ජරාව යන වචනය පවා ඇසෙද්දී කෙනෙකු තුළ ඇතිවන්නේ හිරිකිතයකි. පිළිකුලකි. සාමාන්‍ය ව්‍යාහාරය තුළ ජරාව යනු අසූචි ය. මුත්‍ර ය. කුණු වූ දේ ය. දුගඳ හමන දේ ය. නින්දා ලබනා දේ ය. ගැරහුම් ලබනා දේ ය. ස්පර්ශ කරන්නට හෝ දකින්නට හෝ සිතන්නට පවා අකමැති දේ ය. සන්තෝෂමට ද ජරාව යැයි කියන්නේ එය ද නින්දා ලැබිය යුතු, ගැරහුම් ලැබිය යුතු දෙයක් වශයෙන් සලකා බැලීමෙනි. පොදුවේ ගත් කල ජරාව නින්දා ලබනා, ගැරහුම් ලබනා පිළිකුලට බඳුන්වන දෙයකි.

අප ද ගෙවනා මොහොතක් පාසා ජරාවට පත්වෙමින් හිරිකිත වූ, පිළිකුල් වූ, නින්දා ගැරහුම් ලබන්නා වූ තත්ත්වයකට මුහුණ දෙමින් සිටී යැයි ඔබට මොහොතකටවත් සිතුණා ද? කිහිප දෙනෙකුට නම් සිතෙන්නට ඇත. එහෙත් එවේලෙට ඩයි වර්ගයකින්, ආලේපනවලින් ජරා තත්ත්වය සඟවා ගන්නට කටයුතු කළා මිස ජරාව ඉක්මවා යන්නට, ජරා දුකින් නිදහස් වන්නට වෙර වීරියක් ගත්තා යැයි අවම වශයෙන් අධිෂ්ඨානයක් හෝ ඇතිකර ගත්තා යැයි කියන්නට හැකි ද?

දුක දැනගෙන, දුක දැකගෙන, දුකින් නිදහස් වීමට වෙර වීරිය උපදවා ගත යුතු අවස්ථා අටක් ගැන ධර්මයේ සඳහන් වේ. ඒ ගැන කෙරෙන විමසුමක උතුම් සම්බුදු මුව මඬලින් ගලා ගිය උතුම් සදහම් පෙළහරක දෙවන දිගහැරුම ය මේ. ජරාවට පත් වීම දුකකි.

උපන් සත්වයා කුමක් පිරිවරා සිටී දැයි එක්තරා දෙවියෙකු ඇසූ ප්‍රශ්නයකට භාග්‍යවතුන් වහන්සේ පිළිතුර වශයෙන් දේශනා කළේ උපන් සත්වයා ජරාව (මහලු වීම) පිරිවරා සිටින බවකි. මේ ජරාව යනු කුමක් ද?

“ඒ ඒ සත්ව ලෝකවල ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවට පත් වීමක්, දිරා යාමක්, දත් කැඩී යාමක්, කෙස් ඉදී යාමක්, ඇඟපත රැළි වැටී යාමක්, ආයුෂ පිරිහී යාමක්, ඉන්ද්‍රියන්ගේ මෝරා යාමක් ඇත්ද මෙයයි.”

(විභංග සූත්‍රය – සං. නි. 2)

මේ අනුව කෙනෙකු උපන්දා සිට ම ජරාවට පත්වන බව කිවමනා ය. මන්ද උපන්දා සිට ම ආයුෂ ගෙවී යන හෙයිනි. ඉන්ද්‍රියයන්ගේ මෝරා යාමක් වන හෙයිනි. එසේ ම කොතනක කෙසේ උපත ලැබුව ද ජරාවට පත් වීම සියලු සත්වයෝ ම උරුම කරගෙන සිටින්නකි. සියල්ලන්ට ම පොදු ධර්මතාවයකි. සියලු දෙව්බඹුහු ද ඇතුළු කොටගත් සියලු සත්වයෝ ජරාවට පත්වන්නාහ. එයින් මිදුනෙකු ලොව නැත.

මේ කය (ශරීරය – රූපය) මෙසේ ජරාවට පත්වන්නේ දිරායන්නේ කිම? හේතුව මේ කය සංඛතයකි (සකස් වූ දෙයකි). ඉපදීමත්, වැනසී යාමත්, පවතින දේ තුළ වෙනස් වීමත් යන ලක්ෂණ උරුම කර ගත්තක් වීම ය. ඒ ස්වභාවයෙන් යුතු වීම ය. මේ අනුව උපන් මොහොතේ සිට ම මේ කය වෙනස් වෙමින් පවතියි. අවසන් වී යයි. එහෙයින් මේ කය දුකකි. වෙනස් වීමට, ජරාවට පත් වීමට ලක්වන නිසා ම දුකකි.

ජරාවට පත් වීම දුකක් බව කිසි කලෙක දී කිසි තැනක දී වෙනස් නොවන දුක්ඛ ආර්ය සත්‍යය ගැන දේශනා කරමින් භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දී සදේවක ලෝකයාට පළමු වතාවට දේශනා කළ සේක. දෙවියන් පවා දිව්‍ය ලෝකවලින් චුත වීමට ආසන්න වෙත් ම සිරුරු පැහැය අවපැහැ ගැන්වී බැබළීම පිරිහී ගොස් සුවඳ අතුරුදහන්ව ඩහදියෙන් යුතු වන බව ද දේශනා කළ සේක.

යම් තැනක ඇස කන නාසය දිව කය මනසෙහි යම් පහළ වීමක් වේ ද ඒ වනාහී ජරාවේ පහළ වීම බව භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාවක් වන සළායතන සංයුත්තයේ උප්පාද සූත්‍රයේ අපට හමුවේ. ජරාවෙන් තොර බවක් කිසිදු දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට හෝ අන් කිසිවෙකුට ලැබිය නො හැකි බව ද උන්වහන්සේ දේශනා කළ සේක.

අද ඔබ සමහරෙක් ගත කරන්නේ සමනල් ළමාවියේ විය හැක. ඇතැමෙක් හිරිමල් යෞවනයේ විය හැක. නමුත් තව ටික කලක් ගත වෙද්දී ඔබේ ශරීරයේ ජරාවට පත් වීම, පිරිහීයාම ඔබට ම දැකගත හැකි වනු ඇත. මහ කළු ගලක් කුඩු කරන්නට කුළු ගෙඩි පහර සියයක් අවැසි විය හැක. ඒ කළු ගල බිඳී යන්නේ සියවෙනි පහරින් මුත් පළමු පහර ද අන් සියලු පහරවල් ද ඒ බිඳී යාම තුළ පවතින්නාක් මෙන් ඔබ දැනටමත් ජරාවට පත්වී නැතුවා නො වේ. මන්ද මේ වන විට ඔබගේ ආයුෂ යම් ප්‍රමාණයක් ගෙවී ගොස් ඇති නිසාවෙනි.
මෙහිලා සුවිශේෂී විස්තරයක් අපට මහධන සිටු පුතාගේ කථාව තුළින් දැනගැනීමට හැකි ය. රන් කහවණු අසූ කෝටියක ධනයකට හිමිකම් කියූ සිටු පුතෙකු අසූ කෝටියක දායාදයක් සහිතව සිටු කුමරියක් සරණ පාවා ගත්තේ ය. පරම්පරාවෙන් ලද වස්තුව අත දිගහැර විනෝද සාද ආදිය සඳහා වියදම් කළා මිස අලුතින් ධනයක් ඉපැයීමක් හෝ ධර්මයේ හැසිරීමක් හෝ ඔවුනතර නොවුණි. වේගයෙන් පිරිහීමට ලක්වූ ඔවුන්ට අවසන සිදු වූයේ සිඟමනින් ජීවත් වීමට ය. එසේ මහමග සිඟමන් යදින මේ සිටු යුවළගේ අවාසනාවන්ත ඉරණම දුටු භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, ඔය සිටු දෙපළ තරුණ වයසේ දී මහණ වුණා නම් සිටු පුතා අරහත්වයට පත්වෙනවා. සිටු දුව අනාගාමී වෙනවා. මැදි වයසෙදි දෙන්න පැවිදි වුණා නම් සිටු පුතා අනාගාමී වෙනවා. සිටු දුව සකදාගාමී වෙනවා. මහලු ව පැවිදි වුණා නම් සිටු පුතා සකදාගාමී වෙනවා. සිටු දුව සෝතාපන්න වෙනවා. ජීවිතේ අවසාන ම කාලයට ඇවිල්ල ඉන්න මේ දෙන්නා දැන් ඒ සියල්ල අහිමි කරගෙනයි ඔය ඉන්නේ.”
(ජරා වර්ගය – ධම්මපද අටුවාව)

මෙයින් පැහැදිලි ව ම පෙනෙන්නේ ආයුෂ ගෙවී යාමත් සමඟ ම ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිරිහී යාම ය. සත්වයාගේ ජරාවට පත් වීම ය. දිරා යාම ය. මරණයට පත්ව දින හතක් ගත වූ සිරිමා නම් සුරූපී වෙසඟනගේ ඉදිමී නිල්වී ගිය ශරීරය අරබයා භාග්‍යවතුන් වහන්සේ මේ නිත්‍ය යැයි, සුභ යැයි, ආරෝග්‍ය යැයි සිතා සිටින ශරීරය ගැන මෙසේ වදාළ සේක.
“දැන්වත් හොඳින් බලාගන්න. ලස්සනට සරසගෙන සිටියට මේකෙ තියෙන්නෙ මස් වැදිච්ච ඇටසැකිල්ලක්. ලෙඩ දුක් ගොඩක්. අඥාන ජනයා මේ ශරීරය ගැන බොහෝ මනහර සිතුවිලි සිතුවට මේකෙ නිත්‍ය දෙයක් නැහැ. ස්ථිර දෙයක් නැහැ. පවතින දෙයක් නැහැ.”
(ධම්මපදය – ජරා වර්ගය)

අපගේ ශරීරය ද මෙසේ ම ය. නහවා පිරිසිදු කොට විලවුන් ගල්වා නොයෙක් අයුරින් සරසා, ප්‍රෝටීන් විටමින් බහුල දේ කවා පොවා, ශරීර සුවතා අභ්‍යාස කොට පවත්වා ගන්නට උත්සාහ ගන්නේ මුත් ඒ අසාර්ථක උත්සාහයකි. ඒවායින් තාවකාලිකව පැලැස්තරයක් දමාගත හැකි වුව ද ජරාව පිරිවරා ගත් මේ කය ස්ථිරව පවත්වනවා යන කරුණ කිසිදු සත්වයෙකුට ලැබිය හැකි දෙයක් නම් නො වේ. අපට මේ යථාර්ථය පිළිබඳ ව වැටහීමක් වේ ද? නැත. අවිද්‍යාව නම් අන්ධකාරයෙන් වැසී සිටින අපි ජීවිතය දෙස සුභවාදී ආකල්පයෙන් දකිමින් වසන්නෙමු. සැබෑව පෙන්වාදෙන ධර්මයට ද දුක ගැන ම කියමින් ජීවිතය පිළිබඳ ව කලකිරීම ඇති කරවතියි යනුවෙන් චෝදනා කොට ගරහා බොහෝ පව් ද රැස්කර ගනියි.

සතර මහා ධාතූන්ගෙන් සකස් වූ මේ රූපය ජරාජීරණ ව අවසන් වෙතැයි ජේතවන අසපුවේ දී උත්තරා තෙරණිය අරබයා දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ එහි දී ම සුරාවෙන් මත්ව සිටි විශාඛාවගේ යෙහෙළියන් අරබයා දේශනා කළේ මේ ජීවිතය ජරාමරණාදියෙන් ගිනි ගනිද්දී මොන හිනා ද?, මොන සතුටක් ද? වශයෙනි.

ජරාවට පත් වීම නම් දුක ආටෝප සාටෝපයෙන් වසන් කරන ලොවක මුළාව ම බලවත් වෙනවා සේ ම යථාර්ථය දකින්නට ඇති අවම ඉඩකඩ ද අහිමි කරමින් සිටී. එහෙයින් මුළාවෙන් මුළාවට ම පත්වෙනවා මිස මෙයින් ගැලවීමක් නො පෙනේ. ධර්මයට කැමැත්තෝ, නුවණින් විමසන්නෝ පමණක් මේ යථාර්ථය දකින්නට වෙර ගත්තෝ ය. මේ ජරාව නම් දුක දකිතොත් දකින්නේ ඔවුන් පමණි.

“එන්න, ඇවිත් බලන්න මේ ජීවිතයේ ඇත්ත දිහා. විචිත්‍ර විදියට සරසලා තියෙන රාජකීය අශ්ව රථයක් වගේ, අඥාන පිරිස මේ විලාසිතාවලට සම්පූර්ණයෙන් ම අහුවෙනවා. නමුත් මේකෙ යථාර්ථය අවබෝධ කරපු උදවිය නම් මේ ජීවිතෙත් එක්ක කිසි ගනුදෙනුවක් කරන්නෙ නැහැ.”
(ධම්ම පදය – ලෝක වර්ගය)

මල්ලිකා දේවියගේ මරණය දැනගත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙවැනි ම දෙයකි. එය සචේතනික වේවා අචේතනික වේවා සියල්ල දිරා යාම, ජරාවට පත් වීම උරුම කරගෙන සිටින බව පැහැදිලි කෙරෙන දෙසුමකි.

“විචිත්‍ර විදියට සරසපු රාජකීය මංගල රථ පවා දිරල යනවා. කොච්චර සැරසුවත් මේ ශරීරයත් දිරල යනවා. නමුත් සත්පුරුෂයන්ගේ ගුණධර්ම ජරාවට පත්වෙන්නේ නැහැ. ඇත්තෙන්ම සත්පුරුෂයන්ට ශාන්ත මුනිවරු මේ කාරණේ කියල දෙනවා.”
(ධම්ම පදය – ජරා වර්ගය)

“මට ජීවත්වෙන්න තියෙන්නෙ සුළු කාලය යි. ඊට පස්සෙ ජරාවෙන්, ලෙඩ රෝගවලින් මාව යටපත් වෙනවා. අන්තිමේ දී ජරා ජීරණ වෙලා මේ කය බිඳිල යනවා.”
(මිත්තාකාලි තෙරණිය – ථේරී ගාථා)

මේ ජීවිතයේ ජරා දුක දුටු මිත්තාකාලි තෙරණිය ඇගේ අවබෝධය එසේ උදානයකින් ප්‍රකාශ කළා ය. කලෙක වෙසඟනක් ව සිය රූප ශෝභාවෙන් මුළු මගධය ම උන්මාදයට පත් කළ අම්බපාලිය පසු කලෙක පැවිදිව, අරහත්වයට පත්ව ජරාවට පත් වීම ගැන ප්‍රකාශ කළේ රූපයෙන් මත් වී ප්‍රමාදව සිටින කාටත් ජීවිතය දෙස නුවණින් විමසා බලන්නට බල කරමිනි. පොළඹවමිනි.

ඉස්සර බඹරුන්ගේ මෙන් කළු පාටට කැරලි ගැහිල උඩට හැරිල තිබුණ කොණ්ඩය දැන් ජරාවට පත්ව හණ වැහැරී මෙන් වී ඇතැයි ද ඉස්සර සුවඳ කරඬුවක් ව තිබූ කොණ්ඩය දැන් ලොම් ගඳින් යුතු යැයි ද ඉස්සර පිළිවෙළට ලස්සනට මල් වවපු මිදුලක් සේ පීරා තිබූ කොණ්ඩය දැන් තැන තැන ගැලවී ගොස් තිබේ යැයි ද ඉස්සර දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලස්සනට ඇඳි රේඛා දෙකක් සේ දිස් වූ ඇහිබැම දැන් නළලේ එල්ලා වැටෙන්නේ යැයි ද ඉස්සර නිල් මැණික් මෙන් දිදුල නෙතු දැන් විරූපී වී ඇතැයි ද ඉස්සර සිනිඳුවට ඉස්සී තිබූ නාසය දැන් ජරාව විසින් හකුළුවා දමා ඇතැයි ද ඉස්සර සුදට සුදේ කොඳ කැකුළු සේ දිස් වූ දත් දැන් ජරාවට පත්ව කහ පාට වී ඇතැයි ද ඉස්සර කොවුල් නද බඳු කටහඬ දැන් වචන පටලැවෙන බව ද ආදි වශයෙන් සියොළඟ වෙලා ගත් ජරාව ගැන ඕ කියන්නී ය.

මේ යථාර්ථය සිය විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කළ භාග්‍යවතුන් වහන්සේ ඨාන සූත්‍රයේදී ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර නුවණින් සිහි කළ යුතු කරුණක් වශයෙන් ‘මම ජරාවට පත්වෙන කෙනෙක්මි. ජරාවට පත්වෙන ස්වභාවය ඉක්මවා නොගිය අයෙක්මි.’ යි යන්න දේශනා කළ සේක.

අපට දැන් ප්‍රමාද වන්නට කාලයක් නැත. ජරාව විසින් අපව යටකරගෙන ගොස් තිබේ. යටකරගෙන යමින් සිටී. එහෙයින් මේ ජරා දුකෙන් නිදහස් වීමට අප්‍රමාදී විය යුතුව ඇත.
“දැන් ඔබ හොඳට ම වයසට ගිහිල්ලා නේ ද ඉන්නේ? මරුකටේ නේ ද ඉන්නේ? යමයා ළඟට ම ගිහින් නේ ද ඉන්නේ? ඔබට ජීවිතයත්, මරණයත් අතර වැඩි කාලයක් නැහැ.”
(ධම්ම පදය – මල වර්ගය)

“තමන්ගෙ හිස ගිනි ගන්න වෙලාවට වෙන දෙයක් ගැන හිතන්න වෙලාවක් නැහැ. ජරා මරණ දෙක ලුහුබැඳගෙන එනකොට ඒකෙන් නිදහස් වෙන්නයි වීරිය කළ යුත්තේ.
මේ කාමයන් තිබුණොත් ඒ හැම භවයෙ ම හැම උපතෙ ම තියෙන්නෙ ජරා මරණ විතරයි. නමුත් ජරා රහිත වූ නිවන තියෙන වෙලාවෙ ඔයාලට මේ කාමයන්ගෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?”
(සුමේධා තෙරණියගේ ගාථා)

“මේ ඉපදීමත්, ජරාවත් ඔබව යට කරගෙන යන්නෙ මහා සාගරයේ රළ ගෙඩි වගේ. තමන්ගෙ ජීවිතයට යහපත සැලසෙන දූපතක් හදාගන්න. වෙන බාහිර පිහිටක් ඔබට නැහැ.”
(කාතියාන රහත් මුනිඳුන්ගේ ගාථා)

ජරාවෙන් ජීවිතය ගිනි ඇවිළී ඇත. එහෙයින් ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පහසාදී කාමයන් සොයා යනවා වෙනුවට අප විසින් වහ වහා කළ යුතුව ඇත්තේ ජරා දුකින් අපව නිදහස් කරවන බුදු සසුන මුණගැසී ඇති අවස්ථාවේ ජරා දුකින් නිදහස් වීම පිණිස ධර්මයේ හැසිරීම මිස අනෙකක් නො වේ.

(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි)