සෑයක් සෑයක් පාසා, බෝධියක් බෝධියක් පාසා පිසගෙන බුදු සිසිලස දිදී හමා යන සුළඟ මනරම් ථූපාරාම දාගැබ පිරිවරමින් සිටින ධජපතාක සොලවමින් ඇදී ගියා. දාගැබ වටකරගෙන තිබූ දෙමහල්, තුන්මහල් සුන්දර ප්‍රාසාද සියල්ලම සංඝ ඍෂීන් වහන්සේලාගේ කසාවතින් බැබළී ගිය අනේක ආරාමයන් වූ නිසාමයි මේ ස්ථූපරාජයා ‘ථූපාරාමය’ නමින් ප්‍රසිද්ධ වුණේ.

එහි වූ අසිග්ගාහක පිරිවනෙන් චන්ද්‍රවංක වීදියට මේ පිණ්ඩපාත වඩින්නේ චූලනාග ස්වාමීන් වහන්සේ. පිඬු සිඟා පමණක් යැපෙන අපේ තෙරුන් වහන්සේ එදත් පිණ්ඩපාතය කරගෙන ආපසු වැඩලා විහාරෙදි දන් වැළඳුවා. වළඳලා විවේකයෙන් වැඩ ඉද්දි චන්ද්‍රවංක වීදියෙ දැක තිබෙන ගැබ්බර බැල්ලිය දරුවන් වදලා ඉවසගන්න බැරි බඩගින්නෙන් වෙව්ල වෙව්ලා ඉස්සරහට ආවා. ‘අනේ මේ බැල්ල හරිම වෙහෙසෙන්… බඩගින්නෙන්නෙ ඉන්නෙ… පාරක් පාරක් ගානේ ඇවිදල මුකුත් ලැබිලා නෑ වගේ. මිනිස්සු ඉතින් දැක්කම ගහලා එලව ගන්නවනේ… හනේ… සසර… පින් නොකළම මෙහෙම තමා… කෙලෙස්වලට වසඟ වෙලා පවු කළාට පස්සේ මේ වගේ තනියම විඳවන්ටනේ තියෙන්නේ!

හැබැයි මේ වගේ දුකට වැටෙන සත්වයෙකුට හිත පහදවාගෙන දානයක් දුන්නොත් නම් ඒකත් පුංචි දෙයක් නෙවේ… ඒත් දැන් මොනවද නුඹට දෙන්නේ… මං දැන් වළඳලා ඉවරයි නොවැ.’ චූලනාග හිමියන්ගේ හදවත කරුණාවෙන් කම්පා වෙලා ගියා.

“දැන් ඉතින් දරුවෝ තියෙන්නෙ වළඳපු දානය විතරයි.” කියලා හිමිහිට එක තැනක වැලි ඉවත් කළා… ඇඟිල්ලක් උගුරට දමා වැමෑරුවා. අපිට පිළිකුල් තමයි; ඒත් කන්ට නැතුවාම ඕන අසූචියක් කන සතුන් අතර උපන් මේ බැල්ලියට ඒක ඒ වෙලාවෙ පුදුම උපකාරයක් වුණා. ඈ හරිම සතුටින් ඒ ආහාරය කාලා බඩ පුරවා ගත්තා. තෙරුන් වහන්සේ තැටියකට දුන් පැන් ටිකත් වේගෙන් වේගෙන් බිව්වා. ඉන්පස්සෙ හරි සතුටින් නගුට වනමින් තෙරුන් දිහා බලාගෙන ආදරේ පෑවා. තෙරුන් වහන්සේගේ සිත සතුටින් පිරිල ගියා. දෝත් එකට එකතු කරල පැතුමක් පැතුවා. ‘කයට අමාරුයි කියල නොසිතා, ශරීරගත ආහාරය දන් දීලා මේ රැස් කළ පින් මහිමෙන් මෙතැන් පටන් සසර වසනතුරු උපනුපන් ජීවිතේ අග්‍රලාභියෙක් වෙම්වා! ලෙඩදුක් නැත්තෙක් වෙම්වා! හැමදෙන විසින් මා ආදරෙන් පුදනු ලබම්වා! අමා මහ නිවන ද ලබම්වා!’ කියලා.

හිත පහදවා ගත්තම පුංචි පිනත් මහා විපාක ලබාදෙන බව නම් පුදුමයි. සිය ගුණයක ආනිශංස ඇති, තිරිසන් සතෙකුට දුන් දානයේ ආනිශංස අසන්න.

චූලනාගයන් වහන්සේ නොදැන හිටියට මේ උන්වහන්සේගේ අන්තිම ජීවිතේ. ඉතින් උන්වහන්සේට එදාම ඒ පින විපාක දෙන්න පටන් ගත්තා. එදා හවස ගම්දනව් පිටින් දහස් ගණන් උපාසක උපාසිකාවෝ “චූලනාග ස්වාමීන් වහන්සේ කෝ?” කියලා සොයාගෙන ඇවිත් ගිතෙල්, මී හකුරු ආදී මිහිරි ගිලන්පස පූජා කළා. තෙරුන් වහන්සේ ඒ සියල්ල දහස් ගණන් සංඝයාට බෙදා දීලා වැළඳුවා. තවත් හවස් වෙද්දී නොයෙක් බෙහෙත් වර්ග අරන් දහස් ගණන් ජනයා ආවා. එදා රාත්‍රියේ දෙවිවරු මිනිස් වෙසින් ගෙවල් ගානෙ ගියා.

“හෙට චූලනාග තෙරණුවන්ට මහා දානයක් දෙනවා. ඔයාලත් එකතු වෙන්න.” කියලා කියාගෙන ගියා.

පහුවදා දෙවියන් මිනිසුන් එකතුවෙලා ප්‍රණීත දිව්‍ය ඕජස් සහිත ආහාරපාන, ඵලවැල, අවුල්පත් චූලනාග ස්වාමීන් වහන්සේට පූජා කළා. ඒ දානය තුන්දහසක සඟ පිරිසට වැඩිත් වුණා.

ඊළඟ දවසේ තෙරුන් වහන්සේ පිණ්ඩපාතයට පිටත් වෙද්දිම විහාර වාසල් දොරටුවේ ඉන්න දේවතාවා මිනිස් වෙසින් ඇවිත් උන්වහන්සේගේ පාත්‍රය ඉල්ල ගත්තා.

බලද්දි දොරටුවෙන් පිටත විශාල දාන කඳවුරක් දිව්‍යමය ආහාරපාන, කැඳ, අවුල්පත් සහිත දිව්‍ය භෝජන එදා ලැබුණේ චූලනාග තෙරුන්ගේ පිනටමයි. එදායින් පස්සේ ඒ චන්ද්‍රවංක වීදියෙ මිනිස්සු වාර බෙදාගෙන අර කඳවුරේ ම තුන්දහසක් සංඝයාට දිනපතා මහා දාන දුන්නා. පුංචි පිනේ විපාකවල මහත්වය බලන්න. තමන් හුදෙකලාවේ කළ පිනෙන් කීදෙනෙක් සැප ලබනවා ද බලන්න. ඔය වගේමයි තමන් හුදෙකලාවේ කරන පවින් බොහෝ අය දුක් විඳින්නෙත්.

මේ විදිහට සිව්පස ලාභයෙන්, යසසින් අග්‍රව අවුරුදු තිස් දෙකක් ගෙවුණා. ලාභයෙන් යසසින් අග්‍ර ව තෙරණුවෝ දෙව්මිනිසුන්ගේ නිබද උපස්ථාන මැද ධර්මය මනාව ප්‍රගුණ කරලා උතුම් අරහත්වය සාක්ෂාත් කළා. එහෙත් මෙපමණකිනුත් ඒ පින අවසන් වුණේ නෑ.

ආරණ්‍යවාසී පන්සියයක් භික්ෂූන් වහන්සේලා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි වජ්‍රාසන භූමිය වඳින්ට යන්ට කතා වුණා. “ආයුෂ්මතුනි, බෝධි මණ්ඩලයට යන ගමන නම් ගොඩක් දුෂ්කරයි. ආහාරපාන බොහොම හිඟයි. සතුරන්ගෙන්, සිංහ ව්‍යාඝ්‍ර ආදී සතුන්ගෙන් වන අනතුරු බහුලයි. අපි මොකද කරන්නේ?”

“ඇයි ඇවැත්නි, අපි චූලනාග ස්වාමීන් වහන්සේ වඩමවාගෙන යමුකෝ. උන්වහන්සේ වැඩියොත් නම් කිසිම කරදර බාධාවක් නැතිව සුවසේ යාගන්ට පුළුවන්. උන්වහන්සේ මහ පින්වන්තයි නොවැ.”

පන්සියනමගේ ආරාධනාවට ශාස්තෘන් වහන්සේගේ ජයභූමිය වඳින්ට යන්න චූලනාග මහරහතන් වහන්සේ බොහෝම සතුටින් එකතු වුණා. ථූපාරාමයේ ඉඳලා මාවටු කියන පටුන අවට ගම දක්වාම චූලනාග මහරහතන් වහන්සේ නිසා සංඝයාට දෙවියන්ගේ, මිනිසුන්ගේ අපමණ සත්කාර සම්මාන ලැබුණා. කිසිදු කරදරයක්, උවදුරක්, පීඩාවක් වුණේ නෑ. මාවටු තොටින් නැව් නැග්ගාට පස්සේ දඹදිව දක්වා ගිය තුන් මාසයක මුහුදු ගමන පුරාවට සාගරවාසි දෙවියන්, නා රජවරුන් දන් පැන් වලින් උපස්ථාන කළා. ආරක්ෂාව සැලසුවා. ගොඩබැස්ස තැන ඉඳලා බෝධි මණ්ඩලය දක්වාත් දඹදිව දෙවිවරු, මිනිස්සු අග්‍ර සිව්පසයෙන් උපස්ථාන කළා. රජුගෙන් උපස්ථාන ලබනවා වගේ කිසි අඩුවක් නැතුව ඒ ගමනට ගතවූ මාස හතර පුරාම උපස්ථාන ලැබුවා. සියලු සඟ පිරිසට සුවසේම සිතූ සිතූ විදිහට පුද පූජා පවත්වමින් මහා බෝධීන් වහන්සේ වැඳ ගන්නට අවස්ථාව ලැබුණා.

ඉන්පස්සෙ සඟ පිරිස ආපහු ලංකාවට එන්න පිටත්වෙලා ටික දවසක් යද්දි චූලනාග රහතන් වහන්සේට බඩේ අමාරුවක් හැදුනා. තමන් වහන්සේගේ ආයුෂ අවසන් බව දුටු චූලනාග මුනිවරයන් වහන්සේ කල්පනා කළා… ‘මං පිරිනිවන් පෑවොත් ආපහු ලංකාවට වඩින ගමන සිව්පසයෙන් පීඩාවක් නැතුව, රැකවල් ඇතුව යන්ට බැරි වේවි කියලා මේ ස්වාමීන් වහන්සේලා කල්පනා කරාවි.’ කියලා සංඝයාට කතා කළා. “ප්‍රිය ආයුෂ්මතුනි, මේ රෝගය නම් යළි සුවපත් කරන්නට ලැබෙන්නේ නැහැ. ඒත් ඔබවන්සේලා බයවෙන්න එපා. ඔබ වහන්සේලාට අනතුරක් වෙන්නෙ නැහැ. මා පිරිනිවන් පෑවට පස්සේ ආදාහනයෙන් ඉතිරිවන ධාතුන් වහන්සේලා පෙරහන්කඩක බැඳලා ඒ ධාතු පෙරහන්කඩ කුඩයක බැඳලා එය පෙරටු කොටගෙන පිඬුසිඟා වඩින්න. ලංකාවට වඩින්න. එතකොට ඔබවහන්සේලාට ආරක්ෂාවත්, සිව්පස පහසුවත් නොඅඩුව ලැබේවි.”

මුදු මොළොක් සිත් ඇති, කරුණා බලයෙන් රැස් කළ පිනෙහි ආනුභාව ඇති චූලනාග රහතන් වහන්සේ එදා සංඝයාට අවවාද කරලා පිරිනිවන් පෑවා. සංඝයා අවට ගම්වාසීන් එකතු කරගෙන චිතකයක් කරවලා ආදාහන පූජෝත්සවය සිදු කළා. ඉතිරි වූ අරහන්තක ධාතූන් වහන්සේලා අවවාද කළ විදිහටම වඩමවාගෙන පෙර සේ ම දෙව්මිනිස් උපස්ථාන විඳිමින් ඉතා සුවසේ ලංකාවට වැඩම කළා.

‘අහෝ! තිරිසන්ගත සතෙකුට ශරීරගත ආහාරය දන් දීමේ පුණ්‍යානුභාවය ආශ්චර්යයි! එහෙනම් සිල්වත් උපාසක උපාසිකාවන්ට දෙන දානය කොයිතරම් අසිරිමත් විපාක දේවි ද? ගණනකට ගත නොහැකි අපමණ ආනිශංස ඇති මග ඵලලාභී සඟරුවන අරමුණු කොට දෙන දානය කොයිතරම් ම අසිරිමත් වේවි ද! දානමය පින මෙහෙම නම් මේ බුදු සසුනේ සීල, සමාධි, ප්‍රඥා වැඩීම කොයිතරම් මහත්ඵල මහානිශංස වේවි ද?’ කියලා හිත හිතා ඒ පන්සියනමක් වූ සඟ පිරිස අප්‍රමාදීව ධර්මයේ හැසිරුණා. ටික කලකින් ම සියලු උතුමන් වහන්සේලා අමා නිවන් දුටු රහතන් වහන්සේලා බවට පත් වුණා.

අහෝ දානය යනු අසිරිමත් දෙයක්මයි. දනට පිනට ලැබෙන කිසිම අවස්ථාවක් මග හරින්ට නම් හොඳ නෑ. පරක්කු වෙන්න හොඳ නෑ. කල් දාන්න හොඳ නෑ.

මා’වමඤ්ඤේථ පුඤ්ඤස්ස
න මං තං ආගමිස්සති
උදබින්දුනිපාතේන
උදකුම්භෝ’පි පූරති
පූරති ධීරෝ පුඤ්ඤස්ස
ථෝකථෝකම්පි ආචිනං

“ඕක ඉතින් පොඩි පිනක් නෙ” කියලා තමන්ට විපාක දෙන්ට තමා කරා එන්නෙ නෑ කියලා ගණන් නොගෙන ඉන්ට එපා. වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කළයක් පිරෙන්නෙ. බුද්ධිමත් පුද්ගලයාත් ටික ටික වුණත් පින් කරන කොට, ඒ පින් එකතුවෙලා අන්තිමේදී ජීවිතය පිනෙන්ම පිරිලා යනවා.

(ඇසුර – සද්ධර්මාලංකාරය, ධම්මපදය ගාථාව)

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි