highlights of the week
Home » NEW ARTICLES » ඔබ සොයන්නේ කුමක් ද?

ඔබ සොයන්නේ කුමක් ද?

හරි වැරැද්ද ද?

සාධාරණය අසාධාරණය ද?

කුසලය අකුසලය ද?

ලෝකයේ යම්තාක් සත්වාවාස තිබෙනවා නම් එයින් එක ම එක සත්වාවාසයක පමණක් උපතක් නො ලබා, අන් සියලු සුගති දුගතීන්ගේ ඉපදෙමින් මැරෙමින් අතිශය දීර්ඝ ගමනකයි අපි ආවේ. අනාගාමී උතුමන් උපත ලබන ශුද්ධාවාස බඹලොව උපත පමණයි අප නො ලද්දේ. අවුරුදු හැට හැත්තෑවක ජීවිත කාලය තුළ දීර්ඝ ආයුෂයක් හිමි වුණා කියලා අද අපි හිතනවා තමයි; හැබැයි සසරේ ගෙවාගෙන ආ කල්ප කාලාන්තර ගණනත් එක්ක බලද්දි මේ ගෙවෙන්නේ නොගිනිය හැකි තරම් කුඩා කාලයක්. හැමදාම මිනිස් ලෝකයේ හිටියා වගේ අපට හිතෙනවා තමයි; ඒත් කෝටි ප්‍රකෝටි ගණන් වූ ජීවිත අප සසර පුරා ලැබුවා…

“අනමතග්ගෝ’යං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති.”

“පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාරය වනාහී අවසන් නොවන ගමනක්. ආරම්භක කෙළවරක් දැක්ක නො හැකි යි.”

(අනමතග්ග සංයුත්තය – සං.නි. 2)

ඒ තමයි අපේ සසර කථාව. අපට අමතක වුණ, මතක් කරන්නට තරම් දියුණු ප්‍රඥාවක් ද නැති අපේ කඳුළු කථාව. ඒ සා දීර්ඝ සසරේ සිහි කළ නො හැකි තරම් වූ දුරකට ඔබ ව ගෙන නොගොසින්, ඇසළ පොහොයෙන් ඇරඹී නිකිණි පොහොය තෙක් ගෙවී ගිය චන්ද්‍ර මාසයට ඔබ ව ගෙනයන්න යි මේ සූදානම.

මොනව ද අපි මේ හොයන්නේ?

ඇසළ සඳ බැබළුණ ඒ උතුම් පුන් පොහෝ දිනයේ ඔබත් උපෝසථ සීලය සමාදන් වන්නට ඇති. එදා දවසේත්, ඉන් පසු ව අද දක්වාත් ඔබට අසන්නට, දකින්නට, විඳින්නට, සිතන්නට ලැබුණු දේවල් කෝටි ප්‍රකෝටි ගණන අතරේ ‘හරි දේ’, ‘වැරදි දේ’, ‘සාධාරණ දේ’, ‘අසාධාරණ දේ’ කියා ඔබ විසින් තීරණය කළ මොන තරම් දේවල් තිබුණ ද?

රට කරවන උදවියගේ කථා ඔබට අසන්නට, දකින්නට ලැබුණා…

ජනාධිපතිතුමා/ අගමැතිතුමා/ අසවල් ඇමතිතුමා/ අසවල් මන්ත්‍රිතුමා….. කළ දේ/ කී දේ…. ඔබ අතරින් පිරිසකට ‘හරි’, තව පිරිසකට ‘වැරදි’… පිරිසකට ‘සාධාරණයි’, පිරිසකට ‘අසාධාරණයි’…

රටේ ජනප්‍රිය පිරිස් ගැන තොරතුරුත් ඔබට ලැබුණා…

ගායකයා/ ගායිකාව/ නළුවා/ නිළිය/ නිවේදකයා/ නිවේදිකාව… කළ දේ/ කී දේ…. ඔබ අතරින් පිරිසකට ‘හරි’, තව පිරිසකට ‘වැරදි’… පිරිසකට ‘සාධාරණයි’, පිරිසකට ‘අසාධාරණයි’…

ක්‍රිකට් තරගයක් එහෙම නැරඹුවා නම්…

ක්‍රීඩකයා ගහපු ෂොට් එක ‘හරි’/ ‘වැරදි’… විනිසුරුගේ තීරණ ‘සාධාරණයි’/ ‘අසාධාරණයි’… යොමු කළ පන්දුව ‘හරි’/ ‘වැරදි’….

වැඩපළේ, කම්හලේ, පන්සලේ, පාසලේ… මතගැටුමක්, ආරවුලක් හට ගත්තා නම්…

බැණපු කෙනා ‘හරි’/ බැණපු කෙනා ‘වැරදි’… ඒ වගේ ම ‘සාධාරණයි’ හෝ ‘අසාධාරණයි’…

ගහපු කෙනා ‘හරි’/ ගහපු කෙනා ‘වැරදි’… ඒ වගේ ම ‘සාධාරණයි’ හෝ ‘අසාධාරණයි’…

ඒ මතය ‘හරි’… මේ මතය ‘වැරදි’… නැති නම් මේ මතය ‘හරි’… ඒ මතය ‘වැරදි’… ඒ වගේ ම ‘සාධාරණයි’ හෝ ‘අසාධාරණයි’…

ඔබ ම ගැටලුවකට මුහුණ දුන්නා නම්…. මං ‘හරි’… අනිත් අය ‘වැරදි’… මං ‘සාධාරණයි’… අනිත් අය ‘අසාධාරණයි’… මට තේරෙනවා… අනිත් අයට තේරෙන්නේ නෑ…

එක ම එක පුන්සඳක් උදා වී බැස ගොසින් අනිත් පුන්සඳ උදා වන තෙක් වූ කෙටි කලට කොතරම් නම් දේ මේ ආකාරයෙන් අප අතින් වර්ගීකරණය වෙන්න ඇති ද…?

සිතේ තීරණය හරියට ම හරි ද?

අතිශය කුරිරු මනුෂ්‍ය ඝාතන ගැන අසන්නට ලැබෙන්නට ඇති… ආයුධයෙන් ඇණලා මරලා… ආයුධයෙන් පහර දීලා මරලා… ගිනි තියලා මරලා… එල්ලලා මරලා… නොයෙක් ආකාරයෙන් සිදු වූ ඝාතන…

දැන් ඔබට ‘මරපු එක වැරදියි’ කියලා කියවෙනවා. ඒ අතරේ යම් මරණයක් සිදු වුණේ ඒ මරණයට පත් වුණ කෙනා කළ බරපතළ වරදකින් පසුව නම්, මරණයට පත් වුණේ පාපී අපරාධකරුවෙක් නම්… ‘මරපු එක හරි’ කියලා සිතුවිල්ලක් පහළ වෙන්න වුණත් බැරිකමක් නෑ…

ඔය මොන දේ වුණත් ඔබ ‘හරි’, ‘සාධාරණයි’ කියලා සිතූ පාර්ශවය කෙරෙහි ඔබට ප්‍රිය බවක් වගේ ම ‘වැරදියි’, ‘අසාධාරණයි’ කියලා සිතූ පාර්ශවය කෙරෙහි අප්‍රිය අමනාප බවක් උපදිනවා. රටේ ජනාධිපතිවරයාගේ පටන් කුරිරු මිනීමරුවා දක්වා ම ඔය කාරණය සිද්ධ වෙනවා. වෙනෙකක් තබා සංඝයා වහන්සේලා කෙරෙහි පවා අප තුළ ඔවැනි හැසිරීම් ඇති වන ආකාරය අප අත්දැක තිබෙනවා…

කෙනෙක් තව කෙනෙකුට බැණ්නා නම් අපට ඒ දෙදෙනාගෙන් කවුරුන් හෝ හරි. අනෙකා වැරදියි. කවුරුන් හෝ සාධාරණයි. අනෙකා අසාධාරණයි.

කෙනෙකු තව කෙනෙකුට රැව්වත්… ගැහුවත්… හිංසා පීඩා කළත්… අපහාස උපහාස කළත්… කුඩුකේඩුකම් කළත්… ඇති වරද කිව්වත්… නැති වරදක් කිව්වත්… අවවාද කළත්… ඔය මොන දේ සිද්ධ වුණත් අප විසින් හරි කියා, සාධාරණයි කියා ගනු ලබන පාර්ශවයක් වගේ ම වැරදි කියා, අසාධාරණයි කියා බැහැර කරනු ලබන පාර්ශවයක් ද සිටිනවා. හරි වැරැද්දත්, සාධාරණය අසාධාරණයත් අප මනින්නේ අප විසින් හදාගත් සහ සමාජය විසින් පුරුදු කර ගත් සිතුවිලි රාමු තුළ පිහිටලයි. ඒ නිසා, ඇත්තටම කිව්වොත් හරි වැරැද්ද හෝ සාධාරණය අසාධාරණය හෝ අප විසින් නිර්වචනය කරන්නේ ඡන්ද, ද්වේෂ, භය, මෝහ යන අගති සතරෙන් එකක හෝ කිහිපයක හෝ පිහිටලයි. ඒ නිසා ම යි අප විසින් දෙනු ලබන තීරණය නිවැරදි ම තීරණය නො වන්නේ. ඒ නිසා තමයි අප විසින් දෙනු ලබන තීරණය නව ආරක සාංසාරික අර්බුද ඇති කරවන්නේ. ඒ නිසා ම තමයි අප විසින් දෙනු ලබන තීරණ නිසා අප තුළත්, අනුන් තුළත් අකුසලය වැඩෙන්නේ, කුසල් දහම් පිරිහෙන්නේ…

සතර අගතියේ බැස ගැනීම

සිතන්න… ඛේදනීය අයුරින් යම් අයෙකු ව ඝාතනය කරනු ලබනවා. එවැනි සිදුවීම් අපට දිනපතා ම වාර්තා වනවා. පුවත්පත්, රූපවාහිනි, ගුවන්විදුලි, අන්තර්ජාල සියලු මාධ්‍යයන්ගේ ප්‍රමුඛ පෙළේ පුවත බවට පත් වන්නේත් එය ම යි. එය අසන දකින අප සියල්ලෝ ම කම්පා වනවා, සංවේගයට පත් වනවා, දුකට පත් වනවා. ඒ සමඟින් ම මේ සිදුවීම අරබයා අපේ තීරණ සියල්ල ප්‍රකාශයට පත් කරනවා.

“එල්ලලා මරන්න ඕනි…”

“ගල් ගහලා මරන්න ඕනි…”

“රජ කාලේ දඬුවම් දෙන්න ඕනි…”

“පොලිසිය එක්ක ආයුධ පෙන්වන්න යවන්න ඕනි…”

“ඔවුන්ට නම් මොනවා කළත් මදි…”

මේ ආකාරයෙන් නොයෙක් තීන්දු තීරණ සමාජගත කෙරෙන්නේ අගතියට පත් පාර්ශවයට සාධාරණය ඉටු කිරීමේ අරමුණින්. ඒ වගේ ම කුරිරු මිනීමැරුමක් කළ පවිටු පුද්ගලයාගේ වැරදි සහගත, අසාධාරණ ක්‍රියාවට එරෙහි වීමේ අරමුණින්. ඔබ එසේ නො කියනවා නම්, ඔබ එවැනි මතයක් නො දරනවා නම් සමාජය තුළ ඔබත් ‘වැරදි’ පුද්ගලයෙක්. එහෙම නේ ද? ‘එහෙම නැතිව මිනීමරුවට බණ කියන්නයැ.’ කියලත් කෙනෙකුට හිතෙන්න බැරිකමක් නෑ. ඒ ගැන කථා කරන්න අපි ඉදිරියට ඉඩ තබා ගනිමු. මොකද, අපි සරණ ගියේ ඇඟිලි මාලයක් හදන්න මිනිසුන් දහසකටත් වඩා ඝාතනය කළ මිනිසෙකු (එදා වාගේ ම අදත් කියන පරිදි අතිශය බිහිසුණු මිනීමරුවෙකු) වෙත පවා ධර්මය දායාද කරන්නට මහා කරුණාවෙන් ම වැඩම කළ ශාස්තෘන් වහන්සේනමක්…!

සමාජයීය නීති පද්ධතීන් තුළ ලැබෙන විනිශ්චයවල දී ඒ කුරිරු ඝාතකයන්ට පැනවෙන්නේ ද මරණ දඬුවම කියා සිතමු. දැන් අපට සිතෙන්නේ ද සාධාරණ දෙය, හරි දෙය සිදු වූවා කියලයි.

දැන් ඉතින් හරි ද??? අපේ තීරණ අගතියෙන් තොර වුණා ද???

මේ ලිපිය වෙනුවෙන් සම්බුදුරජුන් ජීවමාන ව වැඩ සිටි යුගයේ කථා ප්‍රවෘත්තීන් කිහිපයක් ආයෙමත් සිහිපත් කිරීම සුදුසුයි කියා අප සිතුවා. අප සාමාන්‍යයෙන් තීරණ ගනු ලබන ආකාරයන්ටත්, ඉන් පරිබාහිරවත් ඒ සිදුවීම් දෙස බලන්නයි මේ සූදානම් වන්නේ.

තපසට ගිය බෝසතාණෝ…

ශාක්‍ය ජනපදයේ කිරුළ හිමි කුමාරයා විසි නව අවුරුද්දක් සම්පූර්ණ වද්දී ජීවිත අර්ථය සොයන්නට ගිහිගෙයින් නික්මුණා. සය වසක් මුළුල්ලේ අපමණ කටුක දුක් විඳිමින් විමුක්තිය සොයා ඒ මහා බෝසතාණන් වහන්සේ අත්තකිලමථානුයෝගයේ යෙදෙද්දී සුද්ධෝදන රජතුමා චර පුරුෂයන් යොදවමින් තම පුතු ගැන සොයා බැලීම් සිදු කළා. ඒ චරපුරුෂයන් ගෙන ආ විස්තර අසා දැනගනිමිනුයි යශෝධරා දේවිය හිස මුඩු කළේ, කසාවත් හැන්දේ, මල් සුවඳ විළවුන් බැහැර කළේ, එක වේලක් පමණක් ආහාර ගත්තේ, සුවපහසු සයනාසන අත්හැරියේ…

මහා බෝසතාණන් වහන්සේත් හරි… යශෝධරාවත් හරි… එහෙම නේ ද? දෙවන පාරත් සිතා බලන්න… ‘හරි’ නේ ද?

ඔන්න දැන් ආයෙමත් සිදුවීම දෙස බලමු.

සම්බුදුරජාණන් වහන්සේ උතුම් ඇසළ පුන් පොහෝ දිනයක ඉසිපතන මිගදායේ දී දම් සිහනද නංවා මෙසේ වදාරණවා.

“යෝචා’යං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථසංහිතෝ.”

“යම් ඒ තමා ව පීඩාවට පත් කරවන වැඩපිළිවෙළක් ඇද්ද එය දුක් සහිත දෙයකි. උත්තම මිනිසුන් විසින් සේවනය නො කරන දෙයකි. අනර්ථ සහිත දෙයකි.”

(දම්සක් පැවතුම් සූත්‍රය – සං. නි. 5)

අර්ථය පිණිස නො පවතී නම්, ආර්ය නො වන්නේ නම්… ඉතින් එය හරි ද??

මහා බෝසතාණන් වහන්සේ ඒ වැරදි සහගත ප්‍රතිපදාව අත්හැර දැමුවා. මැදුම් පිළිවෙත තුළ හැසිරෙමින් විමුක්තිය සොයා වැඩම කළා.

චාතුම්මහාරාජිකයෙන් පාඩමක්…!

අබිනික්මන් කොට අනෝමා ගංතෙර දී කසාවත් පෙරවූ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ විසාලාව, පාටලීපුත්‍රය, නාලන්දාව ආදි නුවර පසු කරමින් මගධ රට රජගහ නුවරට පැමිණියා. පාණ්ඩව පර්වතය අසල හිඳ උන්වහන්සේ පිඬු සිඟා ලද ආහාර වළඳද්දී නොදුටු මිතුරෙකු වූ මගධේෂ්වර බිම්බිසාර රජු එහි පැමිණියා. දන් වළඳන තුරු බලා සිටියා. තොරතුරු විමසා සතුටට පත් වුණා. මෙසේ ද ඉල්ලා සිටියා.

“මාගේ රාජ්‍යයේ අඩක් භාර ගෙන පාලනය කරනු මැනැවි…!”

රජෙකුට රටක් අත්හරිනවා යන්න මොනතරම් අමාරු දෙයක් වෙන්න ඕනි ද? පුංචි ම පුංචි දෙයක් අත්හරින්නත් අපට මොන තරම් අමාරු ද? ඒත් බිම්බිසාර රජතුමා ඒ දේ කළා. හැබැයි… ඒ ඉල්ලීම හරියට ම හරි ද? ඒක තීරණය කරන්න අපට පහසු නෑ නේ ද? එහෙත්… බලන්න බෝසතාණන් වහන්සේගේ පිළිතුර.

“මම රාජ්‍යයක් අත්හැර පැමිණියේ තවත් රාජ්‍යයක් බාර ගන්නට නො වෙයි. සත්‍යය ගවේෂණයෙන් විමුක්තිය සාක්ෂාත් කර ගැනීම යි මගේ අරමුණ…”

ඒ නම් පරිපූර්ණ කුසල් අරමුණක් කියා එකඟ වන්නට අපට බැරිකමක් නෑ නේ ද…

දහම් සක ප්‍රවර්තනය කරමින් භාග්‍යවතුන් වහන්සේ බරණැසින් ඇරඹූ සදහම් චාරිකාව උරුවෙල් දනව්ව පසු කොට රජගහනුවර වෙත යොමු කෙරුණා. එහි වූ සාල වනයක වැඩ වෙසෙමින් සම්බුදුරජුන් දෙසූ ධර්ම පර්යායන් අසා බිම්බිසාර රජු සතර අපායේ දොරටු නොඇරෙන්න ම වසා දැමුවා. උණ ගසින් හෙබි තම සොඳුරු උද්‍යානය සම්බුදු සසුනට පූජා කළා.

ඒ බිම්බිසාර රජුන්ට දාව කෝසල දේවියගේ කුසින් උපන් පුතා තමයි අජාසත්ත. දේවදත්තගේ පාපී ඇසුරට වැටුන අජාසත්ත රාජ්‍යයේ හිමිකම වෙනුවෙන් ලොබ බැඳ ගත්තා.

“කුමාරය, ඔබ පියරජු මරා රජු වෙන්න. මම බුදුන් මරා බුදු වෙන්නම්.”

දේවදත්තගේ මේ න්‍යායට අජාසත්ත හසු වුණා. ඔහුගේ පළමු පීතෘඝාතක තැත වූයේ සිරියකින් ඇණ පියා මරා දැමීම. කලවයේ සිරියක් බැඳගෙන සැකයෙන්, තැතිගැන්මෙන් ඔහු මද්දහනේ රජුගේ අන්තඃපුරයට පිවිසියා. ඔහුගේ උද්වේගකර තැතිගැනීම් ස්වභාවය දුටු මහ ඇමතිවරු ඔහු පරික්ෂා කළා. සිදුවන්නට ගිය දේ දැනගත් පසු මහ ඇමතිවරු පිරිස් බෙදී අජාසත්තත්, අජාසත්ත හා දේවදත්තත්, අජාසත්ත, දේවදත්ත හා සියලු භික්ෂුනූත් නසා දැමිය යුතු යැයි විවිධ මත ඉදිරිපත් කළා. බිම්බිසාර රජු හමුවට පමුණුවනු ලැබූ අජාසත්ත රාජ්‍යය තමන්ට වුවමනා වූ නිසා මෙවැන්නක් කරන්නට උත්සාහ කළ බව ඒ මොහොතේ කියා සිටියා. රජු, කිසිදු පැකිලීමකින් තොරව තම රාජ්‍යයේ කිරුළ හිමි ඒ කුමාරයා ව ඔටුනු පැලැන්දෙව්වා. මහ ඇමතිවරුන්ට මොනවා හිතෙන්නට ඇති ද?

පියරජු විසින් කුමන්ත්‍රණ කොට යළි රාජ්‍යය උදුරා ගනීවි කියා පෙරනිමිති කියූ දේවදත්තගේ වචනයෙන් නොමඟ ගිය අජාසත්ත බිම්බිසාර රජු ව සිරගත කළා. නිරාහාර ව සිටින තැනට කටයුතු සැලැස්සුවා. අවසන යටිපතුල් පලා ගිනි අඟුරු ගොඬේ ඇවිද්දෙව්වා. මාරාන්තික වේදනාවන්ට ලක් කළා. මරා දැමුවා.

කොච්චර වැරදි ද?? කොච්චර අසාධාරණ ද?? අද කාලේ වුණා නම් සමාජ මාධ්‍ය ජාලවල, වෙබ් අඩවිවල ඒ පීතෘ ඝාතක පුතාට දිය යුතු දඬුවම් විස්තර විවේචන සහිත ව පළ වේවි. එහෙම නේ ද?

ඒත්… බලන්න… ඒ මහා දුක් විඳපු තාත්තා ද්වේෂ මාත්‍රයක්වත් රහිත ව මිය ගිහින් චාතුම්මහාරාජිකයේ ඉපදුණා. සෙන්පති දෙවි කෙනෙක්. නම ‘ජනවසභ’.

දිව්‍ය කාමයන්ගේ රස මිහිර විඳින්නටවත් නොසිට ඒ සැණෙකින් ම ජනවසභ දිව්‍යරාජයා මිනිස් ලොවට පැමිණියා. සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. උසස් වූ මාර්ග ඵලයකට පත් වීම පිණිස තමන් වීර්යය වඩන බව කියා සිටියා. එයට අවවාද අනුශාසනා ඉල්ලා සිටියා.

“පුතා මෙහෙම කළා… මං රාජ්‍යය දීලත් නෙව මෙහෙම කළේ… ඇයි පුතා එහෙම කළේ? ඔච්චර ඍද්ධිමත් වූ ඔබ වහන්සේවත් මට උදව්වට හිටියේ නෑ නෙව. මං ඔබ වහන්සේට පළමු සේනාසන පූජාව කළ කෙනානෙ..”
එහෙම කථා නෑ…

“ඔය කළ දේට නම් හරියන්නේ නෑ… අපායෙ ම යි යන්නේ. අම්මා තාත්තා නාඳුනන තිරිසන්නු…”

එහෙම කථාත් නෑ…

ආශ්චර්යවත් නැද්ද? පුදුම සහගත නැද්ද? එතැන හරි වැරැද්ද සෙවිල්ලක් නෑ. සාධාරණය, අසාධාරණය සෙවිල්ලක් නෑ. හැබැයි… කුසලය අකුසලය සොයනවා… කුසලය වැඩි දියුණ කරන, අකුසලය මැඩලන – දුරු කරන මාර්ගය සොයනවා. හරි වැරැද්ද හෙව්වා නම්… සාධාරණය අසාධාරණය හෙව්වා නම්… දියුණුව නෙමෙයි ලැබෙන්නේ, පිරිහීමක්. හෙව්වේ කුසලය නිසා විමුක්තියට ම ළං වුණා.

ගුරුන්ටත් අකුරු වරදී…

ගුරුවරයාට කීකරු වීම හරි ද? වැරදි ද? කියලා අපි ඇහුවොත්…

උත්තර දෙකක් නෑ වගේ නේ ද? ‘හරි’…

‘හරියට ම හරි’ ද??

අහිංසක නම් වූ බ්‍රාහ්මණ කුමාරයා තක්සිලාවේ ශිල්ප හැදෑරුවේ අපමණ ගුරු ගෞරවයකින් යුතුව. ශිල්පය මැනැවින් ම ඔහු තුළ පිහිටියා. ඔහු තමයි දක්ෂ ම ගෝලයා බවට පත් වුණේ. අනිත් ශිෂ්‍යයෝ එයට සතුටු වුණේ නෑ. බොරු ගොත ගොතා ඇදුරුතුමාට කේළාම් කීවා. ඒ බස් අසා පිළිගත් ගුරුතුමා අහිංසකගේ ජීවිතය විනාශ වෙන උපායක් යෙදුවා. ගුරු පඬුරු ලෙස මිනිස් ඇඟිලි දහසක මාලයක් ඉල්ලුවා. අප්‍රමාණ ගුරු ගෞරවයකින් හෙබි අහිංසක එය කරන්නට පැකිළුණේ නෑ. සම්බුදුරජුන්ගේ මහා කාරුණික නේත්‍ර යුග්මයේ දැක්මට හසු වීමේ වාසනාව නො තිබුණා නම් එදා මව මරා දමා කල්පයක් නිරයේ පැසෙන මහා පාපයක් ඔහු කර ගන්නවා.

ගුරුවරයාට ගරු කිරීම, ගුරුවරයාගේ වචනයට අනුව පිළිපැදීම වැරදි ද? අසාධාරණ ද? නෑ. හැබැයි ඒ වුණ දේ හරි ද? ඒත් නෑ.

එහෙනම් මොකක්ද අපේ නිර්ණායකයන් තුළ වැරදී ගියේ…?

ඔබ හෝ මම හෝ අපි හෝ සමාජය හෝ ‘හරි’ කියන දේයි, ‘සාධාරණයි’ කියන දේයි හැම විට ම කුසලය ම නො වන්න පුළුවනි. හැබැයි… කුසලය හැම විට ම ‘හරි’. කුසලය හැම විට ම ‘සාධාරණයි’. කුසලය හැම විට ම ‘යහපත්’. කුසලය හැම විට ම ‘ආර්ය යි’. කුසලය හැම විට ම ‘අර්ථය පිණිස පවතිනවා’.

සසර ද? එතෙර ද?

හරි වැරැද්ද – සාධාරණය අසාධාරණය හොයන්න ගියොත් අපට වෙන්නේ මෙය යි. යම් යම් අවස්ථා නිසැකයෙන් ම එනවා අප තුළ රාගය උපදින, උපන් රාගය වැඩී යන… යම් යම් අවස්ථා නිසැකයෙන් ම එනවා අප තුළ ද්වේෂය උපදින, උපන් ද්වේෂය වැඩී යන… බොහෝ අවස්ථා නිසැකයෙන් ම එනවා අප තුළ මෝහය උපදින, උපන් මෝහය වැඩී යන… ඒ සැකසෙන්නේ සසර ගමන. කිසි ම සාධාරණයක් අපේක්ෂා කළ නො හැකි සසර ගමන… බ්‍රහ්මරාජයෝ අපායේ හෙළන… සක්විති රජවරුන් ව තිරිසන් සතුන් කරවන… දුක ම සැකසෙන සසර ගමන. දුකට කැමති නම් ඒ සසර ගමනට කැමති වෙන්න. කැමති එයට නම් හරි වැරැද්ද, සාධාරණය අසාධාරණය කරේ තබන්, ඉසේ තබන් ගියත් කමක් නෑ.

ඒත් ඉතින් කවුරු නම් දුකට කැමති වේවි ද නේ ද…? කවුරුවත් ම දුකට කැමති නෑ, හැබැයි ඇසට කැමතියි. දුකට කැමති නෑ, කනට කැමතියි. දුකට කැමති නෑ, නාසයට, දිවට, කයට… ඒ හැම එකටමත් වඩා හිතට… බොහොම කැමතියි… රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණුවලට කැමතියි. දුකට කැමති නෑ. ඒක හරියට මෙහෙම දෙයක්. ‘කාසියට කැමතියි, කාසිය හදලා තියෙන දෙයට කැමති නෑ.’ ඔය ඇස, කන, නාසය, දිව, කය, මනස සැකසුණේ ම තණ්හාවෙන් බැඳිලා. දුකේ හටගැන්ම තමයි ඒ. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අප අදහා ගත යුතුයි. ඒ ඒ දෙයට අප කැමති වුණා නම් කැමති වී තිබෙන්නේ ම දුකට තමයි.

ඒ දුකට සැබැවින් ම අකැමැති නම්… හරිහමන් පදනමක්වත් නැති, පවුලෙන් පවුලට, ගමින් ගමට, නගරයෙන් නගරයට, රටින් රටට, නීතියෙන් නීතියට, සංස්කෘතියෙන් සංස්කෘතියට, හිතෙන් හිතට වෙනස් වන හරි වැරැද්ද, සාධාරණය අසාධාරණය සොයන්න යන්න එපා. ඵලක් වෙන්නේ නෑ නෑ නෑ ම යි.

කුසල් සිතින් නිවන් මඟට…

හොයන්න කුසලය අකුසලය. බෝසතාණන් වහන්සේලාත් එය සෙව්වා. සම්බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ වශයෙන් ම එය දැන අවබෝධ කළා. ලෝකයේ යම්තාක් රහතන් වහන්සේලා බිහි වූවා ද ඒ සියලු රහතන් වහන්සේලා විසින් ද සොයා ගියේ කුසලය වඩන, අකුසලය මඩින මාර්ගය යි. අපට ද වුවමනා එය ම නො වේ ද?

ඒ සොයා යාම… කම්හලේ, වැඩපළේ, පන්සලේ, පාසලේ, මගතොටේ, රටතොටේ සිද්ධ වෙන දේවලට ඔබේ අපේ තීරණ යා කරමින් කළ හැකි සොයා යාමක් නො වෙයි. අප හැමදෙය ම මනින්නේ හිතට අනුව, දන්න තරමට අනුව, හිතන්න පුළුවන් රාමුවට අනුව. හිත කවද ද අපිට යහපතක් කළේ? දකින රූප පස්සේ ඇස දිවෙව්වේ නැද්ද මේ හිත? අහන හඬවල් සොය සොයා යන්න සැලැස්සුවේ නැද්ද මේ හිත? දැනෙන සුවඳ, විඳින රසය, පහස ලුහුබැඳ යන්න නො දී හිටිය ද මේ හිත? හිතේ වහල්ලු වෙලා දිගින් දිගට, දිගින් දිගට කාම විතර්කයන්ගේ, ව්‍යාපාද විතර්කයන්ගේ, විහිංසා විතර්කයන්ගේ ඇලී ගැලී ඉන්න මට්ටමට අපි ව පත් කළේ නැද්ද මේ හිත?

“ඒයි සිත… මං හැම තැනක දී ම කළේ නුඹ කියපු දේ. ඒ නිසා බොහෝ ජාතිවල දී මං නුඹ ව කේන්ති ගැස්සුවේ නෑ. මං තුළින් ම යි නුඹ ඉපදුණේ. නුඹට කෙළෙහිගුණයක් නෑ. ඒ නිසා බොහෝ කලක් මුළුල්ලේ මේ දුක්ඛිත සංසාරෙට මාව කැඳවාගෙන ආවෙ නුඹයි.”

(තාලපුට මහරහතන් වහන්සේ විසින් වදාළ ථේර ගාථා)

එහෙව් හිතකින් හිත හිතා අපි කරන දේ, කියන දේ හරි බවට, සාධාරණ බවට සහතික වීම ම මුළාවක්. සිතක උපදින සියලු ගුණයන් උපදවා ගනිමින් ලෝකය අවබෝධ කළ ශාස්තෘන් වහන්සේ විසින් වදහළ දහම හැර අපට ලෝකය දකින්නට නිවැරදි ක්‍රමවේදයක් නැහැ. ඒ තමයි මිනුම. ඒ තමයි හරය. ඒ තමයි අප විසින් ගළපාගෙන අප තුළින් දැකිය යුතු යථාර්ථය කරා අප ව යොමු කරලන, සසර තරණයට මඟ කියන දහම් නෞකාව.

කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා මහත් වූ දයාවෙන් ලොවට හෙළි කරලන්නේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය යි. අපේ මානයන්ගෙන් ලෝකය මැන බලමින් ප්‍රමාදී ව දුක ම අත්පත් කර ගැනීම වෙනුවට ධර්මය තුළින් අප ව දකිමින් දුකින් නිදහස් වන්නටයි මේ මාවත විවෘත වී තිබෙන්නේ.

“ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සෙය්‍යථීදං; සම්මාදිට්ඨි, සම්මාසංකප්පෝ, සම්මාවාචා, සම්මාකම්මන්තෝ, සම්මාආජීවෝ, සම්මාවායාමෝ, සම්මාසති, සම්මාසමාධි.”

“පින්වත් මහණෙනී, මෙය වනාහී දුක නැති වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යි. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම්, සම්මා දිට්ඨිය ද සම්මා සංකල්පය ද සම්මා වාචා ද සම්මා කම්මන්තය ද සම්මා ආජීවය ද සම්මා වායාමය ද සම්මා සතිය ද සම්මා සමාධිය ද යන මෙය යි.”

(දම්සක් පැවතුම් සූත්‍රය – සං.නි. 5)

පිරිසිදු සීලයත්, ඍජු දෘෂ්ටියත් තමයි මේ නිවන් මඟේ ආරම්භය. එන්න ඒ පාරට. පධන් වෙර වඩමින් කුසල් උපදවා අකුසල් යළි නූපදින අයුරින් ම නිරුද්ධ කරලන්නට හැකි සම්බුද්ධ රාජ්‍යයක පුරවැසියන් අපි. හිතට අනුව නෙවෙයි, ධර්මයට අනුව මේ ගමන යමු. මේ නිවන් මඟේ ආරම්භයට පැමිණි කෙනා අවසානයට පැමිණෙනවා යන කරුණ සිද්ධ වනවා ම යි. එදාට හරි වැරැද්ද, සාධාරණය අසාධාරණය නො වේ පරිපූර්ණ වන්නේ; කුසලය යි…!
අපිත් යමු එතැනට…

“නැග ගත්තොත් දහම් නැවට – ආයෙත් නොවැටෙයි සසරට…!”

සටහන – උදුලා පද්මාවතී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

පිරිහෙන ලොවක නොපිරිහෙන සැබෑ ශ්‍රාවකයෝ

"තාක්ෂණයේ දියුණුවත් සමඟින් මුළු ලෝකය ම එක ම විශ්ව ගම්මානයක් ලෙස කටයුතු කරන යුගයක රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාලය වැනි විවිධ මාධ්‍ය ඔස්සේ දිවා රාත්‍රී ධර්ම ප්‍රචාරය වුව ද ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකාවන් සිටිය ද සැබැවින් ම යථාර්ථය අවබෝධ කර ගැනීමට උත්සාහ දරන්නේ ඉතාමත් අල්ප වූ පිරිසකි. "