නමෝ බුද්ධාය!

වාඩි වී යම් රුකක් සෙවණේ – හැම සතුරු මුල් පරදවා
ලැබු නිසා එහි මුනිඳු බුදු බව – වඳිමු අපි ඒ බෝ රජාණන්

බෝධීන් වහන්සේ වන්දනා කිරීම බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීම හා සමාන ය. ඒ නිසා ඒ උතුම් බෝධීන් වහන්සේලා ගැන මේ විස්තර ඉගෙනගෙන හොඳින් වන්දනා කර ගන්න.

විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ – දඹදිව බුද්ධගයාව

මේ මහා පෘථිවියේ නාභිය යම් තැනක වේ ද ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන, යම් ස්ථානයක් කල්පය නැසෙන කල්හි සැමට පසුව නැසේ ද කල්පය හට ගන්නා කල්හි සැමට පළමුව හට ගනී ද කල්පය හට ගන්නා කල්හි යම් ස්ථානයකින් ජලජ පද්මයක් හටගෙන පිළිවෙළින් පහළ වන බුදුවරුන් අනුව පාත්‍රා සිවුරු පිහිටා අනාවැකි පහළ කරද්ද, කිසිදු භූමිකම්පාවකින් නොසෙල්වේ ද අචල ප්‍රතිෂ්ඨා වේ ද යම් ස්ථානයක පටන් භවාග්‍රය දක්වා භේරී කුහරයක් සේ පිහිටා කිසිදු දෙවි කෙනෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ විමන් පහළ නො වී තිබෙද්ද ශක්‍ර බ්‍රහ්ම ආදීන්ට ඒ තැනින් ඉහළින් යා නො හැක්කේ ද නාග සුපර්ණ දිව්‍ය, මනුස්ස, අසුර, බ්‍රහ්ම, චක්‍රවර්තී රජ දරුවන් විසින් යම් ස්ථානයක් පිදුවේ ද ඒ වනාහි මගධ රටැ උරුවේලා නම් දනව්වෙහි නේරංජරා නම් ගංතෙර මහී කාන්තාවගේ ළයමඬල වන් උත්තමස්ථානයේ පිහිටියා වූ ඒ උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය.

සිදුහත් බෝසතුන් උපන් මොහොතේ හටගත් සහජාත වස්තු හතෙන් දැනට නෙතට දැකිය හැකි ඵක ම වස්තුව වන්නේ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ම ය.
ඒ උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා..!

වජිර සංඝාත සරීරෝ – වජිර ඤාණා නමාකරෝ
යෝ බුද්ධෝ බෝධි මූලම්හි – නිසින්නෝ වජිරාසනේ
සසේන මාරං ජෙත්වාන – සත පුඤ්ඤස්ස තේජසා
පඨමේ පුබ්බේනිවාසං – මජ්ඣිමේ දිබ්බචක්ඛුකං
පච්ඡිමේ සබ්බසංඛාරේ – සම්මස්සං ලක්ඛකෝටියං
ඡත්තිංසාය කෝටි – සතසහස්ස මුඛේන පච්චයං
ඕතාර මහා වජිරේන – සුසම්බුද්ධාසවක්ඛයං
බුද්ධභූමි නිට්ඨංගෝ – සෝ මහාවජිරඤාණසා
බෝධනෙය්‍යෝ සුබෝධෙත්වා – බෝධේසිතං නමාමහං

වජිරාසන මත වැඩහිඳ – විදුරු නැණ බලින් සපිරුණු
නුවණ විහිද වූ මුනිඳුන් – සදා වඳිමි මම්
බෝධිමූලයේ සෙවනෙදි – පුදා දිවි උතුම් නිවනට
සේනා ඇති මරු පරදා – පින් බලය මතු කළේ
සොයා ගත් නිවන් මග තුළ – සම්බෝධිරාජ බවට පැමිණ
පුබ්බේනිවාස ඤාණය ලැබ – ප්‍රථම යාමයේ
සුගති දුගතියෙහි ඉපදෙන – ලෝ සතුනගෙ දුක දැනගෙන
දිවැස් නුවණ ලැබූ සේක – මැදුම් යාමයේ
සියලුම සංස්කාර ලොවේ – නුවණින් විමසා බලමින්
ලක්ෂ කෝටි වාර ගණන් – එය මෙනෙහි කළේ
සතිස් කෝටි සිය දහසක් – හේතුඵල දහම් විමසා
මහා විදුරු නැණ බලයෙන් – ඇති තතු වටහා
සම්මා සම්බුදු බව ලැබ – නසා හැම කෙලෙස් පිරිසිඳ
දිනූ සේක මෙහි වැඩ හිඳ – බුද්ධ භූමියේ
මහා විදුරු නුවණින් යුතු – සම්බුද්ධරාජ මුනිඳුන් ලොව
නුවණැති දෙවි මිනිසුන් තුළ – නිවන මතු කළේ
ඒ උතුම් බෝධි නුවණට මම – නැමී වැඳ වැටී සිරසින්
පහන් වූ සිතින් හැමවිට – වන්දනා කරම්

සාදු! සාදු!! සාදු!!!

උතුම් ආනන්ද බෝධීන් වහන්සේ – දඹදිව සැවැත්නුවර

අපගේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් වන්දනාමාන කිරීම පිණිස හාග්‍යවතුන් වහන්සේගේ ම අවවාද අනුශාසනා මත මුගලන් මහරහතන් වහන්සේ විසින් ගයාවේ වජිරාසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ගිලිහුණ ඵලයක් ඉර්ධියෙන් රැගෙන විත් අනාථ පිණ්ඩික සිටුතුමා අතින් රෝපිත, එවේලේ ම පනස් රියන් උසට ශාඛා පහක් සහිතව ඉර්ධියෙන් වැඩුණ, රාජ රාජ මහා අමාත්‍ය, සැදෑජනයා විසින් සුපූජිත, භාග්‍යවතුන් වහන්සේ මුළු රැයක් සමවතින් පරිභෝග කළ, දුටු දුටුවන් ආනන්දයට පත්කරවන, ආනන්ද සමිඳුන් මුල්ව රෝපිත අද දක්වා සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටින ආනන්ද බෝධීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා..!

විජය ශ්‍රී ජය ශ්‍රී දක්ෂිණ මහා බෝධීන් වහන්සේ – අනුරාධපුරය

භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් වෙන්වූ, දඹදිව වජිරාසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වූ, ධර්මාශෝක නරේන්ද්‍රයා විසින් දඹදිව රාජ්‍යයෙන් පුදන ලද, අනේක විධ ප්‍රාතිහාර්ය පානා ලද, නාලොව සතියක් පුද ලද, දෙව්බඹ සුර නර දනන් පිදූ, ආනුභාව සම්පන්න වූ, ඒ උතුම් බෝධීන් වහන්සේ සංඝමිත්‍රා රහත් උත්තමාවිය විසින් වඩම්මවන ලදුව, දේවානම් පියතිස්ස නරේන්ද්‍රයා විසින් ලක්දිව් රාජ්‍යයෙන් පූජා කරන ලද, මිහිඳු මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලාගේ පටන් වන්දනාමාන කරන ලදුව, දහඅටකුලයක් විසින් නිරන්තරයෙන් පූජාවන් කරන ලදුව, රාජ රාජ මහාමාත්‍යයන් විසින් සුපූජිත, මහා සාගරය වස්ත්‍රය කර ගත්, අනුරාධපුර නගරය මුහුණ කර ගත්, මහා ඝන වනාන්තර කේස කලාපය කර ගත්, විහිදෙන වනමල් සුවඳ විළවුන් ලෙස තවරා ගත් මාණික්‍ය ආකර නැමැති මිණි මෙවුල්දම් ඇති, පර්වත නමැති ළමැද ඇති ලංකා අග්‍රමහේෂිකාවගේ මහා විහාරය නමැති ඔටුන්න මැද භාග්‍යවතුන් වහන්සේගේ ඉඳුනිල් නෙත් කැල්ම නැමැති ජලයෙන් අභිෂේක වූ සිළුමිණ වනාහී ඒ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ම ය. අදත් අනුරාධපුර උඩමළුවේ සියැසින් දැකගත හැක්කේ ම ය.
ඒ උතුම් දක්ෂිණ මහා බෝධීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා..!

අෂ්ට ඵල බෝධීන් වහන්සේලා

දේවානම්පිය තිස්ස මහරජතුමා විසින් පුදන ලද ඒ උතුම් දක්ෂිණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ප්‍රධාන ශාඛා පහක් තිබුණි. එයින් නැගෙනහිර ශාඛාවේ වැඩුණු බෝ බීජය ඉදී ගිලිහුණි. මෙය මිහිඳු මහරහතන් වහන්සේ ගෙන, රජු ලවා සුවඳ පස් පිරවූ රන් බඳුනක රෝපණය කරවූහ. එවෙලේ ම එයින් සියලු දෙනා බලා සිටිය දී රියන් 4ක් උසට බෝධීන් වහන්සේලා අටනමක් හට ගති. ඒ බෝධීන් වහන්සේලා ය අෂ්ට ඵල බෝධීන් වහන්සේලා ලෙස හඳුන්වන්නේ… ඒ උතුම් බෝධීන් වහන්සේලා දඹකොළ පටුන, තිවක්ක බමුණු ගම, ථූපාරාමය, ඉසුරුමුනිය, පඨමක චේතිය, මිහින්තලය, කතරගම, සඳුන්ගම යන ස්ථානවල රෝපණය කරන ලදී . මෙයින් දැනට මිහින්තලය හා කතරගම පුරාණ ම ඵලරූහ බෝධීන් වහන්සේලා දැක වැඳපුදා ගත හැකි ය. ඉතිරි බෝධීන් වහන්සේලා අනිත්‍ය වසඟයට පත් වී දැනට ඒ ස්ථාන හා නව බෝධීන් වහන්සේලා දැකිය හැකි යග

ඒ උතුම් අෂ්ට ඵල බෝධීන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා..!

දෙතිස් ඵල බෝධීන් වහන්සේලා

අනුරාධපුර උඩම`ඵවේ වැඩ සිටින ඵ් උතුම් බෝධින් වහන්සේගේ මුලින් ම ප්‍රධාන ශාඛා පහක් තිබුණි. එයින් නැගෙනහිර ශාඛාවේ පිහිටි බීජයෙන් හටගත් බෝධීන් වහන්සේලා අටනම හැර ඉතිරි ශාඛා හතරේ එක් බීජයකින් බෝධි අට බැගින් බීජ හතරෙන් බෝධීන් වහන්සේලා තිස් දෙනමක් හටගති. ඒවා දෙතිස් ඵල බෝධින් වහන්සේලා ය. ඒ උතුම් බෝධින් වහන්සේලා දේවානම් පියතිස්ස රජතුමා විසින් රෝපණය කිරීමට කටයුතු යෙදුණ අතර ස්ථාන 32ක පිහිටියහ.

ඵම ස්ථාන වන්නේ –

මල් වැස්සා වෙහෙර, තන්ත්‍රිමාල වෙහෙර, මුහුදු බඩ මහා ජල්ලික නම් කෙවුල් ගම, කොට්ටියාරම, පොළොන්නරුව, මාතලේ රුසිගම, රුහුණු රට මාගම, විල්වල, මහියංගණය, සේරුවිල සමීපයෙහි නයින්ගේ විල්ගම් වෙහෙර, ඌව බදුල්ලේ මුතියංගණය, බුත්තල හප්පෝරු වෙහෙර, සිතුල්පව් වෙහෙර, වනවාස වෙහෙර, වැලිගම් වෙහෙර, පරගොඩ, මැද්දේගම, ගණේගම, කොත්මලේ පුසුල්පිටිය, මායාරට වතුර, බෙලිගල, බෙල්ලන්විල, වඳුරව, වට්ටාරමේ රජ මහා විහාරය, සුළුගල්ල, රැස්වේරුව, කටියාව, ගිරිබා වෙහෙර, යාපහුවේ ගිරිබා වෙහෙර, සුන්දරගිරි විහාරය, කසාගලු වෙහෙර සහ ඇඹලව රහත්ගල් වෙහෙර යනු ඵම ස්ථාන 32 ය. මේ උතුම් දෙතිස්ඵල බෝධීන් වහන්සේලා වැඩසිටින ස්ථාන වේ. මෙම ස්ථාන පිළිබඳ වැඩිදුර තොරතුරු ගයාන් චානුක විදානපතිරණ මහතාගේ ජය ශ්‍රී මහා බෝධි වර්ණනාව ග්‍රන්ථයේ දැක්වේ. ඒ උතුම් දෙතිස් ඵල බෝධීන් වහන්සේලාට ද අපගේ නමස්කාරය වේවා..!

සූතිස් බෝධීන් වහන්සේලා

පසු කලෙක නොයෙක් අවස්ථාවල දී රජ දරුවන් මෙන් ම භික්‍ෂු සංඝයා ද ජය ශ්‍රිී මහාබෝධින් වහන්සේගේ මූලයෙන් හට ගත් අංකුර ගෙන ලක්දිව නොයෙක් ස්ථානයන්හි රෝපණය කරවා ඇතග මෙසේ බෝධි වෘක්‍ෂ රෝපණය කළ ස්ථාන කිහිපයක් ගැන සුළුබෝධිවංශයේ සඳහන් වේග ඒ උතුම් සූතිස් ඵල බෝධීන් වහන්සේලාට ද අපගේ නමස්කාරය වේවා..!

අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්වයට සෙවණ සැලසූ ඒ ජයසිරි මහා බෝධීන් වහන්සේගේ පරම්පරා බෝධීන් වහන්සේලා ඔබත් සාදර ගෞරවයෙන් වන්දනා කරගෙන අපමණ පින් රැස්කර ගන්න.

සටහන – විමුක්ති විජේවික්‍රම