හිට්ලර්ගේ නාසි සිර කඳවුරකින් මිදී පළා ආ ළමයෙකුගේ සටහන් පොතක පිටුවක්.

ආදරණීය ගුරුතුමනි,

මම නාසි සිර කඳවුරකින් මිදී පළා ආවෙක්මි. බොහෝ මිනිසුන් විසින් නොදුටු නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි.

උගත් ඉංජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු… දක්ෂ වෛද්‍යවරුන් විසින් මිනිසුන්ට විෂ එන්නත් කරන අයුරු… පුහුණුව ලත් හෙදියන් විසින් ළදරුවන් මරා දමන අයුරු… උපාධිධාරීන් විසින් ගැහැණුන් සහ ළමයින් මරා පුළුස්සන අයුරු…

මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකයකි. මගේ ඉල්ලීම, ගුරුවරුන් කියාදිය යුත්තේ සිසුන්ට මානව දයාවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි. ඔබේ උත්සාහය අවසානයේ ලොවට උගත් අමනුෂ්‍යයන් – දක්ෂ යක්ෂයින් දායාද කළ යුතු නැත.

කියවීම, ලිවීම, ගණිතය, ඉතිහාසය වැදගත් වන්නේ… ඉන් අපේ අනාගත පරපුරට වඩා මානව හිතවාදී වීමට කියාදෙන්නේ නම් පමණි…

—————————-

ජීවිතයක වටිනාකම ඔප වැටෙන්නේ ‘උගත් පාඩම්’ ඇතුළෙයි. ජීවිත පාඩම් ගෙනෙන අත්දැකීම් බොහොමයක් අප හැම කෙනෙකුගේ ම ජීවිතවල තිබෙනවා වුණත්, ‘අධ්‍යාපනය’ තමයි තවමත් අප බහුතරයකගේ ම ජීවිත හැඩතලය නිර්මාණය කරලන ප්‍රමුඛතම සාධකය බවට පත්ව තිබෙන්නේ… ලෝකය පුරා ම දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි අවධානයක් යොමු කෙරෙන්නේ ඒ නිසා ම යි…

ඉගෙනුමට තැබෙන ‘බර’

මූලික අධ්‍යාපනය, ද්විතියික අධ්‍යාපනය, මූලික උපාධිය, ආචාර්ය – මහාචාර්ය ධුරයන් දක්වා වගේ ම ක්ෂේත්‍ර කිහිපයක ඉහළ ම ප්‍රවීණතාවයන් දක්වා ම අධ්‍යාපනයේ මුදුන් පැමිණීම ලෝකයේ සෑම තැනක ම පැසසුම් ලබනවා. එතැනට පැමිණීම වෙනුවෙන් සෑමවිට ම පාහේ බොහෝ දිරිගැන්වීම් සිදු වනවා. විශේෂයෙන් ම, ආර්ථික සමාජයීය දේශපාලනික අර්බුද මධ්‍යයේ පීඩා විඳිමින් සිටිනා අප වැනි රටවල, ඒ සියලු අර්බුද ඉක්මවාලන්නට තිබෙන ක්‍රමවේදය විදිහට ‘හොඳින් ඉගෙනගැනීම’ කෙරෙහි විශ්වාසය ගොඩනැගී තිබෙනවා.

‘පොතපතේ දැනුම යහමින් ලබාගෙන දැනඋගත් මිනිසෙකු වෙන්න’ කියන ඉලක්කය අපට නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. මෑතකාලීන සමාජ හැඩගැස්වීම් ඇතුළේ අපේ පවුල් සංස්ථාවේ වැඩි ම මූල්‍ය ආයෝජනයක් සිදු කෙරෙන්නේත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. ‘අධ්‍යාපනය’ වෙත අප තබා තිබෙන බර එයින් ම පැහැදිලි වෙනවා…

ශ්‍රේෂ්ඨත්වය උපදවන්නට නම්…

එහෙත්…, අධ්‍යාපනය එයින් ම පමණක් පරිපූර්ණ මිනිසෙකු නිර්මාණය කරනවා ද? ඉහළ අධ්‍යාපනය යනු සමාජයට සෑමවිට ම ඵලදායී ආයෝජනයක් ද? පොතපතේ දැනුමෙහිලා අග පැමිණියවුන් අතින් සමූලඝාතක මිනිස් අවි නිමැවෙද්දී, මාරාන්තික වෛරස නිර්මාණය කෙරෙද්දී, බලකාමය උදෙසා උතුම් මනුෂ්‍ය ගුණධර්මයන් නැසී යද්දී අප එය ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. හික්මීමක් නැති අධ්‍යාපනය අර්ථ දක්වෙන්නේ අපරාධයට ආයුධයක් කියලයි. සැබැවින් ම, මානව දයාවෙන් පිරිපුන් මිනිසෙකු තුළ දැනඋගත්කම් පෝෂණය කරනා අධ්‍යාපන ක්‍රමයකට පමණයි පරිපූර්ණත්වයට සමීප වන්නා වූත්, ඵලදායි මිනිස් සම්පතක් බවට පත් වන්නා වූත් මිනිසෙකු ලොවට දායාද කළ හැක්කේ. අද අප අගයන – අප විසින් දරුවන් සිරගත කොට රඳවා තිබෙන අධ්‍යාපන ක්‍රමය ඒ අවශ්‍යතාවය ඉටු කරන්නක් ද?

සෑම විට ම, ‘අතීතය අදට වඩා හොඳයි’ කියා නිගමනවලට එළඹීමට අප කලබල විය යුතු නැහැ. අතීතයේ වේවා, අද දවසේ වේවා, අනාගතයේ වේවා යම් සමාජයක මානව දයාව පිරිපුන් ගුණධර්මයනට වැඩී යන්නට මංපෙත් විවර කරලමින් ශිල්ප සතර හදාරන්නට අවස්ථාව සැලසුනා නම් සහ සැලසෙනවා නම් ඒ සමාජය සැබැවින් ම යහපත්, ඒ සමාජය දියුණුයි, ඒ සමාජය ශ්‍රේෂ්ඨයි. එසේ නැතිව, දැන උගත්කම කොපමණ ද කොපමණ උපාධි තිබෙනවා ද කොපමණ වැටුපක් ලබනවා ද කොපමණ අනුගාමිකයන් සිටිනවා ද කොපමණ බලයක් තිබෙනවා ද කොපමණ ජනප්‍රිය ද යනාදී කාරණා හුදෙක් මිනිස් ජීවිත ශ්‍රේෂ්ඨත්වයට පමුණුවන්නේ නැහැ.

හිට්ලර් සහ නොබෙල්

දෙවන ලෝක යුද්ධයේ ම්ලේච්ඡ සහ දැවැන්ත විනාශයක් කරා ලෝකයා ගෙන ගිය ජර්මානු ආඥාදායකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් ජීවිතයේ මුල් අවධියේ දී ඉවසිලිවන්ත, දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඔහු විසින් අඳිනු ලැබූ සිතුවම් දකිද්දී, කැකෑරෙන වෛරයකින් යුතු ව අමු අමුවේ මිනිසුන් මරා දමන ක්‍රෝධ සිතක් ඔහු තුළ තිබුණා ද කියා සැක සිතෙනවා… නමුත් සැක නැතිව ම, රසය උරා ගන්නා කලාකාමී බවත් – නසන වනසන කුරිරු බවත් ඔහුගේ ජීවිත ස්වභාවයන්. ඒ දෙයාකාරය ම ගැබ් වූ මිනිසා යම් දෙයකට ද පෝෂණය ලැබුණේ ඒ දෙසට ම වැඩී යාමයි සිදු වුණේ. ලෝක ඉතිහාසයේ ඛේදනීය ම යුගයක් සනිටුහන් කරන්නට ඔහු පෙළඹුණේ ඒ නිසයි.

නොබෙල් ත්‍යාගයේ නිර්මාපකයා වූයේ සුප්‍රකට විද්‍යාඥයෙකු වුණු ඇල්ෆ්‍රඩ් නොබෙල්. ‘ඩයිනමයිට්’ නම් පුපුරණ ද්‍රව්‍යය සොයාගත්තේ ඔහු විසින්. ලොව පුරා යුද්ධවල දී බොහෝ සෙයින් යොදා ගත් – දරුණු මානව විනාශයන් සිදු කරන්නට හේතු වුණු ස්වකීය සොයාගැනීමෙන් වූ විනාශය ගැන සංවේගයට පත් ඔහු තමන්ගේ සුවිසල් ධනස්කන්ධය භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය හා ලෝක සාමය යන ක්ෂේත්‍ර පහ ආවරණය වන පරිදි මානව සුබ සාධනය උදෙසා කැප වූවනට වාර්ෂික ව පිරිනමන ත්‍යාගයක් වෙනුවෙන් වෙන් කළා. ඒ තමයි නොබෙල් ත්‍යාගයේ ආරම්භය…

අසිරිමත් පුරිසින්ද්‍රිය ඤාණය

මේ ලෝප්‍රකට චරිත ද්විත්වය තුළ ම ශිල්පීය ඤාණය තිබුණා. එය භාවිතයේ යෙදවීමේ දී වූ වෙනස්කම් පුදුම සහගතයි. ලොව පවත්නා මිනුම් දණ්ඩකින් අපට ඒ ගැන පැහැදිලි කරන්නට බැහැ. නමුත්, සියලු ලෝක අවබෝධ කළ මාගේ ශාස්තෘන් වහන්සේ තුළ ‘පුරිස ඉන්ද්‍රිය ඤාණය’ කියා අසිරිමත් බුද්ධ ඤාණයක් පිහිටා තිබුණා. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේගේ සිතින් තවත් කෙනෙකුගේ සිතෙහි කුසල අකුසල ධර්මයන් පිහිටා ඇති ආකාරය දකිනවා. පසුකාලීන ව ඒ ධර්මයන්ගේ ඇති වන වර්ධනයත් – පිරිහීමත් දකිනවා. ඒ වගේ ම, සිතක පවත්නා ඒ කුසල අකුසල ස්වභාවයන් අනාගතයේ දී කවරාකාරයෙන් වෙනස් වනවා ද කියන කරුණත් ඒ අයුරින් ම දකිනවා.

පුරිස ඉන්ද්‍රිය ඤාණය තුළ පෙන්වා දෙන ආකාරයට මිනිස් ලොව උපන්නවුන් තුළ කුසල් දහම් වගේ ම අකුසල් දහම් ද පිහිටා තිබෙනවා. ඒ ඇතැම් අයෙකු තුළ පසුකාලීන ව කුසල් දහම් පිරිහෙනවා, අකුසල් දහම් වර්ධනය වෙනවා. ඇතැම් කෙනෙකු තුළ පසුකාලීන ව අකුසල් දහම් පිරිහෙනවා, කුසල් දහම් වර්ධනය වෙනවා. හැබැයි මේ උදවිය තුළ කුසල මූලයනුත්, අකුසල මූලයනුත් නොනැසී තිබෙනවා. ඒ නිසා ම අනාගතයේ ඒ ඇතැම් කෙනෙකු තුළ කුසල මූලයෙන් කුසල් දහම් මතු වෙලා ඒ කෙනා කුසල් දහම් තුළ නොපිරිහෙන ස්වභාවයට පත් වෙනවා. තවත් අය තුළ නොනැසී පවතින අකුසල මූලයෙන් අකුසල් මතු වෙනවා. එයින් ම ඒ උදවිය අනාගතයේ පිරිහී යනවා.

මේ එකිනෙකාට වෙනස් වූ චිත්ත ස්වභාවයන් වෙන් කර හඳුනාගන්නට හැකියාවක් අපට නැහැ. එහෙත්, ආනන්තරීය පාපකර්මයකින් හෝ නියත මිථ්‍යාදෘෂ්ටියකින් හෝ වැසී නොගත් කා තුළත් කුසල් මුල් ද නොනැසී තිබෙන බව අප ශ්‍රද්ධාවෙන් දරා ගත යුතුයි. ඒ නිසා, අප ඇසුරු කරන කා හටත් කුසල් දහම් තුළ වැඩී යන්නට අවස්ථාව නොසිඳී තිබෙනවා. අප උපකාර කළ යුත්තේ එය පෝෂණය කිරීමට යි…

ජීවිත පාඩමට සුවඳක්…!

දරුවන්ට ඉලක්ක දෙන්න. දරුවන්ට පමණක් නොවෙයි; ඉලක්කය ඔබටත් දෙන්න… ඒ ඉලක්කයේ තිබිය යුත්තේ හුදෙක් වෘත්තියක නමක් නම් නොවෙයි… එහි නම කවරක් වුවත් ‘අනුන්ගේ දුකෙහිලා හදවත කම්පා වන කරුණා ගුණ යුතු, අනුන්ගේ යහපත, දි දැක සතුටු වන මුදිතා ගුණ යුතු, අන් අයගේ හිතසුව කැමති වන මෙත් ගුණ යුතු, ලෝ දහම හමුවේ නොසැලී දරා ගන්නා – කර්ම, කර්ම ඵල ස්වභාවය විශ්වාස කරනා උපේක්ෂා ගුණ යුතු’ රාමුවක් තුළට ඒ ඉලක්කය ගෙන එන්න. ඒ රාමුවේ පිහිටි ගුරුවරයා, බැංකු නිලධාරියා, වෛද්‍යවරයා, හෙදිය, ඉංජිනේරුවා, ව්‍යාපාරිකයා ආදී කවරෙකු වුවත් ඔවුන් අපට වටිනා ම සම්පත්. වෘත්තියට වඩා වටින්නේ ඒ මිනිස් ගුණ සුවඳ යුතු ජීවිත රාමුව…!

දරුවා ව තරග වදින්නට උත්සාහවත් කරද්දී ම, මිනිස් ගුණදම් නොනසා ජීවගුණය පවත්වා ගන්නට ද කියා නොදෙන තාක් කල් අප ඔවුන් පිරිහීමේ දොරටුවෙන් බැහැරට ගෙන නැහැ. ළතෙත් සංවේදීකම් සසර උරුමයක් කොට පැමිණි අයෙකු වුවත් පහතට ඇද වැටෙන්නට හේතුව ඒ මානව දයා ගුණයන් පෝෂණය නොවීම නම් – එයට අනුබල නොලැබීම නම්, එය සමස්ත සමාජය ම සිදු කරනු ලබන වරදක්…

ඒ නිසා, ගුණධර්මයන්ගේ වැඩී යාමක් නොගෙනෙන අධ්‍යාපන ක්‍රමයන් අප ප්‍රශ්න කළ යුතුයි. එය මාපියන්ගේ, ගුරුවරුන්ගේ පමණක් වන වගකීමක් නොවෙයි. එය අප සියල්ලන්ගේ කටයුත්තක්. අප සමාජයට දෙන දේ අපේ වගේ ම තව කෙනෙකුගේ ද ජීවිත පාඩමක්. ඒ නිසා, ඒ දෙන දේ මත මානව දයා ගුණ සුවඳ තවරන්න. ඒ තමයි ලෝකයට දෙන්න පුළුවන් හොඳ ම තෑග්ග…!

සටහන – උදුලා පද්මාවතී.