මුළු පන්තිය ම නිශ්ශබ්දයි, හරියට මීයට පිම්බා වගේ… අමුතු ඉස්කෝලේ සත්ව ළමයි ඔක්කොම බය වෙලා ඉන්නේ පන්තියට ආපු පරීක්ෂකතුමා ඊ ළඟට මොන දෙයක් අහයි ද කියන කුතුහලෙන්…

හරියට ම කිව්වොත් අවුරුද්දේ අවසානය ළං වෙන මේ මොහොතේ හැමෝගෙ ම හිත්වල තිබ්බේ එක ම හීනයක්. ඒ තමයි එන අවුරුද්දේ ජ්‍යෙෂ්ඨ පන්තියට සුදුසුකම් ලබාගන්න එක…

අලියෙක්, වඳුරෙක්, නරියෙක්, මුවෙක්, මාළුවෙක් ඇතුළු කැලෑ පරම්පරාවේ මේ ළමයි ටික හොඳට ලෑස්ති වෙලා ආවේ මේ විභාගයට. මේ විභාගය පාස් නො වුණොත් කාට කාටත් ගෙවල්වලින් අහන්න වන දොස් ගැන වගේ ම සර්කස් කූඩුවට යන්න වෙයි කියන භය මේ හැමෝගෙ ම හිත්වල පිරිලා තිබුණා,

පරීක්ෂකතුමා පන්තියට ඇවිත් තමන් ගාව තිබුණු පොත් පාර්සලය ඇතුළේ තිබ්බ බර ම පොත දිග ඇරලා, මොහොතක් ඒ පොත ඇතුළට අවධානය යොමු කරලා හෙමිහිට පන්තියේ සිසුන් දිහා එක එල්ලේ බලන් හිටියා… බැල්ම නම් එච්චර හරි නෑ. කාගෙ කාගෙත් චකිතය වැඩි වුණා.

ඊ ළඟට ඔහු කථා කරන්න පටන් ගත්තා. කථාව නම් බොහොම බරසාරයි…

“මගේ දයාබර සත්ව පැටවුනේ, මතු රැකෙනා ශිල්පය ම යි උගත මනා යන අති රම්‍ය වූ චින්තනයෙන් හෙබි අප කැලෑ ඉස්කෝල චින්තනය තුළින් නුඹලා ප්‍රායෝගික ව කෙසේ අධ්‍යාපනය ලැබුවා ද යන්න සෙවීමට සූදානම්. මාගේ මී ළඟ කාර්යය තමයි ඒ. ඒ සඳහා මේ මොහොතෙ දී අප පන්ති කාමරයෙන් මිදී නුඹලාට හුරු පුරුදු වන අරණට පිටත් වෙමු…”

මේ නො තේරෙන, බරසාර වචනවලින් විපිළිසර වුණ හිත් ඇති මේ ශිෂ්‍ය ප්‍රජාව කොහොම නමුත් පරීක්ෂණය තියෙන්නේ හුරුපුරුදු කැලෑවේ බව තේරුන නිසා සැනසුම් සුසුමක් හෙළුවා. කැලෑ වැදිලා විභාගයකට මුහුණ දෙන්න තමන්ට ලැබෙන්න යන අවස්ථාව පිළිබඳ සතුටින් ඉපිලෙමින් පරීක්ෂකතුමා පිටුපසින් සියලු දෙනා වන අරණට පිටත් වුණේ උද්‍යෝගයෙන්.

මෙසේ සිසු දරුවන් පිරිවරාගෙන ඉදිරියට ගොස් මහා විශාල ගහක් මුල නැවතුන පරීක්ෂකතුමා සිසුන් පරීක්ෂණයට භාජනය කරන්නට සුදානම් වුණා…

“මගේ පැටවුනේ, ඊ ළඟ වාරයට සුදුසුකම් ලබන්නට නම් ඔබ මේ පරීක්ෂණයට මුහුණ දිය යුතු ම යි…

ඒ තමයි… මේ නුඹලාට පෙනෙන මේ ගසට විනාඩියක් ඇතුළත නැගීම….”

මේ වචන ඇහුණට පස්සෙ මොකක්ද වෙන්න ඇත්තේ?

සිද්ධ වුණේ මේකයි…

මාළුවා – එවෙලේ ම විභාගයෙන් ඉවත් විය

ගෙම්බා – ගස පාමුලට පැන දුක සේ ගස මුදුන දෙස බලා සිටියේ ය

අලියා – ගස දෙස බලා සුසුම් හෙළුවේ ය (‘නගින්න නම් බෑ… කඩන්න නම් පුළුවන්’ කියා ද සිතුවේ ය…)

නරියා – ඔරවාගෙන බලා සිටියේ ය

මුවා – බිම බලාගෙන සිටියේ ය…

අවුරුද්දක සුදුසුකම් ඔක්කොම ඉවරයි…!

දවස් කිහිපයක් ගත වුණාට පස්සෙ මේ පරීක්ෂණයේ ප්‍රතිඵල ආවා.

ඊ ළඟ පන්තියට සුදුසුකම් ලැබුවෙ එක ම එක්කෙනයි. හිතාගන්න පුළුවන්නේ කවුද කියලා. ඒ තමයි වඳුරා…

මේ පුංචි කථාව ඇතුළේ අපට හිතන්න ලොකු කථාවක් තියෙනවා. ඇත්තටම අපේ ජීවිතයේ අපි කරලා තියෙන්නේ අපට වැඩියෙන් ම පුළුවන් වුණ දේ ද? නැති නම් වෙන අයට වුවමනා කළ දේ ද? අනිත් අය අපට කරන්න කිව්වේ ඇත්තට ම අපට පුළුවන් දේ ද? නැති නම් හොඳයි කියලා ඒ අයට හිතුණ දේ ද? අධ්‍යාපන ක්‍රමයට විතරක් නෙමෙයි; රැකියා ස්ථානයට, එදිනෙදා ජීවිතයට පවා මේ කාරණය අදාළයි…

මේ ක්‍රමය ගැන කවුරු විවේචනය කළත් හෙටත් බිහිවෙන්නේ මෙවැනි ක්‍රමයක් ම තමයි. එහෙනම්… අපට මේකෙන් ගැලවෙන්න විදිහක් නැති ද?

තියෙනවා. ඒ තමයි කිසිවෙකුට අයහපතක් නො වන – තමන් කරන්න ආශා දෙය කරන එක. එහෙමත් නැත්නම්, තමන් තුළ දියුණු වෙනවා කියලා තමන්ට ආත්ම විශ්වාසයක් ඇතිව දැනෙන දේ, හිතෙන දේ කරන එක.

සඳුදා උදේට නැගිටිනකොට ‘අද ඔෆිස් යන්න තියෙනවා නේ ද?’ කියල දුකින් හිතන අය අනිවාර්යෙන් ම මේ ගැන හිතල බලන්න. නැත්නම් ඔබ ඔබට වගේ ම ඔබේ සේවාදායකයාටත් කරන්නේ බොරුවක්. ඔබට කරන්නට හැකි යහපත් දේ, හොඳ දේ, නිදොස් දේ කරන්න ඔබ බය වෙන්න එපා. පැකිලෙන්නත් එපා. ඇතැම් විට ඒ දේ අනිත් අයගේ හිතට අල්ලන්නේ නැති වෙන්න පුළුවනි. හැබැයි, ඔවුන්ගේ හිතට අල්ලන දෙයක් කරන්න ගිහින් අසාර්ථක වෙනවාට වඩා තමන්ට පුළුවන් දේ හරියට කරලා සාර්ථක වන එක නේ ද වටින්නේ?

අවසානයේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක පේලේගෙ කතාවකින් මම නවතින්නම්…

“සාර්ථකත්වය යනු අහඹුවක් නො වේ. එය කැපකිරීම, නොනවතින වීර්යය, ඉගෙනුම, ඉගෙනීම යන ගුණාංගවලටත් වඩා ‘තමන් කරන වැඬේ ආදරයෙන් කිරීමේ’ අසමසම ප්‍රතිඵලයකි. ඒ නිසා ඔබත් වැඩවලට ආදරය කරනවට වඩා… ආදරය හිතෙන වැඩ කරන්න.”

සටහන – කෞශල්‍ය අයි. රණසිංහ