හැම අම්ම ම තාත්ත ම හොඳ ම දේ දෙන්නේ දරුවන්ට යි…!

කන බොන දේත් ‘හොඳ ම දේ’ දරුවන්ට… තමන් නීරස දෙයක් කාලා දරුවන්ට ප්‍රණීත දෙයක් දෙනවා. තමන් වස විස ඇතැයි සිතෙන දෙයක් කෑවට දරුවන්ට සොය සොයා දෙන්නේ වස විස නැති දේ. තමන් පිළුණු වුණු දෙයක්, දන්කුඩ වගේ ඉවතලන දෙයක් කෑවා වුණත් දරුවන්ට දෙන්නේ හොඳ ම කොටසින්, පිළුණු නොවුණු දෙයක්…
අඳින්න පලඳින්න දෙද්දිත් එහෙම ම යි. තමන් මොන විදිහට ඇන්දා පැලැන්දා වුණත් දරුවන්ට දෙන්න උත්සාහ කරන්නේ හොඳ ම වර්ගයේ හොඳ ම මෝස්තරයේ හොඳ ම ආකාරයේ ඇඳුම් පැලඳුම්…

ඒ තමයි අම්මලා තාත්තලාගේ හැටි… ‘හැටි’ කියලා වචනයට කිව්වට මේ ස්වභාවය ලෝකයේ සුවිශේෂී ස්වභාවයක්. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සපිරුණු බ්‍රහ්මරාජයෙකුගේ වැනි සුන්දර හදවතක් තියෙන අම්මා තාත්තාට හැර ලෝකයේ අන් අයට තවත් කෙනෙකු වෙනුවෙන් මෙවැනි කැප කිරීමක් කරන්න අපහසුයි. අපහසුවෙන් හරි කළා වුණත් අඛණ්ඩ ව එය පවත්වා ගන්නට බොහෝ ම අමාරුයි. හැබැයි, අම්මා තාත්තා ජීවිත කාලය පුරා ම මේ පුදුමාකාර දරු සෙනෙහස හද දරාගෙන දරුවන් වෙනුවෙන් ම අපමණ කැපකිරීම් සිදු කරනවා…!

මිනිස් ලෝකයේ තමයි මේ ස්වභාවය ජීවිත කාලයක් පුරා රඳා පවතින්නේ. අපේ ඇසට පෙනෙන ම ලෝකය වන තිරිසනුන් අතරේ වුණත් ළා බාල වියේ දරුවන් සෙනෙහසින් රැක බලාගෙන පෝෂණය කරන බව දකින්නට ලැබුණට තනියෙන් ජීවිතය පවත්වා ගත හැකි අයුරින් ලොකු මහත් වුණු දරුවන් කෙරෙහි නිරන්තර අවධානයක් පවත්වා ගනිමින් ආරක්ෂා කරන ස්වභාවයක් දකින්නට නැහැ. ඔවුන් වෙන වෙන ම බෙදී විසිරී යනවා. නමුත්, මිනිස් ලෝකයේ දී කවරෙකුගේ හෝ මරණය නිසා තමයි මේ සොයා බැලීම නතර වන්නේ. එය වන්නේත් ඉන්පසු සොයා බලන්නට හැකියාවක් නැති නිසාවෙනුයි. මරණින් මතුත් දරුවන් ගැන සොයන්නට, බලන්නට අවස්ථාවක් ලැබෙනවා කිව්වොත් අම්මලා, තාත්තලා එයට අකමැති වන්නේ නැහැ. එතරම් සෙනෙහසක් ඒ සිත් සතන් තුළ දරුවන් කෙරෙහි පවතිනවා. ඒ සෙනෙහසේ ස්වභාවය සුද්ධෝදන මහරජතුමා සම්බුදුරජාණන් වහන්සේ හමුවේ මේ ආකාරයෙන් වචන කළා.

“ස්වාමීනී, පුත්‍ර ප්‍රේමය වනාහි සිරුරෙහි සිවිය සිඳින්නේ ය. සිවිය සිඳ සම ද සිඳින්නේ ය. සම සිඳ මස ද සිඳින්නේ ය. මස සිඳ නහර ද සිඳින්නේ ය. නහර සිඳ ඇට ද සිඳින්නේ ය. ඇට ද සිඳ ඇටමිදුලුවල හැපී පැතිර පවතින්නේ ය.”

ඒ තරම් සුවිශේෂී වූ සෙනෙහසක් තමයි දරු සෙනෙහස…

හැම දරුවෙක් කෙරෙහි ම අම්මලාගේ, තාත්තලාගේ සිත්වල තිබෙන්නේ අපේක්ෂාවන් සමුදායක්. ඒ දරුවන් මෙලොව එළිය දුටුවට පස්සේ රටක් රාජ්‍යයක් අත්පත් කර ගත්තා හා සමාන ජයග්‍රාහී හැඟීමක් ඇතිවයි දරුවා ව නිවසට ගෙන එන්නේ. දෑස විවර කොට බැලුවා වුණත් ඒ කිරිකැටි දරුවන්ගේ නෙතු බැල්මට පැහැදිලි රූ කිසිවක් හසු වන්නේ නැහැ. හඬට සංවේදී වෙමින් පරිසරයට ප්‍රතිචාර දැක්වීමයි ඔවුන් කරන්නේ. බාහිර රූ සටහනක්වත් නොදකින කිරිකැටියන්ගේ දෙනෙතට එබී බලමින් අම්මලා, තාත්තලා දකිනවා දැවැන්ත ප්‍රතිරූපයන්… ඒ දෙනෙත්වල ඔවුන් සොයනවා ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, ප්‍රකට – ජනප්‍රිය පුද්ගලයන්… හැඬීමත්, සිනාසීමත්, නිදා ගැනීමත්, වාග් මාලාවක් නැති ශබ්ද පිට කිරීමත් හැර අන් දෙයක් නො දන්නා ඒ දරුවාගේ අනාගතය ඒ කාලයේ දී ම අම්මලා, තාත්තලා සැලසුම් කරනවා. ඒ සැලසුම් අනුව ම නම් සියල්ල සිදු වන්නේ සෑම අතින් ම දෙමව්පියන්ට වඩා ඉදිරියට ගිය, අභිවෘද්ධියක් ලද දරු පරපුරක් තමයි බිහි විය යුත්තේ. එහෙත්… සෑම අවස්ථාවක දී ම ඒ සැලසුම් සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වන්නේ නැහැ.
ළෙහි හොවාගෙන සෙනෙහසින් හැදූ වැඩූ දරුවන් සමාජයට මුදා හරින්නට සුදුසු කාලය ක්‍රමයෙන් ළං වනවා. ඒ දවසට පසුව දරුවා ක්‍රමයෙන් දෙමව්පිය ඇසුරෙන් බාහිර ඇසුර වෙත සමීප වනවා. ඇතැම් විට දරුවා ලබන බාහිර ඇසුර මාපියන් සේ ම දරුවාට යහපත, හිතසුව පිණිස පවතින ඇසුරක් වන්නටත් පුළුවනි. ඇතැම් විට ඒ ඇසුර නිසා දරුවා නොමඟ යන්නටත් පුළුවනි. දරුවාගේ යහපත, හිතසුව අතිශයින් කැමති වූ පමණින් දරුවන් සමාජයේ යහපත් දේ දිනා ගත්තවුන් කරන්නට හැකි වන්නේ නැහැ. ඒ ඵලයත් සකස් වන්නේ හේතුවකට අනුරූපව යි. දරුවන්ට සියලු යහපත උදා වීම නම් සුන්දර ප්‍රතිඵලය කරා යන්නට වුවමනා හේතුප්‍රත්‍යයන් සකස් කිරීම ගැනයි අද අප සාකච්ඡා කරන්නේ.
ආදරේ නිසා දරුවන්ට දෙන දේවල් තමන්ගේ දැනුම් තේරුමේ මට්ටම අනුව ඉස්තරම් ම දේවල් බව අප පෙර සඳහන් කළා. හැබැයි ඒ මොන මොන දේ දුන්නත් දරුවන් සෑම අයුරින් ම යහපත් කරලන්නට අප සමත් වෙලා නැහැ. එහෙනම් අපට යම් යම් වැරදීම් සිදු වෙලා තියෙනවා දරුවා වෙනුවෙන් තෝරාගැනීම් සිදු කර ගනිද්දී. ඇත්තට ම, අද ලෝකයේ හැටියට හිතලා මතලා දරුවන්ට හොඳ ම පරිගණකයක්, හොඳ ම ලැප්ටොප් යන්ත්‍රයක්, හොඳ ම ටැබ් එකක්, හොඳ ම ස්මාර්ට් ෆෝන් එකක් අරන් දුන්නා කියලා දරුවන්ට අපි යහපත් ම දේ දුන්නා වෙන්නේ නැහැ. ඒ දේවල් තුළින් සිදු වුණේ නොසිතූ විරූ ආකාරයෙන් ගුණධර්මයන්ගේ පරිහානියක් නම්… දෙමව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන් ගරු බුහුමනට ලක් නොකරන දරු පරපුරක බිහි වීමක් නම්… නොයෙක් ආකාරයේ කායික මානසික පීඩාවන්ගෙන් පරිපීඩිත ව ජීවත් වන පිරිසකගේ වටපිටාවක් නම්… අප දරුවන්ට උරුම කළ යහපත කුමක් ද? අපට යම් තැනක දී සහමුලින් ම වැරදුන බව අප පිළිගත යුතු ම යි. වැරදුනු තැනින් ම යි අප මෙය නිවැරදි කිරීම ඇරඹිය යුත්තේත්…
පින්වන්ත දරු පරපුරක් රටට තිළිණ කරන පුරෝගාමීන් බවට පත් වන්නට අප තුළ ඉලක්කයක් තිබිය යුතුයි. ලොවට සියලු යහපත දන් දුන්, සිතක උපදිනා සියලු ගුණයන් දරා වැඩ සිටි සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය තමයි මේ ඉලක්කය සාක්ෂාත් කර ගන්නට අපට උපකාරී වන්නේ.

මහාමේඝ පුවත් සඟරාවේ කලාප කිහිපයක් පුරා ලිපි කිහිපයකින් ම අප පින්වන්ත දරුවන් මනුලොවට කැඳවා එන ආකාරය ගැන කථා කොට තිබෙනවා. කෙටියෙන් ඒ ගැන සිහිපත් කිරීමක් මේ ලිපිය තුළ අප මෙසේ දක්වනවා.

සම්බුදුරජාණන් වහන්සේ පනවන ලද සීලයේ පිහිටා සිල්වත් ව ජීවිතය ගත කරමින් දෙමව්පියන් සත් දිනක් පුරා බ්‍රහ්මචාරී ව උපෝසථ සිල් ආරක්ෂා කර ගනු ලබනවා. දන් පැන් පුදමින්, වත්පිළිවෙත්හි යෙදෙමින්, බුද්ධ වන්දනා බණ භාවනා ආදියෙන් පින් දහම් රැස් කර ගනිමින් කටයුතු කොට අවසානයේ මහා සෑ රජාණන් වහන්සේ වෙත එළඹ බුද්ධ වන්දනාව සිදු කොට, පිරිත් සජ්ඣායනය කොට, මෙත් සිත පතුරුවා, දෙවිවරුනට ඒ රැස් කළ සියලු පින් දහම් අනුමෝදන් කරනු ලබනවා. අවසන, ආයුෂ ගෙවී ගොස් මිනිස් ලොවට පැමිණෙන යම් දෙවි කෙනෙකු සිටී නම් තම මව්කුසයේ පිළිසිඳගන්නා ලෙස දේවතාරාධනය කරනු ලබනවා. මේ ආකාරයට සිල්වත් ව, ගුණවත් ව කටයුතු කිරීමෙන් පින්වන්ත දරුවන් මනුලොවට කැඳවා ගන්නට හැකි බව ආර්ය චාරිත්‍රයක් ලෙසින් අතීතයේත් බොදු සමාජයේ භාවිත කෙරුණා. අදත් එය ඒ ආකාරයෙන් ම සිදු කිරීමට අප වාසනාවන්තයි…

ඉන් අනතුරු ව කටයුතු සිදු කළ යුතු ආකාරයත් පෙළ දහම අනුව ම අපට දැක ගත හැකියි. බෝධිරාජ කුමාර සූත්‍රයේ දී පෙනී යන්නේ මව්කුස පිළිසිඳ ගත් දරු සම්පත මව්කුස තුළ දී ම තිසරණයට පූජා කරන්නට මව්පියන්ට හැකි බව යි. ඒ වගේ ම ඒ දරුවා මෙලොව එළිය දුටුවාට පසු ළාබාල වයසේ දී ම තෙරුවනට දරුවා පූජා කිරීම සිදු කෙරුණ බව එහි දැක්වෙනවා. එපමණක් නොවෙයි; උස් මහත් වුණ ඒ දරුවා තමන් විසින්මත් තෙරුවන් සරණයේ පිහිටනවා.

ඇතැම් විට අප මව්කුස පිළිසිඳ ගත් පසු හෝ මෙලොව එළිය දුටුවාට පසු අපේ ජීවිත තිසරණයට භාර කරන්නට තරම් දහම් දැනුමක් අපේ අම්මලා තාත්තලාට නොතිබුණා වන්නට පුළුවනි. මේ ධර්මය මෙතරම් පැහැදිලි ව ඉස්මතු වුණේ දශක දෙකකට ආසන්න කාලයක් තුළ. ඊට පෙර උපන් අපට මේ වාසනාව බොහෝ විට අහිමි වූවා විය යුතුයි. නමුත්, අද උපදින දරුවන්ට මව්කුස තුළ දී ම ඒ වාසනාව හිමි කර දෙන්නට අපට හැකියි. ඒ නිසා, දරු සම්පතක් කුස පිළිසිඳ ගත් විටත්, දරුවා මෙලොව එළිය දුටු පසුත් ඒ දුර්ලභ ව ලද මිනිස් ජීවිතය ලොව අසහාය ත්‍රිවිධ රත්නයට භාර කරන්නට වගකීමක් මව්පියන් දරා ගත යුතුයි.

ඕනෑම දරුවෙකුගේ පළමු තක්සලාව බවට පත් වන්නේ තම නිවස ම යි. ඔවුන් ටිකෙන් ටික වැඩී යද්දී ඇවිදින අයුර, කථාබහ කරන අයුර, හැසිරෙන අයුර නිවසේ වටපිටාව අනුව වෙනස්කම්වලින් යුතු වනවා. සත්තිකුම්භ ජාතකයේ එන ගිරා පෝතකයන් දෙදෙනාගේ කතා වස්තුව ඔබට මතකයි නේ ද? යහපත් වචන කථා කෙරෙන, යහපතෙහි හැසිරෙන වටපිටාවක් තුළ යහපතෙහි හැසිරෙන ජීවන ස්වභාවයක් මුල් බැස ගන්නවා. දරුවාට නිවසෙන් ඉගැන්විය යුතු පළමු පාඩම තමයි ඒ…

දරුවා නිසි ලෙස වැඩෙනවා ද? බර අවශ්‍ය පරිදි වර්ධනය වෙනවා ද? ඇස් කන් ආදි ඉඳුරන් මනා ව තිබෙනවා ද? නිරෝගී ව සිටිනවා ද? ආරක්ෂාකාරී ද? යනාදී වශයෙන් දවසේ සිය දහස් වර විමසිලිමත් වනවා වගේ ම දරුවා අත්විඳින වටපිටාව ඒ දරුවාගේ මනසේ කවරාකාරයේ නිමිති ඇති කරවනවා ද යන්න ගැනත් දෙමව්පියන් සොයා බැලිය යුතුයි. ඇතැම් විට පුරුද්දක් ලෙස නිවසේ බුද්ධ වන්දනාව සිදු කරන, පන්සල ද නිතර දෙවේලේ ඇසුරු කරන පවුල් පරිසරයන් තුළ පවා රාත්‍රිය අත්නොහැර රූපවාහිනි මෙගා නාටක ආදිය නරඹන අවස්ථා තිබෙනවා. මාපියනට නොසලකන, යොවුන් වියේ කාමුක සරාගී බව ආදරය කියා මවා පාන, හිතුමතයේ කටයුතු කරන, නැටුම් ගැයුම් වාදන සැණකෙළි ආදියෙන් සතුටුවන, දුරාචාරයේ හැසිරෙන දූ දරුවන්ගේ පුවත් ඒ නාට්‍ය ඔස්සේ දකින විට තමන්ට තිබෙන සිය දහස් ගණනක ප්‍රශ්න අමතක කොට එකී රඟදක්වන්නවුන්ගේ ප්‍රශ්න වෙත කම්මුලේ තබා ගත් අත ඇතිව සානුකම්පිත වන අම්මලා තාත්තලාට අමතක වන දෙය තමයි තමන් සේ ම තම දරුවන් ද ඒ දෙස ඇස ගසාගෙන සිටින බව. අවසානයේ, පවත්වාගෙන ආ යහ සිරිත් වෙනුවට නාටකයේ විප්‍රකාර දරුවන්ගේ ලෝකයේ වීරයන් නිර්මාණය කරවනවා. ඒ දරුවාට දෙමව්පියන්ට නොසැලකීම, අනුරාගය, දුරාචාරය සාමාන්‍යකරණය වනවා. එවිට මුළුමහත් සමාජය ම ඒ දරුවනට fදාස් කියන දුක්ඛිත තත්ත්වයක් උදා වනවා. නමුත් සැබැවින් ම පළමුවෙන් දොස් පැවරිය යුත්තේ දරුවන්ට නෙවෙයි නේ ද…

සසර පුරාවට අපට තිබුණේ අප්‍රමාණ ව යහපත වෙත නැඹුරු වුණු සිත් නෙමෙයි. සසර පුරුද්දට අදටත් හරසුන් දෙය, අසාරවත් දෙය විසින් මේ මනස අධි වේගයෙන් ඇද බැඳ ගන්නවා. මේ මනසත් පුරාණ කර්මයක් කියලයි සම්බුදුරජාණන් වහන්සේ වදාළේ. පරණ රටාවට බොහොම පහසුවෙන් ඇදී යන සිත දමනය කරන්න හැකි ආකාරයක් ලෝකයේ මුණගැසෙන්නේ සම්බුද්ධ රාජ්‍යයක දී පමණයි. කල්ප සියයකට ම ලැබුණේ එවැනි අවස්ථා හතක් පමණයි. ඉතින්, හය හතර නොදැන උපන් දරුවන් සසර පුරුද්දට ඇද දමන්නේ නැතිව බුද්ධ ශාසනයේ ලාභය ඔවුන් වෙත සමීප කරවීමේ වගකීම මව්පියන් හැර අන් කවුරු ද භාර ගත යුත්තේ…

මිනිස් ලොව දී වයස අවුරුදු හතක් සම්පූර්ණ වන තුරු ධර්මය පරිපූර්ණ ව අවබෝධ නොවන බව මිළිඳුරාජ ප්‍රශ්නය ග්‍රන්ථයේ දැක්වෙනවා. නොමේරූ චිත්ත ස්වභාවය යි එයට හේතු වන්නේ. එවන් නොමේරූ, ළාමක චිත්ත ස්වභාවයන් උපායෙන්, කරුණාවෙන්, යහපත හිතසුව කැමැත්තෙන් දහම වෙත නමා හසුරුවා ගන්නට අඛණ්ඩ ප්‍රයත්නය යෙදවිය යුත්තේ නිවසේ දී, දෙමව්පියන් විසින්. නැවතත් අප සිහිපත් කරනවා, එය ‘අඛණ්ඩ ප්‍රයත්නයක්’ විය යුතුයි. එසේ නැතිව වෙසක් පොහොයට, පොසොන් පොහොයට, ඇසළ පොහොයට පමණක් සිල් සමාදන් වෙලා, ටියුෂන් පන්ති නැති නම් පමණක් දහම් පාසලට ගිහින්, පාසල – අමතර පන්ති – කාටූන් – ටෙලිනාට්‍ය – පාසලෙන් හා පන්තියෙන් පැවරුනු ගෙදර වැඩ සියල්ල අවසානයේ ඉඩක් ලැබුණොත් පමණක් බුද්ධ වන්දනාවක් කරලා මේ කටයුත්ත සිදු කරන්නට පුළුවන්කමක් නැහැ. අද තියෙන තරගකාරී අධ්‍යාපන, සමාජයීය වටපිටාවන් එක්ක දරුවන්ට කොහොම හරි විභාගවලින් උසස් සාමාර්ථ ලබා ගැනීම හැර දෙමව්පියන් විසින් ලබා දී තිබෙන ජීවිත ඉලක්කය මොකක් ද?

උසස් සමාජ තත්ත්වයක්, උසස් රැකියාවක්, උසස් ආර්ථිකයක් අපේක්ෂාවෙන් දරුවන් ව උසස් ම අයුරින් විභාග සමත් වීම කෙරෙහි යොමු කිරීම සෑම පවුල් ඒකකයක් තුළ ම දැකගන්න ලැබෙනවා. අප කියන්නේ එසේ කිරීම වැරදියි කියා නොවෙයි; එසේ කිරීම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කෙරෙන පරිපූර්ණ ආයෝජනයක් නොවන බවයි.
එකී තරගකාරී අත්පත් කර ගැනීම් වෙනුවෙන් දරුවන් උත්සාහවත් කරද්දී අපට නො දැනී ම අප විසින් ඔවුන් ඊර්ෂ්‍යාවෙන් පෙළෙන, කුහක, අනුන්ගේ ගුණ නො දකින, ගුණමකු, එකට එක කරන ස්වභාවයෙන් යුතු පිරිසක් බවට පත් කිරීම යි කර තිබෙන්නේ. හැමවිට ම ඔවුනට ලබා දී තිබෙන්නේ අනෙකා අභිබවන අගයකින් යුතු ඉලක්කමක් වෙත වූ ඉලක්කයක්. අනෙකා අභිබවන ගුණයකින් යුතු වටිනාකමක් වෙත ඒ සිත් නැඹුරු කරන්නට අප තවම පෙළඹී නැහැ. එසේ අප නො කළ නිසා තමයි දොස්තර දරුවෝ, ඉංජිනේරු දරුවෝ, පෙරකfදා්රු දරුවෝ, තවත් නොයෙක් සමාජ තරාතිරම්වල දරුවෝ වයස්ගත මාපියන් ව මහමඟ දමා යන අවස්ථා අසන්නට ලැබෙන්නේ. මෙතැන තිබෙන්නේ ඔවුන් එවන් උසස් සමාජ මට්ටමට පැමිණීමේ වරදක් නොවෙයි; ඒ කරා පැමිණෙද්දී ඔවුන් ගුණ දහමින් පෝෂණය කරන්නට මාපියන් සමත් නොවීමේ වරදයි…

දෙවන අග්බෝ රජතුමා හෙළදිව කිරීටය හොබවමින් අතිශය බලසම්පන්නව වෙසෙද්දී පවා රාජ සභාවේ කෘත්‍යය පිණිස පිටත් ව යන්නට පළමු සියතින් ම තම මහලු මව නහවා පිරිසිදු කරවා අලුත් වස්ත්‍ර අන්දවා කවා පොවා අවසන වන්දනා කොට ප්‍රදක්ෂිණා කළ බව ඉතිහාසය පෙන්වා දෙනවා. ඒ රාජකීයත්වය තුළ දී පවා යහගුණ නොඅඩුව ම ඉස්මතු කෙරුණා. ඒ පුහුණුව රාජකීයත්වය නිසා ලැබූවක් නොවෙයි. ජීවිතයේ ආරම්භයේ පටන් ගුණයෙන් වැඩී යාම අගය කළ පරිසරයක, ඊට රුකුල් දුන් පරිසරයක ජීවත් වන්න ඒ රජුට වාසනාව ලැබීම තමයි මේ ආකාර ගෞරවනීය ඉතිහාස පාඩමක් සටහන් කරන්නට හේතු වුණේ.

ජීවිතයේ ආරම්භයේ පටන් ම ඔබේ දරුවාට ගුණධර්මයන් දියුණු කිරීම ජීවිත ඉලක්කය කරවන්න. තිසරණය රැක ගත් වාසනාවන්තයන් වන්නට ඔවුන්ට ඉඩහසර විවෘත කරන්න. ඔවුනට උරුම කරන්නට සියලු ලොවට සියලු යහපත උදා කරලූ සද්ධර්ම දායාදය තරම් වටිනා තවත් දෙයක් අපට මුණගැසෙන්නේ නැහැ. ඒ නිසා, ගුණෙන් නැණින් වැඩෙමින් සම්බුදුරජාණන් වහන්සේ වෙත සමීප වීම අපේ දරුවන්ගේ ජීවිත අර්ථය කරලීමයි අප කළ යුත්තේ…

සටහන – උදුලා පද්මාවතී