ධර්මාශෝක මහාධිරාජයාගේ උප්පත්ති කතාව
(3 වන කොටස)

දිනක් මේ තිදෙන එක්තරා මාර්ගයක යන්නේ දිවා භාගයෙහි තල කිරිබත් අනුභව කොට ගිමන් නිවාගනු පිණිස මහා අතුපතර ඇති රුක් සෙවණැල්ලෙක සැතපුණෝ ය. දරුවන් දෙදෙනාට පෙර අවදි වූ ආචාර්ය තෙමේ පර්වත කුමරු පුබුදුවා චන්ද්‍රගුප්තයන්ගේ ගෙල බැඳි රන්මාලාව නොකපා, ගෙලෙන් නොමුදවා තමා වෙත ගෙන එන ලෙස පැවසුවේ ය. තද නින්දෙහි හුන් චන්ද්‍රගුප්තයන් දුටු පර්වත තෙමේ නැවත පැමිණ එසේ කළ නො හැකි බව ආචාර්යපාදයන් හට පැවසුවේ ය.

නැවත පසු දිනක පර්වත කුමරු නිදන වේලාවක චාණක්‍යයෝ පෙර සේ ම මාලාව රැගෙන එන ලෙස පවසා චන්ද්‍රගුප්තයන් ව යැවූහ. නින්දෙහි පසුවන පර්වතයන් දුටු හෙතෙම ‘මේ මාලාව කැපීමටත් නො හැකි ය. ගෙලෙන් ගලවා ගැනීමටත් නො හැකි ය. එසේ නම් මාලය ආචාර්යපාදයන් වෙත ගෙනයාමට ඇත්තේ එක ම ක්‍රමයකි. එනම් මේ පර්වතයාගේ ගෙල සිඳ මාලය රැගෙන යාමයි.’ යයි සිතා පසුබට නො වී දෙවරක් නො සිතා කුමරුගේ ගෙල සිඳ මාලය ආචාර්යපාදයන් වෙත ගෙන ගියේ ය. ආචාර්යයෝ ද ඔහු කෙරෙහි බෙහෙවින් ප්‍රසන්න වූහ.

අට වසරක් පමණ චන්ද්‍රගුප්තයන් හට ශිල්ප හැදෑරවූ චාණක්‍යයෝ සුදුසු කාලය පැමිණි බව සිතා මහ බල සෙනඟ රැස් කරවා, සඟවා තිබූ කෝටියක් ධනය සමග ඔහුට පවරා දුන්නේ ය. ඔහු ද පිරිස සමග ඇතුල් නුවර ගම්වලට වැදී ගම්පැහැරීම කරන්නට වූයේ ය. ප්‍රත්‍යන්ත ජනපදවාසීහු මේ පිරිස වටකොට සටන අතහැර කැළෑ වදින තුරු මොවුනට පහර දුන්හ. චන්ද්‍රගුප්ත ද තව ම සටනට කල් වැඩි යැයි සිතා එතැන් පටන් ගම් නියම්ගම් සිසාරා රහස් සංචාරයෙහි යෙදෙන්නට වූයේ ය. එසේ සංචාරයෙහි යෙදෙන දිනෙක එක්තරා පිටිසර ගමක, රාත්‍රියෙහි එක් ස්ත්‍රියක් ආප්ප පිසිමින් තම පුතුට කෑමට ලබා දෙන්නී ය. දරු ද ආප්පවල වාටිය ඉතිරි කොට මැද පමණක් කමින් තව තවත් ආප්ප ඉල්ලන්නේ ය.

“අනේ! මේ දරුවාත් කරන්නේ හරියට චන්ද්‍රගුප්තයා රාජ්‍යය අල්ලනවා වැනි දෙයක් නොවැ.”

“අනේ අම්මා, මගෙයි චන්ද්‍රගුප්තයාගෙයි ඇති සම්බන්ධය කුමක් ද?”

“දරුව, ඔබ ආප්පයෙහි වාටි ඉතිරි කොට මැද පමණක් කයි. චන්ද්‍රගුප්තයා ප්‍රත්‍යන්ත ජනපද යටත් නොකොට එකවර ඇතුල් නුවරට කඩා වදියි. එවිට පිටත නගරවල වසන්නෝ චන්ද්‍රගුප්තයා ව හාත්පසින් වට කොට ඔහුට බැට දෙති.”

රහසේ මෙය අසා හුන් චන්ද්‍රගුප්ත තෙමේ තම වරද වටහා ගත්තේ ය. ස්ත්‍රිය කී පිළිවෙළට යුද කොට ප්‍රත්‍යන්ත ජනපදයන්හි පටන් අත්පත් කොටගෙන පාටලීපුත්‍රයට පැමිණ ධනනන්ද රජු මරවා අවසානයෙහි රාජ්‍යය අත්පත් කර ගත්තේ ය. චාණක්‍ය තෙමේ ධනනන්දයන්ගේ මහා නිධානය දැක පුරුදු එක්තරා මසුන් මරන්නෙකු ලවා නිධානය විවෘත කරවා එම ධනය ද චන්ද්‍රගුප්තයන් හට පවරා දුන්නේ ය. මසකට පසු ඒ මසුන් මරන්නා ද මරණයට පත් කරවූයේ ය. නොබෝ කලෙකින් චාණක්‍යයෝ චන්ද්‍රගුප්තයන් ව මගධ රාජ්‍යයෙහි අභිෂේක කරවූවාහු ය. ඒ ලෝකස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමෙන් 162 වන වර්ෂය වූයේ ය.

පණියතප්ප ජටිලයා

මෙසේ මගධ රාජ්‍යයේ නන්දරාජ වංශය අවසන් කොට, භාග්‍යවතුන් වහන්සේගේ පරපුරින් පැවතෙන ශ්‍රේෂ්ඨ මෞර්ය රාජ වංශය පිහිට වූ චන්ද්‍රගුප්ත මහරජ තෙමේ පෙර සිට තමා හඳුනන්නා වූ රාජ්‍ය සංවිධානයෙහි සහජ දක්ෂතා ඇති පණියතප්ප නම් ජටිලයකු මගධයට ගෙන්වා ගත්තේ ය. ගෙන්වා රටෙහි සොරසතුරු බිය දුරු කොට ජනයා සුඛිත මුදිත කිරීමට ඔහුට පැවරුවේ ය. ජටිල තෙමේ ද ඉතා උපායශීලී ව රට සොර සතුරු බියෙන් මුදවා ඉතා සෞභාග්‍යසම්පන්න කාලපරිච්ඡේදයක් මගධයට උදා කළේ ය.

බින්දුසාර රජුගේ උත්පත්ති කථාව

මහරජ තෙමේ පෙර තමාගේ මව් බිසවුන් සමඟ පාටලීපුත්‍රයට පළා ආ මව්ගේ වැඩිමහල් සොහොයුරාගේ දියණිය තම අග බිසවුන් ලෙස පත් කර ගත්තේ ය. පසු කලෙක ඒ අග බිසව් තොමෝ ගර්භිණී වූවා ය. එසමයෙහි රාජගුරු චාණක්‍යයෝ ‘අනාගතයෙහි චන්ද්‍රගුප්ත රජු හට වස විස ලබා දී අනතුරු කළ හැකි වන්නේ යැ’ යි සිතා, එසේ අනතුරක් නොවේවා යන අදහසින් රජුටත් රහසේ රාජ භෝජනයට පරමාණු ප්‍රමාණයෙන් විෂ මිශ්‍ර කොට රජුට ලබා දෙන්නේ ය. එසේ ක්‍රම ක්‍රමයෙන් විෂ ප්‍රමාණය වැඩි කරමින් ලබා දී රජහුගේ සිරුර කවර තරම් වූ විෂකට නමුත් ඔරොත්තු දෙන පරිදි සකස් කළේ ය. වෙනත් කිසිවෙකුටත් රාජ භෝජනය අනුභව කිරීමට අවසර නැත්තේ ය.

දිනක් චාණක්‍යයෝ ප්‍රමාදයකින් තව සතියකින් ප්‍රසූතියට සූදානම් ව සිටින අගබිසව හා රජු පිළිසඳරෙහි යෙදී සිටින ස්ථානයට වස මුසු රාජ භෝජනය යැව්වේ ය. කිසිත් නොදන්නා අගබිසව් තොමෝ භෝජනයෙන් පිඬක් අනුභව කරන්නට පටන් ගත්තී ය. වහා සිහිය උපදවාගත් රාජගුරු තෙමේ ගොස් බලන කල්හි පළමු ආහාර පිඬ අනුභව කරමින් සිටින බිසව් දැක එය වැමෑරවී ය. එයින් ද නොසෑහුණු හෙතෙම කිරුළෙහි අනාගත උරුමකරුට අනතුරක් වේ යැයි සිතා කඩුව ගෙන බිසවුන්ගේ කුස පළා වැදෑමස සහිත ව දරුවා එළියට ගත්තේ ය. ප්‍රසූතියට දින සතක් තිබූ බැවින්, එළු දෙනුන් සත් දෙනෙකුගේ කුස තුළ බිළිඳා වාසය කරවා ගර්භාවාස කාලය (මව් කුසෙහි වාසය කළ යුතු කාලය) සම්පූර්ණ කරවූයේ ය. මෙසේ උපන් බිළිඳාගේ සිරුරෙහි එළු දෙනුන්ගේ රුධිරය නිසා ඇති වූ ලප පිහිටා තිබූ බැවින් එකුමරු බින්දුසාර යැයි නම් කරන ලද්දේ ය.

බින්දුසාරයන්ගේ රාජ්‍ය පදප්‍රාප්තිය

සූවිසි වසරක් රාජ්‍යභාරය ඉසිලූ චන්ද්‍රගුප්ත මහා නරපති තෙමේ කර්මානුරූපව අභාවයට පත් වූයේ ය. මියගිය සැණින් දේවගබ්භ නම් බලසම්පන්න යක්ෂයෙකු රාජ දේහයට ආරූඪ වූයේ, ජීවමාන රජු මෙන් හැසිරෙන්නේ ය. නමුත් රජුගේ ගතිවලට හාත්පසින් වෙනස් වූ බොහෝ ලෙස අනුභව කිරීම් ආදි අයෝග්‍ය ගතිවලින් යුක්ත වූයේ ය. බින්දුසාර කුමරු, පුරෝහිත ආදි නුවණැත්තෝ රජුගේ මේ නොමනා ගති විමසා බලා මේ රජු නොව යකෙකැයි වටහා ගත්තෝ ය.

ආයුධ සහිත ව කිසිවකු හටත් රජුට සමීප විය නො හැක්කේ ය. එබැවින් බින්දුසාර කුමරු යක් රජු මැරීම සඳහා උපායක් සොයනුයේ, කම්මල්කරුවන් දෙදෙනෙකු කැඳවා ‘තෙපි හෙට උදෑසන රජ මිදුලට පැමිණ ආයුධයක් අරභයා මේ මගේ ආයුධය! මේ මගේ ආයුධය! යැයි මහ හඬින් කෑ ගසමින් කෝලාහල කර ගත යුතු යැ’ යි නියම කළේ ය. පසුදා උදෑසන රජ මිදුල දෙසින් මහා ගෝරනාඩුවක් ඇසෙන්නේ ය.

“පුත බින්දුසාරයෙනි, හිමිදිරි උදෑසන මේ කවර නම් කෝලාහලයක් ද?”

“මහරජ, කම්මල්කරුවෝ දෙදෙනෙක් එක්තරා අවියක් අරභයා කළහ කර ගනිති.”

“එසේ නම් දරුව, ඔවුන් නිහඬ කළ යුතුයි නොවැ.”

බින්දුසාරයෝ ද එහි ගිය සැටියක් හඟවා නැවත පැමිණියේ ය.

“මහරජ, මම එහි ගියෙමි. එහෙත් ඔවුන් සමඟි කරවීම නම් කළ නො හැකි දෙයකි.”

“ඒ කාගේ කතාවක් ද? දරුව, කම්මල්කරුවන් දෙදෙනෙක්වත් සමඟි කරවීමට ඔබට බැරි හැඩයි. නැවත ගොස් බලව.”

නැවතත් මඳ දුරක් ගොස් හෙතෙම නැවත හැරී ආවේ ය.

“මහරජ, මුඹ වහන්සේ නොමැති ව ඔවුන් දෙදෙනා සමඟි නොවෙති. එබැවින් එහි යහපත් වුව මැනව.”

“දරුව, එසේ නම් ඔවුන් මෙහි කැඳවාගෙන එන්න.”

“අවි දරන්නවුන් හට රාජ ගෘහය තුළට ප්‍රවේශ වීම සඳහා අවසර නැත මහ රජතුමනි.”

“කම් නැත දරුව, ඔවුන් පිළිබඳ ඔබට සැකයක් ඇති නො වේ නම්, මෙහි කැඳවාගෙන එව.”

බින්දුසාරයෝ තමාගේ අණින් කළහ කර ගත් ඒ කම්මල්කරුවන් දෙදෙනා රාජගෘහය තුළට කැඳවාගෙන, තෙමේ රජු ළඟින් ම සිටියේ ය.

“එම්බා, තෙපි කවර හෙයින් මේ උදෑසන රජ මිදුලෙහි කළහ කර ගනිව් ද?”

“පිය රජුනි, මොවුන් දෙදෙනා කළහ කර ගන්නේ මාගේ අවියක් අරභයා ය. එය මුඹ වහන්සේ විසින් මා හට පිරිනමන ලද්දකි.”

“එසේ නම් රැගෙන එව. එය මවිසින් දුන් එකක් නම්, මා හට හඳුනාගත හැකියි නොවැ.”

කම්මල්කරුවෝ දෙදෙන ආයුධය රැගෙනවිත් බින්දුසාරයන්ගේ අතට දුන්හ. හෙතෙම ක්ෂණයකින් ආයුධය රැගෙන රජු දෙසට හැරී දේවගබ්භ යකු අරක්ගෙන සිටි රාජදේහය දෙපළු කළේ ය. සිය පිය රජුගේ දේහය ආදාහනය කළ කුමර තෙමේ මගධ රාජ්‍යයෙහි රජු ලෙස අභිෂේක ලද්දේ ය. බින්දුසාර රජු රාජ්‍යපදප්‍රාප්ත වූයේ, දසබල පරිනිර්වාණයෙන් 186 වන වසරේ දී ය. තමන් හට සමාන මෞර්ය වංශයෙහි උපන් ධර්මා දේවිය අගබිසෝ තනතුරෙහි පිහිටවූ හෙතෙම 28 වසරක් මගධයෙහි දැහැමෙන් සෙමෙන් රාජ්‍යය විචාළේ ය.

තවත් කොටසක් මීළඟ කලාපයෙන්….

රවීන් කෝදාගොඩ