක අකුරක්වත් වෙන් කරලා අඳුනාගන්න බැරි වුණා. අතට දැනෙන්නේ එක ම තිත් ගොඩක් වගේ. නමුත් මම උත්සාහය අතහැරියේ නෑ. හැමදාම තදින් ඇස් දෙක පියාගෙන බ්‍රේල් පොතක් බඩ උඩ තියාගෙන උත්සාහ කළා ඇඟිලි තුඩුවලින් බ්‍රේල් කියවන්න. කල් ගත වෙනකොට ටික ටික අකුරු ඇඟිලිවලට දැනෙන්න ගත්තා. මං කොයි තරම් තදින් අභ්‍යාස කළා ද කියනවා නම්, දත් අමාරු හැදිලා දත් ෙදාස්තර ළඟට ගියාමත් බ්‍රේල් පොතක් අරගෙන තමයි යන්නෙ. මොකද ඇඟිලි තුඩුවලින් අකුරු හඳුනාගැනීම සඳහා මගේ පූර්ණ අවධානය යොදවන විට මට දතේ වේදනාව පවා නො දැනී යනවා.

කාලයාගේ ඇවෑමෙන් අඛණ්ඩ අභ්‍යාසය නිසා මට පුළුවන් වුණා ඇඟිලි තුඩුවලින් බ්‍රේල් පිටුව ම කියවන්න. මං ගැන ම මට දැනුණෙ ලොකු ආත්ම අභිමානයක්. මොකද මං දැන් ඇත්තටම නො පෙනෙන අයට උදවු කරන්න සුදුස්සෙක් බවට පත්වෙලා ඉන්න එක ගැන.

දැන් මම වැඩ කරන්නෙ ‘හටමත්සු’ කියන නගරයේ තියෙන ‘විත්’ කියන දෘශ්‍යාබාධිත අය සඳහා වූ පුංචි වැඩපළේ. මේක පුංචි වුණාට ගොඩක් වැඩ කරන තැනක්. අපි දෑස් නො පෙනෙන අයට වගේ ම දෑස් පෙනෙන අයටත් බ්‍රේල් උගන්වනවා. පාසැල්වලට ගිහින් දෑස් නො පෙනෙන අයට සාමාන්‍ය සමාජයෙන් ඉටු විය යුතු දෑ ගැන පහදා දෙනවා. දැන් මගෙන් බ්‍රේල් ඉගෙන ගන්ත ගෝලයෝ ගොඩක් සාමාන්‍ය පාසැල්වල ඉන්නවා. ඇත්තෙන්ම බ්‍රේල් කියන්නෙ තවත් එක් අකුරු ක‍්‍රමයක් පමණක් නො වෙයි. එය පෙනෙන අයත් – නො පෙනෙන අයත් එකට යා කෙරෙන පාලමක් වගේ කියලයි මට හිතෙන්නෙ. අපි පෙනෙන අයටත් – නො පෙනෙන අයටත් එකට එකතු වෙලා කියවිය හැකි පොත් නිර්මාණය කරනවා. මේ වගේ ම සමාජයත් ඇස් නො පෙනෙන අයටත් පාවිච්චි කරන්න පුළුවන් වන විදියට සකස්විය යුතු බව සංවේදී හදවත් ඇති ජපන් ජාතිකයන්ගේ පිළිගැනීමයි. ඉතින් දැන් මම බ්‍රේල් නො කියවන දවසක් නැති තරම්. එ්ක මගෙ දෙවැනි අකුරු ක‍්‍රමය බවට පත්වෙලා. රජයේ ගැසට් පත‍්‍ර අපි අපේ වැඩපළේදි බ්‍රේල් ක‍්‍රමයට හරවලා දෑස් නො පෙනෙන අයගේ නිවෙස්වලට ම තැපෑලෙන් ලැබීමට සලස්වනවා. අපි උදව් කළාට දෑස් නො පෙනෙන අයගේ අතින් ම යි බ්‍රේල් පොත් සකස් වෙන්නෙ. එ්කට අපිට රජයෙන් මුදලක් ගෙවනවා.

එ්ක වැඩපළේ දෑස් නො පෙනෙන අයගේ වැටුප බවටත් පත් වෙනවා. එ් වගේ ම විවිධ රටවල දෑස් නො පෙනෙන අය අපේ ආයතනය බලන්නටත් එනවා. එ් අයව අපි ඉතා සාදරයෙන් පිළිගන්නවා. මගේ ජීවිතයට බ්‍රේල් අකුරු හමුවීම නිසා මට ගොඩක් අපූරු හමුවීම් සිදුවුණා.

තමන්ගේ සුදු සැරයටිය තමන්ගෙ අතින් ම හදාගෙන, මෙහි පුහුණුවෙන්න ආපු ශ‍්‍රී ලංකාවේ හේමන්ත කුමාර හමුවුණෙත් මේ නිසා ම තමයි. මම සිංහලත් ටිකක් ඉගෙන ගත්තා. පුංචි පහේ සිංහල- ජපන් – බ්‍රේල් භාෂා හුරුවකුත් අපි සකස් කළා.”

බ්‍රේල් කියන්නේ හරි පුදුම දෙයක්. බ්‍රේල් හැම රටක ම අන්ධ අයගේ මුවඟට සිනහවක් තෑගි කරනවා. හැම රටක ම අන්ධ අයගේ හදවත් ශක්තිමත් කරනවා. එ් නිසා තමයි ඇය ‘‘මං බ්‍රේල්ට ආදරෙයි” කියලා කැඩුණු සිංහලෙන් සිනාසෙමින් මා සමඟ නිතර කියන්නේ. මගේ එ් අහිංසක, අව්‍යාජ ජපන් බ්‍රේල් ගුරුවරියට උතුම් වූ නිවන් සැපය ම ලැබේවා! ක්‍ෂණ සම්පත්තිය උදාවේවා!

චිකාකි ෂිබා මහත්මයා තමයි මේ ‘විත්’ වැඩපළේ නිර්මාතෘවරයා සහ අධ්‍යක්‍ෂවරයා. ඔහු දෑස් නො පෙනෙන පුද්ගලයන්ට සුදු සැරයටිය භාවිත කරමින් තනිව ම ඇවිදින්නට කියා දෙනවා වගේ ම දෑස් නො පෙනෙන අයට තනිව ම සුදු සැරයටිය හදාගන්නත් කියා දෙනවා.

ආබාධ සහිත පුද්ගලයන් සඳහා අවශ්‍ය කරන්නේ විශාල ආයතන හා පහසුකම්වලටත් වඩා එ් අය ගැන අවබෝධයක් ඇති මිනිසුන් ගහන වූ සමාජයක් හා පුංචි පවුලක උණුසුම රැඳි කැදලි බඳු පුංචි ආයතන බව ෂිබා චියාකි මහතාගේ පිළිගැනීමයි.

එ් අය බුද්ධ දේශනා වැඩිපුර නො දනිතත් මනුෂ්‍යත්වයේ නාමයෙන් අසරණ වූ මිනිසුන් පිරිසකගේ මුවඟට සිනහ රැල්ලක් නංවන්නට දිවි හිමියෙන් ම කැපවී සිටිනවා. අව්‍යාජ ආදරය කෘත‍්‍රිම මායා රංගනවලට වඩා සිය දහස් ගුණයක් වටින බව ඔවුන් තහවුරු කර පෙන්වනවා.

අප සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේ අසරණයන් සොය ගිය උත්තමයෙකු මිස තමන් වෙතට අසරණයන් පැමිණෙන තෙක් බලා සිටි අයෙකු නො වෙයි. එ් ශාස්තෘත්වය සරණ කර ගත් ඔබත් ඔබේ සුවිසල් ආදරයෙන් බිඳක් ආබාධිත පුරවැසියන් වෙනුවෙන් දන් දෙන්න…

ජපානයේ චියෙකි ෂිබා මහතා පවසන්නේ ආබාධිතයන් ජ්‍යේෂ්ඨ පුරවැසියන් ලෙසයි. මන්ද, වයසට යන විට කා හටත් වන දේ එ් අය කල් ඇතිව ම අත් දකින නිසාවෙන්. එ් අය සඳහා සමාජ උපයෝගීතාවය සකස් කර දීම තමන්ගේ ම අනාගත පහසුව සකසා ගැනීමක් ලෙස ඔහු අර්ථකථනය කරනවා. එසේ ම ජපානය ආබාධිත පුද්ගලයන්, ළමයින් හා සමාන සම්පතක් ලෙසට ද සලකනවා. ළමයින්ට හිමි වන වරප‍්‍රසාද ආබාධිත පුද්ගලයන් හට ද ලබාදෙන අතර ම ආබාධිත අයට උපකාර කරන්නන් හට ද සමාජ වරප‍්‍රසාද ලබා දෙනවා. එ් නිසා ඔවුන් ආබාධිත පුද්ගලයන්ගේ සංවර්ධනය ගැන පර්යේෂණවල නියැලෙමින් එ් අයගේ ජීවන තත්ත්වය දියුණු කිරීමට උත්සුක වෙනවා.

ෂිබා මහතා මෙසේ ද පවසනවා.
‘‘යුද්ධය නැති වන්නේ සාමය ඇති විට ය. සාමයේ උත්තරීතර ඵලය වන්නේ සමාජ සේවයයි.”
‘‘ඔබට දෑස් ලැබී ඇත්තේ දෑස් නැති අයට මඟ පෙන්වීමටයි. ඔබට දෙසවන් ලැබී ඇත්තේ දෙසවන් නැති අයගේ හඬ ඇසීමටයි. ඔබට දෑත් දෙපා ලැබී ඇත්තේ දෙපා නැති අයටත් ප‍්‍රවිෂ්ඨ විය හැකි සමාජ වටපිටාවක් සැකසීමටයි. එමෙන් ම ඔබට හදවත ලැබී ඇත්තේ දුකින් පෙළෙන, සොවින් තැවෙන, බියෙන් සැලෙන සිත් සුවිසල් ආදරයෙන් සුවපත් කිරීමටයි.”
ඔහුගේ එ් වචන අපට සිහිපත් කළේ උතුම් සම්බුද්ධ භාෂිතයක්…
‘‘පරදුක්ඛේ සතිනං හදේ කම්පනං කරෝති කරුණා”
‘‘අනුන්ගේ දුකේ දී හද කම්පා වන්නෝ කරුණාවන්තයෝ වෙති.”

මහාමේඝ 2015 බක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
හේමන්ත කුමාර