highlights of the week
Home » NEW ARTICLES » නෙළුම් කැකුළක් හිරු සමඟ පිළිසඳරක

නෙළුම් කැකුළක් හිරු සමඟ පිළිසඳරක

හිරු: ඒයි මෝඩි, මොකද තවත් එළියට නො එන්නේ..?

කැකුළ: මට බෑ.. බෑ.. බෑ.. මට මේ වතුර ඇතුළෙ ඉන්න එක හරි සනීපයි. මං වටේ ම සීතල වතුර. මම උඩට ආවොත් මට මේ සිසිලස නැති වෙනවනේ… මං වටේ ඉන්න යාළුවන්ගෙන් වෙන් වෙලා උඩට ආවොත් මට කවුරුවත් නැති වෙනවනේ…

හිරු: ඒයි මෝඩි, ඔය වතුර ඇතුළෙ ම කුණු වෙලා යන්න ද කැමති? එළියට ඇවිල්ලා ලස්සනට පෙති විහිදලා සුවඳ හමද්දි කොතරම් අගෙයි ද? ඔබ ඔය වතුර සුන්දරයි කියලා හිතන්නේ ඕකෙන් එළියට නුඹ කවදාවත් ම ඇවිල්ලා නැති නිසයි. ඔය මඩ වගුරෙන් එළියට ආ දවසට නුඹ නැවත කිසි දවසක ඔය කුණු ගඳ ගහන අප්‍රසන්න මඩ වළේ ගිලෙනවා තබා ගෑවෙන්නවත් අකමැති වේවි.

කැකුළ: අනේ මට බෑ… මම කොහොමද ඔයා ව විශ්වාස කරන්නේ..?

හිරු: ඉස්සර එක කාලෙක හිටියා ගෞතම කියලා සියල්ල අවබෝධ කරපු උත්තමයෙක්. ඒ උත්තමයා හේතු සහිත ව ම, අනුකම්පාවෙන් ම සියලු මිනිසුන්ට කිව්වා “මේ ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනක් සියලු දෙනාට උරුම වෙලා තියෙනවා. ඒක මහා භයානක එකක්. ඒකට වැටිලා තියෙන්නේ මේ ඇහැට පේන රූපෙට, කනට ඇහෙන සද්දෙට, නාසෙට දැනෙන ගඳ සුවඳට, දිවට දැනෙන රසයට, කයට දැනෙන පහසට ග්‍රහණය වීමෙන්, නොයෙකුත් මතවාදවලට ග්‍රහණය වීමෙන්, නොයෙකුත් සීල ව්‍රතවලට ග්‍රහණය වීමෙන්, තමන්ගේ ප්‍රතිරූපය ම ඉස්මතු වීමෙන්… මේ දේවලට හසු වුණහම ඒවා අත් හැරලා උඩට මතුවෙන්න හිතෙන්නේ නෑ…” කියලා.

හරියට නුඹට ඔය කුණු මඩ වළ අත් හැරලා උඩට එන්න හිතෙන්නේ නෑ වගේ.

උන්වහන්සේ වදාළා, “නමුත් ඒ දේවල තියෙන්නේ චූටි සැපයක්. ඒවායින් නිදහස් වුණා ම ලැබෙන සැපය ගැන දන්නේ නැති නිසා ඒ චූටි සැපය තේරෙන්නේ මහා දෙයක් වගෙයි. ඒ නිසා මගේ වචනය විශ්වාස කරලා ඒ චූටි සැපය අත්හරින්න. උතුම් නිවන් මඟට ම ආශා කරන්න. දුක සේ වුණත් අර (මහා සැපයක් ලෙස පෙනෙන) චූටි සැපයට තියෙන ආශාව අත්හරින්න.” කියලා.

ඒ කාලේ හිටියා මහා පින්වන්ත උත්තමයින්. ඒ අය ගෞතම මුනිඳුන්ගේ ඒ වචන ඇසූ සැණින් විශ්වාස කළා. දුක සේ නමුත් පංචකාමයට ඇති ආශාව අත්හැරියා. නොයෙකුත් දෘෂ්ටි මතවාද අත්හැරියා. සීලව්‍රත අත්හැරියා. ‘මම’ කියන ප්‍රතිරූපය ම ඉස්මතු කරමින් සිටි සියලු ගති දුරු කළා. උතුම් නිවන් මඟෙහි වැඩම කළා. මහා සැපයට පත් වී ලෝකයට ඒ තුළින් මහා යහපතක් උදා කළා. පිරිනිවන් පෑවා.

ඒත් දැන් ඉන්න මිනිස්සු ඒ ගෞතම මුනිඳුන්ගේ ධර්මය අහනවා. විශ්වාස කරන්නේ නෑ. ගෞරවයෙන් පිළිගන්නේ නෑ. තමන් වටේ තියෙන දේවලට ම ආශා කරනවා. එක හිතකින් විශ්වාසයකින් ඒ දේවල් පිළිගන්නේ නෑ. ඒ හීන වූ චූටි සැපය ම මහා සැපයක් කියලා මවාගෙන ඒකට ම තව තවත් ආශා කරනවා.

හරියට නුඹ ඔය කුණු වළට ආශා කරනවා වගේ ඒ මෝඩ මිනිස්සු නොයෙක් තර්ක කර කර ඒ නිවන් මඟට ම ගරහනවා. නිවන් මඟේ හික්මෙන අයටත් බාධා කරනවා. උන්ට කවදාවත් නිවන් සැප ලබන්න පුළුවන් වෙයි ද?

බෑ… බෑ… බෑ ම යි…

හරියට නුඹට ඔය මඩ වළෙන් උඩට ඇවිත් විකසිත වී සුවඳ හමන විට ලැබෙන සුන්දරත්වය කිසිමදාක අත්විඳින්න ලැබෙන්නේ නෑ වගේ ම යි…

දැන්වත් එන්න එළියට… මාව විශ්වාස කරන්න…

සටහන – කුමාර, කෑගල්ල

Leave a Reply

Your email address will not be published.

x

Check Also

ආරක්ෂිත ස්ථානය

"මේ ඔක්කොම අයිති වෙන්නේ සතිපට්ඨානයට. ඒ තුළ වාසය කරන කෙනාට දුක්ඛිත තැනක උපදින්න හේතු හැදෙන්නෙ නෑ. ඒක තමා මහා කරුණාවෙන් යුතු ශාස්තෘන් වහන්සේ අපිට ආරක්ෂාව පිණිස දුන් තැන, සතිපට්ඨානය."