සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වන්නේ බොහෝ කලාතුරකින්. කල්ප ගණනිකිනිදු දක්නට දුර්ලභ සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ පහළ වීමෙන් මේ ලෝකයේ සිදු වන වෙනස මොන වගේ දෙයක් ද?

සම්බුදුරජාණන් වහන්සේලා පහළ නොවූ කාලවල දී වුණත් සීලය ලෝකයේ දකින්නට ලැබෙනවා. පාරමී දම් පුරමින් පැමිණි බෝසතාණන් වහන්සේ සම්බුදුරජාණන් වහන්සේලා දකින්නට නොලැබුණු කාලවල සීලය පුරුදු පුහුණු කළ අයුරු ජාතක පාළියේ විස්තර වෙනවා. අපගේ ශාස්තෘන් වහන්සේ අවසන් සිරුර දරා ගනිමින් මනුලොව වඩින්නට පළමු තමන් වහන්සේ පිළිසිඳ ගන්නේ කවර මව්කුසේ ද කියා අවලෝකනයක යෙදුණා. බෝසත් පුතණුවන් හට උපත සදන්නට පෙරුම් දම් පුරා පැමිණි, උපෝසථ සිල් රකිමින් ගුණධර්ම පූරණයේ යෙදෙමින් හුන් මහමායා බිසව සන්තුසිත දිව්‍යරාජයාගේ නේත්‍රයට පෙනී ගියා. ඒ කියන්නේ, අප මහ බෝසතාණන් වහන්සේ පස්මහ බැලුමන් බැලූ කාලයේදීත් සීලය ලෝකයේ විද්‍යාමාන ව තිබුණා. එනමුත් ඉන්ද්‍රිය දමනයෙන් යුතු ශාන්ත සංවරයෙන් යුතු සීල ව්‍රත වලින් තොර ආර්ය සීලය ලොවට හඳුන්වාදෙන්නෙ බුදුරජාණන් වහන්සේනමක්ම පමණයි.

අබුද්ධෝත්පාද කාල වලදී ද මිනිසුන් සමාධිය දියුණුකොට තිබෙනවා. නමුන් සම්මාදිට්ඨියෙන් තොර ඒ සමාධිය ආර්ය සමාධියක් බවට පත් වූයේ නැහැ. බුදුරජාණන් වහන්සේ වරක් අතීත ජීවීතයක සුනෙත්ත නම් ශාස්තෘන් වහන්සේ නමක් ව ඉපද සිටියදී තම ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයේ උපත ලැබීම පිණිස ධ්‍යාන වඩන හැටි, සමාපත්ති ලබන හැටි උගන්වලා තිබෙනවා. එකල සුනෙත්ත ශාස්තෘන් වහන්සේ බඹලොව උපත ලබන අයුරු ශ්‍රාවකයන්ට පෙන්වා දෙද්දි ඇතැම් ශ්‍රාවකයන් ඒ මාර්ගය දියුණු කරලා බඹලොව ඉපදුණා. ඒ ජීවිතයේ හත් අවුරුද්දක් නොකඩවාම මෛත්‍රී ධ්‍යාන වැඩූ නිසා මේ සුනෙත්ත ශාස්තෘන් වහන්සේ සංවට්ට කල්ප, විවට්ට කල්ප හතක් මිනිස් ලෝකයට ආවේ නෑ. (සංවට්ට කල්ප කියන්නේ ලෝකය විනාශ වේගෙන යන කාලයට. විවට්ට කල්ප කියන්නේ ලෝකය නැවත සකස් වේගෙන ගෙන කාලයට.) ලෝකය විනාශ වේගෙන යද්දී ආභස්සර ලෝකයේ ඉපදෙනවා. ලෝකය නැවත සකස් වේගෙන යද්දි ශුන්‍ය බ්‍රහ්ම විමානවල උපදිනවා. ඒ සංවට්ට කල්ප, විවට්ට කල්ප ගෙවුණට පස්සේ මහා බ්‍රහ්මයා වෙලා ඉපදුණා. ඒ වගේම තිස් හය වතාවක් ශක්‍ර දෙවියා වෙලා ඉපදුණා. ඒ පුණ්‍ය විපාකයෙන්ම නොයෙක් සිය ගණන් වාරයක් සක්විති රජ වෙලා ඉපදුණා.

තමන් වහන්සේගේ මෙම අතීත ජීවිතය පිළිබඳව භික්ෂූන් වහන්සේලාට හෙළි කළ බුදුරජාණන් වහන්සේ පවසා සිටියේ සුනෙත්ත ශාස්තෘන් වහන්සේ මෙසේ බොහෝ කල් සුගතියේ ඉපදුන ද ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය යන කරුණු හතර අවබෝධ කර නොගත් බැවින් ජාති, ජරා, මරණ දුකෙන් නිදහස් නොවූ බවයි. එනමුත් දැන් තමන් වහන්සේ ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය අවබෝධ කර සියලු භව රැහැන්, භව සංයෝජන සිඳ බිඳ දමා සියලු දුකෙන් නිදහස්ව සිටින බව පවසමින් භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාවන් වදාළා.

‘සීලං සමාධි පඤ්ඤා ච
විමුත්ති ච අනුත්තරා
අනුබුද්ධා ඉමේ ධම්මා
ගෝතමේන යසස්සිනා

සීලය ත්, සමාධිය ත්, ප්‍රඥාව ත්, අනුත්තර වූ විමුක්තිය ත් යන මේ ධර්මයෝ පැතිර ගිය කීර්තිය හා පිරිවර ඇති ගෞතමයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දාහු ය.’

‘ඉති බුද්ධෝ අභිඤ්ඤාය
ධම්මමක්ඛාසි භික්ඛූනං
දුක්ඛස්සන්තකරෝ සත්ථා
චක්ඛුමා පරිනිබ්බුතෝ

මෙසේ බුදුරජාණෝ විශිෂ්ට ඥානයෙන් දැන භික්ෂූන්ට දහම් දෙසූ සේක. සසර දුක් නැති කරන්නා වූ දහම් ඇස් ඇති ශාස්තෘන් වහන්සේ පිරිනිවී වැඩි සේක.’

(සත්ත සුරියුග්ගමන සූත්‍රය – අං. නි. හත්වන නිපාතය)

සම්බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීමෙන් පමණක් ම ලෝකයේ දකින්නට ලැබෙන පරම දුර්ලභ දෙය තමයි ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව සහ ආර්ය විමුක්තියෙන් පිරිපුන් නිවන් මඟ සහ ඒ මඟ ගමන් කිරීමෙන් පමණක්ම සාක්ෂාත් කරන අමා මහ නිවන.

ඒ අමා නිවන් මග දෙව් මිනිස් ලෝකයාට විවර කෙරුණේ උතුම් ඇසළ පුන් පොහෝ දිනයක. අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මුව මඬලින් නැගුණු දම් සිහනදින් දස දහසක් සක්වළ ප්‍රකම්පනය කරලමින් දම්සක පෙරැළී ගිය බරණැස ඉසිපතන මිගදායේ උතුම් ධම්මචේතියට අපගේ නමස්කාරය වේවා!

අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් සර්වඥතා ඥානය පසක් කොටගෙන ගෙවී යමින් තිබුණු පස්වන සතියේදී විමුක්ති සුව විඳිමින් වැඩ සිටියේ අජපල් නුග රුක් සෙවණේ. එක් මොහොතක දී තථාගතයන් වහන්සේට මෙවැනි විතර්කයක් උපන්නා.

‘ගුරුවරයෙක් නැතිව, ගුරුවරයෙකුගේ ඇසුරක් නැතිව හිටියොත් දුකින් තමයි ඉන්න වෙන්නෙ. ඉතින් මම කොයි වගේ ශ්‍රමණයෙක් ද කොයි වගේ බ්‍රාහ්මණයෙක් ද ගුරුවරයෙක් හැටියට සත්කාර සම්මාන කරගෙන, ඇසුරු කරගෙන වාසය කරන්නේ?’

ඒ මොහොතේ දී තථාගතයන් වහන්සේ සියලු ලෝක ධාතු පිරික්සා බලමින්, නොපිරිපුන් සීලයක්, නොපිරිපුන් සමාධියක්, නොපිරිපුන් ප්‍රඥාවක්, නොපිරිපුන් විමුක්තියක් හෝ නොපිරිපුන් විමුක්ති ඤාණ දර්ශනයක් ඇති නම් එය පිරිපුන් කර ගනු පිණිස එයට සුදුසු ආකාරයේ ආචාර්යවරයෙක් ලොව සිටිනවාද කියා බලා වදාළා. සම්බුදු නේත්‍ර යුග්මයට එවැනි කිසිවෙකු හමු වුණේ නැහැ. අසමසම වූ සර්වඥතා ඥානය හා සම වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ ප්‍රඥා බල මහිමය ම පමණයි! ඒ බව දුටු සම්බුදුරජාණන් වහන්සේ තුළ මෙවැනි විතර්කයක් උපන්නා.

‘ඒ නිසා, ඉතා හොඳින් අවබෝධ කර ගත්තු මේ ධර්මය තියෙනවා. ඒ ධර්මය ම ගුරුවරයෙක් වශයෙන් සලකලා ඇසුරු කරගෙන ඉන්න එක තමයි හොඳ.’

සම්බුදුරජාණන් වහන්සේගේ මේ සිතුවිල්ල දුටු සහම්පතී බ්‍රහ්මරාජයා එකෙණෙහි ම උන්වහන්සේ ඉදිරියේ පහළ වුණා. දණ මඬල නමා බිම වැටී වන්දනාමාන කරමින් මෙහෙම කිව්වා.

“භාග්‍යවතුන් වහන්ස, ඒක එහෙම ම යි. සුගතයන් වහන්ස… ඒක එහෙම ම යි. ස්වාමීනි අතීතයේත් අරහත් වූ සම්බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියා. ඒ භාග්‍යවතුන් වහන්සේලා පවා ධර්මය ම යි ගුරුවරයෙක් වශයෙන් සලකාගෙන ඇසුරු කරගෙන වාසය කළේ. ස්වාමීනි, අනාගතගේ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේලාත් ධර්මය ම ගුරුවරයෙක් වශයෙන් සලකාගෙන, ඇසුරු කරගෙන වැඩවාසය කරාවි. ස්වාමීනි, දැන් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන භාග්‍යවතුන් වහන්සේත් ධර්මය ම ගුරුවරයෙක් වශයෙන් සලකාගෙන, ඇසුරු කරගෙන වැඩසිටින සේක්වා!”

(ගාරව සූත්‍රය – සං. නි. 1)

එදා අපගේ ශාස්තෘන් වහන්සේ අජපාල නුගරුක සෙවණේ වැඩ වෙසෙමින් උතුම් ශ්‍රී සද්ධර්මය ආචාර්ය තනතුරෙහි තබා වදාළා. එතැන් පටන් පන්සාලිස් වසරක් මුළුල්ලේ ගම් දනව් සිසාරා, දිව්‍ය බ්‍රහ්ම තල සිසාරා ඒ අමා දහම් ස්වරය පැතිර ගියා.

සම්බුද්ධ කෘත්‍යය අවසන් කොට කුසිනාරාවේ උපවත්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් මංචකයේ වැඩ හිඳි අපගේ සම්බුදුරජාණන් වහන්සේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා මෙසේ වදාළා.

“ආනන්දයෙනි, ඔබට මෙබඳු වූ අදහසක් ඇති වන්නට පුළුවනි. ‘බුද්ධ වචනය අතීතයට ගිය ශාස්තෘන් වහන්සේගේ ය. අපගේ ශාස්තෘන් වහන්සේ නැති සේක.’ යනුවෙනි. ආනන්දයෙනි, ඔබ මේ අයුරින් නොදැක්ක යුත්තේ ය. ආනන්දයෙනි, මා විසින් යම් ධර්මයකුත් විනයකුත් දෙසන ලද්දේ ද පනවන ලද්දේ ද මාගේ ඇවෑමෙන් එය ඔබට ශාස්තෘ වන්නේ ය.”

(මහා පරිනිබ්බාන සූත්‍රය – දී. නි. 2)

මේ ධර්ම විනය තුළ වැඩ සිටින්නේ අපගේ ශාස්තෘන් වහන්සේය. එනිසා ශාස්තෘ ගෞරවයෙන් යුතුව ම යි අප ධර්මය ඇසුරු කළ යුත්තේ.

සම්මා දිට්ඨීය ඇති කර ගැනීමට උපකාරක වන්නේ ම සද්ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝමනසිකාරයයි. නමුත්, කෙනෙකුට නොයෙකුත් මතවාදයන්ගෙන් බැහැර ව සම්මා දිට්ඨිය ඇතිවන පිළිවෙළට ධර්මය ශ්‍රවණය කිරීම පහසු කටයුත්තක් නම් නෙමෙයි. ධර්ම ශ්‍රවණය කියන්නේ කන බොන ගමන්, යන එන ගමන්, කථා බස් කරන ගමන් සිදු කරන අනෙක් සාමාන්‍ය කටයුතු මෙන් වැඩි අවධානයකින් තොරව කළ හැකි කටයුත්තකුත් නෙමෙයි. ධර්ම ගෞරවය ආරක්ෂා කෙරෙන පරිදි ධර්මය දේශනා කළ යුතු ආකාරයන් පවා ධර්ම විනයෙහි සඳහන්ව තිබෙනවා. විනය පිටකයේ පාචිත්තිය පාළියෙහි සේඛියා ශික්ෂා පදවල සඳහන් වන ආකාරයට ගිලනෙකුට හැර අන් අයට පහත අවස්ථාවල දී ධර්මය දේශනා නො කළ යුතු බව පෙන්වා දී තිබෙනවා. ඊට හේතුව එවන් අවස්ථාවකදී ධර්මය කීම ධර්මයට කරන අගෞරවයක් වීමයි.

● සේසත්, ඡත්‍ර අතින් දරන්නෙකු හට
● දඬු, අවි ආයුධ, අසිපත් අතින් ගත් අයෙකු හට
● පයලූ මිරිවැඩි, පාවහන් ඇති අයෙකු හට
● යානාවක හෝ යහනක සිටින අයෙකු හට
● හිස වෙළා සිටින, හිස වසා පොරවා සිටින අයෙකු හට
● තමන් බිම හිඳගෙන සිටිද්දී අසුනක සිටින අයෙකු හට
● තමන් මිටි අසුනේ හිඳගෙන උස් අසුනක හිඳගෙන සිටින අයෙකු හට
● තමන් නැවතී සිටිය දී ගමනේ යෙදෙන්නා වූ අයෙකු හට
● තමන් පසුව යමින් සිටිය දී පෙරටුවෙන් යන්නා වූ අයෙකු හට
● තමන් නොමඟින් යමින් සිටිය දී මඟින් යන්නා වූ අයෙකු හට

මේ ධර්ම විනයෙහි පිහිටා කටයුතු කළ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා සම්බුද්ධ ශාසනය ශෝභාවත් කොට වදාළා. දිනක්, ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේගේ දහම් කථාවෙන් ප්‍රමුදිත වූ වේරහච්චානිගෝත්‍ර බැමිණියගේ සේවකයෙක් සිදු කළ ගුණ වර්ණනාව අසා සතුටු වුණු ඒ බැමිණිය දහම් අසන්න කැමැත්තෙන් උන්වහන්සේට දානයට ආරාධනා කළා. දන් පැන් වළඳා අවසන් වූ පසු ඇය පාවහන් පැලඳ, උස් පුටුවක වාඩි වී, හිසත් වසා පොරවාගෙන හිඳ “ශ්‍රමණය, බණ කියන්න.” යි කීවා. “සොහොයුරිය, එයට සුදුසු කල් පැමිණේවි.”යි කියූ උන්වහන්සේ පෙරළා වැඩම කළා. මේ සිදුවීම අහපු සේවක තරුණයා, ඒ ස්වාමීන් වහන්සේලා ධර්ම ගෞරවයෙන් යුතු නිසා පාවහන් පැලඳ, උස පුටුවක හිඳ, හිසත් වසා පොරවා “බණ කියන්න.” යැයි කියූ විට ධර්මය දේශනා නොකරන බව කිව්වා.

ඒක අහපු බැමිණිය යළි තෙරුන් වහන්සේට දනට ඇරයුම් කළා. මැනවින් සත්කාර කොට පාවහන් ගලවා, මිටි අසුනක හිඳගෙන, හිසත් නොවසා තබාගෙන දහම් දෙසන්නට ඇරයුම් කළා. ධර්ම ගෞරවයෙන් යුතුව තෙරුන් වහන්සේ සිදු කළ ධර්ම දේශනාව අවසානයේ ඇය තිසරණ සරණේ පිහිටියා.

(වේරහච්චානි සූත්‍රය – සං. නි. 4)

සාමාවතියගේ සේවිකා තනතුරෙහි සිටි ඛුජ්ජුත්තරාව ධර්මයෙන් ශ්‍රේෂ්ඨ බවට පැමිණි පසු සාමාවතී ප්‍රමුඛ අන්තඃපුර කාන්තාවනට ඒ ධර්මය කියා දුන්නේ තමන් උස් අසුනක හිඳිමින්. එසේ නොකිරීමෙන් ධර්මයට නිගරු වන බව ඒ බුද්ධ ශ්‍රාවකයන් මැනැවින් දරාගෙන සිටියා.

සියල්ලට ම වඩා පෙරටු වන්නේ ද ගරු කටයුතු වන්නේ ද ධර්මය මයි. මෙලොවත්, පරලොවත් ශ්‍රේෂ්ඨ වූ තථාගත ශ්‍රී සද්ධර්මය ශාස්තෘන් වහන්සේ හා සම කොට පිදුම් ලබනා ආකාරයටත්, ධර්ම ගෞරවය නොසිඳෙන ආකාරයටත් ධර්ම දේශනා සිදු කෙරෙන අවස්ථාවල දී කටයුතු පිළියෙළ කරවීම ධර්මය ශ්‍රවණය කරන පිරිසගේත්, ධර්මය දේශනා කරන දේශකයාණන් වහන්සේලාගේත් යහපත පිණිස ම පවතින බව සිහි තබා ගැනීම බොහොම වැදගත්.

ඇසළ පුන් පොහෝ දිනයක ලොවට විවර කෙරුණු අමා නිවන් මාර්ගයට අපගේ නමස්කාරය වේවා! නිස්සරණධ්‍යාසයෙන් යුතුව, නිවන සාක්ෂාත් කිරීමේ අදිටනින් යුතුව නිර්වාණ ප්‍රතිපදාවෙහි හැසිරෙන ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා! ශාස්තෘ ගෞරවයෙන් යුතුව ධර්මය ඇසුරු කරන්නවුන් බවට පත්වන්නට අප සැමට වාසනාව උදා වේවා!

සටහන – උදුලා පද්මාවතී