තර අපායෙන් දෙවෙනි අපාය භූමිය වන්නේ තිරච්ඡාන යෝනියයි. එනම් තිරිසන් අපායයි. නරකයෙහි ඉපිද පැසෙන්නට සුදුසු වන බලවත් පාප කර්ම නැතිවුවහොත් තිරිසන් යෝනියෙහි ඉපිද විඳින්නට අවශ්‍ය පාප කර්ම විඳවන්නට සිදුවෙයි. මෝහයෙන් යුතු සිතින් අන්ධබාල ව, දුෂ්ට වූ, චංචල වූ සිතින් පව් පින්, කළ යුතු – නොකළ යුතු කටයුතු නොදැන, කළ අකුසල කර්මයන් නිසා මෙම යෝනියෙහි උපදියි. පර්වතවල, ගිරිගුහාවල ද පෘථිවිය අභ්‍යන්තරව ද වතුරෙහි, කුඹුරුවල ද ගම්මාන තුළ ද නිවෙස්වල ද පර්වත මුදුන්වල ද කුණු කසළ මතුයෙහි ද මළ මුත්‍රවල ද කුණු වූ මස්වල ආදි නොයෙකුත් ස්ථානවල ඇසට නොපෙනෙන කෘමීන්ගේ පටන් ඉතා විශාල පන්සියයක් යොදුන් පුරා සිටින තිමිර පිංගල මත්සයන් දක්වා, පා නැති, දෙපා, සිවුපා, සහ බොහෝ පාද ඇති සහ ඇස් පෙනෙන, නොපෙනෙන, කන් ඇසෙන නො ඇසෙන, ගඳ සුවඳ නො දැනෙන, විරූප වූ සහ බියට පත්, අප්‍රමාණ තිරිසන් සත්වයින් මෙම යෝනියෙහි ඉපිද දුක් විඳිති.

තිරිසන් යෝනිය ම තිරිසන් අපාය යනුවෙන් හැඳින්වේ. එම තිරිසන් සතුන් උපදිනා වෙනම ස්ථානයක් නැත. මේ මිනිස් ලොවෙහි ම මේ මහ පොළොවෙහිමත් ගොඩබිම, දිය යන දෙකෙහිත් අහසේත් පස් යටත් රුක් සිදුරු තුළත් නොයෙකුත් නිකායවලට, කොටස්වලට අයිති තිරිසන්ගත සත්වයෝ වාසය කරති. ඒ තිරිසන් සතුන් අතර ද ක්‍ෂීරපායි හෙවත් කිරි බී වැඩෙන සත්වයෝ යයි ප්‍රධාන කොටසක් සිටිති. ඇතුන්, අසුන්, ගවයන්, එළුවන්, බල්ලන්, බළලුන් ආදි සිවුපා සත්තු ද වවුලන් වැනි පියාඹන සත්තු ද ක්‍ෂීරපායි ගණයට අයත් වේ. ප්‍රධාන වශයෙන් ම මව් කුසින් හෙවත් ජලාබුජව උපදින සත්වයෝ ක්‍ෂීරපායි ගණයට වැටෙති. බිජුවටින් හටගන්නා කුකුළන්, තාරාවුන්, මොනරුන් වැනි පක්‍ෂී ජාතීහු තවත් ගණයකට වැටෙති. බිජුවලින් හටගත්තත් පියාපත් නැති පාද හතරක් ඇති එහෙත් බඩගානා කබර, ඉබි, තලගොයි, සූනු, හිකනල් ආදි සත්වයෝ තවත් කොටසකට වැටෙති. පාද නැති උරග ගණයට අයිති නයි, පොළොං ආදි දීර්ඝ සතුන් වෙනත් කොටසකට අයත් වේ. දීර්ඝ ජාතීන්ට අයත් වන සියගණන් පාද ඇති පත්තෑ, ගරුඬ, හැකරල් ආදි සත්වයෝ වෙනත් ගණයකට වැටෙති. සමනල සත්තු වෙනත් ගණයකට අයත් කොටසකි. මේ අතර ක්‍ෂුද්‍ර ජීවී ගණයට අයත් වේයන්, දිමි, කඩි, කුහුඹු ආදීහු තවත් කොටසකි. මැසි, මදුරු, බඹර, දෙබර ආදීහු වෙනත් කොටසකි. ඇසට නො පෙනෙන තරම් සියුම් වූ කෝඳුරු ගණයට අයත් ඉගිලෙන ක්‍ෂුද්‍ර ප්‍රාණීහු ද – උකුණු, මකුණු, හිණිකුණු ආදීහු ද වෙන් වෙන් කොටස්වලට අයත් වෙති. මේ අතර මිනිස් ශරීරයෙහිත් වෙනත් අසූචි ආදී අපිරිසිදු දේවලත්, මහ පොළොව උඩ හා යටත් උපදින ඉතා කුඩා හිසකෙස් වැනි සතාගේ පටන් අත පය පමණ මහත ඇති කීට විශේෂයෝ නැතිනම් පණුවෝ තවත් ගණයකට අයත් වෙති. මේ සත්වයින්ට වෙනස් වන කරදියෙහි හා මිරිදියෙහි ජීවත්වන ජලජ සත්වයෝ වෙනත් කොටසකි. මෙසේ තිරිසන් නිකායයෝ අපමණ වෙති.

මේ අනුව සලකන විට ප්‍රධාන වශයෙන් තිරිසන් සත්වයෝ කොටස් තුනකට බෙදිය හැක. ජලයෙහි වසන්නෝ ය. ගොඩ වසන්නෝ ය. අහසෙහි හැසිරෙන්නෝ ය වශයෙනි. මේ තිරිසන් ජාතීන්ගේ ආයුෂ ප්‍රමාණයක් ද නියමව නැත. ඇතැම් අය පැය කීපයක් ජීවත් වෙති. ඇතැම්හු වර්ෂයක් දෙකක් ජීවත් වෙති. මේ අතර වර්ෂ සිය ගණන් ජීවත් වන කැසබු, නාග, ඉදිබු ආදි සත්තු ද සිටිති. නිරයෙහි ඉපදී වර්ෂ දස දහස් ගණනක් පැසී ඉතිරි පව් ගෙවීමට තිරිසන්ව උපදින්නෝ ද සිටිති.

සමහරු මිනිසත් බව ලැබගෙන සිට කෙළින් ම පසු ආත්ම භවේ දී තිරිසන් ව උපදින්නෝ ද සිටිති. තෝදෙය්‍ය සිටුවරයා එවැනි කෙනෙකි. එමෙන් ම තිරිසනුන් ව සිට කෙළින් ම දේවත්වයට යන්නෝ ද සිටිති. මණ්ඩුක, පාරිල්‍යෙක, ඝෝෂක ආදි සත්වයින් මෙනි. සත්ව ලෝකයේ අසිරිමත් විචිත්‍රවත් බව විඤ්ඤාණයේ විචිත්‍රත්වය ම බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. මේ අනුව තිරිසන් අපායෙහි බියකරු බව එහි ආදීනව දැනගෙන සතර අපායෙන් ගැලවී උතුම් බුදු සසුනේ ඵල නෙළා ගැනීමට අදිටන් කර ගත යුතුය. වීරිය කළ යුතු ය.

(පොතපත ඇසුරෙනි)
සටහන – මානෙල් පොඩිමැණිකේ.